මගේ විඳුම් ලොව  

කෘතියේ නම     :- මං අමුතු පෙම්බරියක්.

කිවිඳිය               :- ප්‍රියංගිකා ශ්‍යාමලී.

මං අමුතු පෙම්බරියක්  සේම ශ්‍යාමලීගේ ඇතැම් කවි ද අමුතු ය.මගේ විඳුම් ලොව රස නිෂ්පත්තියට හේතු වූයේ ඒ අමුතුකම ය. එ  සේ හෙයින් ඒ ඇතැම් අමුතු කවි ” ශ්‍යාමලීගේ කවි ” ලෙස  නම් තැබීමි. එහෙත් ඒ ඇතැම් කවි මෙහි  ළා නම් තැබීම  සදාචාරයට පටහැනියැයි මම හඟිමි. මක්නිසාදයත් මා නොවිඳි කවිද  ඔබේ මනදොළ පුරවනු ඇතැයි මා සිතන බැවිනි.

මා  ශ්‍යාමලී  සමග  එකඟ  වන  මූලික කාරණාවක්  තිබේ.කවිය ඇත්තේ ලියන පදවල නොව පද වලින් පිටත ය.ඉන්  ඔබ්බෙහිය යනු කවිය පිළිබඳ මගේ  ආස්ථානයයි. මට ශ්‍යාමලිගේ ඇතැම්  කවි යනු ඒවාය.

කවිය පිළිබඳ අවසන්.විනිශ්චයක් හෝ නිර්වචනයක් තවමත් නිපදවා.නැති බැවින් හා එය කිසිකලෙකත් නො නිපදවෙන බැවින් කවිය පිළිබඳ මගේ ආස්ථානයේ මම තව දුරටත් රැඳී සිටිමි. අතීතයේ පටන් ඇතැම් පඬිවරු ද කවිය යනු මේ යැයි කියන්නට උත්සාහ කළහ. ඒ මතවාද කිසිවක් මෙහි උලුප්පා නොදක්වමි. කිවහැකි වන්නේ ඒ මතවාද සමඟ එකඟතාවකට පැමිණිය නොහැකි බව පමණි. ඒ අර්ථ ගැන්වීම් වලින් නිරූපණය වන්නේ  කවියේ එක් පාර්ශවයක් පමණක් බැවිනි.

මට නම් කවිය යනු ඉසියුම් නිර්මාණ කාර්‍යයකි.භාෂාවේ ව්‍යඥජන ශක්තිය  කාව්‍යයෝක්තිය තුළ ට අවශෝෂණය වූ විට ය අපූර්ව නිර්මාණ බිහිවන්නේ. මට මේ අමුතු පෙම්බරියගේ පළමු නිර්මාණය තුළ ම ඒ අපූර්වත්වය මුණ ගැසිණ. එය ශ්‍යාමලීගේ කවි ලෙස මා නම් තැබූ එක නිර්මාණයකි.. එහෙත් අවාසනාව මට ඒ කවිය මගේ වචනවලින් ලියන්නට බැරිය. අපේ මහ කවියා ” කේයස් ගේ” සුදෝ සුදු හී පළමු කවිය මට මගේ වචන වලින් .. ගොඩ මඩ දෙකම සරුසාරය.යනාදී වශයෙන්…… මගේ වචන වලින් ලියන්නට හැකි නමුත් ශ්‍යාමලීගේ අමුතු පෙම්බරියගේ පළමු කවිය මගේ වචන වලින් ලියන්නට බැරිය. අර්ථය වෙනස් විය හැකි බැවිනි.කවියක සැබෑ අරුත තවකෙකුගේ වචන වලින් කියන්නට හැකි නම් ඒ කවිය කවියක් නොවේ.

ගිම්හානය  කෙමෙන් පහව ගිය විට. කඳු සහිත වනපෙතෙහි සිදු වූ චමත්කාරය  ශ්‍යාමලී ඇගේ වචන වල.නොව වචනයෙන් පිටත ඇය නිපදවන කවිය තුළින් අපට විඳින්නට දෙන අපූර්වත්වය කොපමණ   සිත්කළුද? කොපමණ විසිතුරු ද? කොපමණ ව්‍යංග ද.? කවිය පවතින්නේ පදවලින් පිටත බව මම කීවෙමි.පළමු කවියෙන්ම ඇය එය සනාථ කළාය.ඇගේ වචන වලින් ම එය විඳිනවා මිස වෙන කරන්නට දෙයක්නැත.

ගස්සා උරිස්   – ගිම්හාන පත් බිම සැලූ
ඈ තුරු ළඳක්.

උරා බී  මීදුම්   –  පපුව පුම්බා මත් වූ
කඳු හාදයෙක්.

වළාකුලු අත – පෙම්පත් දුන්නා ද?.

දුරින් හිඳ  – නෙත් සරය පෑවා ද?.

සුළඟේ දවටාවත්  කිසිත් යැව්වා ද?.

කවුරු දන්නෙහි ද කාරණ.

එක පෙළට වරුසා
ගොන්නකට පසු.

ලදලු පීදී.

අන්න  දැන් ඈ ගැබ්බරින්.

                 ****           ****

ගිම්හානයට පසු නව දලු මල් පිපෙන වන පෙත ඇය දැක්කේ එ සේ ය.

සැබැවින්ම කවිය අපට ලබා දෙන්නේ ප්‍රඥාවේ ත්‍යාගයකි. චමත්කාරයේ ත්‍යාගයකි. එසේ ම කවියේ යහපත්ම මිතුරා සතිය යි.සතිය යනු මේ දැන් එළැඹ සිටි  සිහියෙන් යුක්ත වීමයි. කොයි කවදත් සිතුවිලි අපට තිබෙන්නේ එකකට පසු එකක් බැගින් අතරමං වීමටය.කවියෙකු හෝ කිවිඳියක වීම අසීරු නොවන්නට නම් මේ තුං මං හන්දියේ දී පාර වරද්දා නොගත යුතුය.එළඹ සිටි සිහියෙන් යුතුව, සිතුවිලි අතර අතර මං නොවී , නිහඬබව සමග සුසංයෝගී වූ මොහොතක, කොහෙන් හෝ ඇවිත් මනසට රිංගා ප්‍රඥාව අවදි කරවන ඇතැම්  වචන, පදවැල්, කරදර කරන හැටි දන්නේ ඒ කාරියෙහි නිරතවන අය ම මිස අන් කවරෙක් ද?.ඉතිං ඒ මොහොතෙහි ලියන්නට බල කරන ,ඔහේ ගලාගෙන එන වචන ඔස්සේ විශ්වයේ රටා සමුදාය වටහා ගන්නා නිර්මාණ කරුවෙකුගේ ආවේශය අප තේරුම් ගත යුත්තේ, ඇය හෝ ඔහු ඒ ලියන්නේ තමන්ගේ භාව ලීලාව නොව විශ්වයේ භාව සමුදාය බවයි. නිර්මාණ කාරිය යනු මෙය යි.කුසලතාවය යනු ද මේ නිසඟ ක්‍රියාවලිය මනසින් අල්ලා ගැනීමයි. අපේ ම කවියෙකු” කවියෙකු වීම ද දිනු වැනි සෑසී “යැයි කීවේත් ඒකටමය.

මට කියන්නට උවමනා කළේ නිර්මාණ කාරියෙහි ඇති ලෞකික හා ලෝකෝත්තර ගති ස්වභාවයයි.කවියක් නිකම්ම නොලියවෙන බවයි. මා හඳුනාගත් ශ්‍යාමලීගේ ඇතැම්  කවි බොහොමයක ,ඇයගේ සිතින් අල්ලා ගැනීමක් සේ පෙනෙන මේ කුසලතාව මම දුටුවෙමි.

ඇයගෙ කවි අතර වන ප්‍රේමයද  කුටුම්බ ගත ප්‍රේමය තුළ ආලෝලනය වන්නට ඇය ඉඩ හැරීමෙන් මා වටහා ගත්තේ ඕ එළඹ සිටි සිහියෙන් නොහොත් සතියෙන් යුතුව මේ දැන් ඇගේ නිර්මාණ කාරියෙහි යෙදෙන බවයි.  අතීතය හෝ අනාගතය ගැන ඇය වද  නොවෙයි.අනික හැම මොහොතම ඇයට කවියේ මොහොතකි.ඇයට හැම තැනම කවි තිබෙයි.

කුටුම්බ ගත ප්‍රේමය සමග මුසු කළ ඒ කවිය තුළ මට ජීවිතය විඳින පෙම්වතියක් හමුවිය.ශ්‍යාමලී හැඟීම් විනිවිදින නිර්මාණ කාරියකි.පෙම්බරියකගේ කඳුලක පෙම්කෙළින පෙම්බරයකු පිළිබඳව නිදියනක අත්දැකීම් කලාපයක ගොනුකළ මේ කවිය දෙස බලන්න.එහෙත් මට එය මගේ වචන වලින් කිව නොහැකිය.ඒ හෙයින් ඇයට ම ඉඩදෙමි.

ඉඳ හිට දවසකදි- ලුණු රහ වෙනව
ප්‍රේමය.

නිකටෙ අත් ගහගෙන – බලා ගත් අත
බලා ඉන්නව  –  හදවත.

කතා පෙට්ටිය වහල- ඉබි යතුරු දැම්මට
දෙතොලට.

අමතකවුණු ඇඟිලි- රිංගන්න යනව
රැවුල් ගස් මැද්දට.

මූණ හරවන් ඔච්චමට-හිනහ වෙනකොට
අහකට

ඇදල අරගෙන අත-හදාගන්නව අමාරුවෙන්
හිත

එහෙම දවසක-බත ඉදෙන්නෙත් නෑ
හනිකට

හිතුවකාරකම….!

අනේ ලුණු රහ එපා   – ප්‍රේමයට

            ****                   ****
රළ තමන් ජළයම පමණක් බව වටහා ගන්නා මොහොතක සමහර විට පෙණ කැටි නැගීම නවතා දමනු ඇත.එවිට ලෝකයෙහි සුන්දරත්වය වැනසී යාවි. ඒහෙයින් අපි රළ රළ ලෙස  දකින්නටත්, ජළය ජළය ලෙස  දකින්නටත් පුරුදු වෙමු.අගය කළ යුතු නම් එය අගය කළ යුතුමය.නිර්මාණ කාර්‍යයට වංශවත් බවක් ආරෝපණය කළ යුතු නොවේ.ශ්‍යාමලී සිංහල කවියට අලුත් විය හැකිය.මටනම් ඇය පරිණත කිවිඳියකි.ඇයගෙ කවි පොතෙන් භාගයකටත් වඩා ශ්‍යාමලීගේ කවි ලෙස නම් කළෙමි. එහෙත් ඒවා සියල්ල මෙහි උපුටා දැක්විය නොහැක.

මේ මගේ විඳුම් ලොවය.

ඇයට තව බොහෝ දුර යා හැකිය.

ඉතිං ඇයට මං අමුතු පෙම්බරියක් වූ හැටි කියන්නට ඉඩ  දී ඇයට සුබ පතමි.

ශීත සෘතුවකින්  අරන් ආවාට හිම කැටයක්.
වසන්තයකින් නෙලා දුන්නාට මල් පොකුරක්
ගිමත් උණුහුමකට තුරුලු වෙන
මං අමුතු පෙම්බරියක්.

More From Author

රට ජාතිය ගොඩ නගන මාලිමා – ජවිපේ “සමාජ ගිවිසුම” කුමක් ද පළමු කොටස:

රණවිරුවා ද සෙබළා ද?

Leave a Reply

Categories

LDM Columns