නම් තුනක් ඇති ඝාතකයකුට ගොදුරු වූ ‘ලියොන් ට්‍රොට්ස්කි’

1940 අගෝස්තු 21 වනදා, මාරයා ලියොන් ට්‍රොට්ස්කි කරා පැමිණියේ සෝවියට් දේශයෙන් බොහෝ ඈත මෙක්සිකෝවේදී. එහෙත් මාරයාගේ කාර්යයභාරය සිදුකළේ සෝවියට් ඒජන්තයකු විසින්. යාක්ස් මොනාර්ඩ් නමින් පෙනී සිටි ඔහුගේ ඝාතකයා ඊට පෙර දින ඔහුගේ නිවසේදීම ට්‍රොට්ස්කිගේ හිසට, හිම කඳු නැගීමේදී භාවිතා කරන පොරවකින් පහර දීමෙන්, මොළයට සිදු වූ හානිය ඔහුගේ මරණයට හේතු වුණා​​. ඔහුගේ මරණය එකල NKVD නමින් හඳුන්වන ලද, පසුව KGB බවට පත් වූ සෝවියට් රහස් ඔත්තු සේවය​ විසින් සිදුකරන ලද බව පසු කලෙක​ හෙළි වූ අතර සෝවියට් දේශය 1989 දී ඒ බව පිළිගත්තා​.

KGB

ට්‍රොට්ස්කි ඝාතනය ඉතා ප්‍රවේශමෙන් සැලසුම් කරන ලද්දක් බව බොහොම පැහැදිලියි​. මෙම සැලසුම කෙතරම් ප්‍රවේශමෙන් පිළියෙල කෙරුණේද යත්, එය ක්‍රියාවට නැගූ යාක්ස් මොනාර්ඩ් යනු කවරෙක්ද යන වග පවා හෙළි වූයේ බොහෝ කල් ගත වූ පසුවයි​.

ස්ටාලින් vs ට්‍රොට්ස්කි

Leon Trotsky-Joseph Stalin

සෝවියට් විප්ලවයට නායකත්වය දුන් පිරිස අතුරින් රතු හමුදාව නිර්මාණය කිරීම සහ රුසියාවේ සිවිල් යුද්ධයේ දී එය ජයග්‍රහණය කරා ගෙන යාමට වැඩියෙන්ම දායක වූ තැනැත්තා ලියොන් ට්‍රොට්ස්කි බව පැහැදිලියි. විප්ලවයෙන් පසු විදේශ කටයුතු පිළිබඳ කොමිසාර්වරයා වූ ඔහු 1918 මාර්තුවේ දී යුධ සහ නාවික කටයුතු පිළිබඳ කොමිසාර්වරයා ලෙස පත්ව රතු හමුදාව ප්‍රබල සටන්කාමී ඒකකයක් බවට පත්කොට​, එය ජයග්‍රහණය කරා මෙහෙයවූවා​.

කෙසේ නමුත් පසුකාලීනව සෝවියට් කොමියුනිස්ට් පක්ෂය තුළ ජෝසප් ස්ටාලින් සිය බලය තහවුරු කරගත්තා​. ස්ටාලින් සහ ට්‍රොට්ස්කි අතර පෞද්ගලික ආරවුල් මෙන්ම සෛද්ධාන්තික ආරවුලක් ද තිබුණා​. මින් කවරක් දෙදෙනාගේ ආරවුලට වඩා වැදගත් වුණා ද යන්න විවාදාත්මකයි. නමුත් බොහෝවිට වාමාංශික ව්‍යාපාරවල සිදුවන්නේ පුද්ගලික තරහ මරහ වසාගැනීමට සෛද්ධාන්තික කවර එළීම බවත් ප්‍රකට කරුණක්. 1924 ජනවාරියේ සිදු වූ ලෙනින්ගේ මරණින් පසු ස්ටාලින් කෙමෙන් පක්ෂයේ බලය තහවුරු කරගත්තේ ට්‍රොට්ස්කි සහ ඔහුගේ සහචරයින් පසෙකට තල්ලු කරමින්.

1928 දී සෝවියට් කසාක්ස්ථානයට පිටුවහල් කරන ලද ට්‍රොට්ස්කි 1929 දී සෝවියට් දේශයෙන් ම පිටමං කරනු ලැබුණා. ඔහු සිව් වසරක් තුර්කියේ ඉස්තාන්බුල් නගරාසන්නයේ බ්‍යුකාඩා දූපතේ ජීවත් වුණා​. 1933 දී ඔහුට ප්‍රංශයේ දේශපාලන රැකවරණ හිමි වුණ නමුත් 1935 දී ට්‍රොට්ස්කිට ප්‍රංශයෙන් පිට වීමට සිද්ධ වුණා. මීළඟ දෙවසර ඔහු ජීවත් වුණේ නෝර්වේ රාජ්‍යයේ යි. 1937 දී සෝවියට් දේශයෙන් එල්ල වූ පීඩනය මත නෝර්වේ රාජ්‍යයට ඔහුව පිටමං කිරීමට සිදු වුණා.

ට්‍රොට්ස්කි මීළඟට ළඟා වුණේ මෙක්සිකෝවට යි. එරට ජනාධිපතිවරයා විසින් ඔහුව සාදරයෙන් පිළිගනු ලැබුණා. චිත්‍ර ශිල්පිය‍ෙකු වූ දියේගෝ රිවේරාගේ නිවසේ ජීවත් වූ ඔහු පසුව දැඩි රැකවල් සහිත නිවෙසක පදිංචියට ගියා.

Diego Rivera

පිටුවහල් ව සිටිය දී ඔහු ස්ටාලින් සමග සටන දිගටම ගෙන ගියා. 1930 දී පළ වූ රුසියානු විප්ලවයේ ඉතිහාසය ග්‍රන්ථය එම විප්ලවය පිළිබඳ විශිෂ්ට විස්තරයක් ලෙස සැලකෙනවා. එයින් පසු ඔහු පොත පත සහ ලිපි මඟින් ස්ටාලින් විවේචනය කළා. 1938 දී තුන්වන ජාත්‍යන්තරයට එරෙහිව ඔහු හතරවන ජාත්‍යන්තරය පිහිටවූවා.

කොමියුනිස්ට් ව්‍යාපාරය පැත්තෙන් ගත් කළ හතරවන ජාත්‍යන්තරයට විශාල බලපෑමක් තිබුණේ නැතත් ට්‍රොට්ස්කිගේ විවේචන ස්ටාලින්ට දරුණු පහරක් වුණා. කෘතහස්ට්ත ලේඛකයකු හා න්‍යායාචාර්යවරයකු වූ ට්‍රොට්ස්කිගේ සෛද්ධාන්තික ප්‍රහාර හමුවේ ප්‍රතිප්‍රහාර එල්ල කිරීමේ ශක්තියක් ස්ටාලින්ට වූයේ නැහැ. 1930 දශකයේ මැද කාලයේ සිට ස්ටාලින් තමන්ට එරෙහි වේයැ යි සිතූ සියල්ලන් මරා දැමීමට පටන් ගෙන තිබුණ අතර සැතපුම් දහස් ගණනක් ඈත ජීවත් වූ ට්‍රොට්ස්කි ද එම ලැයිස්තුවේ ඉහළින් ම සිටියා.

නම් තුනකින් යුතු ඝාතකයා​

ට්‍රොට්ස්කිට මාරාන්තික පහර එල්ල කළ පුද්ගලයා ට්‍රොට්ස්කිගේ නිවසේ අය දැන සිටියේ ෆ්‍රෑන්ක් ජැක්සන් යන නමින්. කෙසේ වෙතත් තමා යාක්ස් මොනාර්ඩ් නම් ප්‍රංශ ජාතිකය‍ෙකු බව ඔහු අත්අඩංගුවට ගත් පසු ප්‍රකාශ කළා. තමා බලාපොරොත්තු කඩ වූ ට්‍රොට්ස්කිවාදියකු බව ඔහු ප්‍රකාශ කළ නමුත් ප්‍රශ්න කිරීමේ දී ඔහුට දැඩි ස්ටාලින්වාදී අදහස් තිබෙන බව පෙනෙන්නට තිබුණා. තව ද ඔහුගේ ප්‍රංශ භාෂා භාවිතය ව්‍යක්ත ලෙස පෙනී ගියද, ඒ තුළ යාන්තමින් සැඟවුණ ස්පාඤ්ඤ ඌරුවක් ගෑවී තිබුණා. මේ අනුව යාක්ස් මොනාර්ඩ් යනු සැබැවින් ම වෙනත් පුද්ගලයකු බවට සැකයක් නිර්මාණය වුණා.

Ramon Mercader

යාක්ස් මොනාර්ඩ් සැබැවින්ම කවරෙක් ද යන්න සොයා ගන්නා ලද්දේ මෙක්සිකෝ ජාතික විශ්ව විද්‍යාලයේ අපරාධ විද්‍යාව පිළිබඳ මහාචාර්ය අල්ෆොන්සෝ ක්විරෝස් කුඅරොන් විසින්. ඒ ස්පාඤ්ඤ ජාතික පොලිස් ලේඛනාගාරය පරික්ෂා කිරීමේ දී. ඝාතකයා රමෝන් මර්කඩෝර් නම් ස්පාඤ්ඤ කොමියුනිස්ට්වාදියකු බව යි මේ අනුව හෙළි වූයේ.

Alfonso Quiroz Cuarón

ඝාතන සැලසුම​

රමෝන් මර්කඩෝර් මෙහෙයුම සඳහා බඳවාගෙන තිබුණේ ස්පාඤ්ඤ සිවිල් යුධ සමයේ දී ඔහුගේ මව හා අනියම් සබඳතාවක් ගොඩනගාගත් NKVD නියෝජිත ලියොනිඩ් එයිටින්ගන් විසින්. රමෝන්ගේ මව දැඩි මතධාරී කොමියුනිස්ට්වාදිණියක වුණා. එමෙන්ම ස්පාඤ්ඤ බස මෙක්සිකෝවේ ද ව්‍යවහාර භාෂාව වීම ද රමෝන් මර්කඩෝර් මේ සඳහා බඳවා ගැනීමට අමතර සුදුසුකමක් ලෙස සලකනු ලැබුණා.

Nahum Isaakovich Eitingon.

1938 දී රමෝන් මර්කඩෝර් පැරිසියේ දී ඇමරිකානු ට්‍රොට්ස්කිවාදිණියක වූ අගෙලොෆ් සමග සබඳතාවක් ඇතිකරගත්තා. 1939 දී ඔහු ෆ්‍රෑන්ක් ජැක්සන් යන ආරූඪ නාමයකින් යුත් ගමන් බලපතක් රැගෙන ඇය සමග ඇමරිකාවට පැමිණි අතර පසුව මෙක්සිකෝවට ළඟා වුණා. සිල්වියා මාර්ගයෙන් ඔහු ට්‍රොට්ස්කි නිවසට ඇතුළු වීමට අවස්ථාව උදා කරගත්තා.

Sylvia Ageloff

1940 මැයි මාසයේ දී මෙක්සිකානු පොලිස් නිල ඇඳුමින් සැරසුණ විසි දෙනෙකුගෙන් පමණ යුත් පිරිසක් ට්‍රොට්ස්කිගේ නිවසේ මිදුලට කඩා වැදී ඔහුගේ නිදන කාමරය වෙත වෙඩි ප්‍රහාරයක් එල්ල කළා. මෙම අවස්ථාවේ ඔහුත් ඔහුගේ බිරිඳත් ප්‍රාතිහාර්යයකින් මෙන් දිවි ගලවාගැනීමට සමත් වුණා. මෙම ප්‍රහාරයට සම්බන්ධ වූවන් පිළිබඳ සොයාගන්නා ලද නමුත් මර්කඩෝර් පිළිබඳ හෙළි වූයේ නැහැ.

මේ අනුව මර්කඩෝර් දිගටම ට්‍රොට්ස්කි නිවසට යන්නට එන්නට වූ අතර ට්‍රොට්ස්කි සමග ද මිත්‍රත්වයක් ගොඩ නගාගැනීමට සමත් වුණා.

Ramon Mercader

අගෝස්තු 17 වන දා මර්කඩෝර් ට්‍රොට්ස්කි හමු වුණේ ඔහු ලියමින් සිටි ලිපියක් පිළිබඳ සාකච්ඡා කිරීමට යි. මර්කඩෝර් එදින ට්‍රොට්ස්කිගේ කන්තෝරු කාමරයේ විනාඩි 11ක් රැඳී සිටියා.

නැවත ට්‍රොට්ස්කි හමුවීමට මර්කඩෝර් පැමිණියේ අගෝස්තු 20 වන දා යි. එදින පැහැපත් දිනයක් වූ නමුත් මර්කඩෝර් පැමිණියේ වැහි කබායක් හැඳගෙන යි. ඒ පිළිබඳ ට්‍රොට්ස්කිගේ බිරිඳ නතාලියා සෙඩෝවා විමසූ විට මර්කඩෝර් කියා සිටියේ “කොයි වෙලේ වුව වැසි වැටීමට ඉඩ ඇති ය​” යනුවෙන්.

නමුත් සත්‍ය කාරණය වූයේ එම කබායේ ඇතුල් සාක්කුවක මර්කඩෝර් හිම කඳු නගින්නන් භාවිතා කරන කුඩා අත් පොරවක් හෙවත් අයිස් පොරවක් රඳවාගෙන සිටීම යි. මර්කඩෝර් ට්‍රොට්ස්කිගේ කන්තෝරු කාමරයට ගොස් සිය ලිපිය ඔහුට පෙන්වා සිටියා. ට්‍රොට්ස්කි එය කියවන විට ඔහුට නොපෙනෙන ලෙස අයිස් පොරව සියතට ගත් මර්කඩෝර් එයින් ට්‍රොට්ස්කිගේ හිසට පහර දුන්නා.

ට්‍රොට්ස්කිගේ වේදනාත්මක කෑ ගැසීම ඇසී කාමරයට කඩා වැදුණ ආරක්ෂකයින් මර්කඩෝර් මරා දැමීමට සූදානම් වෙද්දී ට්‍රොට්ස්කි එය වළක්වාලූවා. ඔහුව ප්‍රශ්න කළ යුතු යි යනුවෙන් ට්‍රොට්ස්කි ප්‍රකාශ කළා. ඒ අනුව මර්කඩෝර් රඳවා ගනු ලැබුණා.

රෝහල්ගත කළ ට්‍රොට්ස්කි පසුදින මරණයට පත් වුණා. මර්කඩෝර් වසර 20ක් බන්ධනාගාරයේ කල් ගත කළ අතර පසුව නිදහස ලබා කියුබාවට සංක්‍රමණය වුණා. ඔහු මිය ගියේ 1978 දීයි.

More From Author

පාර වසා නැත…. VIP පාස් අනවශ්‍යයි! Touched the ‘Untouchables’

හැත්තෑ හය වසරක තල මල හෙවත් ඔක්කොමලා සුදාලා

Leave a Reply

Categories

LDM Columns

https://www.facebook.com/profile.php?id=61575953530348