රණවිරුවා ද සෙබළා ද?

මම ලියන්නෙක්මි.අනෙක් සියලු කටයුතු අනුපාන වශයෙනි..
මගේ පුවත්පත් බස  කෙනෙකුගේ රැකියාව,කථාකරන බස,දෘෂ්ටිවාදය,ආගම,ලිංගිකත්වය අනුව විශේෂණ පදවලින්  සකස් නොවෙයි.
විශේෂයෙන් ම ගැටුම් වාර්තාකරණයේදී ගැටුමෙහි සිටින පාර්ශ්වයක් වෙත ඇති ළැදියාවට වඩා වැදගත් වන්නේ ගැටුම නිසා පීඩාවට පත්වන්නන් පිළිබඳ නිවැරදි වාර්තාකරණයයි.

මෙහිදී ජොහාන් ගල්ටූන්ගේ ගැටුම් සමථනය පිළිබඳ සිද්ධාන්ත, ඉතිහාස තොරතුරු ලේඛනගත කිරීම පිළිබඳ ඊ.එච්.කාර්ගේ අදහස් යනාදී ඉගැන්වීම්වලින් ලද එළිය ද ජනමාධ්‍ය ආචාර ධර්මද වැදගත් වෙයි.
ඒ අනුව අද වෙන තුරු මගේ කිසිදු පුවත්පත් ලිපියක රණවිරුවා,කොටියා,අතිගෞරවනීය පූජ්‍යපාද යනාදී යෙදුම් භාවිතයට ගෙන නොමැත.
භාවිත යෙදුම්.

යුද හමුදා සාමාජික
හමුදා සෙබළ
සොල්දාදුවා
එල්ටීටීඊ සාමාජික
අල්කයිඩා සාමාජික
ගරිල්ලා කණ්ඩායම
ජුන්ටාව
භික්ෂුව
පියනම
පූජක
ජනාධිපති

යනාදී වශයෙනි.තමා අයත් කුලය,ආගම,ජාතිය යනාදිය ප්‍රවර්ධනය කිරීමේ අභිලාෂය ගැටුම් වාර්තාකරණය සමග පටලවා ගත යුතු නැත.

වෛද්‍ය සාෆි ගැන අතේ රෝලක් දිවයින ප්‍රධාන පුවත්පතෙහි පළ කිරීමේදී  ශීර්ෂපාඨය සඳහා “තවුහිද් ජමාද් දොස්තර”යනුවෙන් යොදා තිබුණි.රචකයා නියෝජ්‍ය කර්තෘ යැයි කියනු ලැබේ.ජනමාධ්‍ය සංස්කෘතිය එරී ඇති ගොහොරුවේ තරම පෙනේ.

ආයුධවලින් කරන වෙඩි තැබීමට වඩා වචනවලින් වෙඩි තැබීම භයානක ය.
ගුරුවරයා,ලිපිකරුවා,සොල්දාදුවා වැටුප් ලබන රාජ්‍ය සේවකයෝ ය.
ලබන වැටුපට අදාළ රාජකාරිය ඔවුන් කළ යුතුය.

යුද්ධයකදී ඇති ජීවිත අනතුර නිසා සොල්දාදුවාට ගෞරවයෙන් ඇමතීම සහ  ඔවුන්ගේ දරුවන්ට පාසල්වල විශේෂ කෝටා ලබාදීම වැනි කටයුතු කළ යුතුය යනුවෙන් මතයක් සමාජගත කර ඇත.යුද්ධය අවසන් වී සෑහෙන කලක් ගියත් එම කෝටාව තවමත් ක්‍රියාත්මක වේ.එවැනි විශේෂ කෝටා ක්‍රමයක් තිබීම අනෙකුත් වෘත්තිකයන්ට ඇති කරන සිත් රිදීම පිළබඳ සිතා බලා තිබේද?
යුද්ධයකදී ආයුධ අතට ගත් සොල්දාදුවාගේ ජීවිතවලට ඇති අනතුරට සමාන්තරව සෑම වෘත්තිකයෙකුටම පටි තද කර ගැනීමට සිදුවේ.ජීවත්වීම දුෂ්කර වේ.නිශ්චිත වෘත්තියක් නැති මිනිහා හිඟමනට ම වැටේ.

යුද්ධය තීව්‍ර වන අවස්ථාවල හමුදා රැකියා සුලබ වේ.විරැකියාවෙන් පෙළෙන තරුණ පිරිස් ලාබ රැකියාව කරා ඇදෙති.සෙබළා මළත් අවවරප්‍රසාදිත දෙමව්පියන්ට ජීවත්වීමේ මගක් හැදේ.
ඒ අතර යුද්ධයේ පීඩනය සමාජය වෙලාගෙන පැතිරෙයි.
යුද්ධය තීව්‍ර වන සමයක මෙසේ ලිවීම ගුටි කන වැඩක් බවට පත් වෙයි.ලියන්නාට ද්‍රෝහියා යැයි දොස් නැගෙයි.දැන් ආයුධ යුද්ධයක් නැත.ඒ නිසා මේවා කථා කළ හැක.

2015 ජනාධිපතිවරණය සඳහා ⁣පොදු අපේක්ෂකයා ලෙස මෛත්‍රිපාල සිරිසේන ඉදිරිපත් කළ විට ඔහුගේ ජය වෙනුවෙන් කටයුතු කළ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංගට ප්‍රසිද්ධියේ අපහාස කළ ගලගොඩ අත්තේ ඥානසාර නමැති භික්ෂුව “කොටි දෙන” යෙදුම භාවිත කළේය.ජනමාධ්‍ය කිසිම වගවිභාගයක් නැතිව එය ප්‍රසිද්ධියට පත් කළේය.චෝදනාවට ලක්වූ තැනැත්තියගේ ප්‍රතිචාරයක් පළ නොකෙරිණ.

යුද වාර්තාකරණ විෂයෙහි විශිෂ්ට තැනැත්තයක වූ බ්‍රිතාන්‍යයේ  Sunday Times වාර්තාකාරිනී මාරි කොල්වින් ලංකාවට පැමිණ යුද භූමියට ගොස්  ගැටුමේ පාර්ශ්ව දෙක අතර සිට ගත්තාය. වෙඩි පහරකින් ඇගේ ඇසක් විනාශ විය.ලංකාවේ මාධ්‍ය ඇය හැඳින්වූයේ “කොටි දෙනක්” ලෙස ය.

එසේ ලියූ ලියන්නෝ අගනුවර පත්තර කන්තෝරුවලට වී යුද්ධ වාර්තාකරණයෙහි යෙදුණහ.
මාරි කොල්වින් 56වැනි වියෙහිදී ෂෙල් ප්‍රහාරයකින් මිය ගියේ තනි ඇසක පෙනීම ඔස්සේ සිරියාවේ  ගැටුම් වාර්තාකරණයට ගිය ගමනේ දීය.ඇය වසර 25ක් අභියෝගාත්මක වාර්තාකරණය සඳහා කැපවී තිබිණ.

ගැටුමට මැදිවූ සාමාන්‍ය ජනතාව පිළිබඳ වාර්තාකරණය ජනමාධ්‍යයෙන් ගිලිහී යන්නේ වාර්තාකරුවා ගැටුමෙහි පාර්ශ්වකරුවෙකු වන්නට යෑමෙනි.

රණවිරුවා සහ ද්‍රෝහියා

80දශකයෙහි දකුණෙහි ජවිපෙ ක්‍රියාධරයන් මර්දනය පටන්ගත් මොහොතෙහි ජනාධිපති ජේ.ආර්.ජයවර්ධන කැරලිකරුවන් හැඳින්වූයේ මෘගයන් ලෙසය.ජවිපෙට හමුදාව පෙනුණේ ද්‍රෝහීන් ලෙස ය.
හමුදාව උතුරෙහි මෙහෙයුම් දියත්කරන විට ජවිපෙට හමුදාව පෙනුණේ රණවිරුවන් ලෙසය..

උතුරේ මෙහෙයුම් සාර්ථකව දියත් කළ සොල්දාදුවන් ජනපතිනි චන්ද්‍රිකා අතින්  රණවිරුවන් ලෙස සම්මාන ලබන විට ඇගේ පාලනයෙහි පාර්ශ්වකරුවෙකු වූ ජවිපෙද  එම රණවිරු වන්දනාව සමග හිටගත්තේය. ඇඹිලිපිටිය සිසු ඝාතනයට චෝදනා ලැබුවෝ ද මෙකී රණවිරුවන් අතර වූහ.පැරී ලියනගේ එක් අයෙකි.
ඒ අවස්ථාවෙහි ජවිපෙට එල්ල වූ චෝදනාවට ලද පිළිතුර වූයේ ඓතිහාසික තත්වයන් අනුව එය එසේ වන බවය.එය එසේ වූ නිසා ම ජවිපෙ වත්මන් නැඹුරුවෙහි වටිනාකම අහෝසි නොවේ.

යුද සැමරුම් දිනය දා ජනපති අනුර දිසානායක කළ කතාවෙහි ඓතිහාසික වටිනාකමක් ඇත. එනම් යුද්ධයෙන් පසුව රාජ්‍ය නායකයෙකු පළමු වරට ගැටුමෙන් මිය ගිය සියලු දෙනා මනුෂ්‍යයන් හැටියට පිළි ගැනීමය.

රණවිරු යෙදුම අතහැර සෙබළා යන යෙදුම භාවිත කිරීම ය.
ආණ්ඩුව වට්ටන්නට බලා සිටින දේශපාලන ගැන්සියට,කළු මාධ්‍ය හා කුඩු මාධ්‍යයට මෙය හොද්ද බොරකර ගැනීමක් විය.

ජාතිවාදයේ විසකුරු ගිනි පිඹින වීරවංශ පසුපස ගුණදාස අමරසේකර නමැති වයෝවෘද්ධ ලේඛකයා ගාට ගාටා ගොස් රණවිරු සැමරුම් පොකට් සංදර්ශනයකට සහභාගි වෙන අයුරු හාස්‍යයෙන් බලා සිටියෙමි.

ඉතිහාසයෙහි මුල් වරට උතුරු,දකුණු,කඳුරට බහුතර ජන කැමැත්තෙන් ජනපතිවරයෙක් පත් විය.එහෙත් කනගාටුවට කරුණ වන්නේ  එම ජනවිවිධත්වය නියෝජනය වන කිසිවක් හරිහැටි සැලසුම් නොවීම නිසා ලංකා සිතියමෙහි උතුර සහ කඳුරට නැවත නැවත බොඳ වෙමින් තිබීම ය.

ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පාලන සමයේ වාසුදේව නානායක්කාර ඇමතිවරයාට භාර දී තිබූ භාෂා අමාත්‍යාංශය එකල පැවති තත්වය අනුව කළු වලාවක රිදී රේඛාවක් විය.හරිහැටි ප්‍රතිපාදන නැතත් වාසු උපරිමයෙන් වැඩ කළේය.එම විෂය පථය කුමක් හෝ අමාත්‍යාංශයක වලිගයක් ලෙසවත්  එල්ලා ඇති දැයි නොදනිමි.

ඒ ගැන මීට වඩා අවධානයක් යොමු කිරීම මේ මොහොතේ වැදගත්ය.

රණවිරුගාය ඇවිස්සීම දේශප්‍රේමය අඩයාළමක් කරගෙන බලය ලබාගන්නා අයගේ කෙටි මාර්ගයකි.එම ගාය නිට්ටාවට හොඳ වෙන බේතක් දිය යුතුය.මෙරට දිවි ගෙවන සෑම රටවැසියෙකුම ශ්‍රී ලංකිකයන් හැටියට පිළිගන්නා සමාජයක් නිර්මාණය කිරීමේ එක් පියවරකි එය.

More From Author

මගේ විඳුම් ලොව  

නිෂ්පාදනය, සොබාදහම හා මාක්ස්වාදය

Leave a Reply

Categories

LDM Columns