අනුර බී. සෙනෙවිරත්න:
ලතින් ඇමරිකානු සාහිත්‍යය එම කලාපයේ රටවල වාචික සහ ලිඛිත සාහිත්‍ය භාෂා කිහිපයකින් ම සමන්විත වෙයි. ඒ අනුව යමින් සාහිත්‍යකරණයේ නියැලුණු සහ නියැලෙන ලතින් ඇමරිකානු ලේඛක ලේඛිකාවන් කිහිපදෙනකු ම මෙහි දී අපට සිහිපත් වේ.
කෙළොම්බියානු ලේඛක ගේබ්‍රියෙල් ගාර්සියා මාකේස්, චිලී ජාතික ලේඛිකා ඉසබෙල් අයියන්දේ, චිලී දේශයේ ජාතික කවියා වන පැබ්ලෝ නෙරූඩා, කියුබානු ජාතික කවියා වන ජොසේ මාර්ටි, නිකරගුවානු ලේඛක අර්නෙස්ටෝ කාඩිනල් සහ ඇමරිකානු කවියකු වන රෙනෝ කැස්ටිලෝ ඉන් කිහිපදෙනෙකි.

ස්පාඤ්ඤ, පෘතුගීසි සහ ඇමරිකාවේ ස්වදේශීය භාෂාවලින් නිර්මිත ලතින් ඇමරිකානු සාහිත්‍යය ලොව වඩාත් ප්‍රමුඛත්වයට පත්වූයේ, ඉන්ද්‍රජාලික යථාර්ථවාදය ලෙස හැඳින්වෙන ලේඛන ශෛලිය විසිවන සියවසේ දෙවන භාගයේ දී ගෝලීය වශයෙන් ප්‍රචලිතවීමත් සමඟ ය. ගේබ්‍රියෙල් ගාර්සියා මාකේස් එහි පුරෝගාමී ලේඛකයා ලෙස පිළිගැනෙන අතර, ඉසබෙල් ඇන්ජලිකා අයියන්දේ ලෝනා හෙවත්, ඉසබෙල් අයියන්දේ ද ඒ මග ගිය ප්‍රමුඛ ලේඛිකාවකි.
‘මායා වාස’ (The House of the Spirits) සහ ‘ඊවා ලූනා’ (The Stories of Eva Luna) – ගාමිණී වියන්ගොඩ, ‘පෝලා’ (Paula) – භද්‍රජී මහින්ද ජයතිලක, ‘ජපන් පෙම්වතා’ (The Japanese Lover) – මැනුවෙල් ජයසේකර, ‘සයුරු තෙර සහන් බිම’ (A Long Petal of the Sea) – රෝහණ වෙත්තසිංහ, ‘සිසිරයේ මැද’ (In the Mist of Winter) – ගාමිණී පලිහේන, ‘මුහුද යට දිවයින’ (Island Beanath the Sea) – නිලූක කදුරුගමුව සිංහලයට පරිවර්තනය වී ඇති ඇය විසින් රචිත කෘති කිහිපයකි.

1942 අගෝස්තු 2 වන දින පේරු රාජ්‍යයේ ලීමා නුවර උපත ලද ඉසබෙල් අයියන්දේ ලතින් ඇමරිකාවේ පළමු සාර්ථක නවකතාකාරිණිය බවට පත්වූවා ය. කුඩා කල සිට ම දුක් කම්කටොලූ ඇයට අලූත් දෑ නොවී ය. චිලී රාජ්‍යයේ සමාජවාදී ජනාධිපතිවරයා වූ සැල්වදෝර් අයියන්දේ ඇගේ පියාගේ ඥාති සොහොයුරා මෙන් ම, ඇගේ කැපකරු පියා ද වී ය. 1973 සැප්තැම්බර් 11 වන දින චිලී හමුදා ප‍්‍රධානී ජෙනරාල් ඔගස්ටෝ පිනෝචේ විසින් මෙහෙයවන ලද කුමන්ත‍්‍රණයක දී තබන ලද වෙඩි පහරකින් ඔහු ඝාතනයට ලක්වී ය.

පිනෝචේගේ රජය විසින් ඇය අසාදු ලේඛනගත කරන ලද හෙයින්, ඉසබෙල් අයියන්දේ සිය පළමු සැමියා සහ දරුවන් දෙදෙනා සමඟ වෙනිසියුලාවට පලා ගිය අතර, ඔවුහු වසර 13 ක් එහි නැවතී සිටිය හ. ඉන්පසුව 1987 වසරේ දී එහි සිට ඇමරිකා එක්සත් ජනපදයේ කැලිෆෝනියාවට සංක‍්‍රමණය වන ඇයට 1993 වසරේ දී ඇමරිකානු පුරවැසිභාවය හිමිවී ය.
1991 දී ඇගේ දියණිය ‘පෝලා’, දරුණු රෝගයක් හේතුවෙන් කෝමා තත්ත්වයට පත් වූ අතර, වසරකට පසුව එනම්, වයස අවුරුදු 29 දී ඇය මිය ගියා ය. ඇගේ මරණයෙන් ඉසබෙල් අයියන්දේ බොහෝ සෙයින් කම්පනයට පත් වූවා ය. 1994 දී පළවූ අයියන්දේගේ ප‍්‍රබන්ධ නොවන පළමු කෘතිය වන Paula කෘතිය ඒ දියණිය වෙනුවෙන් බිහිවන්නේ එම සහකම්පනය හේතුවෙනි. ඇය එය නිර්මාණය කර ඇත්තේ, 1992 දී මියගිය ඇගේ එම දියණියට ලියන ලිපියක් ලෙස ය.
දියණිය මියයාමේ දුකෙන් ඇය ඈත් කිරීම සඳහා ඇගේ සැමියාත්, තවත් මිතුරෙකුත් ඇය ඉන්දියාවට කැටුව යාමට තීරණය කළෝ ය. රාජස්ථාන් හරහා ඔවුන් රිය පදවමින් සිටිය දී ඔවුන්ගේ මෝටර් රථය ආබාධයකට ලක් වී ය. සිය පිරිස එම දෝෂය සකස් කරගන්නා තෙක් අයියන්දේ ඉන්දියානු කාන්තාවන් පිරිසක් සමඟ කතාවට වැටුණා ය. ඔවුනට පොදු භාෂාවක් නොතිබුණ ද, එකිනෙකා හා සන්නිවේදනයේ යෙදෙන්නට ඔවුනට හැකි වී ය.
ඔවුන්ගෙන් සමුගෙන යන්නට කාලය පැමිණි විට එහි සිටි තරුණියක් ඇයට කුඩා කඩමාළු පාර්සලයක් දිගු කර එය විවෘත කරන ලෙස තරයේ කියා සිටියා ය. එය විවර කළ අයියන්දේ දුටුවේ, එතුළ සිටි පෙකණි වැල පවා තවමත් වියළී නොගිය, දිනක් වයසැති අලුත උපන් බිළිඳකු ය. අයියන්දේගේ රියදුරු මැදිහත් වී දරුවා නැවත කාන්තාවට භාර දී, අයියන්දේ ඉක්මනින් මෝටර් රථයට නංවා ගත්තේ ය. එම කාන්තාව ඇගේ බිළිඳු දරුවා තමාට දීමට තැත්කළේ මක් නිසා දැයි ඇය රියදුරුගෙන් ප‍්‍රශ්න කළා ය. ඒ බිළිඳා ගැහැණු ළමයෙකු බව පැවසූ රියදුරා, ගැහැණු ළමයකු අවශ්‍යවන්නේ කාට දැයි පෙරළා ඇගෙන් ප‍්‍රශ්න කළේ ය. එම සිදුවීම ඇගේ හදවත බෙහෙවින් සසල කළේ ය.
නිවසට පැමිණි ඇය ‘ඉසබෙල් අයියන්දේ පදනම’ පිහිටුවීමට කටයුතු කළේ ය. එහි අරමුණ වූයේ, අසාධාරණයට ලක්වන එවන් කාන්තාවන්ට සහ දැරියන්ට උපකාර කිරීම ය. ඔවුන්ගේ සෞඛ්‍යය, අධ්‍යාපනය, ආර්ථික ස්වාධීනත්වය වර්ධනය කර ප‍්‍රචණ්ඩත්වයෙන් ඔවුන් ආරක්ෂා කිරීම ගැන අවධානය යොමු කිරීම ය. 2016 සිට ඇගේ එම පදනම සරණාගතයන්ට, විශේෂයෙන් ම එක්සත් ජනපදයේ දකුණු දේශසීමාවේ සිටින පුද්ගලයන්ට ස්ත‍්‍රී පුරුෂභාවයකින් තොරව උපකාර කිරීම සඳහා වඩාත් පුළුල් කර තිබේ.

1982 දී පළවූ ඇගේ පළමු නවකතාව වන La casa de los espíritus (The House of the Spirits) බිහිවූ ආකාරය ද තරමක් පුදුම සහගත ය. 1981 දී ඇය මාරාන්තික ලෙස රෝගාතුරව සිටින තම සීයාට ලිපියක් ලියන්නට පටන් ගත්තා ය. එම ලිපිය මොනතරම් දීර්ඝ වූවා ද කිවහොත්, එය එම නවකතාව දක්වා විකාශනය වී ය. 1993 දී එය සිනමාවට ද නැගිණි.

ඉන් පසුව, 1984 දී De amor y de sombra (Of Love and Shadows) නම් ඇගේ දෙවන නවකතාව පළවූ අතර, 1994 දී එය ද සිනමාවට නැගිණි. අනතුරුව 1987 දී Eva Luna, 1991 දී El plan infinito (The Infinite Plan) සහ 1990 දී Cuentos de Eva Luna (The Stories of Eva Luna) ප‍්‍රකාශයට පත්වූ අතර, එම කෘති ඇය රචනා කර ඇත්තේ, මායා යථාර්ථවාදී ශෛලිය අනුගමනය කරමිනි.

ඇගේ බොහෝ කෘති තුළින් දකුණු ඇමරිකානු දේශපාලනය නිරූපණය වේ. සිය අත්දැකීම් අනුසාරයෙන් ලියන ලද ඇගේ පළමු කෘති හතර ලතින් ඇමරිකාවේ කාන්තාවන්ගේ භූමිකාව පරීක්ෂාවට ලක් කරයි. එසේ වුව ද, ඇගේ The Infinite Plan නවකතාව එක්සත් ජනපදය මූලික කරගෙන නිර්මාණය කර ඇති අතර, එහි ප‍්‍රධාන භූමිකාව පිරිමි චරිතයක් ඇසුරින් නිර්මාණය කර තිබේ.
2003 දී පළවූ Mi país inventado (My Invented Country) කෘතිය මගින් 1973 සැප්තැම්බර් 11 වන දින චිලියේ ඇති වූ විප්ලවයත්, ඉන්පසු ඇය විසින් ම එරටින් පිටුවහල් වූ ආකාරයත් පමණක් නොව, 1990 ගණන්වල මුල් භාගයේ සිට ඇය ජීවත් වූ සහ ඇය හදාවඩා ගත් රට වන ඇමරිකා එක්සත් ජනපදය සහ 2001 සැප්තැම්බර් 11 එරටට එල්ලවූ මරාගෙන මැරෙන ප‍්‍රහාරය පිළිබඳ ඇගේ හැඟීම් ද විස්තර කර තිබේ.

2007 වසරේ පළවූ ඇයගේ පසුකාලීන මතක සටහන් ඇතුළත් La suma de los dias (The Sum of Our Days) කෘතිය මගින් ඇගේ විසිරුණු පවුල ගැන ඇය විස්තර කරන්නී ය. එමෙන් ම, 2021 පළවූ ඇගේ The Soul of a Woman කෘතිය තුළින් ඇය ස්ත‍්‍රීවාදිනියක ලෙස ඇයගේ වර්ධනය ගැන සාකච්ඡා කරන්නී ය.

ඉසබෙල් අයියන්දේට ස්ත‍්‍රීවාදය පිළිබඳ මුලකුරු කියවන්නට ලැබුණේ ඉතා කුඩා කාලයේ දී ය. ඇයට වයස අවුරුදු තුනේ දී තම පියා විසින් මව අතහැර දමන ලද අතර, කුඩා දරුවන් තිදෙනකු තනිව ම ඇති දැඩි කිරීම සඳහා නොවිඳිනා දුක් විඳීමට ඇගේ මවට සිදුවී ය. මව නැවත සන්තියාගෝ හි පිහිටි ඇගේ මාපියන්ගේ නිවසට ගිය අතර, එහි දී ඇගේ පියා ඇගේ මුදල් පාලනය සියතට ගත්තේ ය.
ඇගේ විවාහය අවලංගු කිරීමෙන් පසු ඇය පල්ලියෙන් ද නෙරපා හරින ලදි. තම මවට සිදුවූ මෙම අසාධාරණයන් නිරීක්ෂණය කළ කුඩා ඉසබෙල් සැමවිට ම පුරුෂාධිපත්‍යයට එරෙහිව දිගින් දිගට ම චෝදනා කළා ය. ඇගේ The Soul of a Woman කෘතිය තුළ ඇය ඒ සම්බන්ධ ඇගේ විරෝධය මැනවින් සඳහන් කර තිබේ.
තුන් වතාවක් ම විවාහ වී ඇති අයියන්දේ, ස්ත‍්‍රී පුරුෂ සමානාත්මතාව සඳහා වන සටන කිසි විටෙකත් අත්හළේ නැත. 1967 දී, තවත් අයකු සමඟ සම කර්තෘත්වයෙන් Paula නමින් ස්ත‍්‍රීවාදී සඟරාවක් ආරම්භ කළ ඇය තමාට එමගින් එම හැඟීම් ක‍්‍රියාවට නැංවිය හැකි බව සොයාගත්තා ය.
ඒ අනුව යමින් ඇය Civilize Your Troglodyte නමින් පීතෘමූලිකත්වය පිළිබඳ උපහාසාත්මක තීරු ලිපි මාලාවක් එම සඟරාවට සම්පාදනය කළා ය. ඉන්පසු ඇය සිය පවුල, පවුලේ ඉතිහාසය, සිය අවතැන්වීම් සහ විවිධ කාන්තාවන්ගේ ජීවිත යනාදිය විමර්ශනය කරමින් නවකතා ලිවීමට යොමු වූවා ය. 1982 දී වැඩියෙන් ම අලෙවි වූ The House of the Spirits නම් ඇගේ පළමු කෘතිය ප‍්‍රකාශයට පත්කිරීමේ දී, එහි තේමාව ලෙස ඇය සඳහන් කළේ ‘පුරුෂ මූලික සාහිත්‍ය භූමියක නව ස්ත‍්‍රීවාදී හඬක්’ යන්න ය.
ඇය විසින් විරචිත Daughter of Fortune, Inés of My Soul and City of the Beasts ඇතුළු පොත් දුසිම් ගණනාවක් භාෂා හතලිහකට වඩා වැඩි ගණනකට පරිවර්තනය වී ඇති අතර, මේ වනවිට ඇගේ පොත් මිලියන හැත්තෑපහක් විකිණී අවසන් ය. එසේ ම, ලොව වැඩි ම පාඨක පිරිසක් ස්පාඤ්ඤ භාෂාවෙන් කියවන ලේඛිකාව බවට ද ඇය මේ වනවිට පත්ව සිටින්නී ය.
තම කෘතිවලින් ඇය නියෝජනය කරන විප්ලවවාදී බව, ස්ත‍්‍රීවාදීත්වය සහ මානවහිතවාදය සිය සැබෑ ජීවිතයේ දී ද නිරූපනය කිරීමට තරම් පෞරුෂයක් මෙන් ම, දයාර්ද්‍ර හදවතක් ඇය සතු ය. ඒ බව සනාථ කළ හැකි බොහෝ ක‍්‍රියාකාරකම් ඇගේ දිවිසැරිය තුළ අපට කොතෙකුත් දැකගත හැකි ය. චිලී සහ සැන් ෆ්රැන්සිස්කෝ බොක්ක ප‍්‍රදේශයේ කාන්තාවන් සහ ගැහැණු ළමයින් මුහුණ දෙන ගැටළු ඉලක්ක කර ගනිමින් ලාභ නොලබන සංවිධානවලට ආධාර කරන ‘ඉසබෙල් අයියන්දේ පදනමට’ අරමුදල් සැපයීම සඳහා 1996 දී ඇය සිය ‘පෝලා’ කෘතිය වෙතින් ලද ලාභය සම්පූර්ණයෙන් ම භාවිත කළා ය.
ඇගේ සාහිත්‍ය ජීවිතයත්, සමාජ සේවා කාර්යයනුත් අගයමින් ජාතික හා ජාත්‍යන්තර සම්මාන ගණනාවකින් ඇය පිදුම් ලැබී ය. 2010 දී පිරිනැමුණු Premio Nacional de Literatura (චිලී ජාතික සාහිත්‍ය ත්‍යාගය), 2014 දී බරක් ඔබාමා ජනාධිපතිවරයා විසින් පිරිනමන ලද ‘එක්සත් ජනපද ජනාධිපති නිදහස් පදක්කම’ සහ 2016 දී පිරිනැමුණු PEN Center USA හි ‘ජීවිත කාලීන ජයග‍්‍රහණ සම්මානය’ ඒ අතර ප‍්‍රධාන වේ.

මේ වනවිට අසූඑක් වන වියේ පසුවන ඇය තවමත් සක‍්‍රීයව නිර්මාණකරණයේ නියැලී සිටින්නී ය. 2023 ජූනි 6 වන දින පළමුවරට ප‍්‍රකාශයට පත් The Wind Knows My Name නම් ඇගේ නවතම ඓතිහාසික නවකතාව ඒ බවට කදිම සාක්ෂියකි.

තවත් චිරාත්කාලයක් ඇයට නිදුක් නිරෝගීව නිර්මාණකරණයේ යෙදෙමින් ලතින් ඇමරිකානු සාහිත්‍යයෙන් අපේ නැණැස පුබුදුවන්නට ඇයට ධෛර්ය, ශක්තිය, වාසනාව ලැබේවා යි පතමු.

අනුර බී. සෙනෙවිරත්න – Anura B. Seneviratne
දිවයින





