හිත්තැටියගේ සමන්ත:
ග්‍රැහැම් හාමන් විසින් “The Politics of Things ” (දේවල්වල දේශපාලනය) මැයෙන් කළ අදහස් හා කතාවල ඉතා සරල සාරාංශයක් ඉදිරිපත් කිරීමට දරන උත්සාහයක් මේක. ඉතා සංකීර්ණ දාර්ශනික සාකච්ඡාවක් මෙවැනි කෙටි සටහනකින් ඉදිරිපත්කරන කොට වෙන්න පුලුවන් වැරදි අවම කරගන්න උත්සාහ කරමින් තමයි මේක කරන්නෙ. හාමන්ගේ මූලික අදහස වන්නේ මිනිසා කේන්ද්‍ර ( Human-centric) කරගත් සාම්ප්‍රදායික දේශපාලන න්‍යායන් විවේචනය කිරීම සහ දේශපාලනික ජීවිතය තුළ මිනිස් නොවන වස්තූන්ගේ වැදගත්, බොහෝ විට නොසලකා හරින ලද, කාර්යභාරය අවධාරණය කිරීමයි.
මෙම සාකච්ඡාවට ප්‍රධාන කරුණු කිහිපයක් හාමන් එකතු කර ගන්නවා. පලමු කාරනය තමා මිනිසා කේන්ද්‍ර කරගත් දේශපාලනය ප්‍රතික්ෂේප කිරීම. හාමන් පෙන්වා දෙන්නේ නූතන දේශපාලන න්‍යායේ ප්‍රමුඛ ප්‍රවේශයන් දෙකම (මිනිස් ස්වභාවය පිළිබඳ රූසෝගේ ශුභවාදය සහ හෝබ්ස්ගේ අශුභවාදය) මිනිසා දේශපාලන විශ්වයේ කේන්ද්‍රයෙහි තැබීම නිසා වැරදි සහගත බවයි. දේශගුණික විපර්යාස වැනි අර්බුද හමුවේ, මිනිස් නොවන වස්තූන්ගේ ගැඹුරු බලපෑම පැහැදිලි වන බැවින් මෙම ප්‍රවේශය තවදුරටත් වලංගු නොවන බවට ඔහු තර්ක කරයි.

අනෙක් ඔහු විසින් ඉදිරිපත්කරන ප්‍රධාන කාරනයක් වන්නේ වස්තූන්ගේ සමානාත්මතාව පිළිබඳ අදහසයි. Object-Oriented Ontology (OOO) දර්ශනයේ හරය වන්නේ මිනිස්, මිනිස් නොවන, ස්වාභාවික හෝ කෘතිම යන සියලු වස්තූන් සමාන වස්තූන් ලෙස සැලකීමයි. මෙම ” දේවල් වල ප්‍රජාතන්ත්‍රවාදය ” (Democracy of Things ) යනු, මිනිසුන් වෙනත් වස්තූන්ගෙන් මූලික වශයෙන් වෙනස් නොවන බවයි. එබැවින්, දේශපාලන න්‍යාය, පරිසර පද්ධති, මාර්ග, ලේඛන සහ වෙනත් මිනිස් නොවන වස්තූන්ගේ නියෝජනය සහ දේශපාලන භූමිකාව සැලකිල්ලට ගත යුතු බව ඔහු අවධාරණය කරයි.
සමාජයේ “මැලියම්” ලෙස වස්තූන් පැවතීම පිළිබඳවවූ අදහස අනෙක් කාරනයයි. ( Objects as the “Glue” of Society – මෙය සිංහල බසට කල සාර්ථක පරිවර්තනයක් නොවේ) ) බෲනෝ ලැටූර් (Bruno Latour) ගේ අදහස් සහ ඇක්ටර්-නෙට්වර්ක් න්‍යාය (Actor-Network Theory) ඇසුරින් හාමන් යෝජනා කරන්නේ මිනිස් නොවන වස්තූන් මිනිස් ක්‍රියාවන්ට අක්‍රිය පසුබිමක් සපයන දේ පමණක් නොවන බවයි. ඒ වෙනුවට, ඔවුන් ( මිනිස් නොවන වස්තූන් ) සමාජ සම්බන්ධතා හැඩගස්වන සහ එකට තබාගන්නා ක්‍රියාකාරී සහභාගිවන්නන් බව ඔහු පවසයි. “කිසියම් දෙයක් ගොඩනැගීම” ( Building something) හෝ ” කඩා දැමීම ” (Disassembling something – පලමු පදය Building සමග අනුනාද වන නිවරැදි සිංහල වචනයක් සොයා ගැනීමට අපොහොසත් විය) යනු මිනිසුන් සහ ඔවුන්ගේ අන්තර්ක්‍රියා මැදිහත් කරන දේවල් අතර සබඳතා නැවත සකස් කරන බැවින් එය වචනාර්ථයෙන්ම දේශපාලන ක්‍රියාවක් බව ඔහු තර්ක කරයි.
මීලඟට හාමන්ගේ සාකච්ඡාව යොමුවන්නේ, වස්තූන්ගේ “මුරණ්ඩුකම” වෙතයි ( The “Stubbornness” of Objects – මෙයට වඩාත් හොඳ සිංහල වචනයක් යෝජනා කිරීමට යමෙකු සමත්වනු ඇත. කරුනාකර comment කරන්න ). වස්තූන් දියාරු හෝ නිමක් නැතිව වෙනස් කළ හැකි ( fluid or infinitely malleable ) දේවල් නොවන බව හාමන් අවධාරණය කරයි. ඒවා වෙනත් වස්තූන් සමග ඇති සබඳතා ඉක්මවා යන යථාර්ථයක් ඇති, “නොහික්මුණු” සහ “මුරණ්ඩු” දේවල් ලෙස ඔහු විස්තර කරයි. පරිසර පද්ධතියක් ආරක්ෂා කිරීම හෝ සමාජ සංවිධානයක් වෙනස් කිරීම වැනි වෙනස්කම් සිදුකිරීම එතරම් අපහසු වන්නේ වස්තූන්ගේ මෙම සහජ ප්‍රතිරෝධය නිසාවෙනි. අප සිතනවාට වඩා ලෝකය ස්ථිතික බවත්, එය බොහෝ විට වෙනස්කම්වලට ප්‍රතිරෝධය දක්වන වස්තූන්ගෙන් සෑදී ඇති බවත් ඔහු පෙන්වා දෙයි.

දේවල් සමග සංවාදය ලෙස දේශපාලනය ( Politics as Negotiation with Things ) විග්‍රහ කිරීම හාමන් මීලඟට සිදුකරයි. හාමන්ට අනුව දේශපාලනය යනු මිනිස් අවශ්‍යතා හෝ මතවාද අතර සාකච්ඡා කිරීම පමණක් නොවේ. එය මිනිසුන් සහ දේවල් එක්ව නව එකලස් කිරීම් (assemblages) සාදාගන්නා ආකාරය සහ මෙම එකලස් කිරීම් සමාජය හැඩගස්වන ආකාරය පිළිබඳව වන කාරනයකි. මේ නිසා, මිනිස් සහ මිනිස් නොවන ක්‍රියාකරුවන් අතර අනපේක්ෂිත අන්තර්ක්‍රියා හේතුවෙන් ඇතිවන “දේශපාලනයේ අවිනිශ්චිතතාවය” හඳුනා ගන්නා වඩාත් සියුම් දේශපාලන න්‍යායක් අවශ්‍ය බව ඔහු යෝජනා කරයි.
සාරාංශයක් ලෙස, හාමන්ගේ “දේවල දේශපාලනය” යනු මිනිසාගෙන් ඔබ්බට අපගේ දේශපාලන පරිකල්පනය පුළුල් කිරීමට සහ අපගේ දේශපාලන හා සමාජ යථාර්ථය නිර්මාණය කිරීමේ හා පවත්වාගෙන යාමේදී මිනිස් නොවන වස්තූන් ඉටු කරන සජීවී, ක්‍රියාකාරී සහ අත්‍යවශ්‍ය කාර්යභාරය පිළිගැනීමට කරන කැඳවීමකි.

හිත්තැටියගේ සමන්ත – Hiththatiyage Samantha
පෙර කොටස:





