“හිර කුඩු” කෘතියේ කර්තෘ, ජනප්‍රිය ලේඛිකා වෛද්‍ය සුජිවා හේමමාලි, මෙවර ලංකා ඩේලි මේල් වෙබ් අඩවියේ අරුනැල්ල සමඟ එක්වෙයි.

ඔබේ අලුත්ම නවකතා පොත “හිර කුඩු”. ඒ පිළිබඳ කෙටි හැඳිනීමක් කළොත්?
මගේ අළුත්ම පොත “හිර කූඩු” නමින් මෙවර කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ දී එළිදැක්වුණා.
නව යොවුන් වියේ දී පාසලේ පන්ති කාමරයක ඇරඹෙන ආදර කතාවක ගලා යාම ගැනත් මැදිවිය තෙක් දිවෙන ඒ ප්‍රධාන චරිත වල සිදුවන හැල හැප්පීම් ගැනත් පොතෙන් කියවන්න පුළුවනි.

මෙම කෘතියෙන් ඔබ සමාජයට කියන්නට උත්සාහ කරන්නේ කුමක් ද?
අදට වසර තිහකට පමණ පෙර දී නම් පාසල් ප්‍රේමයක් කියන්නේ බාධක මැද පවත්වා ගන්නා සම්බන්ධතාවක්. පාසලෙන් ප්‍රේම සම්බන්ධතා සම්බන්ධයෙන් ඉතා දැඩි නීති බලපැවැත්වූ කාලයක පාසල් ප්‍රේමයක් නඩත්තු කල පෙම්වතුන් දෙදෙනෙක් ගැනයි ආරම්භයේ දීම කතාවට පැණි රසක් මිශ්‍ර කරමින් ප්‍රවිෂ්ට වන්නට මා සැලසුම් කලේ. එහෙත් කාලයත් සමඟ ඒ ප්‍රේමය විකසනය වෙන අයුරු මම අකුරු කලේ ප්‍රේමයේ ඇතැම් තැන් වල ඇඹුල් රසයත් ඇති බව පාඨකයාට පෙන්වා දෙමින්. මේ කතාවෙන් ගැහැනියකගේ නිරුවත පිළිබදව සමාජයේ මතය නිසා කාන්තාවක අගතියට පත් වන අයුරු පෙන්වා දෙමින් කියවන්නාට බාර කර සිටිනවා තිත්ත රසයට සහ කුණු ගඳට ඉව අල්ලන සමාජය ගැන තමාගේ ස්ථාවරය වෙනස් කර ගන්නට. ගැහැනු පිරිමි ලිංගික සබඳතා වලින් ඔබ්බට ගිය මානව සබඳතා ලෝකයේ ඕනෑ තරම් ඉතිරි වෙලා තියනවා. ඒ ගැන කතා කරන්නටත්, සුදෝ සුදු නොවන, කලුම කලුත් නොවන මිනිසුන්ගෙ ශක්තිමත් බාහුවක සැගවී ආරක්‍ෂාව පතන ගැහැනියක ගැන කතා කරන්නටත් මා සිතුවේ ස්ත්‍රින් යනු මානව ශිෂ්ඨාචාරයේ ආරම්භයේ සිටම මේ දක්වා පිරිමින් විසින්ම ආරක්‍ෂා කල බව අමතක නොකරමින්.
බෞද්ධ දර්ශනය, මානව දයාව සහ පැවිද්ද ගැනත් ලියා තබන්නට මා අමතක නොකලේ පොතේ චරිත දෙක අන්ත දෙකක ස්ථාන ගත කරමින්. අල්ප පරිභෝග ඇති, නිවීම කේන්ද්‍ර කරගත් සැබෑ භික්ෂූත්වය ස්ත්‍රින් නිසා හානි වන හැටි කතා කරන්නටත් මට මේ පොත යම් පිටිවහලක් වුනා. දේශපාලනය , බල තණ්හාව ගැනත් පොතේ ඇතැම් තැන්හී අඩු වශයෙන් සඳහන්. දාරක ප්‍රේමය ඇට මිදුළු විනිවිද දුවන වේදනාවක් වුවද, හැදූ මව්පියන්- වැදූ මව්පියන් අතර සෙනෙහස මායිම් බිද දමමින් නැගෙන ඝට්ටනයන් ගැනද සූක්ෂ්මව කියවුවොත් ඔබට හඳුනාගන්නට හැකි වෙයි. අවසානයේ කියන්නට ඕනෑ වන්නේ කිසිවිට කිසිවකු විනිශ්චය කරන්නට ඉක්මන් නොවුන මැනවි කියා යි. නදීර තෝරා ගන්නා පැවිද්ද ගැන හෝ සහේලී තෝරා ගන්නා ජීවිතය ගැන අපට විනිශ්චය කිරීමට අයිතියක් නැහැ.
නව පරපුරට මෙම කෘතියේ ඇති වැදගත්කම කුමක් ද?
නව පරපුර තරුණයි. හරිම විචාරශීලියි. ඒ නමුත් ඔවුන් ස්වභාවයෙන්ම ආවේගශීලීයි. විශේෂයෙන් මේ කෘතියෙන් ඉදිරිපත් කරන ආකාරයේ හැල හැප්පීම්වලට ගොදුරු වන්නේත් ඔවුන්. අද සිය දිවි නසා ගැනීම් තරුණ පරපුර අතර බහුල යුගයක්. මේ කතාවේ කතානායකයින් සියදිවි නසා ගැනීම තෝරා නොගන්නා හැටි ගැන මා සියුම්ව ලියා තබන්නට උත්සාහ කලා. හැමවිටම තවත් අලුත් බලාපොරොත්තුවක් ජීවිතේට හමුවෙනවා. එතකන් මොනවා හරි දෙයක් අල්ලා ගන්න ඕන බව ඔවුන් තේරුම් ගනීවි. එපමණක් නොවේ, යොවුන් වියේ පටන් දැන ගෙන සිටිය යුතුම උපත් පාලනය ගැන යම් අදහසක් දීමටත් මෙහි අකුරු මා භාවිතා කලේ සතුටින්.

වර්තමානයේ ඔබ වෛද්‍යවරියක්. ඊට අමතරව විවිධ කලා ඉසව්වල ඔබ නියෙළෙයි.දෛනිකව මේ හැම දෙයක්ම සැලසුම් කරගන්නෙ කොහොමද?
වෛද්‍යවරියක් වීම සමග මට සමාජයේ විවිධ ස්ථර සමග ගනුදෙනු කරන්නට සිද්ධ වෙනවා. විශේෂයෙන්ම රාජකාරීමය වශයෙන්. කාලෙන් කාලයට ලැබෙන ස්ථාන මාරුු නිසා ලංකාවේ ප්‍රදේශ කිහිපයක සැරිසරලා එක් එක් ප්‍රදේශවල මිනිස්සුන්ගේ පොදු හැසිරීම් රටා, විවිධ ප්‍රදේශවල පාරිසරික, භූගෝලීය ලක්ෂණ ගැන අවබෝධයක් ලැබීමත් ලියන්නියක් විදියට මට ආශිර්වාදයක් වුනා. ඇතැම් තැන්වල රාජකාරී කටයුතු කිරීමේදී සිදු වන අපහසුතා පවා මට යමක් ඉගන ගැනීමටම හේතුවක් මිස පසුතැවීමට කාරණාවක් වුනේ නෑ. ඒ නිසා මේ වෘත්තීය මගේ ලිවීමට තවත් රුකුලක්.
කාලය කළමනාකරණය කර ගැනීම නම් පහසු කරුණක් වුනේ නැහැ. ලිවීම කියන්නේ මම ඉතා ආශාවෙන් කරන දෙයක්. ඒ නිසා දවසට පැයක් හෝ දෙකක් ලියමන් වෙනුවෙන් වෙන් කරන්නට මට පුළුවන්.
ඔබගේ ඉදිරි නිර්මාණ කටයුතු පිළිබඳව සදහන් කළහොත්?
දැනට මගේ පලවෙනි නවකතාව “ඉNස්ටා Age” කියවූ පිරිසක් ඉන්නවා. ඒනිසා වෙන්නට ඇති දරුවන් වෙනුවෙනුත් විද්‍යාප්‍රභන්දයක් කරන්නට යැයි ඇතැමුන් ඉල්ලා සිටියා. ඒ ගැනත් සලකා බලන්නට ඕන.
දැනට මා විසින් පිළිකාව ගැන Lanka daily mail හී ලිපි පෙලක් පළ කරමින් සිටිනවා. ඉදිරියටත් එවැනි ලෙඩ රෝග ගැන යම් දැනුවත් කිරීම් සහිත සරල ලියමන් කීපයක් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙනවා.
සංවාද සටහන:සුභාෂ්
“හිර කුඩු” [YouTube] කෙටි වීඩියෝව පහත සබැඳියෙන් නැරඹිය හැකිය.





