මේ කෙල්ල කොල්ලෙක් එක්ක යාලුවෙලනෙ. බලන්නකො පන්තියෙ මුල් දහදෙනා අතර හිටපු දක්ෂ ළමයෙක්. දැන් වැඩ කරන්නෙත් නෑ හරියට. අර කුඩම්ම කියන ගෑණිගෙ වෙනස්කම් තමා මේකට මුල.
ඒ ළමයගෙ කුඩම්ම හරියට වෙනස් කම් කරනවලු. තාත්ත මෙයාට.නිතර දඬුවම් කරනවලු ඒ ගෑණි කියන එක අහලා.
ගෙදරින් නොලැබෙන ආදරේ පිටින් හරි හොයාගන්න එපෑ ඉතින්. ඒකනෙ ඔය කොල්ලෙක් එක්ක පැටලිල තියෙන්නෙ.
මිස් මෙන්න මේ ළමය එක්ක ටිකක් කතා කරල බලන්න. මට නම් ඕනෑ ඉස්කෝලෙ වැඩ ටික හරියට කරගන්න අර ඉස්සර වගේ.
රේඛාව (සැබෑ නම නොවෙයි) මට එව්වෙ පන්තිභාර ගුරුතුමිය. ඒ ළමය ගුරුවරුන්ට කියපු දේවල් අනුව එයලගෙ feedbacks තමා අර මම මුලින් ලියල තියෙන්නෙ.
ඉතින් පුතේ කුඩම්ම වෙනස් කම් කරනව නේද.
ඔව් මිස්..
මොනවද කරන වෙනස් කම්..
තාත්තට කේලම් කියනව මම පාඩම් කරන්නැ, ගෙදර වැඩ කරන්නෑ කියල.
ඉතින් ඔයා පාඩම් කරනවද ගෙදර.
නෑ මිස්. මට ගෙදරදි පාඩම් කරන්න හිතෙන්නෑ.
ගෙදර වැඩට උදවු කරනවද..
මං මොකටද පුන්චි අම්මට උදවු කරන්නෙ. එයා ඉන්නෙ වැඩ කරන්නනෙ. එයා හදන්නෙ මාව වැඩකාරි කරගන්න.
එයා ගෙදර වැඩ ඔක්කොම ඔයා ලවා කරගන්න හදනව ඒ කියන්නෙ.
නෑ ඉතින්…..
මොනවද එයා ඔයාට කියන වැඩ…
මුලින් නම් එයා ඔය වැලේ තියෙන රෙදි ගෙට ගන්න, පිඟන් කෝප්ප ටික හෝදන්න , ගෙවල් අතුගාන්න වගෙ වැඩ කිව්ව. මං කරේ නෑ. ආච්චි අම්මත් කිව්ව ඔය ගැණි කියන වැඩ කරන්න එපා උඹට එයාගෙ වැඩකාරි වෙන්න වෙයි කියල.
ආච්චි අම්ම කිව්වෙ…
අපේ අම්මගෙ අම්ම.
හ්ම්. එතකොට අම්ම නැති වුනට පස්සෙ ගෙදර වැඩ කරේ කවුද පුන්චි අම්ම එන්න කලින්.
තාත්තයි , මමයි. ආච්චි අම්ම ආව මුලින්ම අම්ම නැතිවුන දවස්වල. ඊට පස්සෙ තාත්තා ඔක්කොම කරේ මම උදවු කරා.
දැන් ගෙදර වැඩ ඔක්කොම පුන්චි අම්මද කරන්නෙ.
ඔව්.
ඔයා අද බත් එකක් ගෙනාවද..
ඔව්
කවුද උයල බත් එක බැඳල දුන්නෙ.
පුන්චි අම්ම.
ඔයාගෙ රෙදි හෝදගන්නෙ ඔයාද..
සමහර වෙලාවට මම. සුදු ගවුම් නම් පුන්චි අම්ම හෝදන්නෙ මම කිලුටු කූඩෙට දැම්මම.
එතකොට එයා ඔයාට කන්න බොන්න දෙනවද හරියට.
ඔව් එයා උයනව.
එහකොට බස් එකේ යන්න සල්ලි දෙන්නෙ තාත්තද..
උදේට ඉස්කෝලෙ එනකොට තාත්ත නෑ. පුන්චි අම්ම රුපියල් 100ක් මේසෙ උඩින් තියනව.
ඔයාට ඇඳුම් අරන් දෙන්න , ආස කරන කෑම ජාති අරන් දෙන්න එහෙම පුන්චි අම්ම එපා කියනව ඇති නේද තාත්තට ..
න් නෑ..
අපි මෙහෙම හිතමුකො. ඔයාගෙ අම්ම හිටියනම් ඔයාට ඔය රෙදි ටික ගෙට ගන්න, පිඟන් ට්ක හෝදල දෙන්න වගෙ වැඩ නොකියා ඉඳීද..
අම්ම එක්ක මං පොඩි කාලෙත් ඒව කරා.
හනේ හනේ අම්මත් පුදුම ගෑණු කෙනෙක් තමයි. එයත් ඔයාව එයාගෙ වැඩකාරි කරගන්නයි හිතල තියෙන්නෙ නේද..
නෑ නෑ මිස්..
එතකොට කුඩම්ම එහෙම කියන්නෙ ඔයාව වැඩකාරියක් කරන්න කියල ඔයා හිතන්නෙ ඇයි.
අම්ම වගේ එයා මට ආදරේ නෑ මිස්..
හරි මට ඔයාව තේරෙනව. ඔයා අවුරුදු 15ක් වයස ළමයෙක්. දැන් ඔයා මේක තේරුම් ගන්න. අම්ම වගේ කවුරුත් ඔයාට ආදරේ කරන්නෑ මේ ලෝකෙ. ඔයා අම්මගෙ ශරීරයෙ කොටසක්. ඒ නිසා අම්මගෙ ආදරේට සීමා නෑ. හැබැයි පුන්චි අම්මට ඔයා වගකීමක් විතරයි. ඔයාගෙ තාත්තා වෙනුවෙන් එයා බැඳිල ඉන්නව ඔයාගෙ වගකීම ගන්න.
අම්මගෙ ආදරේ ඔයාට නැතිවෙල තියෙන්නෙ. ඒක ඔයා පිළිගන්න ඕන. ඒක අමාරුයි. ඒත් ඒ වේදනාවට ඔයා හුරුවෙන්න ඕන.
ඔයා පාඩම් කරන්නෙ නැහැ, ඔයා ගෙදර වැඩට උදවු කරන්නෑ කියල ඔයාගෙ අම්ම හිටියත් තාත්තට කියනව. ඔයා තරහ ගන්නෙ ඔයා පුන්චි අම්මට අකමැති නිසා. අපි පොඩ්ඩක් එයාට කැමති වෙල බලමුද..
ඒත් කොහොමද..
හරි මේ කොලේ ගන්නකො. එක දවසක් ඇතුළත පුන්චි අම්ම ඔයාට ගෙදර ඉන්න පහසු වෙන්න කරන වැඩ ටික ලියමු. ..
කෑම හදනව
රෙදි හෝදල දෙනව
තව……..
කෑම පෙට්ටිය හෝදල දෙනව
කෑවෙ නැත්නම් කෑම බෙදල මේසෙ උඩ වහල තියනව.
කාමරේ අස් කරල තියනනව
පොත් මේසෙ අස්කරල තියෙනව.
උදේට බත් එක බැඳල දෙනව..
.
මම ඔයාට යෝජනාවක් කරන්නම්. අද ගෙදර ගිහින් පුන්චි අම්මට පොඩි උදවු දෙකක් කරල මේ කොලේම ලියාගෙන එන්න.
පුලුවන්ද..
හා මිස්….
හරි දැන් අර කණ්ණාඩිය ඉස්සරහට ගිහින් හිටගෙන ඔයා දිහා බලන්නකො. මං අහන ප්‍රශ්න වලට ඔයා ඔයාටම උත්තර දී ගන්න හොඳද. එහෙම කරන එකට ඔයා අකමැති නම් නොකර ඉන්න පුලුවන්. ඔයා දන්නවනෙ උපදේශන මිස්ගෙ කාමරේදි ළමයි අකමැති දේවල් කරන්න ඕන්නෑනෙ.
නෑ මිස් මං කරන්නම්.
හරි දැන් ඔයාට කණ්ණාඩියෙන් ඔයාව පේනව. ඔයා අශේන් එක්ක යාලු වුනේ ඔයා එයාට කැමති නිසා නේද…
ඔව් මිස් . ඒක වැරදියි.
නෑ ඒක වැරදි නෑ. ඔයාගෙ වයසෙ ගෑණු ළමයෙක් පිරිමි ළමයෙක්ට කැමති වෙන එක වැරැද්දක් නෙමේ.
ඔයා කැමතියි එයා ඔයා ගැන හොයාබලනවට. එයා පේන්න ඉන්නවට…
ඔව්..
තාත්තාගෙයි පුන්චි අම්මගෙයි වෙනස් කම් නිසා නෙමේනෙ ඔයා අශේන් එක්ක යාලුවුනේ..
නෑ මිස්…
ඔය වයසෙදි පිරිමි ළමයින්ට කැමති වෙන එක වරදක් නෙමේ. ඒ නිසා පුන්චි අම්ම හරි තාත්තා හරි පිටින් දාල ඒක සාධාරණීකරණය කරන්න ඕන්නෑ..තේරුණාද..
ඔව් මිස්…
හ්ම්…දැන් යන්න. ඔයාගෙ වයසෙදි සෞඛ්‍ය සම්පන්නව පිරිමි ළමයි එක්ක සම්බන්ධතා පවත්වන්නෙ කොහොමද කියල හෙට කතා කරමු .
යුනේකා ලක්මිනි අබේරත්න