පිළිකාව මාරයෙක්ද ?

නිමල් සිය සොහොයුරා සමඟ පිළිකා සායනයට පැමිණ සිටි පළමු දිනය එයයි. සැරින් සැරේ මුත්‍රා යාම සහ එකවරකට අඩු මූත්‍රා ප්‍රමාණයක් පිටවීම යන රෝග ලක්ෂණ නිසා ඔහු මාස කීපයක සිට පීඩාවට පත්ව සිටියේය. නිමල් පවුලේ වෛද්‍යවරයා හමුවී ප්‍රතිකාර ලබාගත් අතර සිදු කරන ලද PSA රුධිර පරීක්ෂණයේ ප්‍රතිඵලය සාමාන්‍යය මට්ටමට වඩා බෙහෙවින් ඉහල අගයක් ගෙන තිබුණි. එයින් පසුව සිදු කරන ලද පර්යේෂණ වලින් පුරස්ථි ග්‍රන්ථියේ පිළිකාවක් ඇති බවට හඳුනා ගැනීමත් සමඟ ඉදිරි ප්‍රතිකාර සඳහා පිළිකා සායනයට යොමු කරන ලද්දේ මහ රෝහලෙනි.


“නිමල්ගේ පිළිකා තත්වය මේ පටක වාර්තා එක්ක එහෙම සංසන්දනය කරලා බලපු වම High grade කියල වර්ග කරන්න වෙන විදියෙ, තරමක බරපතළ තත්වයක්. පිරිමි හෝමෝන මේ පිළිකාවේ වර්ධනයට බලපානවා. අපි ඒ බලපෑම අඩු කරන්න මාසෙන් මාසෙට හෝ මාස තුනකට වරක් බෙහෙත් විදින්න ලෑස්ති කරල දෙන්න පුළුවන් . නැත්නම් නිමල්ට පුළුවන් වෘෂණ ඉවත් කිරීමේ සැත්කම කර ගන්න”

“වෘෂණ ඉවත් කරන්නම ඕනද දොස්තර මහත්තයෝ”

“ඔයා මේ ඔපරේෂන් එකට අකැමැති නම් අපිට පුළුවන් බෙහෙත් විදින්න ලෑස්ති කරල දෙන්න”

“මම ගෙදර ගිහින් කල්පනා කරල බලල ඇවිත් කියන්නද මහත්තයෝ”

“හොඳයි. එහෙනම් අපි ඊලඟ සතියෙ හම්බ වෙමු”

නිමල් සතියකට පසු සායනයට පැමිණ සිටියේ මාස තුනකට වරක් බෙහෙත් විද ගන්නවා යන තීරණයත් සමගිනි. මාස තුනකට පසු සායනයට එන දිනක රෝහල් බිමේදී ඔහුට තවත් පුරස්ථි ග්‍රන්ථියේ පිළිකා සහිත රෝගියෙක් මුණගැසුණි.

“ඇයි ඔයා ඔච්චර අමාරුවෙන්?”

“මගේ පිළිකාව ඇට වලට පැතිරිලා. මේ පාර වේදනාව වැඩි හින්දා විකිරණ ප්‍රතිකාර වලට යොමු කරලා තියෙන්නේ. “

“එහෙමත් වෙනවද? අමාරුද ඔයාට”

නිමල් කම්පනයකින් විමසා සිටියේය.

“ඔව්. මම ඔපරේෂන් කරන්නවත් බෙහෙත් විදින්න වත් කැමති වුණේ නෑ. දැන් ඇට වලට ගිහින් වේදනාව ඉවසන්න බැරි නිසා ලොකු දොස්තර මහත්තයා කිව්වා විකිරණ ප්‍රතිකාර පොඩ්ඩක් කරල බලමු කියලා. වේදනා නාශක සායනය නිසා තමයි මෙහෙමවත් සහනයක් තියෙන්නේ “

“එහෙමද?”

“ඔව් අපේ ගෙවල් ලඟ එක් කෙනෙක් මැරුණා ලෙඩේ හොයා ගන්න කොටත් මුත්‍රා බොක්කට පැතිරිලා නිසා. ඒත් මේක නම් මගේ වරද, මම කැමති වුනෙ නෑ කිසි දේකට. “

එවිට එතැන සිටි නිමල්ගේ සොහොයුරා කලඹල විය. ඔහුට කිසි රෝග ලක්ෂණයක් නොමැතිවම ඔහු බියට පත් වී සිටියේ මේ විස්තර වලට කන් දීමෙනි.

“එදා මම දොස්තර මහත්තයාගෙන් ඇහුවම එයා කිව්ව එහෙම හැමෝගෙම PSA බලන්න ඕන නෑ. ප්‍රශ්නයක් තියෙනවා නම් විතරයි ඔය පරීක්ෂණ කරන්න ඕන කියලා. අද ආයිත් පාරක් මේ ගැන අහල බලමු.”

නිමල් සිය සොහොයුරා සමඟින් වාට්ටු භාර වෛද්‍යවරයා හමුවීමට ගියේ තරමක චකිතයකිනි.

“ඇයි නිමල්?”

“මහත්තයෝ, අපිට යමක් දැන ගන්න ඕනේ”

“කියන්න.” වෛද්‍යවරයා කෙටියෙන් පිළිතුරු දුන්නේය.
ඔවුන් දෙදෙනා ගැටළුව ඉදිරිපත් කලහ.

“මෙහෙමයි නිමල්, PSA වැඩි වුන හැමෝටම මේ පිළිකා තත්ත්වය නැහැ.අපි නිකම් කිසි හේතුවක් නැතිව ඔය පරීක්ණ කරල බලන්න කියල සාමාන්‍ය මිනිසුන්ට කියන්නෙ නැහැ. පුරස්ථි ග්‍රන්ථියේ පිළිකාවක් තිබ්බත් ඒක හැමෝගෙම වැඩිවෙලා පැතිරිලා යන්නේ නැහැ. ඒත් දැන් නිමල්ට තිබ්බ වගේ high grade තත්ව වලදී වගේ නම් අපි වාර්තා බලල ඒකට ප්‍රතිකාර නියම කරනවා. ප්‍රතිකාර නොගෙන හිටියොත් ඒක පැතිරිලා වැඩි වෙලා පිළිකාව නිසා අමාරු වෙලා මැරෙන්න පුළුවන් නිසා. ඒත් හැමෝටම එකම ප්‍රතිකාරය නියම කරන්නේත් නැහැ. බරපතල කම අඩු අයට අපි පරීක්ෂණ කරමින් බලාසිටීමත් කරනව.


නිමල් හරි විදිහට ප්‍රතිකාර අරන් කියන කාලෙට පරීක්ෂණත් කරගමු… දැනට කලබල නොවී ඉන්න. ඔයාගෙ CT Scan පරීක්ෂණ ඔක්කොම දැනට හොඳ මට්ටමේ තියෙන්නේ”

“බොහොම ස්තූතියි මහත්තයෝ” නිමල් පැවසීය.

“ඒකනේ, දැන් අයියත් බය වෙන්න එපා. ඔයාට මේ පිළිකාව නිසා මැරෙන්න වෙන්නෙ නෑ. අපි මේ කියන පිළිවලට ක්ලිනික් එමු.”

More From Author

“සටන් විරාම” ගිවිසුමට ගාසා තීරයේ ස්ථිර ඊශ්‍රායල වාඩිලා ගැනීම ඇතුළත් වේ

පාලකයන්ට එරෙහි ඡනතා සටන්වල මහ ගෙදර

Leave a Reply

Categories

LDM Columns

https://www.facebook.com/profile.php?id=61575953530348