ජාත්‍ය‍යන්තර කාන්තා දිනය හා ක්ලාරා සෙට්කින්


මාර්තු මස 08 වැනිදාට යෙදී තිබෙන ජාත්‍යන්තර කාන්තා දිනය හා සමගාමීව නිතැතින් ම කියැවෙන ප්‍රමුඛ නාමයකි ක්ලාරා සෙට්කින්. ජාත්‍යන්තර විප්ලවවාදිනියන් ගැන සිදු කෙරෙන සාකච්ඡාවල දී ඇයගේ භූමිකාව පිළිබඳ කතිකාව කිසි කලෙකත් මඟහැර යා නොහැකි ය.
1857 ජූලි 05 වැනි දින ජර්මනියේ දී උපත ලද ඇය පසු කලෙක ජර්මන් සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්‍ෂයේ ක්‍රියාකාරිනියක වූවා ය. රට තුළ දී තව දුරටත් ස්වාධීන සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්‍ෂය, ස්පාර්ටකස් ලීගය (පසුව කොමියුනිස්ට් පක්‍ෂය බවට පත් වූ) හරහා වාමවාදී දේශපාලන ක්‍රියාකාරීත්වයට අඛණ්ඩව තම දායකත්වය ලබා දුන් ඇය අවසන් කාලය සෝවියට් සමූහාණ්ඩුව තුළ ගත කළාය. 1933 ජුනි මස 20 වැනි දින මොස්කව් හි දී ඇය සිය විප්ලවවාදී දිවිසැරිය නිමා කළා ය.
1910දී ඩෙන්මාර්කයේ, කෝපන්හේගන් නගරයේ පැවැති ජාත්‍යන්තර කාන්තා සමුළුවක දී ක්ලාරා සෙට්කින් ජාත්‍යන්තර කාන්තා දිනය පිළිබඳ යෝජනාව ඉදිරිපත් කළා ය. එයට සහභාගී වූ රටවල් 17ක නියෝජිතවරියෝ 100 දෙනෙක් එය ඒකමතිකව සම්මත කළහ. නමුත්, එහි දී දිනයක සඳහනක් නොවී ය.
1908දී ඇමෙරිකා එක්සත් ජනපදයේ කාන්තාවෝ 15,000ක් පමණ වැඩ කරන පැය ගණන අඩු කිරීම, වඩා හොඳ වැටුප් සහ ඡන්ද අයිතිය ආදිය ඉල්ලා නිව්යෝක් නගරයේ පෙළපාළි පවත්වා ඇත.
මෙම පසුබිම මත කෝපන්හේගන් සමුළුවේ යෝජනාව පරිදි 1911දී පළමුවරට ඔස්ට්‍රි‍යාව, ඩෙන්මාර්කය, ජර්මනිය සහ ස්විට්සර්ලන්තය කාන්තා දින සැමරුම් පවත්වා ඇත.
1917දී රුසියාවේ සාර් රජුට එරෙහිව “පාන් සහ සාමය” ඉල්ලා කාන්තාවන් විසින් සිදු කරන ලද උද්ඝෝෂණ රුසියානු විප්ලවයේ සන්ධිස්ථානයකි. උද්ඝෝෂණ ඇරැඹී දින 4කින් පසු සාර් රජු බලයෙන් ඉවත් විය. එම දිනය වන්නේ ‘මාර්තු 8’ වැනිදා ය.
රුසියාව ඇතුළු රටවල් රැසක් මාර්තු 08 නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇත. චීනය එදින කාන්තාවන්ට දින භාගයක නිවාඩු ලබා දෙයි. මාර්තු මාසයේ කාන්තාවන් ලද ජයග්‍රහණ සිහිපත් කෙරෙන සැමරුම් ඇමෙරිකාවේ පැවැත්වේ.

“කම්කරු කාන්තාවන්ට ඡන්ද බලය අවශ්‍ය වන්නේ ඇයට ආර්ථිකමය සහ සංස්කෘතිකමය වාසි අත්පත් කර ගැනීමට පමණක් මිස ඇයගේ පන්තියේ ම පිරිමින් සමඟ සටන්වැදීමට නොවේ. පිරිමින් සහ කාන්තාවන් සියලු දෙනා ම සටන් කළ යුත්තේ, ධනපති පන්තියට එරෙහිවයි.”
-ක්ලාරා සෙට්කින්ලාරා සෙට්කින්

More From Author

පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන්  සූර්ය විදුලිබලය ජාතික විදුලි බල පද්ධතියට ඒක් කරයි. 

අන්තර් සමාජ ලීග් රග්බි පාපන්දු තරගාවලියේ මහනුවර පිළට තවත් ජයක්……

Leave a Reply

Categories

LDM Columns