කල්‍යාණ මිත්‍ර

පේරාදෙණි සරසවි පාරේ ඇවිදගෙන ගිහින් ඇවිදින මං තීරු සහිත පිට්ටනියට ගොඩ වෙලා, රවුම් දහයක් දුවන එක මට හරි ලේසි වැඩක්. දිවීමේ අවශ්‍යතාව මට වඩා මගේ කොලු පැටියට වුණාට, රවුම් භාගයක් වත් දුවා ගන්න බෑ එයාට. මගේ බෝල ගෙඩිය එහෙට මෙහෙට පොඩ්ඩක් ඇඹරිලා ඇවිදලා පැත්තකට වෙලා ඉන්නවා මං එනකම්. කොයි තරම් දුවවන්න හැදුවත් ඒක කරන්න මට බැරුව ගියා. කිසිම දේකට ඕනවට වඩා බල නොකරන මං එදත් එක සීමාවකින් එහාට දිවීම සඳහා එයාට කරන බල කිරීම නවතා දැම්මා.

පේරාදෙණිය සරසවි ක්‍රීඩාංගණයේ රවුම් දහයක් දුවලා, ව්‍යායාම කරලා, බිම් කරුවල වැටීගෙන එන වෙලාවට, සරසවි පාර දිගේ ගලහා හන්දියට පයින් ඇවිදගෙන ඇවිත්, ඉතිරි ටිකත් වදෙන්, පොරෙන් පයින්ම එක්ක ගෙන එන්න ලොකු සටනක් දෙන්න වුණා.

ඒ කොලු පැටියා එක්කම ඊට අවුරුදු දහයකට පස්සේ, සරසවි ක්‍රීඩාංගණයට ගියේ එයාට රවුම් දහයක් දුවන්න.

තමන් තෝරාගත්ත පාරේ සාර්ථකව ගමන යන්න නම්, ශාරීරික යෝග්‍ය තාව උපරිමව තිබිය යුතුව තිබුණ එකක් වුණේ දෛවයේ සරදමකට ද මන්දා.

කොහොමින් කොහොම හරි දැන් දුවනවා කියන එක වෙරි ඊසි. වෙන්න එපැයි. ඇඟත් දැන් හාල්මැස්සෙක් ගාන වුණාම.

නිරන්තර පුහුණුව, අභ්‍යාසය, මුවහත් කරලා ඔහුව.

ඒ ශාරීරිකව.

මානසිකව, ශක්තිමත් දරුවෝ ඕනම කෙනෙකුට උදව් කරන්න කැමතියි. පෙර කාලයේදී පුංචිම දේටත් හිත රිදවා ගත්ත පුංචි කොලු පැටියා, දැන් වෙනත් අයගේ දුක් කරදරත් ඔලුවට අරගෙන. උදව්වක් කල හැක්කේ කෙසේදැයි, සිතන්නට, තමන්ගේ අත්දැකීම් මතින් අනෙකා ඔසවා තබන්නට, මගෙන් අහන්නට, මගේ හැකියාවන්, හැඳුනුම්කම් ප්‍රයෝජනයට ගෙන තවත් කෙනෙකුට උදව් කරන්න දැන් එයාට වුවමනායි.

මේ අවස්ථාවන් වල මට එයාගේ අප්පච්චී සිහියට එන එක වලක්වා ගන්න බෑ. එක දවසක, එයාත් මට කිව්වා “අපිට කෙනෙකුට උදව්වක් කරන්න අවස්ථාව එන්නේ ජීවිත කාලයටම එකම එක වතාවක් වෙන්න පුලුවන්, කවදාවත් ඒ අවස්ථාව මිස් කර ගන්න එපා” . ඒ වචන ටිකේ තේරුම, නිකම්ම නිකම් වචන විතරක්ම නෙවෙයි කියලා මං පසක් කලෙත් ජීවත් වෙලාමයි.

කොහොමටත්, අපි දෙන්නගේ ජීවිතයේ පරමාදර්ශී පුද්ගලයා එයාම තමයි. නියමුවා නොමැති නැවක මහ මුහුදේ අතරමංව ගියා කියලා ලියැවුනේ ම ඒ කල්‍යාණ මිත්‍ර ඇසුර නොලැබී ගිය හින්දා මිස, ජීවිත නෞකාව පදවන්නට මා අපොහොසත් වීමක් නිසා නොවන බවද ලියා තබන්නට වුවමනායි. කටේ කිරි සුවඳ නොගිය, පුංචිම පුංචි කොලු පැටියෙක් එක්ක, අද හිතද්දී ඉතාම තරුණ අවදියේ සිටි මං, මේ දක්වා ආ ගමන ගැන ලියන්නට වචන මදි වනු ඇති.

ලේ බන්ධන කොයිතරම් ප්‍රබල ද , ජාන විද්‍යාව කොයිතරම් සත්‍ය ද ඒ සඳහා මං දකින හොඳම ඉස්තරම්ම සාක්ෂිය මගේ දෑස් ඉදිරිපිටම ඇත.

දෙමාපිය ලේ බැඳීම මත දරුවන්ට සම්ප්‍රේෂණය විය යුත්තේ යහපත් ආකල්ප, සිතුම් පැතූම්, ගුණ ධර්ම විතරයි. ඉඩකඩම්, යානවාහන, ධන ධාන්‍ය පයට පෑගෙන දුහුවිල්ලක් තරම් වටින්නේ නෑ, තමන්ගේ දරුවන් හොඳ පාරේ ගියේ නැත්නම්.

“මගේ කතා අහන් ඉන්න ඔබ වගේම පුතෙක් දීලා ඉක්මනින්ම නික්මුනේ ඇයි ඔබ ” කියලා එදා මං ලිව්වට, ඔබ වගේම කතා කියන, ඔබ වගේම පුතෙක් දුන්න එකම මදැයි සැනසෙන්නට කියලා ලියන්නට තරමට මට දැන් දැන් ඇහෙන්නේ ඔබේ කතා, ඔබේ සිනා මයි. කල්‍යාණ මිත්‍ර සමාගමය දැන් මගේම පුතා එක්ක වෙන එකත් එක්තරා විදියක විශ්වීය ආශීර්වාදයක්.

කවදා හෝ ඒ දෑත අල්ලගෙන යන මගේ පුංචි දියණිය කොයිතරම් නම් වාසනාවන්ත වේවිද? මේ දැන් මට හිතෙන දේවල්.

කාලය පියඹලා ගිහින්,.. අපි දෙන්නා ඇවිද ගිය සරසවි පාරේ නොබෝ දිනකින් අපේ පුතු, අපේ දියණිය ගේ අතින් අල්ලන් ඇවිද යන හැටි මගේ දෑස් මානයේ නිර්මිතයි.

ඒ බලා කෝල සිනා පාන්නට වියපත් පෙම්වත් අපි දෙන්නත් හිටියනම් නේද… !

More From Author

නිර්ධන පන්ති පක්ෂයක් සඳහා අරගලය: සහෝදරවරුන්ට යැවූ ලිපි – III

පුරුෂ මූලික සාහිත්‍ය භූමියක ස්ත්‍රීවාදී හඬ – ඉසබෙල් අයියන්දේ

Leave a Reply

Categories

LDM Columns

https://www.facebook.com/profile.php?id=61575953530348