ශක්තික සත්කුමාර:
“මුදලාලි මට හෙට නිවාඩුවක් ඕනෑ “
වන්නිතිලක කැෂියර් කූඩුවේ දකුණත තබාගෙන මුදලාලිගේ මුහුණට එඛෙමින් කීවේය. මුදල් නෝට්ටු වගයක් ගනිමින් සිටි මුදලාලි එවා ලාච්චුවට දමා දඩාස් යන හඩින් එය වැසුවේය. උපැස් යුවල ද ගලවා කැෂියර් කූඩුව මතට දැමූ මුදලාලි වන්නිතිලක දෙස බැලූවේ කෝපයෙනි.

“වන්නි තමුසෙට පිස්සු ද? ෆයිසර් දවස් දෙකක් නිවාඩු අරන් ගියා. දැන් සතියකටත් ළගයි මිනිහා තාම නෑ. තමුසෙත් ගියහම මට ද හෝටලේ කුස්සියෙ වැඩ කරන්න වෙන්නේ…”
“මුදලාලි අපේ ගමේ මළගෙයක් වෙලා. ළගම ඥාතියෙක්. අක්ක තමා උදේ කෝල් කරලා කීවේ…”
වන්නිතිලක, ගොරක මද මෙන් රතු වී ඇති මුදලාලිගේ දෑස් මගහරිමින් කීවේය.
“තමුසේ යනවනම් ආයෙ නොඑන්නම යනවා…. කොහොමත් මම රත්නපුරෙන් අලූත් කෝකියෙක් හොයාගෙන ඉන්නේ… බලනවා ඊයේ තමුසෙ හදපු කෑම බාගෙට බාගයක් ඉතුරු වුණානේ…”

වන්නිතිලක මුදලාලි සමග තවත් කතා කිරීමට නොගියේය. ගාලූ පාරේ එක පෙළට යන වාහන දෙස ඔහු මොහොතක් බලා සිටියේය. හෝටලට තුළට කිසිවෙක් ඇතුළු වෙනවා දුටු වන්නිතිලක මුළුතැන්ගේ දෙසට පියමනින්නට විය.
පෙරදා තැම්බූ මාළු කූරියෝ බේසමේ මැස්සෝ වසමින් ඇත. කුණු කාණුවට උඩින් දැමූ ලෑලි පළුව මත කැරට් සහ ලීක්ස් ගොඩවල් දෙකකි. හම ඉවත් නොකළ කුකුලන් තිදෙනෙක් සින්ක් එක මත දමා ඇත. මුළුතැන්ගෙට අල්ලා සාදා තිබූ වැසිකිලියේ දොර අසළ මීයන් කෑ අර්තාපල් ගොඩකි. මුළුතැන්ගේ වටේටම ඇස යැවූ වන්නිතිලක ඇගලාගෙන සිටි කමිසය ගලවා මුළුතැන්ගේ මැදින් බැද තිබූ වැලට දැමුවේය. ඔහුට මහත් අසරණකමක් දැනුණි.
ජීවත්වෙන්න මොනව හරි කරන්න එපෑ… දැන් රස්සා කීයක් නම් කරා ද? ගොවිතැන් කරා… බිස්නස් කරා…. අනුරාධපුරෙන් කොළඹට ඇවිත් කී තැනක වැඩ කරා ද?…. මේ හෝටලෙනුත් එළියට වැටුණොත්…
වන්නිතිලක අයියා දවල්ට චිකන් කෑම පාර්සල් විස්සක ඕඩරයක් ඇවිත්.. වේටර් කොලූවාගේ හඩින් වන්නිතිලක සරම කැසපොට ගසා ගත්තේ පිහිය කොහේ දැයි බලමිනි.

පාදයෙන් එක්වරම නැගී ආ වේදනාව නිසා ඔහුට නොදැනිම ඔහුගේ දකුණත දකුණු පාදයේ කලවා වෙත ගියේය. දින කිහිපයක සිට නැවත කැසීමට පටන් ගෙන ඇති දදය ඔහුගේ ඇගිලිවලට හසු විය. එයින් වැගිරෙන සැරවවලින් ඔහුගේ දෑගිලි පෙගුණි. එම ඇගිලි නාසයට ඇල්ලු ඔහු එයින් නික්මුණු දැඩි කුණු ගදට ඔහුගේ නාසය හැකිලී ගියේය.
වන්නිතිලක කිසිදු උද්යෝගයකින් තොරව දිවා ආහාරය පිළියෙළ කරන්නට විය. තමා මේ හෝටලයට පැමිණි මුල් කාලයේ දී තමන් උයන කෑම රස බැව් කියමින් මුදලාලි නිතර තමන්ව ප්‍රශංසා කළ අයුරුත් සවසට ගල් අරක්කු බාගයක් ගෙනවිත් දුන් අයුරුත් ඔහුට සිහි වේ. බාල තුනපහ දාලා කෑමවල රහ එන්නේ කොහොම ද? මම කොච්චර නම් පිරිසිදුවට කෑම උයනව ද? කොච්චර කරත් වැඩක් නෑ. තමන්ටම ඇසෙන්නට කියා ගත් වන්නිතිලක කැරට් කපමින් සිටි පිහියෙන් නැවතත් කකියන්නට පටන් ගෙන ඇති දදය කැසුවේය.
මල්ලි සියාතු සීයා ඊයෙ රෑ නැතිවුණා. පවුලේ කට්ටිය එකතුවෙලා අවසන් කටයුතු කරනවා. උන්දැට ඉතිං අඹුදරුවෝ ඉන්නවා කියලයෑ. උඹටත් කවදහරි එ වගේ වෙයි කියලා මට බයයි… අක්කා උදයේ මළගෙදර දැනුම් දුන් අයුරු වන්නිතිලකට සිහි විය. තනියම ජීවත් වෙන්න විදියකුත් නැතිව කොහොමද දරු පවුලක් රකින්නේ… ආයි… බුදු අම්මෝ… කුකුළු මස් කැපීමට යාමේදී ඔහුගේ වමතේ මැද ඇගිල්ල ද කැපී ගියේය. ඇගිල්ලෙන් ගලන ලේ කුකුළු මස් උයන ඇතිළියට වැටෙන සේ අල්වාගෙන සිටි වන්නිතිලක සරමෙන් රෙදි පටියක් ඉරාගෙන එය බැ`ද ගත්තේ තනිවමය.

සියාතු සීයාගේ මළගෙදරට යාමට නිවාඩුවක් ලබා නොදුන් මුදලාලි පිළබ`දව වන්නිතිලකගේ සිතේ වරින් වර පැන නැග ආ කෝපය බීඩි කිහිපයක් උරා නැති කර ගැනීමට ඔහු උත්සාහ දැරීය. වෙනදා තෙවරක් සෝද ළිප තබන හාල් ටික ද එදින ඔහු සේදුවේ එක්වරක් පමණි. කුකුළු මස් එක් වරක්වත් ඔහු නොසේදුවේය. ෆයිසර් නොපැමිණියහොත් හෙට දිනත් තනියම මේ සුමේ කරන්නට සිදුවනු ඇතැයි සිහිවීමෙන් වන්නිතිලකට තමා කෙරෙහි මහත් ආත්ම අනුකම්පාවක් ඇති විය.
පොල් මිරිකන විට උරපත්තේ වැසූ මදුරුවාට පොල් මිරිකමින් සිටි දකුණතින්ම ගැසූ ඔහු පිට කැසීය. සති කීපයකින් නොකැපූ නියපොතු අතරට කළු පාටට කුණු එකතු වී තිබුණි. එ දෙස බැලු ඔහු නියපොතු ටික කපා ගන්නවත් වෙලාවක් දෙනවද මේ මුදලාලියා කියන ගමන් එම කාර්යයේ නැවතත් නිරත විය. පරිප්පු සෝදන බේසම මුළුතැන්ගේ සෑම තැනම සෙව්වද ඔහුට එය සොයා ගත නොහැකි විය. වැසිකිලියේ දොර සමීපයේ එහි බාල්දිය තිඛෙනවා දුටු වන්නිතිලක එය අතට ගත්තේය. එහි අඩක් වතුර පිරී තිබුණු බැවින් එයටම පරිප්පු ටික දැමූ වන්නිතිලක එහෙන් මෙහෙන් සෝදා එය සාස්පානට දැමීය.
කුකුළු මස් හොද්දත්, පරිප්පුවත් ළිපෙන් බෑ වන්නිතිලක බත් හැලිය ලිප තබා මේසය යට දමා තිබූ කීරකොළ මිටි කිහිපය ගෙන පරිප්පු සේදූ වතුර විසික්කර එම බාල්දියටම දමා වතුර කරාමය ළගට ගෙන ගියේය.
හුටා වතුර කපලා… තමන්ටම කියා ගත් ඔහු පලා පිරවූ බාල්දිය සහ පලා කපන පිහිය ගෙන මේසය වෙතට ගියේය.
වන්නිතිලකගේ, වේටර්කොලූවාගේ සහ ෆයිසර්ගේ නවාතැන තිබුණේ හෝටලය උඩු මහලේය. දිවා ආහාරය පිසිමෙන් පසු වන්නිතිලක උඩුමහලට ගියේ මදක් විවේක ගැනීමටය.වෙනදා ඔහු උඩු මහලට යන්නේ දවල් බත ද සප්පායම් වීමෙන් පසුවය. එදින තමා ඉවූ කෑම කට ළගට ගැනීමටවත් ඔහුට පිරියක් නොවීය. කළු පැහැ ගැන්වී තිබුණු ඇද ඇතිරිල්ල මත දහඩිය පිටින්ම වන්නිතිලක දිගා විය. මද වේලාවක් ගතවන තුරු වන්නිතිලක නාසයේ බැදී තිබුණු හොටු කැබලි වමතෙහි දබර ඇගිල්ලෙන් කඩාගෙන දත් අතර තබා විකාගෙන සිට තුහ්… තුහ්.. හඩ නංවා ඉවත දැමීය. ඔහුට මහත් වෙහෙසක් දැනුණි. ඔහු තදින් දෑස් පියා ගත්තේය.

වන්නිතිලක නිවසට යමින් සිටියේ කාරයක් පදවාගෙනය. කාරය මහගෙදර මිදුලේ නවතන විටම අක්කා විසල් කර ගත් දෑසින් යුතුව එ දෙසට එමින් සිටියාය.
අපිට ආරංචියි මල්ලි කොළඹ හෝටලයක් පටන් ගත්තා කියලා. කාර් එක ගත්තේ අලූතින් ද? පහුගිය කාලේ මල්ලිට කෝල් ගත්තම වැඩ කරේ නෑ… අක්කා එකදිගට කතා කරයි. වන්නිතිලක කාරයෙන් බැස අව් කණ්ණාඩිය ගලවා අතට ගනියි. දෙවැට දිගේ පැමිණි අයෙක් මහගෙදර පිටුපස මිදුලෙන් මතුවී තමන් දෙසට එනවා දකින වන්නිතිලක අක්කාගේ ප්‍රශ්නවලට පිළිතුරු දෙනු වෙනුවට එ දෙස බලා සිටියේය.
දෙයියනේ සියාතු සීයා… සියාතු සීයා මැරුණා…

කාමරයේ දොරට තඩි බාන හඩින් වන්නිතිලක උඩගොස් ඇහැරුණේය.ඔහු හනික කාමරයේ දොර ඇරීය. ගල් අරක්කු බෝතලයක් සහ සිගරැට් පෙට්ටයක් රැගෙන සිනාමුසු මුහුණින් මුදලාලි කාමරයට ඇතුළු වූවේය.
“මොකද බං මේ මහ දවල් නිදි…. කමක් නෑ.. උඹට මහන්සිත් ඇතිනේ… අද බත් පාර්සල් ගෙනියපු වැඩ පොළන් හෙට ඉදලා දිගටම බත්මුල් සීයක ලොකු ඕඩරයක් ආවා. උඹගෙ කෑම ගොඩක් රසයි කියලා එ මහත්තුරු කීවා… උඹට ඉතිං මං ටිකක් සැරෙන් කතා කරන්ඩ ඕනෑ කෑම ටික රසට උයන්න… මුදලාලි ගල් අරක්කු බෝතලය සහ සිගරැට් පෙට්ටය වන්නිතිලක අතට දෙමින් කීවේය.
මෙතන රුපියල් පන්දාහක් තියෙනවා… උඹ ඉරිදා දිහාට ගමේ ගිහින් වරෙන්… අර කාගෙද මළ ගෙදරට යන්න බැරි වුණු එකේ දානෙට හරි මොනව හරි අරන් පලයං.. හෙට ෆයිසරුත් එනවා කියලා මට කතා කරා…”

මුදලාලි දුන් රුපියල් දාහේ නෝට්ටු පහ දකුණතින් මිට මොලවාගත් වන්නිතිලක දෑස් මෙන්ම මුව ද අයාගෙන මුදලාලි දෙස බලා සිටියේය

ශක්තික සත්සත්කුමාර-Shakthika Sathkumara





