විසිවන සියවස තුළ ප්‍රබල ලේඛකයෙක් සහ දාර්ශනිකයෙක් ලෙස ඉස්මතු වූ ප්‍රංශ ජාතික ඇල්බෙයා කැමූගේ රචනා එකතුවක් වන “Personal Writings”

කෘතියේ සිංහල පරිවර්තනය, “කැමූ සිතුවිලි” නමින් නොබෝදා පළ කෙරිණි.
රසකතා ප්‍රකාශන ආයතනයේ ප්‍රකාශනයක් වන “කැමූ සිතුවිලි” මහේෂි වීරකෝන්ගේ පරිවර්තනයකි.

නවකථා සහ දාර්ශනික රචනා වන, ඇල්බෙයා කැමූගේ අනෙක් කෘතීන් වලින් වෙනස් මේ කෘතියේ බොහෝ සෙයින් අන්තර්ගත වන්නේ ඔහුගේ පුද්ගලික අත්දැකීම්, අදහස් සහ හැඟීම් ය. “කණපිට සහ හොඳපිට”, “සරණ මංගල්‍යය”, “ගිම්හානය” යනුවෙන් නම් කෙරුණු කොටස් තුනකින් යුතු, කාව්‍යමය මෙන්ම දාර්ශනික වන මෙම රචනා එකතුව, ජීවිතය කෙරෙහි කැමූ තුළ ඇති ආදරයත්, අපේක්ෂාවත් පිලිබිඹු කරන අතර, පසු කාලීනව ඔහුගේ ලේඛන සහ දාර්ශනික චින්තනය පොහොසත් කළ, විශේෂයෙන් ඔහුගේ දාර්ශනික චින්තනයේ පදනම වූ “විකාරරූපීත්වය” ගොඩ නැඟූ අදහස් කරා ඔහු කැටුව ආ මඟෙහි ඇරඹුම පාඨකයාට පෙන්වා දෙයි.
කණපිට සහ හොඳපිට
මෙම රචනා එකතුවේ එන ගද්‍ය තුළින් කැමූ ජිවීතය, මහළු විය, මරණය, හුදකලාව සහ සංචාරය වැනි ප්‍රස්තුතයන් ගවේෂණය කරයි. මේ රචනා තුළ එන මුඩු බවත්, බලාපොරොත්තු විරහිත බවත්, අඳුරු හාස්‍යයත් කැමූ මුහුණ පෑ රෝගී තත්වයන් සහ විවාහ දිවියේ ගැටළු වලින් විඩාවට පත් කාලපරිච්චේදයක නිපැවුමක් වෙයි.
මෙහි දකින්නට ලැබෙන, කැමූගේ සදාචාරය පිළිබඳ ගවේෂණය උපදේශාත්මක එකක් නොවේ. ඒ වෙනුවට, එය මිනිස් තත්වය ගැන මෙනෙහි කිරීමට කෙරෙන ආරාධනාවකි. ජීවිතයේ විකාරරූපීත්වය හඳුනාගැනීමෙනුත්, අවිනිශ්චිතතාවයට මුහුණ දීමේදී අවංක වීමට සහ අනුකම්පා සහගත වීමට තෝරා ගැනීමෙනුත් සැබෑ නිදහස සහ අව්‍යාජභාවය දිනා ගත හැකි බව ඔහු කියයි.
සරණ මංගල්‍ය
“සරණ මංගල්‍ය” යනු සෞඛ්‍ය හේතූන් මත ඇල්ජීරියාවෙන් පිටව ගිය පසු කැමූ ලියූ පළමු කාව්‍යමය රචනා එකතුවයි. එහි දී, කැමූ කවියෙකුගේ සංවේදීතාවයෙන් සහ දාර්ශනිකයෙකුගේ ගැඹුරින් යුතුව තම උපන් දේශයේ භූ දර්ශන, මුහුද සහ අහස සමරයි. මේ ගද්‍ය එකතුවේ සෑම රචනාවක්ම සොබාදහමේ සුන්දරත්වය, විශ්වයේ උපේක්ෂා සහගතබව සහ ප්‍රීතිය ගැන මිනිස් අත්දැකීම පිළිබඳ ආවර්ජනාවකි.
කැමූ සොබාදහම පිළිබඳව ලියන්නේ මිනිස් පැවැත්මේ හුදු පසුබිමක් ලෙස නොවේ. මිනිස් විඥානය හැඩගසන බලවේගයක් ලෙස එය සමරන ඔහු, මිනිස් පැවැත්මේ තාවකාලික බවට එරෙහිව, සොබාදහමේ සදාතනික බව කාව්‍යාත්මකව පිංතාරු කරයි.
ගිම්හානය
ගිම්හානය තුළ වඩාත් පිරිපහදු වූ ලේඛන ශෛලියක් දිස්වෙයි. ඒ තුළ එන ගද්‍යන් වල කැමූගේ අදහස්ද වඩා ඉසියුම් වන අතර, ඔහු මිනිස් පැවැත්මේ ප්‍රතිවිරෝධතා සමඟ පොරබදමින් සිටින බව පාඨකයාට පෙනෙයි.
“ගිම්හානය” රචනා එකතුවේ කැපී පෙනෙන අංගයක් වන්නේ නූතනත්වය පිළිබඳ කැමූගේ විවේචනය සහ වඩාත් ස්වාභාවික, අව්‍යාජ ජීවන රටාවක් ආරක්ෂා කිරීමට ඔහු තුළ ඇති නැමියාවයි. එය, නාගරික ජීවිතයේ නිසරුබව සහ කෘතිම බව විවේචනය කරමින්, ස්වභාවධර්මයේ බලවේග වෙත නැවත පැමිණීමක් වෙනුවෙන් පෙනී සිටී. මෙය ප්‍රාථමිකවාදය සඳහා වන කැඳවීමක් නොව මිනිස් ජීවිතයේ සමබරතාවයේ සහ සංගතබවේ වැදගත්කම හඳුනා ගැනීමකි.

කැමූ සිතුවිලි කෘතිය තුළින් ඇල්බෙයා කැමූ සිය කාව්‍යමය රචනා හරහා පාඨකයින්ට ලෝකයේ සුන්දරත්වය, මිනිස් අත්දැකීම්වල සංකීර්ණත්වය සහ අර්ථය සඳහා වන සදාකාලික ගවේෂණය ගැන මෙනෙහි කිරීමට ආරාධනා කරයි. උදාසීන විශ්වයක් තුළ වඩා අව්‍යාජ ලෙස ජීවත් විය හැක්කේත්, ප්‍රීතිය සහ අරමුණ සොයා ගත හැක්කෙත් කෙසේද යන ප්‍රඥාව ඔහුගේ නිර්මාණය අපට පිරිනමයි. මෙහි අන්තර්ගත වන අදහස් සර්වකාලීන වන අතර, ඒවා ජීවිතය කෙරෙහි වන අපේ අපෙක්ෂාවන් සහ ප්‍රේමයද පොහොසත් කරයි.

ප්‍රවීණ සේනාධීර-Praveena Senadheera





