ඒක ඉවර වෙනකොටම
“අනාත මාරුතේ.. කුණාටු සාගරේ..”
අම්මෝ.. මේ සින්දුවේ දිග..
ගීත ඇසීම මගේ ප්‍රියතම විනෝදාංශය වලින් එකක් වුනාට, ගීත ගැයිමේ හැකියාව නම් ඉතාම පහළ ය. ඒ වුනත් ඊට ඇති කැමැත්ත ඉතාම ඉහළ ය. මට දැනෙන ගීතයක් දහ දොළොස්වර අසා, ගායනා කර, මගේ දුරකථනයේ රෙකෝඩ් කර ගත් අවස්ථා ද නැතුවා නොවේ.
ඒවා තව කෙනෙකුට ඇසීමට දීමට තරම් තත්ත්වයක නැති බව මම ම මොනවට දන්නා කාරණයකි.
කරුණු එසේ වුවත්, විනෝද චාරිකාවක පවා මා විසින් ප්‍රසිද්ධියේ ගීත ගායනයට ඉදිරිපත් වීමක් ද මගේ මතකයේ නොමැත. එහෙත් පසුගියදාක මගේ ආදරණීය යෙහෙළියන් සමග ගිය චාරිකාවේදී වාහනයේ වාදනය කල ගීත වල ස්වර ප්‍රස්තාර ඈතට විසි කර ගායනා කරන්නට යෙදුනා මතකය. ගීතයේ ගිටාර් වාදනය මගෙනි. ඩ්‍රම්ස් වාදනය මගේ යෙහෙළියක ගෙනි. ගීත රස සාගරය කෙසේ වෙතත්, සිනා සාගරයක් මැවුණා මතකය. (අපි කුඩා දැරියන් මෙනැයි මට නොසිතුනාද නොවේ. )
රූකාන්ත යනු අපේ යුගයේ ගායකයාය. (සෑම යුගයකම ගායකයා යයි වාදයට නොඑනු මැනවි.) ඔහුගේ ගීත වලට කවදත් මම ඇලුම් කලෙමි. වාදනය වූ ගීතයට අත්වැල් අල්ලමින් මමත්, මගේ ලගින් සිටි අනිත් යෙහෙළියන් දෙදෙනාත්, ‘දවසක් දා හැන්දෑවක’ ගීතයෙන් පටන් ගෙන, ඇල්ල සිට නුවරඑළිය ට එනතුරා රූකාන්ත ගේ ගීත ගැයූවෙමු.
අසා සිටි අයට කොයි තරම් අසීරු වුවද, මා ලද උණුසුම නම් අමතක කරන්න අදටත් බැරිය. මා ලද සැහැල්ලුව අමතක කරන්නම බැරිය.
සංගීතය මාව සනසා නිවා ඇති වාර නම් අනන්තය.
“අනාත මාරුතේ කුණාටු සාගරේ දිවිය තියෙන තුරු මගේ ඔබයි ආදරේ” කියා කොල කෑල්ලක ලියා පෞද්ගලික පන්තියකදී මගේ ඩෙස්ක් එකේ තබා ගිය යෞවනයේ මට පෙම් කල කොලුවෙකු සිහිපත් වීම නිසාම මූණට අනවරත හිනාවක් ආවා ද මතකය.
සංගීතය සම්බන්ධ ප්‍රේම කතා නම් බොහෝය. ඒවා වෙනම දවසක ලියන්නට හිතා ඉන්නවාය.
“ඇස් දෙක පියාන නිදා ගන්න මට බෑ… බෑ බෑ.. “
සිරසේ සුපර් ස්ටාර් සිහියට ආවත් සමග ම ඒ අවස්ථාව වෙනම වයිබ් එකකට මාරු වුණාත් මතකය. ශිහාන් මිහිරංග සංගීත ලෝකයට පෑයුවේ ඒ කාලයේය. ඒවා වෙනම රස කතාය.
ඒ සංගීතමය චාරිකාව සිහිපත් කර මගේ මිතුරියන් අද ද වට්ස්ඇප් ගෘපය කලඹන්නට උත්සාහ ගනිති. (සතුටුයි ඒකටත් හිතවතියනි.)
සෑම මනුස්සයෙකුටම මේ ජීවිත කාලය තුල අටලෝ දහමට මුහුණ දීමට සිදුවනවා ඇත. දුක සැප අප කාටත් පොදුය. අඩු වැඩි විය හැකි මුත්, කිසිදා දුකක් නොවිඳි අයෙක්වත්, සෑමදාම සැප පමණක් ලද අයෙක් වත් මෙදියත ඉපදුනේ නැත.
ඒ ඒ අවස්තාව අනුව ජීවිතය අපට ඉදිරිපත් කරන ප්‍රශ්ණ පත්‍ර වලට උත්තර සපයනවා විනා, මේ සෝ ලතැවුල් කරගසා යාමේ කිසිදු අවශ්‍යතාවයක් නොමැත.
ජීවිතය තුල ඔබ මා දෙදෙනෙකු වශයෙන් මුහුණ දෙන ප්‍රශ්න ගැටලු , කරදර, ශෝකාකූල සිද්ධීන් කිසිදා සමාන නොවන අතර, ඒ නිසාම ඔබේ මගේ ජීවන රටාව සපුරා වෙනස් වීය හැකිය. ඔබ ජීවත් විය යුත්තේ මේ ලෙස යැයි මට උපදෙස් දීම නොකල හැකි අතර, ඔබ, ඔබ ලෙසත්, මම, මා ලෙසත්, ජීවත් වීම තුල දැනෙන පහසුව අත්විඳීම යෙහෙකිය.
මට මෙසේ නම් කිව හැකිය.
හඬන්නට කාරණා ඔබට මට ඕනෑ තරම්ය.
හඬ හඬා මියෙමුද ?
කඳුල දෑස් තුල වියලා හිනා වෙමුද ?
තීරණය කිරීම හා සැනසුම ලැබෙන ලෝකයට ඉද හිට හෝ පියවර තැබීමේ තීරණය ඔබේ අතේ ය.
දර්ශනී අබේසිංහ ✍