සංජීවනී රූපසිංහ:
දරුවන් කුසට දී පලා යන පිරිමින් කොතරම්ද? සාමාන්‍ය ජීවිතයේදීත් යහපත් පවුලක් ඇතිවත් ඔබට ගර්භණීත්වය අසීරු නම් තනි මවක් ලෙස ඇයට දහසක් ගැටලුවලට මුහුණ දීමට සිදු වෙයි. ආර්ථික දුෂ්කරතා මෙන්ම සමාජයෙන් එල්ල වන අපහාස ගැරහුම් කොයිතරම් ද? එවැනි තනි මවකට තනිව දරුවා හදා ගන්නට සමාජයක් ලෙස අප ඇයට උදව් කළ යුතු වෙමු. ඇය අයාලේ ගිහින් ළමයි හදා ගත්තා යැයි කීම සම්ප්‍රදායික කතාවකි. ඒ සඳහා බලපාන හේතු බොහොමයකි. එකක් ඇගේ නොදැනන්වත්කමයි. ඇතැම් විට රැවටීමට ලක් වීමයි. අනාරක්ෂිත ලිංගික එක්වීමකින් පසු ගැබ් නොගන්නා ආකාරය ඇය නොදැන සිටීමයි.
එම නොදැනනුවත්කමට රටේ අධ්‍යාපන පද්ධතියම වග කිව යුතුය. අනෙක ලිංගිකත්වය යනු දෙදෙනෙකුගේ කාර්යයකි. එහි වගකීමෙන් එක් පාර්ශවයක් ඉවත් වූ විට අසරණ වන්නේ දරු ගැබ දරා සිටින ගැහැණියයි. ඇය අප රැක බලා ගත යුතු නොවේද?
තනි මව්වරු විෂයයෙහි සමාජය මීට වඩා බොහෝ සංංවේදී විය යුතු අතර ඒ වෙනුවෙන් නීති ද පහසුකම්ද සැපයිය යුතුය.

මා මාගේ අත්දැකීමක් මෙහි බහාලමි. මා එංගලන්තයට පැමිණ දරුවන් ද සැමියාද එහි ගෙන්වා ගැනීමෙන් පසුව සැමියාට සේවය කරන්නට ලැබුණේ රටේ අනෙත් කෙලවරේය. ඔහුට පැමිණිය හැක්කේ සති දෙකකට වරක් පමණි. මා සිටියේ දරු දෙදෙනා ද සමඟ තනිවම බැවින් එංගලන්තය මා හැඳින්වූයේ තනි මවක් ලෙසිනි. විවිධ පුණ්‍යායතන මඟින් අපට නිවසට අවශ්‍ය බඩු ලබා දුන්නේ එවැනි තනිමවකට ඔවුන් සලකන ආකාරය අනුවය.
මා ඉගෙන ගන්නා ශිෂ්‍යාවක බැවින් මගේ කුඩා දරුවන් තබා යන ඩේ කෙයා සෙන්ටර්ස් මගෙන් නිශ්චිත පැය ගණනකට මුදල් අය කරන්නේ නැත.
දරුවාට පාසලක් ලබා දීමේදීද ඔවුහු ඒ ගැන සැලකිලිමත් වූ අතර මාගේ නිවසටත් මා ඉගෙන ගන්නා විශ්වවිද්‍යාලයත් ආසන්නතම පාසල දරුවාට ලබා දුන්නේය. එය ඉතා විශිෂ්ට ගනයේ පාසලක් වූ අතර එයට දරුවෙකු දමා ගැනනීමට විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරයෙකුට පවා අසීරුය.

එහෙත් තනි මවක් කී සැනින් ඔවුහු උපරිම පහසුකම් සපයති.
අපගේ රටේ පුරුෂයින් යුද්ධයෙන් මිය ගිය, සැමියා හැර ගිය තනි මව්වරු කෙතරම්ද? ඔවුන් විශාල ජීවන බරක් තනිව ඇදගෙන යමින් සිටී. දරුවන් තබා යාමට ආරක්ෂිත ස්ථාන නැත. දරුවන් නිසා රැකියා කර ගැනීම දුෂ්කරය. තනිවම ඉවීම රෙදි සේදීම ඇතුළු සියලු නිවසේ වැඩ කටයුතු තනිව කර ගත යුතුය.

තමාගේ ආරක්ෂාව සපයා ගත යුතුය. මන්ද යත් එවැනි තනි මව්වරු බලා කියා ගැනීමට ඉදිරිපත්වන පිරිමි ප්‍රමාණය අපේ රටේ ඉතා වැඩි බැවිනි.
අප තනිමව්වරු විෂයයෙහි අපගේ ආකල්ප වෙනස් කර ගත යුතු කාලය පැමිණ ඇත. ඇය ආරක්ෂා කිරීම ද පහසුකම් සැපයීම ද මීට වඩා විධිමත් ආකාරයෙන් සිදු විය යුතුය.

සංජීවනී රූපසිංහ –Sanjeewani Rupasinghe
ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය,
දර්ශන අධ්‍යයන අංශය,
කැලණිය විශ්ව විද්‍යාලය.





