ජාතිය ගොඩනැගීම සහ පාර්නූතන ඥානවේදය අවබෝධ කර ගැනීම – තුන් වැනි කොටස

Transmodern යන යෙදුම සිංහල භාවිතයට පෙරළීමේ දී වඩාත් යෝග්‍ය යෙදුම කුමක් ද යන්න ගැන අපහැදිලි කමක් ඇති බව මේ පිළිබඳ විගහකර ගැනීමේ දී මතු වන ගැටලුවක් ලෙස දැකිය හැකි ය. දැනට සම්මතයේ භාවිතයට ගැනෙන (modern) පදයට සිංහල අර්ථය වන්නේ නූතන යන්න නිසා ඒ පිළිබඳ ගැටලුවක් නොපැවතියත්,  (trans) යන්නට සිංහල අරුත කුමක් ද යන්නට ඇති සම්මතය පිළිබඳ පැහැදිලි කමක් නැත. එනම් trans යන්නට “පාර”, විනිවිදින, එතෙර, ඔබ්බෙහි ඇති යන අර්ථයන් ඇත. මා විසින් මීට පෙර යොදා ඇති යෙදුම වූයේ ද “පාර” යන වචනයයි. මෙම වචනය දේශපාලනික අර්ථ සංජනනය තුළ විශේෂයෙන් වාර්ගික සන්දර්භයේ දී, පාර ජාතික ලෙස යෙදීම තුළ දෙමළ වාර්ගිකත්වයට පක්ෂාපති යන අදහසක් සිංහල ජන වර්ගය තුළ ඇති වීම නො වැලැක් විය හැකි වේ.

එහෙත් ට්‍රාන්ස් යන්න වාර්ගික අර්ථයම බැහැර වීමකි. වෙනත් සංකල්පයන් සඳහා මෙම යෙදුම භාවිතාවේ දී ගැටලුවක් ඇති විය නො හැකි වුවත්, දේශපාලන ශබ්ධකෝෂයේ දී, වාර්ගික හැඟවුමක් සංජානනය වීම දුරු කිරීම මෙම සංකල්පය තේරුම් ගැන්වීමට වඩා අපහසු කාර්යයකි. මේ නිසා පාර නූතන වෙනුවට “පාර්නූතන” යැයි භාවිත කිරීමෙන් පාර්ජම්පූල වැනි සාමන්‍යකරණයකට පැමිණිය හැකි වෙතැයි සිතේ.

පාර නූතන ඥානවේදය (Transmodern Epistemology )යනු විවිධත්වය මත වන දැනුම  සහ පැවැත්ම හා  සම්බන්ධ මාර්ගයන්  ඒකාබද්ධ කරමින් නූතන හා පශ්චාත් නූතන චින්තනයේ සීමාවන්  නිර්මාණාත්මකව දැකීමට හැකි දැනුම අවබෝධ කර ගැනීමේ විධික්‍රමයක් ලෙස සංක්ෂිප්තව හැඳින්විය හැකි ය. තවද මෙම ක්‍රමවේදය සාම්ප්‍රදායික, නවීන සහ පශ්චාත් නූතන පර්යාවලෝකයන් සාකල්‍යවාදී ඒකාබද්ධ කිරීමක් කරනු ලබයි. එය නූතනත්වයේ සීමාවන් වන්නා වූ, විශේෂයෙන්ම නිරපේක්ෂත්වය (පරමවාදය) සහ ඌනිතවාදය  කෙරෙහි වූ  ඇති නැඹුරුව විවේචනයට ලක් කරන අතරම, විද්‍යාත්මක ප්‍රගතිය සහ තාර්කික (රැෂනල්) චින්තනය වැනි නූතනත්ව සම්ප්‍රධායන්ගේ යහපත් ජයග්‍රහණ බැහැර නොකරයි.   එය බිහි වීමට හේතු වන්නේ විෂය මූලිකත්වය පදනම්ව අවධාරණයට ලක්වන නූතනත්වය,  ඇති තාර්කික දැනුම   ප්‍රමාණවත් නොවන බැවින් ද, සංශයවාදය, සාපේක්ෂතාවාදය සහ විසංයෝජනය කෙරෙහි පශ්චාත් නූතනත්වයේ අවධානය යොමු කිරීම කෙරෙහි  දක්වන බලපෑමට කෙරන ප්‍රතිචාරයක් ලෙස ය. පාර නූතන ඥාණවේදය විද්‍යාත්මක හා ආනුභාවික (ප්‍රත්‍යක්ෂ) දැනුම සමඟ ස්වෙදේශික, පාරිසරික සහ අධ්‍යාත්මික ඥානයේ අගයන්, ධර්මතාවන්ගේ  දැනුම පිළිබඳ අන්තර් සම්බන්ධිත දැක්මක් හඳුනාගැනීම අවධාරණය කරයි.පාර නූතන  ඥානවේදය වාස්ථවික සත්‍යයන් ප්‍රශ්න කරනු ලබන පශ්චාත් නූතන විවේචන ද හඳුනා ගන්නා නමුත් මෙය බොහෝ විට සාපේක්ෂ ආස්ථානයක සිට ගනිමින්  දැනුම පිළිබඳ වඩාත් සාකල්‍යවාදී, ඒකාබද්ධ සහ විපරිවර්තනීය දැක්මක් වෙත ගමන්කරන ගවේෂණයක් වන්නේ ය.

  1. විවිධ ඥානයන් ඒකාබද්ධ කිරීම: එය විද්‍යාත්මක, ස්වදේශීය සහ අධ්‍යාත්මික පර්යාවලෝකයන්  ඇතුළත් වූ විවිධ ඥාණමාර්ගයන් ස්පර්ශ කිරීමක් සිදු කරනු ලබයි. පාර නූතන චින්තනය මානව දැනුමට අයත් සියලුම සංස්කෘතීන් සහ සම්ප්‍රදායන්හි දායකත්වයන්ට ගරු කිරමින්, සාකල්‍යවාදී සහ අන්තර් සම්බන්ධිත අවබෝධයක් ලබා ගැනීම අරමුණු කරයි.
  1. දෘඪ ද්විකෝටිකත්වය ප්‍රතික්ෂේප කිරීම: නූතනත්වය බොහෝ විට ආත්ම මූලිකත්වයට එරෙහි විෂයමූලිකත්වය, තාර්කිකත්වයට  එරෙහි අතාර්කිකත්වය යනා දී ද්විත්ව ප්‍රතිවිරෝධයන් යොමු වූ දැනුම ස්ථානගත කිරීමක් කරනු ලබයි.   පාර නූතන ඥානවිද්‍යාව මෙම ද්විත්වවාදයන් ප්‍රශ්න කරයි, ඒ වෙනුවට පුද්ගල සහ සාමූහික අත්දැකීම් මගින් බලපෑමට ලක්වන දැනුමේ සංකීර්ණත්වය සහ වෙනස්වීම් අගය කරයි.
  1. තාර්කිකත්වය කෙරෙහි අවධානය යොමු කිරීම: පාර නූතනවාදයට කේන්ද්‍රීය වන්නේ සම්බන්ධතව පිළිබඳ සංකල්පයයි – පුද්ගලයන්, සංස්කෘතීන් හෝ පරිසර පද්ධති අතර තිබෙන සබඳතා ජාලයන් තුළ දැනුම පවතින බව වටහා ගැනීමය. දැනුම හුදකලා හෝ පුද්ගලවාදී නොවන නමුත් අපගේ අන්තර්ක්‍රියා සහ සම්බන්ධතා අනුව හැඩගැසී ඇත.
  1. තිරසාරත්වය සඳහා ආචාර ධර්ම සහ රැකවරණය: පාර නූතනවාදය ගෝලීය ගැටළු සඳහා තිරසාරත්වය, සාධාරණත්වය කෙරෙහි සැලකිලිමත් ප්‍රවේශයන් ඉලක්ක කරගනිමින් දැනුම සහ එහි භාවිතාවන්වල සදාචාරාත්මක ප්‍රවේශයන් සලකා බලයි. මෙම සදාචාරාත්මක මානය බොහෝ විට යොමු වී ඇත්තේ පාරිසරික හරනය සහ සමාජ අසාධාරණය වැනි ගෝලීය අර්බුද ආමන්ත්‍රණය කිරීම සඳහා ය.
  1. අධ්‍යාත්මික සහ පාරිසරික දැනුවත්භාවය: අධ්‍යාත්මික සහ පාරිසරික පර්යායලෝකනයන් ඇතුළත් කිරීමෙන්, පාර නූතන ඥානවිද්‍යාව මිනිසුන් විශාල ජීවන ජාලයකට සම්බන්ධ කරයි. දැනුම යනු ලෝකය පාලනය කිරීමට හෝ හැසිරවීමට ඇති මාධ්‍යයක් පමණක් නොව එය සමග සහජීවනය ඇති කළ යුතු බව එහි අදහසයි.

පාර් නූතන ඥාණවේදය Transmodern Epistemology: අධ්‍යාත්මිකත්වය, විවිධත්වය සහ පාරිසරික ප්‍රඥාව සමඟ තර්කනය ඒකාබද්ධ කරමින් ඉන් ඔබ්බට ගමන් කරයි.    එය තාර්කික හෝ ප්‍රත්‍යක්ෂ පර්යාවලෝකනයන්ට සීමා නො වන නමුත්    අන්තර් රඳාපැවැත්ම සහ බෙදා හදා ගන්නා ගෝලීය විඥානයක් ඇගයීමකට ලක් කරයි. මේ නිසා මෙහි ඇති සුව්ශේෂීබව වන්නේ මනුෂ්‍ය සහ පාරිසරික ස්වභාවයට අයත් ස්වභාවයට අනිසි ආකරයෙන් බලපෑම් කිරීමෙන් තොර මානව සහ පාරිසරික යුක්තිය ජීවන විලාසයක් කර ගැනීමේ චින්තනමය දැනුමක් පිළිබඳ දැනුමකි. මෙය වඩාත් හොඳින් තේරුම් ගැනීම පිණිස මෙයට පදනම් වූ ඥානවේදයන් කෙරෙහි කෙටියෙන් විමසා බලමු.

නූතන ඥාණවේදය (Modern Epistemology): විද්‍යාව මත අවධාරණය වූ විෂයමූලික වූ පුද්ගලවාදය  කෙරෙහි   සුවිශේෂී වී ඇත. නූතන ඥාන වේදය බොහෝ විට විශ්වීය සත්‍යයන් සොයමින්, දැනුම සඳහා පදනම ලෙස ප්‍රත්‍යක්ෂ සාක්ෂි සහ තාර්කිකත්වය මත විශ්වාසය තබයි.
නූතන ඥාණවේදය, සම්ප්‍රධායට ප්‍රතිවිරුද්ධව, ප්‍රබුද්ධත්වයත් සමඟ පැන නැඟුණු ,  තාර්කිකත්වය වෙත යොමු වූ අරමුණු ඇත. විද්‍යාත්මක විමර්ශනය සහ විෂයමූලික (වාස්තවික) සත්‍යය කෙරෙහි අවධානය යොමු කිරීමක් කරයි. සාම්ප්‍රදායික දැනුම ප්‍රවේණිගත මාලිමා යන්ත්‍රයක් වැනි නම්, නවීන දැනුම GPS යන්ත්‍රයක් වැනිය, ලෝකය හැකිතාක් විෂය මූලිකකව සහ විශ්වීය ලෙස සිතියම්ගත කිරීම අරමුණු කරගනියි. නූතන ඥාණවේදයේ දී, දැනුම ලැබෙන්නේ නිරීක්ෂණ, පරීක්ෂණ, අත්හදා බැලීම් සහ තාර්කික විශ්ලේෂණයන් මගිනි. මෙම පැතිමානය තුළින්  අද අප දන්නා බොහෝ විද්‍යාවන් හා තාක්‍ෂණයන් වර්ධනය වී ඇත්තේ  “සත්‍යය පවතින්නේ පිටත” “the truth is out there,”  වැනි අදහස් මත පිහාටා ය. ඒ ඔස්සේ   අපට එය නිවැරදි මෙවලම් සහ ක්‍රමවේද සමඟින් සොයාගත හැකිය යන්න සත්‍යය ලෙස පිළිගනී.

පශ්චාත් නූතන ඥාණවේදය(Post Modern Epistemology): නූතනත්වයේ නිශ්චිතභාවයට අභියෝග කරයි, සංශයවාදය, සාපේක්ෂතාවාදය සහ “මහා ආඛ්‍යාන” හෝ විශ්වීය වශයෙන් පිළිගත් සත්‍යයන් විසංයෝජනය කිරීම කෙරෙහි අවධාරණය කරයි. එමගින් පෙන්නුම් කරන්නේ දැනුම සමාජමය වශයෙන් ගොඩනඟන ලද සහ බලයෙන් පිරී ඇති දෙයක් ලෙස ය.
දැනුම විශ්වීය හෝ වෛෂයික නොවන නමුත් සමාජ, සංස්කෘතික සහ ඓතිහාසික සන්දර්භයන් විසින් ගොඩනගනු ලබන බව අවධාරණය කරමින් පශ්චාත් නූතන ඥාණවේදය නූතන ප්‍රවේශයට අභියෝග කරයි. පශ්චාත් නූතනවාදය ඕනෑම “තනි සත්‍යයක” ඇති විශ්වසනීයත්වය ප්‍රශ්න කරන අතර යථාර්ථයේ එක් නිශ්චිත සිතියමක් අපට තිබිය හැකිය යන අදහස ප්‍රශ්න කරයි. තවත් විදිහකට අපට කිව හැකි වන්නේ   සෑම කෙනෙකුගේම දෘෂ්ටි පථය වෙනස් බැවින් නිරපේක්ෂක වූ යථාර්ථ සිතියමක්  නොමැති බව ය. පශ්චාත් නූතන චින්තකයින්ට අනුව, එක් එක් සංස්කෘතිය, කාලය සහ පුද්ගලයා ඥාණනය කර ගන්නා සුවිශේෂී මාර්ගයන් අත්පත් කරගෙන ඇති අතර, ඔවුන් බොහෝ විට දකින්නේ එක් “සත්‍ය” යන දැක්ම ස්ථාපිත කිරීමට ගන්නා උත්සාහයන්  බල ක්‍රීඩාවේ හෝ ආධිපත්‍යයේ ආකාරයක් ලෙස ය.
සම්ප්‍රදායික ඥාණවේදය (Traditional Epistemology): සාම්ප්‍රදායික ඥාණවේදය සාමාන්‍යයෙන් ආගමික හෝ අධ්‍යාත්මික විශ්වාසයන් සහ සංස්කෘතික සම්ප්‍රදායන් මත පදනම් වේ. පැරණි ඥාණය මත පදනම්ව මිනිසුන්ට මඟ පෙන්වන පැරණි මාලිමාවක් ලෙස පරම්පරාවෙන් පරම්පරාවට පැවත එන බව පරිකල්පනය කරයි. සංස්කෘතික උරුමයන් හෝ ආගමික මූලධර්ම  අකාලික සත්‍යයන් ලෙස පොදුවේ සම්මත වී ඇත. මෙම දැනුම ජනයා තුල තදින් මුල්බැස ඇති අතර එය දිව්‍යමය හෝ විශ්වයෙන් ලැබුණු දෙයක් ලෙස සලකමින් එයට අනුව ජීවත් වීමට ඇති පිලිගැනීමක් බවට පත් කර ඇත.
භාවිතයේ දී පාර් නූතන ඥාණවේදය
භාවිතයේ දී , විවිධ සංස්කෘතික පර්යාවලෝකයන් සහ ඥාණ සම්ප්‍රදායන් වැලඳ ගන්නා විෂය පථ දිරිමත් කරන්නා වූ අධ්‍යාපනය වැනි ක්ෂේත්‍රවල දී පාර නූතන ඥානවේදය ගැලපිය හැකිය; තිරසාරත්වය, විද්‍යාත්මක සහ ස්වදේශීය පාරිසරික දැනුම යන දෙකටම ගරු කරන භාවිතයන් ප්‍රවර්ධනය කිරීම මගින්  සමාජ සාධාරණත්වය, සංස්කෘතික, ආර්ථික සහ පාරිසරික අන්තර් සම්බන්ධතාව වෙත ආමන්ත්‍රණය කරන ප්‍රවේශයන් පෝෂණය කිරීම කරනු ලබයි.
පාර් නූතනතන්තය යන්න නූතනත්වයේ හා පශ්චාත් නූතනත්වයේ සහවාදී දිගුවක් ලෙස පැමිණ සමෝධානය වනු ලබන්නේ සාම්ප්‍රධායික හරයන් සමඟ සාකල්‍යවාදී අපෝහකත්ව ස්වරූප ගැනීමෙනි. මේ නිසා පාර්නූතන ඥාණවේදයට ප්‍රතිමුක වන  නූතන සහ පශ්චාත් නූතන ඥානවේදයන් සමඟ සම්ප්‍රධාය ස්ථානවගත වන්නේ හෝ මේ සමස්ථය විපරිවර්තනීයත්වයට පත්වන්නේ කෙසේද යන්න සමඟය. එහි අවසාන විනිසුරුවා වන්නේ මානව සහ පාරිසරික සාධාරණත්වය වන බැවින් පාර් නූතනත්වය යනු විශ්වීයත්වයට යොමු වූ පුළුල් දාර්ශනික ක්‍රියාමාර්ගයකි.

පෙර ලිපි

More From Author

රත්නපුර ලේඛක සංසද⁣යේ සාහිත්‍යය සමිමන්ත්‍රණයක්

නිර්ධන පන්ති පක්ෂයක් සඳහා අරගලය: 11-I

Leave a Reply

Categories

LDM Columns