පිළිකාව මාරයෙක්ද?

“කමලෝ අපි ඉක්මනට ඉස්පිරිතාලෙට යමු” ඒ කමලාවතීගේ සැමියා වූ ධනපාලය.
“අනේ මට අමාරුයි. මොනවා හරි කරන්න.
මට ඉන්න බෑ. මැරෙන්න තරම් අමාරුයි”
“ඉක්මනට යං කමලෝ…, නඟින්නකො ත්‍රීවිල් එකට.

කමලාවතී ධනපාලගේ වාරුවෙන් ත්‍රිරෝද රථයට ගොඩ වැදුණා ය. ඇය ඉවසිය නො හැකි වේදනාවෙන් පෙළෙන්නීය.ධනපාල ඇයව වත්තම් කර ගෙන ලගම ඇති ග්‍රාමීය රෝහල වෙත රැගෙන යන ලදී. ඒ වන විටත් රෝගියාගේ තත්වය බරපතළ බවට වෛද්‍යවරුන් වටහා ගෙන තිබුණේ ඇයව මූලික සායනික පරීක්ෂාවට ලක් කිරීමෙන් අනතුරුවය.

එහෙයින් ඇයව එදිනම ආසන්නතම මහ රෝහලේ ශල්‍ය වෛද්‍ය ඒකකයට මාරු කර යවන ලදී.
මහ රෝහලේ දී කමලාවතී හදිසි ශල්‍යකර්මයකට බඳුන් වූ අතර ඇය දැඩි සත්කාරයේ දින කීපයක් ගත කිරීමෙන් අනතුරුව ශල්‍ය වෛද්‍ය ඒකකයේ සාමාන්‍ය වාට්ටුවක් වෙතට ඇයව මාරු කරන ලදී.

“අනේ දොස්තර මහත්තයෝ! මගේ බඩ කපල දාලා මේ හයි කරපු බෑග් එක හැම දාම තියා ගන්න ඕනද?” ඇයට මල ද්‍රව්‍යය බැහැර කිරීම සඳහා colostomy බෑගයක් උදරයේ සවි කර තිබුණි. ඇගේ ලොකුම හිසරදය වූයේ එයයි.

“නැහැ කමලාවතී, අපි මේක ආපහු අයින් කරලා දෙන්නම්. ඒත් ඊට කලින් කරන්න දේවල් තියෙනවා කමලාවතීගේ මහත්තය ආව හම ටිකක් මාව හම්බ වෙන්න එන්න කියන්න කෝ…”

“හොඳමයි දොස්තර මහත්තයෝ”
දිවා කාලයේ රෝගීන් බලන වේලාවේ කමලාවතී ගැන විස්තර දැන ගැනීමට වෛද්‍යවරයා හමුවීමට ධනපාල ගියේ ඒ අවසරයෙනි.

“ඉඳ ගන්න ඔයා කමලාවතීගේ මහත්තයා ද?”

“ඔව් දොස්තර මහත්තයෝ, මගේ නෝනට මොකක්ද වෙලා තියෙන්නේ?”

“හරි, දැන් කමලාවතීගෙ මහත්තයා දන්නවනේ බඩේ ගෙඩියක් තිබිල, ඒක පිපිරුවා කියලා තමයි අපි ඔපරේෂන් එකට එයාව අර ගත්තේ කියල”

“ඔව් මහත්තයෝ එයාගේ ජීවිතයත් බේර ගන්න අමාරු වෙයි කියලනෙ අපිට එවෙලෙ කිව්වේ “

“අපි එයාගේ බඩ ඔපරේෂන් කරද්දී අපිට පෙනුණ විදිහට නම් ඒක ටික කාලයක් තිස්සේ බඩේ තිබිලා ලොකු වෙච්ච ගෙඩියක්. එයාට මීට කලින් මොකුත් අමාරු තිබ්බේ නැද්ද?”

“තිබුණ මහත්තයෝ… එයා මාස තුනක් විතර ඉඳන් සැරින් සැරේ බඩ බුරුල් කරලා යනවා කියලා කියනවා, වෙලාවකට බඩ වේලවල යනවා කියලා කියලා කියනවා. ඒත් ඒක වැඩිය ගණන් ගත්තේ නැහැ එයා..
මෑතක ඉඳන් බඩේ කැක්කුමත් කිව්වා.අන්තිම දවස් දෙක තුනේ විතර ඉඳන් මල පහ එක්ක ලේ මිශ්‍ර වෙලා තිබ්බා. ඊට කලියෙනුත් ඉඳහිට එහෙම ටිකක් ලේ ගියා කියලාත් කමල මට කියල තියෙනවා දොස්තර මහත්තයෝ”

“ඒක තමයි තමයි. ඒ කාලෙම කමලවතීව අරන් ආව නම් අපිට හදිසි ශල්‍යකර්මයකට යන්න වෙන්නෙ නෑ. බඩේ තිබ්බ ගෙඩිය පිපිරුව හින්ද බඩවැල් වලින් එළියට කාන්දු වෙච්ච දේවල් උදර කුහරයට එකතු වෙලා. එතන විෂබීජ නිසා තමයි කමලාවතීට උණ ආවේ. දැන් නම් අපි ඒකටත් බෙහෙත් කරලා තියෙන්නේ. ඒත් මුලින් එක්ක ගෙන ආව නම් ඔහොම ජීවිත අවදානමක් ඇති වෙන්නේ නෑ… තව සති දෙකකින් බඩෙන් අයින් කරපු බඩවැල් කොටස්වල පටක වාර්තාව එනවා. ඒක ආවම ඉතුරු විස්තර කතා කරමු.”

“හොඳමයි මහත්තයෝ”

සති දෙකකට පමණ පසු කමලාවතීගේ පටක වාර්තාව සමඟ ඇයව ශල්‍ය වෛද්‍ය සායනයේ විශේෂඥ වෛද්‍යවරයාට යොමු කරන ලදී.

“කමලාවතී ගේ ඔපරේෂන් කරල අයින් කරපු බඩවැල් කොටස් ගැන පටක වාර්තාව මේ ඇවිත් තියෙන්නේ. අපි ඔපරේෂන් කරන වෙලාවෙ අනුමාන කරපු විදිහට ම බඩවැලේ ඇතිවුන පිළිකා තත්ත්වයක් තමයි මේක.
අපි බඩවැලේ තිබ්බ පිළිකා කොටස් සම්පූර්ණයෙන්ම ඔපරේෂන් එකේදී අයින් කරලා තියෙන බව වාර්තාවේ සඳහන් වෙලා තියෙනවා. ඒ වගේම ඔයාගේ CT පර්යේෂණයේ රිපොර්ට් එකත් හොඳයි. ඒකට අනුව පිළිකාව අක්මාව වගේ වැදගත් අවයව වලට පැතිරිලා ගිහින් නැහැ.”

“අනේ ලොකු දෙයක් ලොකු මහත්තයෝ…
එතකොට දැන් බයවෙන්න ඕනෙ නැද්ද? ” ධනපාල විමසුවේ සැනසිල්ලක් බලාපොරොත්තුවෙනි.

“එහෙම කියන්න අමාරුයි අපට… බඩවැල් පිපිරුණ තැනින් පිළිකා සෛල උදර කුහරයට එකතු වෙන්න පුළුවන් නිසා අපි කොච්චර හොඳට ශල්‍යකර්මය කරත් අවදානමක් තියෙනවා. අනික මේ අනික මේ වාර්තා අනුව කමලාවතීව අපිට පිළිකා සම්බන්ධ විශේෂඥ වෛද්‍යවරයෙකුට යොමු කරන්න වෙනවා.”

“හොඳමයි දොස්තර මහත්තයෝ, ඔබ තුමාට බොහොම පින්” ධනපාල ට වෛද්‍යවරයා වෙත සිය කෘතඥතාව පළ කිරීමට වෙනත් වචනයක් තිබුණේ නැත. කමලාවතී පිළිකා වෛද්‍ය සායනයට යොමු වුනේ එලෙසය ඇයගේ වාර්තා පිරික්සා බැලූ පිළිකා රෝග විශේෂඥ වෛද්‍යතුමා ඇයට උපදෙස් ගොන්නක් ලබා දෙන ලදී.

” මේ පටක වාර්තා වලට අනුව අපිට සිද්ධ වෙනවා පිළිකා නාශක බෙහෙත් විදින්න. සති දෙකෙන් දෙකට වාට්ටුවට ඇවිත් ඇඩ්මිට් වෙමු එහෙම මාස හයක් විතර එක දිගට ප්‍රතිකාර අර ගන්න වෙනවා.”

“හොඳයි දොස්තර මහත්තයෝ”
“එහෙනම් හෙටම ඇවිත් වාට්ටුවේ නවතින්න.”

කීමෝ ප්‍රතිකාර සඳහා පිළිකා වාට්ටුවේ ඇයව නතර කරන ලද්දේ එසේය. පිළිකා නාශක බෙහෙත් ලබා ගන්නා අතරතුර දී සැලකිලිමත් විය යුතු කරුණු සම්බන්ධයෙන් උපදෙස් මාලාවක් ඇයට ලබා දෙන ලද්දේ වාට්ටුවේ වෛද්‍යවරුන් සහ හෙද හෙදියන් විසිනි.

කමලාවතී සති දෙකෙන් දෙකට පැමිණ වාට්ටුවේ නැවතුණා ය. කීමො ප්‍රතිකාරය නිසි පිළිවලට ලබා ගත්තා ය.
ගත වූ මාස හයක කාලය තුල සංකූලතාවයන් මධ්‍යයේ වුවත් පහසුවෙන් ගෙවී ගියේ පවුලේ සියල්ලන් ගේම ආදරය, කරුණාව සහ උදව් උපකාර නො අඩුව ඇයට ලැබුණ බැවිනි.
පිළිකා රෝගී සත්කාරය යනු හුදෙක් ඖෂධ පමණක් ම නොවේ. එය වෛද්‍යවරුන්ගේත්, හෙද හෙදියන්ගේත්, සෙසු කාර්ය මණ්ඩල සියල්ලේ ම සාමූහික දායකත්වයෙන් ඉටු වන සේවාවක් බව කමලාවතී ඒ මාස හය තුළ දී අත්දැක්කා ය. පිළිකා රෝගී වාට්ටුව තුළ දී පෝෂණවේදී සායනය, වේදනා නාශක සායනය, සහන සත්කාර ඒකකය සහ මනෝ වෛද්‍ය ඒකකය යන සියලු අංශවල සහායද ඇයට නො අඩුව ලැබුණි.

ඇය මාස හය අවසානයේ සිදු කරන ලද CT ස්කෑන් පරීක්ෂණයට මුහුණ දුන්නා ය.

” කොහොමද කමලාවතී!”

” මම හොඳින් දොස්තර මහත්තයෝ… මගේ ස්කෑන් රිපෝට් එක පෙන්නන්න අද ආවෙ”

“හොඳයි. මේ රිපෝට් එකේ හැටියට කමලාවතීගේ පිළිකාව කොහෙටවත් පැතිරිලා ගිහින් නැහැ අපි ඔයාට ආයෙත් ultrasound scan රිපෝට් එකකුයි, CEA ලේ පෝර්ට් එකකුයි එක්ක මාස තුනකින් බලමු. colostomy bag එකත් අයින් කර ගන්න අවශ්‍ය කටයුතු අපි ඉක්මනින් කරලා දෙන්නම්.

” හොඳමයි දොස්තර මහත්තයෝ…”
කමලාවතී සැනසිලි සුසුමක් හෙළුවා ය.නො බෝ දිනකින් ම ඇයට මල පහ එකතුවෙන බෑගයට තිත තියන්නටත් පුළුවන් වනු ඇත.

“පිළිකාව කියන්නෙ මාරයෙක්ම නෙමේ ධනේ… ඔයාලා මාව බේර ගත්ත.” ඇය සායනයට ගොස් නැවත ගෙදර එන අතර ධනපාලගේ මුහුණ දෙස බැලුවේ වෙනදාටත් වඩා සෙනෙහසිනි.

More From Author

ශ්‍රී ලංකාවේ ද ඇතුළුව, හිරු යට පවතින සියළු දේ දේශපාලනික වේ (පළමු කොටස)

රාජ් කුමාර් කවිශ්නා දියනියගේ හපන්කමි

Leave a Reply

Categories

LDM Columns

https://www.facebook.com/profile.php?id=61575953530348