Object Oriented Ontology (OOO) ප්‍රායෝගික මානව අවශ්‍යතා ඉක්මවා යන පාරිසරික දේශපාලනයක් සඳහා (පළමු කොටස)

පෙරවදන

අප විසින් කලින් කල සාකච්ඡාවන්හි ගොඩනැගූ දැනුමට අනුව, අපට සමාජයක් හෝ පරිසර පද්ධතියක් පිළිබඳ පරිපූර්ණ දැනුමක් ලබා ගත නොහැකි බව අපි දැන් දනිමු. එබැවින්, දේශපාලන හෝ පාරිසරික ක්‍රියාමාර්ග සඳහා අපගේ දැනුමේ සීමාවන්ට සහ ස්වභාවික වස්තුවේ ස්වාධිපත්‍යයට ගරු කරන කලාව වැනි ඉඟි සහිත සෞන්දර්යාත්මක ප්‍රවේශයක් අපට අවශ්‍යවේ. මෙහි ඇති ආචාරධාර්මික ඇඟවීම නැති නම් ආචාරධාර්මික යුතුකම වන්නේ මිනිස් භාවිතය සඳහා ස්වභාවධර්මය සංරක්ෂණය කිරීම පමණක් නොව, මානව නොවන වස්තුවේ ස්වාධීන, අභ්‍යන්තර යථාර්ථයට ගරු කිරීමයි. ​කෙටියෙන් කිවහොත්, Object Oriented Ontology (OOO) මගින් ගැඹුරු පරිසර විද්‍යාවක් සඳහා පාරභෞතික පදනමක් සපයන අතර, පාරිසරික දේශපාලනය ප්‍රායෝගික මානව අවශ්‍යතා ඉක්මවා ගොස්, සියලු ස්වභාවික වස්තූන්ගේ ස්වාධීන යථාර්ථය සහ නියෝජනත්වය හඳුනා ගැනීමට ඉල්ලා සිටී.
බොහෝ ⁣ලාංකික උගත් සිවිල් පුරවැසියන් අතර ජනප්‍රියවාදයක් වන ‘පරිසර සංරක්ෂණය’ පිළිබඳ වෙනත් මානයකින් සාකච්ඡාවක් මෙම න්‍යායික පසුබිම මත ආරම්භ කල හැක.

පාරිසරික දේශපාලනය නව දේශපාලනික සහ ආචාරධාර්මික මානයක් කරා …

සමාජයක් හෝ පරිසර පද්ධතියක් පිළිබඳ ‘සම්පූර්ණ ප්‍රවේශය’ හෝ ‘පරිපූර්ණ දැනුම’ (Total Access or Exhaustive Knowledge) යන සංකල්පය අත්හැර දැමීමට දැන් අපට සිදුවී තිබේ. මෙම අවබෝධය තුළ, අපගේ ඥාන විද්‍යාත්මක සීමාවන් (Epistemological Limitations) පිළිගැනීම මගින්, ස්වභාවික වස්තූන්ගේ ‘ස්වාධීන යථාර්ථයට’ (Autonomous Reality) සහ ‘ස්වාධිපත්‍යයට’
(Sovereignty) නිසි ගෞරවය දැක්විය යුතු බවට ඇති ආචාරධාර්මික (Ethical) සහ දේශපාලනික ඉල්ලීම තහවුරු කරයි.

OOO හි හරය වන්නේ, මිනිස් මනසට සහ භාවිතයට හසු නොවන, එනම් ‘ නිරාවරනය කල නොහැකි යථාර්ථයක්’ වස්තූන්ට ඇති බව පිළිගැනීමයි. මෙමගින් අපගේ පාරිසරික දේශපාලන ක්‍රියාකාරීත්වය සාම්ප්‍රදායික, මානව-කේන්ද්‍රීය (Anthropocentric) සංරක්ෂණවාදයෙන් ඔබ්බට ගෙන යයි. සාම්ප්‍රදායික ‘පරිසර සංරක්ෂණය’ මූලික වශයෙන් මානව භාවිතය, අනාගත පරම්පරාවේ අවශ්‍යතා සහ ආර්ථිකමය ‘තිරසාරත්වය’ වැනි ප්‍රායෝගික මානව අවශ්‍යතා (Pragmatic Human Needs) වටා ගෙතී ඇත. OOO මගින් මෙයට අභියෝග කරන්නේ, මානව නොවන වස්තූන්ගේ අභ්‍යන්තර වටිනාකම සංරක්ෂණය යනු මිනිසාගේ පැවැත්ම සඳහා පමණක් නොව, ගසක, ගල් පර්වතයක, හෝ කෘමියෙකුගේ ‘ස්වාධීන, අභ්‍යන්තර යථාර්ථයට’
(Independent, Internal Reality) ගරු කිරීමක් විය යුතුය යන පදනම මතය. මෙම වස්තූන් මිනිස් විඥානයෙන් හෝ භාවිතයෙන් තොරව ‘තමන් තුළම’ පවතී. සම්බන්ධතාවයේ විෂමතාවය (The Asymmetry of Relation) යන්න මීලඟට සලකා බලමු. මිනිසා පරිසරය සමග අන්තර් ක්‍රියා කරන විට, අප දකින්නේ වස්තුවේ යථාර්ථයේ එක් පෙනුමක් හෝ එක් අංශයක් පමනි. (OOO හි එන ‘සම්බන්ධිත වස්තුව’ – Sensual Object). වස්තුවේ සැබෑ, අභ්‍යන්තර යථාර්ථය (OOO හි එන ‘යථාර්ථවාදී වස්තුව’ – Real Object) මිනිසාට සැමවිටම Withdrawal ලෙස පවතී. ( හාර්මන් OOO හි ඉදිරිපත්කරන අර්ථකථනය අධ්‍යයනය කරන්න.)

OOO මෙලෙස ගැඹුරු පරිසර විද්‍යාවක් (Deep Ecology) සඳහා පාරභෞතික පදනමක් සපයයි. එය ‘ජෛව-කේන්ද්‍රවාදයෙන්’ (Biocentrism)
ඔබ්බට ගොස් ගැඹුරු ඔන්ටොලොජිකල් රාමුවකට (Ontocentric) මග පාදයි.

මෙහිදී හාර්මන් ගෙනහැර දක්වන ‘ඉඟි සහිත’ සෞන්දර්යාත්මක ප්‍රවේශය සහ ‘දේශපාලන ක්‍රියාමාර්ගය’ සලකා බලමු. අපට වස්තූන්ගේ අභ්‍යන්තර යථාර්ථය ‘සෘජුව’ දැනගත නොහැකි බැවින්, දේශපාලන ක්‍රියාමාර්ගය සඳහා අපට අවශ්‍ය වන්නේ සත්‍යය විනිවිද යනවා වෙනුවට ‘ඉඟි සහිත’ (Suggestive), ‘සෞන්දර්යාත්මක ප්‍රවේශයක්’ (Aesthetic Approach) අනුගමනය කිරීමවේ.

Graham Harman

කලා කෘතියක් මගින් හාර්මන් වස්තුවේ Withdrawal ප්‍රකාශ කිරීමට උත්සාහ කරන්නා සේම, පාරිසරික දේශපාලනයද ස්වභාවික වස්තූන්ගේ නියෝජනත්වය (Agency) සහ අභිරහස (Mystery) පිළිගත යුතුය. මෙය මග පෙන්වන නීති සහ ප්‍රතිපත්ති, මිනිස් අවශ්‍යතා සපුරාලීමට වඩා, වස්තූන්ගේ ස්වාධිපත්‍යයට ඉඩ සැලසීම (Allowing for the Sovereignty of Objects) අරමුණු කර ගනී.
පරිසරයේ නියෝජනත්වය සැලකීමේදී , ගංගාවක් යනු ‘ජල සම්පතක්’ පමණක් නොවේ. එය තමන්ගේම ‘ක්‍රියාකාරීත්වයක්’
(Agency) සහිත සත්තාවකි. පාරිසරික දේශපාලනය තුළ මෙම මානව-නොවන නියෝජනත්වය හඳුනා ගැනීම, එම වස්තූන් මත මිනිසාගේ පාලනය පැනවීම සීමා කරයි.

ලාංකික සන්දර්භය තුළ පරිසරය පිළිබඳව වන සංවාදය සැලකීමේදී, බොහෝ ලාංකික උගත් සිවිල් පුරවැසියන් අතර ජනප්‍රිය ‘පරිසර සංරක්ෂණය’ පිළිබඳ සංවාදය සාමාන්‍යයෙන් බැඳී ඇත්තේ සංස්කෘතික-මානව කේන්ද්‍රවාදයක් ලෙසයි. පාරිසරික වටිනාකම පවතින්නේ ‘පෞරාණික ශිෂ්ටාචාරයේ උරුමය’ හෝ ‘බෞද්ධ දර්ශනයේ හර පද්ධතිය’ තුළ බව අවධාරණය කිරීම මෙහි ප්‍රධාන ලක්ෂනවේ. ආර්ථික අවශ්‍යතාවන් විසින්, ‘වන විනාශය’ , ‘ජල දූෂණය’ හා ‘පාරිසරික සේවාවන්’
(Ecosystem Services) විනාශ කරන බවට තර්ක කිරීම මෙහි ප්‍රධාන ලක්ෂනයකි. OOO මෙම සාකච්ඡාවට රැඩිකල් අභියෝගයක් එල්ල කරයි. OOO විසින් ගංගාවක හෝ වනාන්තරයක වටිනාකම එහි ‘මානව නොවන යථාර්ථය’ තුළ පවතී යයි තර්ක කරයි. එය ‘අපේ’ උරුමයක් හෝ ‘අපේ’ සම්පතක් ලෙස නිර්වචනය කිරීමෙන් එයට ඇති ආචාරධාර්මික යුතුකම හීනවේ.

මෙමගින්අ ත්කරගත හැකි වෙනස පිළිබඳ සලකනවිට අපට අවශ්‍ය වන්නේ මානව අවශ්‍යතා ඉක්මවා ගිය, සියලු ස්වභාවික වස්තූන්ගේ ස්වාධීන යථාර්ථයට සහ නියෝජනත්වයට ඉඩ සලසන නව දේශපාලන රාමුවකි. මෙය OOO මගින් සපයන පාරභෞතික පදනමයි.

මීලඟ ලිපියෙන් මේ පිළිබඳව තවදුරටත් සාකච්ඡා කරමු.

More From Author

ආලන්දරිකා: මමත් සෙසු ගැහැනුන් සේ අතීත වනිතාවන්ගේම දිගුවකි

මණිපද්ම: අප කතාව කියවිය යුත්තේ ඔවුන්‍ඔවුන්ගේ කෝණයන්හි සිට ගැනීමෙන් අනතුරුවය.

Leave a Reply

Categories

LDM Columns

https://www.facebook.com/profile.php?id=61575953530348