තිලකසේනගේ භාෂා ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතියේ විරුද්ධාභාසය | ක්‍රිශාන්ත ෆෙඩ්රික්ස්

පශ්චාත් යටත්විජිත සිංහල භාෂා සාහිත්‍ය සම්ප්‍රදාය පිළිබඳ කතිකාවේ අජිත් තිලකසේන ස්ථානගත වී ඇත්තේ සාහිත්යික නූතනවාදියකු ලෙසත් භාෂාමය සමතික්‍රමණවාදියකු ලෙසත් ය. සාහිත්යික නූතනවාදියකු ලෙස ඔහු හඳුනා ගැනෙන්නේ ඔහුගේ සාහිත්‍ය නිර්මාණ නූතත බටහිර තර්කවාදයේ සාහිත්යික ප්‍රතිනිර්මාණ විධිය වූ යථාර්ථවාදයට ප්‍රතිපක්ෂව ගොඩනැඟුණු “නූතනවාදී” සාහිත්‍යයක් කරා සිංහල සාහිත්‍යය ඔසවා තැබූ බැවිනි. එහෙත් සමාජීය සහ දාර්ශනික ප්‍රපංචයක් හැටියට ගොඩනැඟුණු නූතනත්වය සහ සාහිත්‍ය-කලා ව්‍යාපාරයක් වන නූතනවාදය අතර වන ප්‍රතිපාක්ෂික සම්බන්ධය ලාංකේය සමාජ ශාස්ත්‍රීය කතිකාවේ මැනවින් සලකුණු නොවීම නිසා සිංහල භාෂාව විෂයෙහිලා තිලකසේනගේ සම්ප්‍රදානය ද නූතතනවාදී එකක් ලෙස හඳුනාගැනේ. එහෙත් එය සාවද්‍ය ය. ඊට හේතුව තිලකසේනගේ භාෂා සම්ප්‍රදානය තක්සේරු කළ හැක්කේ නුතනවාදයට ප්‍රතිපක්ෂ භාෂා යථාර්ථවාදය සහ භාෂා ජාතිකවාදී කතිකාව ඇතුළත වීමය. එය ඔහු විසින් අනුදත් සාහිත්යික මතවාදයට ඉඳුරා ප්‍රතිපක්ෂය.

භාෂා යථාර්ථවාදියකු ලෙස තිලකසේනගේ භාෂා ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතියේ එක් ප්‍රධාන අංගයක් බවට පත් වූයේ සිංහල භාෂාව තාර්කිකකරණය කිරීම ය. 1948 දී ගොඩනැඟුණු නව ජාතික රාජ්‍යයේ නිල භාෂාව හැටියට සම්මත වූ සිංහල භාෂාව නූතන රාජ්‍ය භාෂාවක් දක්වා සංවර්ධනය කිරීම එහි අරමුණ විය. එහිලා ඔහුට බලපාන ලද්දේ නූතන හේතුවාදී දර්ශනයයි. භාෂා තාර්කිකකරණයේ එක් උපක්‍රමයක් ලෙස නූතන තර්කවාදයේ විධික්‍රමයක් වූ සත්තාව ද්විත්ව ප්‍රතිපක්ෂ හැටියට තේරුම් ගනිමින් එහි එක් පාර්ශ්වයක් පරමත්වයට නැඟීමට ඔහු උත්සහ දැරීය. ඒ අනුව ඔහු භාෂාව නම් බහුපාර්ශ්වීය, බහුරූපී සහ විෂමජාතීය ප්‍රපංචය හඳුනා ගන්නේ ද්විත්ව ප්‍රතිපාක්ෂික දෘෂ්ටි කෝණයකිනි. කටවහර-ගත්වහර, ස්වභාවික-කෘත්‍රිම, රාජ්‍ය- රාජ්‍ය නොවන, ජාතික- ප්‍රාදේශික, මහ (ජාතියේ) භාෂාව-සුලු (ජාතියේ) භාෂාව, ප්‍රමිතගත-ප්‍රමිතගත නොවන, සංවර්ධිත-සංවර්ධිත නොවන භාෂාව යනුවෙන් කෙරෙන විභේදනයක් ඔහුගේ භාෂා කතිකාව තුළ සලකුණු කළ හැක්කේ එබැවිනි. එපමණක් ද නොව ඒ ප්‍රතිපක්ෂවලින් එක් පාශ්වයක් පරමත්වයට නඟමින් “කටවහර” මත පදනම් වූ “ ස්වභාවික”, “මහජාතියේ භාෂාව” වන “සිංහල භාෂාව” “ තාක්ෂණයට ඔබින” “රාජ්‍ය භාෂාව” මෙන් ම සියලු ජනවර්ගවලට පොදු “ජාතික භාෂාවක්” බවට “සංවර්ධිත” සහ “ප්‍රමිතගත” භාෂාවක් ලෙස ප්‍රතිසංසකරණය කිරීම සිය භාෂා කැරැල්ලේ ප්‍රමුඛ අරමුණ විය.

1978 වර්ෂයේ “ගල් වැනි මල්” කාව්‍ය සංග්‍රහයට එකතු කරන උපග්‍රන්ථවල ඉහත කැරැල්ලට අදාළ භාෂා ප්‍රඥප්තිය ඇතුළත් විය. ඒවා 1956 දී සිංහල රාජ්‍ය භාෂාව බවට කිරීමෙන් අනතුරුව 60-70 දසකවල සිංහල භාෂාව සමාජීය සහ තාක්ෂණික අවශ්‍යතාවලට අනුරූපව නවීකරණය කිරීම සඳහා ඉදිරිපත් වූ අන්‍යයන්ගේ යෝජනා ද ආශ්‍රයෙන් ඒවා සකස් වී ඇත. 90 දශකයේ දී පමණ තමන් ම ප්‍රායෝගිකව භාවිතයට ගැනුණු ඒ භාෂා රීතියේ ප්‍රධාන ම ලක්ෂණ හැටියට දැක්වුණේ සාම්ප්‍රදායික සිංහල ලේඛනයේ එන ණ, ළ, ෂ අක්ෂර නොසලකා හැරීම, එක ම ශබ්දයක් ලියා දැක්වීම සඳහා විවිධ අක්ෂර සමඟ භාවිත කෙරෙන වෙනස් පිල්ලම් වෙනුවට එක ම පිල්ලමක් යොදාගැනීම, කට වහරේ ව්‍යාකරණයට අනුව යමින් ලේඛනයේ ව්‍යාකරණය සකසා ගැනීම සහ භාෂණයේ දක්නට ලැබෙන ශබ්ද නිරූපණය කිරීම සඳහා සාම්ප්‍රදායික සිංහල අක්ෂර මාලාවේ නොමැති අක්ෂර හඳුන්වාදීම යනාදිය යි. ඒවා සිංහල භාෂාව හේතුවාදීව තාර්කිකරණයට ලක් කිරීමේ ප්‍රතිඵලය. 90 මැද භාගය වන විට මහාචාර්ය ජේ.බි. දිසානායක වැනි වාග්විද්යාඥයන් තිලකසේනගේ භාෂා රීතිය නම් කළේ සමතික්‍රමය රීතිය ලෙසය.

මෙම භාෂා ප්‍රතිසංකරණ ව්‍යාපාරයේ දී තිලකසේන තම භාෂා මතවාදය අනන්‍ය කරන්නේ යටත්විජිත යුගයේ සිට ක්‍රමයෙන් වර්ධනය වුණු සිංහල ස්වෝත්තමවාදය සමඟ ය. එහි දී ඔහු අනගාරික ධර්මපාලගේ ආර්ය භාෂා ප්‍රතිසංස්කරණ මතවාද සමග අනන්‍යවන ආකාරය 80 දසකයේ ඔහු ලියන ලද ලිපිමාලාවක් ඇතුළත් “සංස්කෘතික කාන්තාරයක් කරා” කෘතියෙන් දැකගත හැකිය. සිංහල ජනතාව බටහිරකරණයෙනුත් සිංහල භාෂාව ඉංග්‍රීසි භාෂාවෙනුත් “බේරා ගෙන” පිරිපහදු කිරීමේ අවශ්‍යතාව එහිදී ඔහු අවධාරණය කරන්නේ සාහිත්‍යකරුවකු ලෙස ඔහු ඉක්මවා ගිය පියදාස සිරිසේන වැනි ලේඛකයකුගේ සාහිත්යික ජාතිකවාදයට අනන්‍ය වෙමිනි. ඊටත් අමතරව “ සිංහල භාෂාව” දෙමළාගෙන් ද දෙමළා වෙනුවෙන් පෙනීසිටින ප්‍රජාතන්ත්‍රවාදීන්ගෙන් ද බේරාගත යුතු එකක් යැයි ඔහු විශ්වාස කරයි. 1998 දී ඔහු අතින් ලියැවුණු “භාශා අර්බුදයේ ගමන් මග” කෘතියේ දී ඔහු තර්ක කරන්නේ ශ්‍රී ලංකාවේ ජනවාර්ගික අර්බුදයක් ඇතැයි කීම ගජබින්නක් බවත් ශ්‍රී ලංකාව යනු බහුවාර්ගික රටක් නොවන බවත් ය. මහජාතිය වූ සිංහලයාගේ භාෂා සංස්කෘතික විශ්වයට සුළු ජාතිකයා අවශෝෂණය කරගැනීමෙන් කුදුමහත් වාර්ගික සහ භාෂා ගැටලු විසඳා ගත හැකි යයි ඔහු පරිකල්පනය කරයි. ඊට සුදුසු මාර්ගයක් ලෙස ඔහු යෝජනා කරන්නේ එය දෙමළාටත් පොදු හුදු රාජ්‍ය භාෂාවක තත්වයෙන් ඔබ්බට ගිය ජාතික භාෂාවක් බවට පත් කිරීමයි. මෙරට සුලු ජාතීන්ගෙන් බහුතරයකට ද සිංහල භාෂා ශක්‍යතාව පවතින බැවින් එය හැකි තරම් සරල කර තාක්ෂණයට ගැළපෙන පරිදි නවීකරණය කිරීමෙන් උගත්-නූගත්, සිංහල-දෙමළ සියලු ජාතීන්ට භාවිත කළ හැකි “නූතන භාෂාවක්” බවට පත් කිරීමත් එමඟින් සිංහලයාත් දෙමළාත් මුහුණ දෙන භාෂා සහ වාර්ගික ගැටලු විසඳිය හැකි බවත් එමඟින් ඉඟි කෙරේ.

මේ අනුව සාහිත්යික නූතනවාදියෙක් වන තිලකසේන භාෂාමය යථාර්ථවාදියකු වන ආකාරයත් භාෂාමය යථාර්ථවාදයේ වාර්ගවාදී අන්තය වූ භාෂා ජාතිකවාදයත් එහි නපුරු ම දේශපාලනික ස්වරූපයක් වූ සිංහල භාෂා ජාතිකවාදයක් මතවාදීව නියෝජනය කරන ආකාරය තේරුම් ගත හැකිය. හුදෙක් ඔහුගේ භාෂා රීතියේ පවතින්නේ යැයි වාග්විද්‍යාඥයන් තර්ක කරන අනාගතවාදී සහ ජනසම්මතවාදී ලක්ෂණ අභ්‍යන්තරයේ පවතින්නේ පශ්චාත් යටත්විජිත ලංකාවේ ක්‍රමිකව වර්ධනය වූ භාෂා ජාතිකවාදයත් සිංහල ස්වොත්තමවාදයත් මිස ඊනියා සමතික්‍රමණයවාදයක් නොවන බව වටහා ගත යුතු ය. ඊට හේතුව වර්ගවාදය කවර මුහුණුවරයකින් පැමිණිය ද මානවීයත්වයේ පවත්නා උල්ලංඝනය කළ නොහැකි විශ්වවේදයට එය හතුරු එකක් වන බැවිනි. තිලකසේන ම සාහිත්‍යිකව ගොඩනඟන චරිත සහ සමාජ ශ්‍රේණියට ද එය පසමිතුරුකම් මුදාහරියි

ක්‍රිශාන්ත ෆෙඩ්රික්ස්

More From Author

නිශ්ක්‍රීය කළ අසංවෘත බැදුම්

තොරොම්බල් කරත්ත- ඉෂාර මනෝජ් කහවල

Leave a Reply

Your email address will not be published. Required fields are marked *