අද සවස්වරුව ගතකලේ අමිමගෙ යෙහෙලියගෙ නිවසේ. 

 අද සවස් වරුව මම ගත කළේ, මගේ අම්මාගේ හොඳම යෙහෙළියගේ නිවසේ. අම්මාගේ යෙහෙළිය චිත්‍රා ඇන්ටිත්, වීරසේකර මාමාත්, මගේ නිවසේ සිට හරියටම ගෙවල් විසි දෙකකට  එහායින් ජීවත් වුණත්, ඒ නිවසට මම මේ ගොඩ වුණේ, වසර විසි තුනකට පමණ පසුවයි……

ඉස්සර, කුඩා කාලයේදී නම්, සතියට දවස් හතරක්වත් ඒ නිවසට යාම් ඊම් කළ කෙනෙක් මම. ඒ යන එන හැම වාරයකම චිත්‍රා ඇන්ටී කොතෙකුත් රස කෑම වර්ග කන්න දෙනවා… නංගී ඉරේෂිකාත්, මල්ලී තිළිණත්, ඒ කාලයේ මගේ හොඳම මිතුරු ගොන්නේ යාවජීව සාමාජිකයෝ. මම ඔවුන්ගේ නිවසට නොගිය ඇතැම් දවස් වල, ඔවුන් අපේ නිවසට එනවා. වැඩිහිටියො කතා බහ කර කර ඉන්නකං අපි හිටියේම සෙල්ලම් සාගරයක…

අද,

ඒ නිවසට ගොඩ වන විටත්,

මගේ ප්‍රීතිමත් ළමා කාලයේ සුන්දර මතක ඒ නිවස පුරාම පිරිලා තිබුණ බවයි මට දැණුනේ…. ඉස්සර තිබුණා වගේමයි, ඒ විශාල නිවස, කළුවර දොර පියන් සහිත කාමර පෝළිමත් සමඟ පැරණි ගම්භීර විලාසයෙන්ම මගේ දෑස් තුළ සනිටුහන් වුණා…

චිත්‍රා ඇන්ටීත්, මාමාත්, මාව පිළි ගත්තේ හරිම සතුටින්…

“අනේ… මගේ දුව ආවා වගේ…” ඇගේ දෑස් අග කඳුළු බිඳක් යාන්තමට දිස්න දුන්නා. මගේ අත් දෙකෙන්ම අල්ලාගෙන සෝපාවේ මා වාඩි කරවද්දී, පරණ පුරුදු ලෙංගතුකමින් මගේ හදවත උණුහුම් වී ගියා…

චිත්‍රා ඇන්ටී මගේ අම්මාගේ වියොව ගැන කතා කළේ තවමත් පහ නොවූ කම්පනයෙන්…

“මට ශ්‍රීමතීව හරියට හීනෙන් පේනවා දුව… අනේ අපි දෙන්නා ඉස්සර කොච්චර නම් යාළුද…?   මම ඔයාලගෙ ගෙදර එනවා මොනවම හරි කෑමක් හදන්- ශ්‍රීමතී මෙහේ එනවා ජෙලි හදාගෙන… අනේ, ඒ කාලෙ…. හරිම සතුටින්….” ඈ නැවතත් නිහඬ වුණා.

ඉරේෂිකා බොහෝ කලෙක පටන් පදිංචිය ඔස්ට්‍රේලියාවේ. තිළිණ මල්ලීත්, ඔහුගේ බිරිඳ ලලනි නංගීත් මට ඉඳ හිට නගරයේදී මුණ ගැසෙනවා. මුහුණු පොතට පින් සිදු වන්නට ඔවුන් නම් මම නිතර නිතර දකිනවා.

“ඉතිං දුව, කොහොමද අප්පච්චී එහෙම?” මාමාට අවශ්‍ය වුණේ, පවුලේ ඥාතීන් ගැන තොරතුරු දැන ගන්නයි.

“ම්ම්ම්… අප්පච්චී හොඳින් ඉන්නවා මාමා. ඒත්, විටින් විට අසනීප වෙනවා…”

“ඔව්, අපි දැන් වයසයිනේ… මාත් මේ වැටිලා, මාස තුනක් ඇඳේ ඉඳලයි දැන් මේ ටිකක් නැගිටලා ඉන්නේ….”

මාමා කීවේ සිනාසෙමින්.

“අයියෝ දුව, මෙයා නම් ඕන්නැතිම වැඩක් කරන්න ගිහිල්ලයි වැටුණේ…”

ඇන්ටිගෙන් සුහද නෝක්කඩුවක්!

” ඔන්න දුව, මුරුංගා ගහේ කරල් හතරක් තිබ්බා. හොඳ….ට ලස්සනට පැහීගෙන එද්දි මෙයා ඒව දිහා බැලුවෙ වත් නෑ… මෙන්න, මෝරලා- පිපිරෙන්නත් ඔන්න මෙන්න වගේ එද්දි- මෙයාට ඕනි උනා මුරුංගා කඩන්න! කෙක්ක දාලා ඇද්දා තමයි, කෙළින්ම පස්ස බිම ඇණුනා කියන්නකො… මං පුදුම අමාරුවෙන් බිම දිගේ ඇදගෙන වගේ අරන් ආවෙ… මටත් පුළුවනෑ මෙයාව උස්සන්න? අන්තිමට, කොහොම හරි පුටුවක් පිලට ගෙනත්- අමාරුවෙන් උස්සල උස්සලා ඉන්ඳවා ගත්තා…”

ඇන්‍ටිගෙ නාට්‍යමය කතා විලාසයත් එක්ක අපි තුන් දෙනාටම හොඳටම හිනහයි….

“කියන කිසී දෙයක් අහන් නෑ දුව. මෙයා හිතන් ඉන්නේ තාමත් ඉස්සර වගේ දුවන්න පනින්න පුළුවන් කියලා…”

ඇන්ටි බොරු තරහක් පෙන්වන්න හැදුවත්, ඒ ඇස් අස්සෙ තිබ්බෙ හරිම ආදරණීය නෝක්කඩුවක්.

“මං හරිම සාමකාමී මනුස්සයෙක්. දුව, මෙයාගෙ තමයි සැර…”

මාමා හදන්නේ ඇන්ටිව අවුස්සන්න.

“ආ…පෝ… මං නෙවෙයි, මෙයා තමයි කියන කිසිම දෙයක් අහන්නැත්තෙ”

ඇන්ටිත් කීයටවත් දෙවෙනි වෙන්නෙ නම් නෑ….

“ඔයා දුව එක්ක කතා කර කර ඉන්නකො. මං තේ ටිකක් හදන්නම්…”

එහෙම කියමින් හෙමි හෙමින් නැගිට්ටේ මාමා.

“නෑ, මං හදන්නම්. ඔයා වතුර එක තියල දෙන්නකො…”

ඒ පාර දෙන්න දෙමහල්ලො කුරුළු ජෝඩුව වගේ සමගියෙන් කීචි බීච් ගාමින් කුස්සිය පැත්තට ගියා.

ටික වෙලාවකින් මැද සාලෙ ලොකු කෑම මේසය පුරා, රුළං- මාෂ්මෙලෝස්- චොක්ලට් බිස්කට්- කෙසෙල් ගෙඩි පිරුණ තසිම් කීපයක් හරිම යුහුසුළුව ලැගුම් අරන්…. පෝසිලේන් කෝප්පෙට අමතරව, ලොකු ජෝග්ගුවක් පිරෙන්න අමතර තේ ගඟුලකුත්…! (මට දෙවන තේ කෝප්පයක් වත් කරන්නත් එක්ක!)

“අනේ, කන්න දුව, කන්න. මේ රුළං හරිම රසයි. චොක්ලට් බිස්කට් එක්ක කෙසෙල් ගෙඩි හරි ශෝක්. කන්න, කන්න. තව කෙසෙල් ගෙඩියකුත් ගන්න… චොක්ලට් බිස්කට් එකක් ?”

ඒ ප්‍රණීත සංග්‍රහය නිසා, රෑට කෑම කන්නත් බැරි තරමටම හිතයි, බඩයි දෙකම පිරුණා…

ඉරේෂිකාගේත්, තිළිණගේත්, දරුවන්ගේ පිංතූර එකින් එකට, ෆෝන් එකෙන් මට පෙන්වමින්, මුණුපුරන් ගැන පුදුම තරම් ආදරයෙන් මතක් කරද්දී- එයාලගෙ මුහුණු වල තිබ්බ සතුට අඳින්න මේ ලෝකෙ කිසිම වර්ණ පැලැට්ටුවක වර්ණ නැතුව ඇති කියලා මට හිතුණා…

“ඉතිං දුව, කොහොමද  සිරිල් එහෙම? පණස් ගණන් වල අපි බෙරවර්ට්ස් එකේ එකට හිටියෙ. මාර ස්පෝර්ට්ස්මන්. පස්සෙ, එයාර්ෆෝස් ගියා. ඔයාගෙ ලොකු නැන්දව නේ එයා බැන්ඳේ… කොහොමද සිරිල් සනීපෙන් ඉන්නවද? ගෙදරමයි ඇත්තෙ නේද? දැන් ඉතිං වයසයිත්නේ….”

මාමා අහනවා…

මගේ දෑස් අග කඳුළු නළියනවා… මාමා, සිරිල් අඹන්වල…. නැතිවෙලා අවුරුදු තුනකුත් අවසන්… ඒත්, මම කොහොමද ඒ බව මේ මිත්‍රත්වයේ බලාපොරොත්තු පිරුණු ඇස් දිහා බලාගෙන කියන්නේ…?

“ඔව් ඔව් …. අපේ නැන්දා එහෙම දැන් ඉන්නෙ එයාලගෙ දුව ගාව….”

වියෝව ගැන නොකියා,

මම කිසිම ගැලපීමක් නැති උත්තරයක් අමාරුවෙන් අමුණනවා….

“ආ… ඇත්තද? කෝල් කරද්දි කියන්න දුව, මං මතක් කරා කියලා…”

“හරි මාමා…”

ඔවුන්ට නොපෙනෙන්න මම බර සුසුමක් හෙළනවා…

“ආ, සුජාතා අක්කා කොහොමද? සුජාතා පෙතියාගොඩ? අපිට වැඩිමල්. දැන් කොහෙද ඉන්නේ? පුතාලා ගාවද?”

නැවතත් මං අසරණයි!

“ම්ම්ම්  ම්ම්…”

මම කියන්නට පිළිතුරක් සොයනවා…

“එයාගෙ පුතයි දුවයි දෙන්නෙක්ම දොස්තරල නේද?”

“ආ, ඔව් මාමා.”

මම වහාම පත් උත්තර ගොනු කරන්නේ, කතාව වෙනතක හැරී යාම නිසා ඇති වූ මද සැහැල්ලුවකින්.

“කැන්ඩි හොස්පිට්ල් ද?”

“අක්කා කැන්ඩි. අයියා නම් පේරා…”

මම බොහොම  කඩිනමින් උත්තර බඳින්නේ, ජීවතුන් අතර හිඳින්නන් වෙවුළුවා ලන- මරණයේ කැත සත්‍යය වසන- හීතල කටහඬකින්..

එක්තරා වයසක්!

තමන්ගේ හිත මිත්‍රාදීන් පිටව ගොස් ඇතත්,

ඔවුන් පිටව ගිය බව

මනුෂ්‍යයකු විසින් නොදැනගත යුතු වයසක්!

මම,

එවන් තත්ත්වයකට මින් පෙර කිසිදා මුහුණ දී නැහැ.

මම,

එවන් අවස්ථාවකට සම්පූර්ණයෙන්ම ආගන්තුක ආගන්තුකයෙක්!

අවසානයේ,

මම ඒ ආදරණීය, ලෙංගතු නිවසින්, ඔවුන්ගේ දෙපා නමැඳ පිට වන්නේ, ඔබ වෙත පැහැදිලි කළ යුත්තේ කෙසේදැයි නොතේරෙන මට්ටමේ, අමුතු දෑස් විවරවීමකුත් සමඟයි…..

පැසුළු විය….

ඒ වයසේ මිනිස්සු හරිම සුන්දරයි.

ඔවුන් ලොව සුන්දරතම වස්තූන් කොට්ඨාශයක් බවට පත් කොට ඇත්තේ, කාලය විසිනුයි.

ඔවුන් මේ මිහිමත ගෙවූ කාලය හරහා-

අතීතය දිගේ වර්තමානයටත්-

වර්තමානය ඔස්සේ අනාගතයටත්-

පැමිණ තිබෙන්නේ, සොබාදහමේ සාමාන්‍ය න්‍යායට ප්‍රතිවිරුද්ධ

එඩිතර චාරිකාවක් නොවේද?

ඒ සැරිය තුළ,

දිනෙන් දින ජීර්ණය වන ශරීරයක් සමඟ

නිරෝගී සමබර මනසක් පවත්වා ගැනීම සඳහා

ඔවුන් දරා ඇති අපමණ වර්ණවත් උත්සාහය සහ වීර්‍යය වෙනුවෙන්,

ඔවුන්ට අපේ උත්තමාචාරය හිමි විය යුතුයි නේද….?

More From Author

පැරිස් කොමියූනයෙන් “ජන සංහාරක සත්දින”         1871 මැයි 21 -28

දවසක් දා … හැන්දෑවක පොතක් බලන්නට සිතුනා…

Leave a Reply

Categories

LDM Columns