සුරංගි ලියනපතිරණ:
“ලිවීම සඳහා අතිශයින් බුද්ධිමත් වීම හැරුණු කොට අන් ක්‍රමවේදයක් නොමැත ” යන්න ටී.එස් එලියට් ගේ අදහසයි.
මේ කියමන සනාථ කරමින් සිය සැබෑ ජීවන ලාලසාව සාහිත්‍ය කරා යොදවමින් අධ්‍යතන සිංහල නවකතාකරුවන් අතර සිය අනන්‍යතාවයේ සලකුණ තබමින්, නවකතාව වෙත පිවිසි අසංක රුවන් සාගර නම් ලේඛකයා ඔහු තුළ සිටි කවියා නොමරා කතාකරුවා වෙත සිය ආත්මය ප්‍රවිශ්ට කරවයි. එහිදී මෙම නවකතාව වෙනුවෙන් ඔහු යොදා ගන්නා සුගම, ලාලිත්‍යමය බස් වහර අසංක තුළ සිටින ගේය පද රචකයා සහ කවියා පිළිබඳව නැවත නැවතත් සිහිගන්වයි.
මෙහි ප්‍රධාන චරිත ත්‍රිත්වයකි. ඒ මින්දා අග්බෝ සහ වජ්‍ර බෝධි හිමියන්ය. අප කතාව කියවිය යුත්තේ ඔවුනොවුන්ගේ කෝණයන්හි සිට ගැනීමෙන් අනතුරුවය. එකී සිදුවීම් සහ එකී අවස්ථා සම්බන්ධයන් දෑස ඉදිරියේ ප්‍රතිනිර්මාණය කරන්නට අසංකයන් සමත් වී ඇත.

ආරම්භයේ සිට අවසානය දක්වාම රැගෙන යන මින්දාගේ ළැම කර දිස්නය දුන් මුතු පබළුව අවසානයේ වජ්‍රබෝධි හිමියන් හරහා මහා සමුද්‍රය වෙත උනා දමයි. ඒ හරහා ඔහු කියන්නට සැරසෙන සමාජ සත්තාවන් , කොතරම් දුරට විවිධ දැනුම් හා රස පරාසයන්හි වන පාඨකයන් විසින් කෙසේ සාධාරණීකරණය කර ගනී දැයි මම නොදනිමි.
නමුත් ඒ තුළින් මණි පද්ම මවිසින් කියවා ගන්නා අයුරු මම මෙහි සඳහන් කරමි. ඒ මාගේ මතය පමණකි . ඒ පිළිබඳව අසංකගේ බසින්ම පවසතොත් ඔබ ගෝලුගත යුතු නොවේ.
ප්‍රේමය නම් වූ සාධු සම්මත බන්ධුත්වය සම්බන්ධ සමාජ සංස්කෘතික කැමැත්ත වනාහි ස්ත්‍රී පුරුෂ සහ සම්බන්ධයයි. පුද්ගලයාගෙන් පුද්ගලයාට අනුව එය ඇතිවන නැති වන සහ විඳින ආකාරය වෙනස් විය හැකිය. කතාකරු මේ බැව් කියා පාන්නට මානවම්ම රජ පෙළපත ආරම්භක අවධිය කරා ඉතිහාස කාල තරණයක් සිදු කරයි. එහිදී අප දන්නා කියන තරුණයකුත් හමුවේ. එනම් කතාවේ ප්‍රධාන චරිතය වන අග්බෝය.ඒ සිහගිරි කැටපත් පවුරෙහි
” කොමුල් අමුඩ් ලෙඩ් ලිනසී , එබොන්ද මියුර් යහබැසී ”
යනුවෙන් ලියා තැබූ අග්බෝය. පසෙකින් ඔහුට පෙම් කළ මින්දාය. ඈ සැමියා මල ස්ත්‍රියකි, නැතහොත් කන වැන්දුමියකි. ස්වාමියා මළ පමණින් ප්‍රේමයත් මිය යා යුතු යැයි සිතන අපේ සමාජයට එය එසේ නොවන බවට මේ කතාව මගින් සිහි කැඳවයි. කතාකරුවා මෙම ගද්‍ය ආඛ්‍යානය පුරාම සිය වාග් කෞශල්‍යය අතිශය ලගන්නා සුළු ලෙස උසුරුවා ඇත. වරෙක කාලදේවල උන්නාන්සේ කැටුව අභයගිරිය මහ පන්සලට ගිය අග්බෝට මහ වෙදනාගේ අණින් ඇතුළු කුටියේ හුන් හිමිනමක්ගෙ සිරුරේ තෙල් ගල්වන්නයි ලද නියම ප්‍රකාරව ඔහු එම භික්ෂුව වැඩ සිටි කුටියට ඇතුළු වූ ආකාරය කතාකරු දක්වන්නේ මෙසේය .
ඒ අඩ අඳුරු සීතල කුටියට ඇතුළු වෙද්දීම ආවේ දෑසමන් මල් සුවඳක්, කුටියේ අඩවන් එළියට ඇහැ හුරු වෙන්න ඇසිල්ලක් දෙකක් ගත වුනාට ,වහලෙ ඉඳන් ඇදෙන බුබුළු වැලෙන් කුටියට සෞම්‍යාලෝකයක් ගලලා තිබුණා…..
කිරි ගරුඬෙන් සඳකත් මිණියෙන් කළ පිළිමයක් වඩා හිඳුවලා තියෙනවා වගේ ඒ බුබුළු වැල යට පිවිසුම් දොරකඩට පිටුපාලා අර කිව්ව උන්නාන්සේ වැඩ සිටියා.
පුළුල් දෙව්ර, දිගු ගෙල, සිහින් ඉඟ ,පිරුණු බාහු යුගල ,
“ඒ ඇසිල්ලේ ආයෙ වංගියක් පුරිස් ලකුණු හිතේ ඇදෙන්න ගත්ත හැටි, දෙපතුලේ ඉඳන්ම හිස මුදුනතටම විජ්ජුවක් වගේ රිදුමක් ඇදී යනවා.”
කතාකරු කතාව පුරාම අනුරාව වපුරන්නේ එසේය. ඒ සා ප්‍රේමණීය අනුරාගී යෙදුම් විසින් එකලාවම මණිපද්ම පාඨකයා වෙත ආසක්ත කරවයි.
පරිසර වර්ණනා සහ සොබා සෞන්දර්යේ වන චමත්කාරය මගින් කතාව කාව්‍යමය සිරියාවකින් හැඩ ගන්වයි.
” තව දෙපෝයකින් වස් කාලය උදාවෙනවා උදාවෙනවා.
“අවුරුද්දේ හුඟ කාලයක් ඉස දියවත් කරගන්නැතුව උන්න මහීකාන්තාව හිතේ හැටියට ස්නාන මංගල්ලෙට සැරසෙන්නේ ආන් ඒ තුන් හාර මාසෙට…..”
නියං සමයෙදි දිය වරලා හිඳී ගිය මළදොළවල් වැහි දියෙන් පිරී ගිහින් පණ ගහලා ඇවිත් රැළිති දීගෙන ගලන සන්සුන් ලතාව දිහා බලන්න…
තුනඟුලක් වගේ උහට දිය පිරී තියෙන ඒ දොළ දියේ දෙපා ඔබාගෙන නිවිහැනහිල්ලේ ඉන්න…
යනාදී වශයෙන්ම මණිපද්ම නවකතාව කතාකරු විසින් චමත්කාරයෙන් පුරවන්නට සමත් වී ඇත.
මින්දාගේ නොකී ප්‍රේමය නමින් ඈ තනිවම විඳි ආලගින්දර දැනුදු දැනෙනවා මෙන්ය. මින්දා ගැන ශෝකයකින් එවන් වර මසිත පිරී යයි.
” ඔය කියන හේල කඩ සිනිදු පිරිමැදුම් විඳින්න මට ලැබීයන්, එමතු නෙමෙයි. ඒ පිරිමැදුම් අහවර……… යනුවෙන් ඈ තනි සිතින් ප්‍රේම කළ අයුරු පාඨකයා තුල මින්දා පිළිබඳ අනුකම්පාව ජනිත කරවයි.
කතාව පුරාම නිරන්තරයෙන් සිහිගන්වන රුක් අත්තන මල් සුවඳ සඳුන් සුවඳ විසින් දනවන ශෘංගාරාත්මක හැඟීම් මතුයේ අග්බෝත්, වජ්‍ර බෝධි හිමියනුත් තම ප්‍රේමණීය හැඟීම් අවුලුවා ගන්නා අයුරු තාත්විකය. ඒවාට පරිසරයෙන් සපයන අනුබලය ද අති මහත්ය. එවන් අනුරාගී අවස්ථාවක් ඇස ගැටීත් මින්දා හැසිරුණ ආකාරය මතු මින්දා කෙරෙහි එතෙක් පැවති ආදර කරුණාව තව තවත් තීව්‍ර කරවයි. සිත ශෝකී රසයෙන් පුරවයි. මින්දාගේ උපේක්ෂාව විසින් පාඨක සිත යළි යළිත් නිවාලයි. මින්දාගේ කර පැළඳි මුතු පබළුව පිළිබඳ අග්බෝ විමසද්දී
“මින් මනතට ඒක උඹහැගේ ඇහැ නොගැටුණාට කාරි නෑ. අයියණ්ඩි,
ස්නේහය කියන්නේ මේං මෙහෙව් දෙයකට නෙවේය කියන්න දැන් මං දන්නවා, ස්නේහය කියන්නේ මුතු පබුළුවක බන්දලා තුන් පැයේ දැකුම් කොරන්න යුතු දෙයක් නොවේය කියලත් මං දැන් දන්නවා”
“ස්නේහය නිසාම ඇට මිදුළු මතු නෙවෙයි, තුන් හිතම රිදවන දුක උපදිනවා. තමුන්නෙන් අත ඇරේවි නැත්නම් වෙන කාටහරි උරුම වේවිය කියා කියලා බය උපදිනවා”
ස්නේහයට සීමා මායිම් නොමැත. ඒවා කාන්තා පුරුෂ යන සමාජ සම්මතයන් ඉක්මවා යමින් වුවද සිදුවිය හැක්කකි. එය අභව්‍ය සිද්ධියක් සේ ගැණිය නොහැක. නමුත් ප්‍රේමය නිසාම දුක හට ගන්නා බවත් අල්ලා ගත් සැනින්ම අත්හැරේ යන බිය හටගන්නා බවත්, අත්හැරීම තුළ නිවීම හිමිවන බවත් සිතීමට කතාකරු සියුම්ව පාඨකයා පොළඹවයි.
වජ්‍ර බෝධි හිමියන්ද අග්බෝගෙන් තමන් ත්‍යාග ලද මින්දාගේ මුතු පබළුව මහ සාගරයට විසි කරනවා ඇත්තේ සියලු බැඳීම් කෙළවර වන දුක අවසන් කිරීමට විය යුතුය.
දීර්ඝ කාලීන පර්යේෂණයක ප්‍රතිඵලයක් ලෙස මේ කෘතිය බිහිවන්නට ඇතැයි කතාව කියවන ඕනෑම අයෙකුට සිතෙනවා නොඅනුමානය. මතු දිනක මණිපද්ම පාඨක හදවත් තුළ ලැඟුම් ගන්නා කතාවක් වන බැව් නොකියවමනාය. Asanka Ruwan Sagara නම් වූ වූ සම්මාණිත ලේඛකයාට නැවතත් සම්මානයට පාත්‍රවීමට වරම් ලැබෙන්නයි ද මේ සමගින්ම හදපුරා ගලන සොයුරු සෙනෙහසින් යුතුව පතන්නෙමි.

සුරංගි ලියනපතිරණ-Surangi Liyana Pathirana





