ශක්තික සත්කුමාර:
රාලහාමි පොලිස් කූඩුවේ ඉබ්බව ඇරල කුරුල්ලා දිහා බැලූවා. කිසිත් නොකී කුරුල්ලා හිමින් සැරේ කූඩුව ඇතුළට ගියා. කූඩුව ඇතුළෙන් ආපු පුස් ගදට කුරුල්ලගේ නහය හැකිළුණා. බිත්තියටම අල්ලා හදලා තිබුණු සිමෙන්ති බංකුවේ කුරුල්ලා වාඩි වුණා. කූඩුව ඇතුළේ කිසිවක් නොමැතිවීම පිළිබදව කුරුල්ලට දැනුනේ හීන් සතුටක්. බස් නැවතුම් පොළේ ඉද තමන්ව ජීප් රථයට ගොඩවා ගත් රාලහාමිගේ හෝ තමන්ව කූඩුවට දැමූ රාලහාමිගේ හෝ රුව කුරුල්ලා යකඩ පොලූ අතරින් සෙව්වා. එ වෙද්දි කුරුල්ලාට නොදැනීම ඔහුගේ ඇස් බොදවෙලා තිබුණා. කුරුල්ලා තදින් දෑස් පියා ගත්තා. උදේ නවයේ ටර්න් එක යන්න බස් එක ගහලා කොටුව.... පිටකොටුව... කියලා කෑ ගහන්න කුරුල්ලාට අවස්ථාව ලැබුණේ එක සැරයක් විතරයි. පොලිස් රාලහාමි කෙනෙක් එක්ක මාතලී අයියා කුරුල්ලා ළගට ආවා. මල්ලී මේ රාලහාමි උඹව එක්කගෙන යන්න ඇවිත්..... මං මේ බස් එක ඇදලා පොලිසියට එන්නම්.... උඹ රාලහාමි එක්ක පලයන්.... මාතලී අයියා පිටට තට්ටුවක් දැම්මා. කුරුල්ලා පුදුමයෙන් වගේ පොලිස් රාලහාමි දිහා බැලූවා. ඇයි... මාව.... කුරුල්ලාගේ දිව පැටළුණා.
බටහිර අහිසින් සෞම්‍යව නැගුණු හිරු ලෝ දිය වක්කරන්නට තතනමින් හිටියා. තමුසෙනේ ට්‍රැක්මෝ හන්දියේ බණ්ඩාර... රාලහාමිගේ හඩ වේගවත් වුණා. ඔව්... ඔව්... සර්... එත්..... ඇයි.... කුරුල්ලා නැවත ගොත ගසන්නට වුණා. බස්නැවතුමේ සිටි සියල්ලන්ගේම දෑස් කුරුල්ලා ළග නතර වී තිබුණා. එවා බලාගන්න පුළුවන් පොලිසියට ගියාම... එයි.. ආන් තමුසෙට ලොකු සර් කතා කරනවා. කුරුල්ලා අමාරුවෙන් දෑස් ඇරියා. පොලිස් කූඩුවේ දොර ඇරිලා. එ අසල රාලහාමි කෙනෙක් ඔරවගෙන කුරුල්ලා දිහා බලාගෙන හිටියා.

කුරුල්ලා කොන්ක්‍රීට් බංකුව උඩින් නැගිට්ටා. පොලිස් ස්ථානාධිපතිවරයාගේ කාමරයට කුරුල්ලාව තල්ලූ කරගෙන ගිය රාලහාමි ස්ථානාධිපතිතුමාට සැලියුට් එකක් ගහල අතුරුදහන් වුණා. පරිගණකයේ දෑස් අලවාගෙන සිටි ස්ථානාධිපතිවරයා එක්වරම පරිගණකයේ තිරය කුරුල්ලා දෙසට කැරකෙව්වා. පරිගණක තිරයේ තමාගේ රූපය සටහන්ව තිඛෙනවා දුටු කුරුල්ලා විශ්මයෙන් එ දෙස බලා සිටියා. උඩුකය නිරුවත්ව සරම කැහැපොට ගසාගෙන පොල්ලක් අතින් ගත් තමන් එක්වරම එය ඔසවා පහරක් ගසනවාත් සමගම පරිගණක තිරය අදුරු වුණා. තමුසේ අහල පහල ගෙවල්වල කැමරා කුඩු කරන්නේ වීරයෙක් කියලා හිතාගෙන ද? පොලිස් ස්ථානාධිපතිවරයා මේසයට තඩි බා නැගී සිටියා.
බස් එකේ සෙනග පටෝගෙන යන වේලාවට පොලිස් විසිල් එකට මාතලී අයියා බස් එක පාර අයිනට කරල නතර කරපු ගමන් බස්එකේ ලියකියවිලි ටික තියෙන අතටම දියවුණු කාඩ්බෝඩ් ෆයිල් එක අරන් එ යටින් රුපියල් පන්සීයක් තියාගෙන පොලිස් රාලහාමිල ගාවට ඉගිළිලා ගියත් පොඩි කාලෙ ඉදලා කුරුල්ලා පොලිස් කාකි ඇදුමට බයයි.
තමුසේ කැමරා කුඩු කරේ ගේ බිදින්න හිතාගෙන ද?
පොලිස් ස්ථානාධිපතිවරයා බිමට නැමී තිබූණු කුරුල්ලාගේ මුහුණ නිකටින් අල්ලා ඉස්සීය. ගොරක මදමෙන් රත් පැහැ ගැන්වී තිඛෙන එ දෑස් මග හැරීමට කුරුල්ලාට ශක්තියක් තිබුණේ නෑ.
තමුසේ ඊයේ හවස ගිහින් මිස්ට සේමසිංහගේ නෝනාට තර්ජනය කරලත් තියෙනවා…. තමුසේ දන්නවද සේමසිංහ කියන්නේ කවුද කියලා…..
ඕ… ඕව්… සර්… මං එ නෝනට තර්ජනය කළේ නෑ…..මං කීවේ අපේ ගේ පැත්තට තියෙන කැමරාවේ සටහන් වෙලා තියෙන දේවල් ටික පෙන්නන්න කියලා…. කුරුල්ලා අමාරුවෙන් වචන ගළපා ගත්තා.
එ මොකද අයිසේ එ? ස්ථානාධිපතිවරයා කුරුල්ලාගේ නිකට අතමහැර දමා තම අසුන කරා පියමනින්නට වුණා. කුරුල්ලාට යම් සහනයක් දැණුනා.

ඇයි තමුන්ගේ ගෙදර මොනව හරි නැතිවුණා ද? කැමරාව බලන්න ඕන වුණේ… මේසය මත පීරිසියකින් වසා තිබූ වතුර වීදුරුව අතට ගත් ස්ථානාධිපතිවරයා පීරිසිය ඉවත් කර ඉන් උගුරු කීපයක් පානය කළා.
නෑ… නෑ…. සර්… එ ගෙදර වැඩ කරන ගෑනු කෙනා එ ලේන් එකේ ප්‍රචාරයක් ඇරලා තිබුණා මගේ ගෙදරට දවල්ට මිනිහෙක් රිංගනවා. එක එ ගෙදර නෝනලා සී.සී.ටී.වී. කැමරාවෙන් දවස් කීපයක් බැලූව කියලා….
ස්ථානාධිපතිවරයාගේ ජංගම දුරකථනය නාදවන්නට පටන්ගත් නිසා කුරුල්ලාට කතාව නවත්වන්න වුණා. මේසය මත තිබූ ජංගම දුරකථනය කනේ තබා ගන්නා අතර ස්ථානාධිපතිවරයා කුරුල්ලාට කාමරයෙන් පිටවන ලෙස අතින් සඣා කළා. ස්ථානාධිපතිවරයාගේ කාමරයෙන් එළියට ආපු කුරුල්ලා එ අසළ තබා තිබූ ලෑලි බංකුවේ වාඩි වුණා.
වේගයෙන් පැමිණි ජිප් රථයක් පොලිසිය ඉදිරිපිට තිරිංග තද කළේ විශාල ශබ්දයක් නිකුත් කරමින්. පිටිපස්සේ දොර ඇරගෙන පිටතට පැණපු පොලිස් නිලධාරියෙක් එහි සිටි තරුණයෙක්ව එළියට ඇදලා ගත්තා. තරුණයාගේ දෑතට මාංචු දමලා තිබුණේ. එ දර්ශනය දැකපු කුරුල්ලාව ඉබේම හිට්ට වුණා.
සිවිල් ඇදුමෙන් සැරසී සිටි නිලධාරියෙක් පොලිසිය ඉදිරිපිටට ගමන් කළා.
සර් මෙන්න මිනිහා…. තරුණයාව එළියට ඇදලා ගත්තු පොලිස් නිලධාරියා ඔහුව පොලිසිය තුළට තල්ලූ කරමින් කීවා.
අහිංසක කෙල්ලන්ව රවට්ටාගෙන කාමරවලට ගෙනියල උන්ට හමන්නලා එවා කැමරා කරගෙන උන්වම බය කරලා සල්ලි ගන්න එක පිරිමි කමක්ද බල්ලෝ…. සිවිල් ඇදුමින් සිටි නිලධාරියා මාංචු දැමූ තරුණයා ඇද සිටි ටී-ෂර්ට් එකේ කොලරයෙන් අල්ලා ගත්තා.
ඔයිට හොදයි බොල ගූ කෑවානම්…. තරුණයාව පොලිස් කූඩුව දෙසට තල්ලූ කරමින් සිවිල් ඇ`දුමින් සිටි නිලධාරියා ස්ථානාධිපතිවරයාගේ කාමරය දෙසට හැරුණා.
මාතලී අයියා පැමිණ ස්ථානාධිපතිවරයා හමුවූ පසු කුරුල්ලාට ඇප ලැබුණා. තමා විසින් කඩා දැමූ සේමසිංහ මහතාගේ සී.සී.ටී.වී. කැමරාවේ අලාභය ගෙවීමට ද කුරුල්ලා එකග වුණා. පොලිස් ඇප ලබා නිවසට පැමිණි කුරුල්ලාට මහත් පාලූවක් දැනුණා. ඔහුට තම බිරිය ලාලනීවත් පුතු ගිම්සරවත් මතකයට නැගුණා. කමිසය ගලවා බෝල කූඩුවේ එල්ලු කුරුල්ලා ඇද මත දිගාවුණා.
මේක මොන කරදරයක් ද? දැන් මට ඔය ප්‍රශ්නෙට උත්තර දීලා එපා වෙලා…. මාත් එක්ක අහවල් එක කරන්න දවල්ට මෙහාට මොකාවත් එන්නෑ…. තමුසෙට ඔච්චර මාව සැකනම් ගෙදරට වෙලා ඉන්නවකෝ….. පෙර දින ලාලනී කෑ ගැසූ අයුරුත් මද පමණට රත් වී සිටි තමන් ඇගේ කම්මුලට ගැසූ අයුරුත් කුරුල්ලාට මැවී පෙනුණා.
තෝ මට ඇත්ත කියන්නේ නැත්නම් මම තොට ඔප්පු කරලා පෙන්නන්නම්… අද මම මේකෙ දෙකෙන් එකක් විසද ගන්නවා…. පාපැදියට නැගුණු කුරුල්ලා කොට්ටගහමුල බාර් එක ළගට එක පැද්දේ විදුලි වේගයෙන්.
කුරුල්ලා බාර් එක ළග මිතුරු සමාගමට වැටුණූ පසු කාලය ඉගිල යනවා දැණුනේ නෑ. ඔහු තම බස් මිතුරන් සමග බාර් එක ළග රෙස්ටුරන්ට් එකට ගොඩ වූණේ ගල් බෝතලයක් ද කිහිල්ලේ ගහගෙන.

කුරුල්ලා ආපසු ආවේ බයිසිකලය තල්ලූ කරගෙන. එ වන විට ඔහුගේ කෝපය ඇලකොහොල්වලට දියවී ගොස් තිබුණා. අඩක් නිම කර තිබූ නිවසේ දොර අගුළු නොදමා වසා දමා කිසිදු විදුලි බුබුලක් නොදල්වා බිරියත් පුතත් එ වන විට අතුරුදන්ව සිටියා.
කුරුල්ලා…. කුරුල්ලා….. මොකද බං මේ ගෙදර ලයිට් එකක්වත් දාල නැත්තේ… මාතලී අයියාගේ හඩින් කුරුල්ලා ඇස් ඇරියාය. ගණ කළුවර මිස කිසිවක් ඔහුගේ දෑසට හසු වුණේ නෑ. අදුරේම ඇෙදන් බැස ගත් කුරුල්ලා සාලයේ සහ ස්තෝප්පුවේ විදුලි බුබුළු දැල්වූවා. බියර් ටින් දෙකක් හා කෑම පාර්සලයක් අතින් ගත් මාතලී අයියා සාලයට ඇතුළු වුණා.
මට ටිකක් නින්ද ගියා අයියේ…
හවස් වෙනකම්ම බසයේ වැඩ කළ කුරුල්ලා සවස ලාලනීගේ නිවසට යෑමට සූදානම් වුණා. ඔහුව එ සදහා පෙළඹුවේ මාතලී අයියා.
ඔය සේමසිංහ මහත්තයාගේ ගෙදර වැඩකාරකමට ඉන්න ගෑනි පුළුවන් තරම් බොරු කට කතා පතුරවන එකියක්. උඹ ගිහින් නංගිව එක්කන් වරෙන්. කොහෙවත් යන බොරු කට කතාවක් හින්ද වේච්ච දේ බලපන්…. මාතලී අයියාගේ වදන් කුරුල්ලා පිළිගැනීමට මැලි වුණේ නෑ.
ලාලනීගේ මහ ගෙදරට යන විට හිරු විඩාබරව තිබුණා. කුරුල්ලා අලූතෙන් හදාගෙන යන ගේයි ලාලනීගේ මහ ගේයි අතර තිබුණේ හැතැම්ම පහක දුරක්. එ දුර බයිසිකලේ යන්න පුළුවන් වුණත් කුරුල්ලා ගියේ බස් එකේ. නැවත තනියම ගෙදර එමේ අදහසක් කුරුල්ලාට තිබුණේ නෑ. තාත්තාව දුටු ගිම්සර තාත්තා… යැයි කෑගසාගෙන ගේ්ට්ටුුව දෙසට දුවගෙන ආවා. කුරුල්ලා තම පුතුව දෑතින් අල්ලා වඩාගෙන සිප ගත්තා
පුතා අද ඉස්කෝලෙ ගියෙ නැද්ද
තාත්තේ මම මෙහේ ඉදලා ඉස්කෝලෙ ගියා
කෝ අම්මා… කුරුල්ලා නිවස දෙස බැලූවා.
තාත්තා අද ආවේ නැත්නම් අම්මා කීවා අපි හෙට ගෙදර යමු කියලා…
ස්වාමි පුරුෂයාගේ කටහඩ ඇසුණු ලාලනී සාලයේ දොර අසලට ආවේ විදුලි වේගයෙන්. ඇගේ මව දිගු සුසුමක් හෙලා ළය සැහැල්ලූ කරගෙන මුළුතැන්ගේ දෙසට ගියේ බෑණට තේ කෝප්පයක් හදන්න හිතාගෙන. ලාලනීගේ මූණේ හිනාව උතුරා යමින් තිබුණා.

තාත්තේ… මේ සතියේ ඇතුළත හැම ළමයටම රුපියල් පන්සීයක් ගේන්න කීවා. ඉස්කෝලේ ආරක්ෂාවට සී.සී.ටී.වී. කැමරා හයි කරනවා කියලා එකට… ගිම්සර පුතුගේ වදන් කන තුළ දෝංකාර වෙද්දීී කුරුල්ලා මුහුණේ සිනාවක් ඇදගෙන බිරිය දෙස බැලූවා. ඇගේ මුහුණේ සිනහව අතුරුදහන්ව ගොස් තිබුණා.

ශක්තික සතසත්කුමාර-Shakthika Sathkumara
ඡායාරූප Meta AI





