ඉතිහාසයෙන් පාඩමක් මාලනී ගෝවින්නගේ 

“මම අපෝස්තුලුවරයෙකු හෝ දෙවියන් වහන්සේගේ දූතයෙකු නොවන බව මම ඔබලාට සන්සුන්වද ඉතාමත් තැන්පත්වද ප්‍රකාශ කරණවා… මම ජනතාව භාරදුන් කාර්යක් ඉටුකරණ සමාජ සටන්කරුවෙක්. ඉතිහාසයේ ඔරලෝසුව ආපස්සට කැරකැවීමට අවශ්‍ය වී සිටින බහුතර ජනතාවගේ කැමැත්ත නොසලකා හරින්නවුන් තේරුම් ගතයුතු එක දෙයක් තියෙනවා. එනම් මගේ මතය වෙනුවෙන් ජීවිතය පූජා කරන්නට මගේ බලාපොරොත්තුවක් නැති වුවත්, මම පසුබසින්නේ නෑ. ජනතා වරම සම්පූර්ණ කළ පසුව පමණක් මම ලා මොනෙඩා අතහැර යන බව ඔවුන් තේරුම් ගත යුතුයි.

ඔවුන් හොඳින් ඇහුම්කන් දී අසන දෑ ඔවුන්ගේ හදවතට කිඳා බසින්නට ඉඩදිය යුතු යැයි ඔවුන් තේරුම් ගත යුතුයි. මම මේ චිලී විප්ලවය ආරක්ෂා කරනවා. එමෙන්ම ජනතා රජය ආරක්ෂා කරනවා. මන්ද, එය ජනතාව මට ලබා දී ඇති වරමයි. මට වෙනත් විකල්ප නැහැ. ඔවුන්ට ජනතාවගේ වැඩ සටහන ක්‍රියාත්මක කිරීම නතර කළ හැක්කේ මට වෙඩි උණ්ඩ පොම්ප කිරීමෙන් පමණයි.”

(පිටු : 89,90)

ඉතිහාසයෙන් පාඩමක් – මාලනී ගෝවින්නගේ

පසු සටහන

ඉහත උපුටනය ලෝකයේ බිහිවූ සුවිශේෂී ජනපතිවරයෙකු විසින් සන්තියාගෝහීදී කියුබානු රාජ්‍ය දූත පිරිසකට සමුදෙමින් කරණ ලද ආමන්ත්‍රණයක කොටසක් වේ. එම සුවිශේෂී මිනිසා 1973 සැප්තැම්බර් 11 වනදා ඇමරිකානු CIA සහය ඇතිව දියත් වූ චිලී හි හමුදා කුමන්ත්‍රණයකින් ඝාතනයට ලක්විය. ඔහු සැල්වදෝර් අය්යන්දේ නම් වේ.

සැල්වදෝර් අය්යන්දේ නාමය ඇතමෙක්ට හුරු නොවිය හැකි වුවත් ඔගස්ටෝ පිනෝෂේ නාමය බොහෝ මිනිසුන් අසා ඇති නාමයක් ලෙස සැලකිය හැක. චිලීහි ඒකාධිපති හමුදා පාලකයා ලෙස ඔහු වසර ගණනාවක් යන තුරුම සිය පාලන කටයුතු කරගෙන යන ලදී. ඔහුත් තවත් බොහෝ හමුදා නිළධාරීන්, චිලීහි ෆැසිස්ට් දේශපාලන මත දරන්නන් සහ ඍජුවම ඇමරිකා එක්සත් ජනපදයේ අනුග්‍රහය මත උක්ත සැප්තැම්බර් 11 වන දින චිලීහි “ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය” පෙරළා හරින ලද ආකාරයත් එම ක්‍රියාවලිය තුළ ජනපති අය්යන්දේ, වික්ටර් හාරා, පැබ්ලෝ නෙරුදා ආදී විශිෂ්ඨ මානව වාදීන්ගේ ඉරණම විසඳුන ආකාරයත් මෙම කෘතිය තුළ අඩංගු වේ. ඉතිහාසයේ එක් අඳුරු මොහොතක සාක්ෂියක් ලෙස මෙය හදුනාගත හැක.

සමාජවාදය යන වචනය සමඟ ඈදී එන ‘විප්ලවය’ යනු සැමවිටම ආයුධ සන්නද්ධ අරගලයක් ලෙස අප බොහෝ දෙනාගේ සිත් තුළ කා වැදී ඇති මතයකි. නමුත් චිලී හි සිදුවූයේ ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණයක් හරහා සමාජවාදී මතදාරී අපේක්ෂක සැල්වදෝර් අය්යන්දේ බලයට පත්වීමයි. එනම් විප්ලවය සිදුවිය. ඔහුගේ පක්ෂය පාර්ලිමේන්තු බලය අත්පත් කරගැනීම මීලඟට සිදුවිය. ඔහුගේ රාජ්‍ය බලය තහවුරු වීම එවකට ඇමරිකානු රාජ්‍ය ලේකම් වරයෙකු වූ හෙන්රි කිසින්ජර් විසින් සැලකනු ලැබුවේ ෆිදෙල් කැස්ත්‍රෝට වඩා දැඩි අභියෝගයක් ලෙසයි. මන්දයත් ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවාහයෙන් පැමිණි නායකයකුට ලතින් ඇමරිකානු කලාපයතුළ ඇමරිකානු විරෝධී ව්‍යාපාරය ඉතා සාර්ථකව ගෙනයා හැකි වීම නිසාවෙනි. එබැවින් ඔහුට එරෙහිව බිහිසුණු හමුදා කුමන්ත්‍රණයක් දියත් විය. ඔහු සියල්ල ඉදිරියේ නොසැලී සටන් වැදී සියදිවි නසාගත් බව ඇතැම් මූලාශ්‍ර දක්වයි. ඇතැන් මූලාශ්‍ර අනුව ඔහු කුමන්ත්‍රණකාරී හමුදා විසින් වෙඩි තබා ඝාතනය කරණ ලදී. එය කෙසේ වුවත් තමාට ලබාදුන් ජනවරමට ද්‍රෝහී නොවී අවසාන මොහොත තෙක්ම ඒ වෙනුවෙන් පෙනී සිටි මිනිසෙකුගේ කතාවක් ලෙස මෙය හැදින්විය හැකිය.

අනෙක් පසින් ඔහුගේ ප්‍රබල ආධාරකරුවන් දෙදෙනෙකු වූ නොබෙල් සාහිත්‍ය සම්මාන ලාභී පැබ්ලෝ නෙරුදා සහ විප්ලවවාදී සංගීතඥයකු වූ වික්ටර් හාරාගේ ඉරණමද අය්යන්දේගේ ඝාතනයත් සමඟ විසඳිනි. වික්ටර් හාරා අස්ථිබිඳ වෙඩිතබා ඝාතනය කරණ ලදී. ඔහු සිය ජීවිතයේ අවසාන මොහොතද ෆැසිස්ට්වාදයට එරෙහිව ගීතයක් ලියමින් හිඳ මරණයට පත්විය. නෙරුදා මියයනුයේ අය්යන්දේගේ මරණය හේතුවෙන් ඇතිවූ කම්පනයෙනි. නමුත් එයද කුමන්ත්‍රණයේ ප්‍රථිපලවලම දිගුවකි.

මෙම කෘතිය තුළ අඩංගුවනුයේ මෙම කුමන්ත්‍රණකාරී කාලය සම්බන්ධයෙන් වන ලිපි පෙළකි. එය එක්පසෙකින් ලිබරල්වාදී ක්‍රමය විසින් වලදමන ලද දේශපාලන ඝාතන වැලක කතාවකි. අනෙක්පසින් එය ඉතිහාසය විසින් අපට දන්වනු ලබන පාඩමකි. පාඨකයකු විසින් මෙම කෘතිය කියවාගත යුත්තේ එම ඉතිහාසයට අමතක කරදැමිය නොහැකි අදුරු මොහොත නිවැරදිව හදුනාගැනීමටය. සටහන අවසන් කිරීමට සැල්වදෝර් අය්යන්දේ ඝාතනය වීමට සුළු මොහොතකට පෙර ජාතිය අමතා කරණ ලද කතාවේ උපුටනයක් දක්වමි.

“ඔවුන් අප වෙඩි උණ්ඩවලින් සිදුරුකර දමාවි. එහෙත්, තම යුතුකම් ඉටු කිරීමට දන්නා ජනතාවක් මේ රටේ සිටින බව අඩුතරමින් මේ උදාහරණයෙන් ඔවුන් දැනගනීවි. මා මෙසේ ක්‍රියාකරන්නේ ජනතාවගේ අණින් මගේම හෘදය සාක්ෂියෙන්, කැමැත්තෙන්, ධෛර්ය හා ශක්තිය ලැබූ ජනාධිපති කෙනෙකු ලෙස බව මේ උදාහරණයෙන් ඔවුන් දැනගන්නවා ඇත…”

More From Author

විශ්වයක් තුළ අස්පර්ෂණිය තැන් ඇත  .    

යාලුවන්ගෙ ශක්තිය

Leave a Reply

Categories

LDM Columns