මිථ්‍යා­දෘ­ෂ්ටි­කයෝ

“සුමේධ එහා පැත්තේ ඉඩමට හාමුදුරුනමක් වැඩලා. ඒ හාමුදුරුවෝ භාවනා කුටියක් හදාගෙන එතන දිගටම වැඩ ඉන්නවලු…” පත්තර කන්තෝරුවේ සිට නිවසට පැමිණි තම සැමියාට නිරාෂා අලුත්ම ප්‍රවෘතිතිය පැවසුවාය.

“අර වෙලත් එක්ක තියෙන ඉඩම් කෑල්ලට ද?” සුමේධ කාර්යාල බෑගය සාලයේ මේසය මතින් තබමින් බිරිය දෙස බැලුවේය.

“ඔව් අනේ අර රත්නසේකර මුදලාලි ගොඩ කරන්න හදලා අපි විරුද්ධ වුණේ…” නිරාෂා මුඵතැන්ගෙට යන උඵවස්සට හේත්තු වූවාය.

“රත්නසේකර ලොක්කා ඒක සඟසතු කර පූජා කරල ද? පුදුමයි…” සුමේධ කමිසයේ බොත්තම් එකිනෙක ගලවන්නට වූවේය.

“ඔව් එහම තමා ආරංචි. ඒ හාමුදුරුවොනම් ගොඩක් සිල්වත් වගේ…” නිරාෂා තම සැමියාට තේ කෝප්පයක් සාදාගෙන ඒමට මු`ඵතැන්ගේ දෙසට ගියාය.

ඇඳුම් උනාදමා නාන කාමරයට වැදුණු සුමේධ වතුර මලෙන් එන සීතල වතුරට ඔලුව අල්වාගෙන සිටියේය. මාධ්‍යවේදියෙක් ලෙස දවස පුරාම සාමාජයීය හා දේශපාලනික වශයෙන් ඔලුවට වද දෙන ප්‍රශ්න ඔහු මොහොතකට අමතක කළේය. හොඳ හැටි නාගත් සුමේධ සරමකින් පමණක් සැරසී තුවාය කරමත දමාගෙන මු`ඵතැන්ගේ දෙසට ගියේය. සැමියා නාගෙන එනවා දුටු නිරාෂා දුම් දමන තේ කෝප්පය ඔහු අත තැබීය.

“දුව පේන්න නැත්තේ මොකද?” සුමේධ තේ කෝප්පය තොළගාන ගමන් ඇසුවේය.

“මාලනීලගේ ගෙවල් පැත්තේ ගියා. ඒ ළමයි එක්ක තාම සෙල්ලම ඇති” නිරාෂා රාත්‍රී ආහාරය පිළියෙල කිරීමට සූදානම් වූවාය. සුමේධ තේ කෝප්පය තොළගාන ගමන් නිවස මැදින් ඉස්තෝප්පුවට පැමිණියේය. ඉස්තෝප්පුවේ තබා තිබූ පුටුවේ හිඳගත් ඔහුගේ නෙතු දිවගියේ බටහිර අහසටය. අහස නෙක පැහැ ගන්වමින් හිරු බැසයාමට සූදානම්ය.

කොට්ටාව දෙසින් නොකඩවා වාහනවල නලා ශබ්දය ඇසේ. මත්තේගොඩ දෙස සිට පැමිණි වෑන් රථයක් නෙරඵ පෙදෙස දෙසට ගමන් කරන්නට වූවේය. තේ එක බී අවසන් කළ සුමේධ අසල ටීපෝව මත කෝප්පය තබා නැගී සිටියේය. වෙල සහිත හිස් ඉඩමේ හිමි නමක් සක්මන් භාවනාවේ යෙදෙනවා ඔහු දුටුවේ ඒ මොහොතේදීය. තාවකාලිකව ඉදිකළ මඩුවක් ද පසෙකින් වූවේය. මාලනී සහ ඇගේ දරුවන් දෙදෙනා සමග තම දියණිය ගේට්ටුවෙන් ඇතුඵවූ නිසා සුමේධ ‘නිරාෂා’ යැයි කියමින් නිවස තුළට යන්නට වූවේය.

“අර වැඩල ඉන්න හාමුදුරුවන්ට ආවාස ගෙයක් හදලා දෙන්න ගමේ අය තීරණය කරලා.” රාත්‍රී කෑම මේසයේ දී නිරාෂා කීවාය.

“කව්ද කීවේ…” කෑම කන ගමන් සුමේධ ඇසුවේය.

“දුවව ගෙනත් අරලින්න ආපු ගමන් මාලනී කීවේ” දුවගේ පතට පරිප්පු හැන්දක් බෙදමින් නිරාෂා පිළිතුරු දුන්නාය.

“ඒක හොඳයි. අපිත් උදව්වක් කරමු. අර හදාගෙන ඉන්න මඩුවේ කොහොම වැඩ ඉන්නද?” තම සැමියාගේ කතාව හිසින් අනුමත කළ නිරාෂා සැමියාගේ පතට බත් හැන්දක් බෙදුවේය.

“තාත්ති අපි හෙට ඒ සාදුගෙන් බණ අහන්න යනවා” දුව කියන විට සුමේධ බිරිය දෙස බැලුවාය.

“ඔව් අනේ හෙට බණක් කියනවලු ඒ හාමුදුරුවෝ.”

සුමේධලාගේ නිවස අසල පිහිටි හිස් ඉඩමට වැඩි ස්වාමීන්වහන්සේගේ ප්‍රථම ධර්ම දේශනය ඇසීමට බොහෝ දෙනෙක් පැමිණ සිටියහ. ධර්ම දේශකයාණන් වහන්සේට අවශ්‍ය ධර්මාසනය, ඒ මත එලීමට සුදු රෙද්දක් සහ ධර්ම දේශනය අසන අයට ඉඳගැනීමට පැදුරු ආදිය සපයන ලද්දේ සුමේධලාගේ නිවසින්ය. නිරාෂා ඒ කටයුතු සැදැහැ සිතින් කළාය. සුමේධ ද හැකි පමණ ඇයට සහය විය. නමුත් ඔහු ධර්ම දේශනය සවන්දීමට සිටියේ නැත.

“මේ ඉරිද පත්තරේට ආටිකල් වගයක් තියෙනව ලියන්න. ඔයයි දුවයි බණ අහන්න…” සුමේධ නිරාෂාගේ කනටකර පවසා හිමින්සීරුවේ නිවස දෙසට පැමිණියේය.

රත්නසේකර මුදලාලි එම ඉඩමේ කර්මාන්ත ශාලාවක් ඉදිකිරීමට කියමින් එහි වූ වෙල සහ වගුරු බිම ගොඩ කිරීමට තැත් කළ අවස්ථාවේ මු`ඵ ගමම එහි පැමිණියේ ඊට විරෝධය දැකිවීමටය. නමුත් රත්නසේකර තම දේශපාලන හයිය මත ගමේ විරෝධය නොතකා ක්‍රියා කිරීමට විය. ඒ අවස්ථාවේ තමා පුවත්පතින් ඒ පිළිබඳව දිගටම ලියූ නිසාත් ගමේ අය එකතු කරගෙන නඩුවක් දැමූ නිසාත් ඉඩම ගොඩ කිරීමේ ක්‍රියාව නතර කිරීමට මුදලාලිට සිදු වූ බැව් සුමේධ කල්පනා කළේය.

“රත්නසේකර මුදලාලිට පිලිකාවක්ලු, මිනිහා ඒකයි ඔය ඉඩම පුජා කරල තියෙන්නේ” රාත්‍රී ආහාරයෙන් පසු නිරාෂා කී කතාව නිසා සුමේධ බලමින් සිටි පුවත්පත පසෙකින් තැබීය.

“මොනවා. හාමුදුරුවොද කීවේ…” සුමේධ තම බිරියගෙන් ඇසුවේය.

හාමුදුරුවෝ ඕව කියනවයෑ. බණ්ඩාර නැන්ද කීවේ. බණ ඉවරවෙලා එද්දි…” රාත්‍රී ඇඳුමකින් සැරසී සිටි නිරාෂා බණ පොතක් කියවමින් සිටියාය.

“අද ගමේ කට්ටිය ‘සමාධි’ කියල සභාවකුත් පිහිටවා ගත්තා. ස්වාමීන් වහන්සේව දිගටම මෙතන නවත්ව ගන්න වැඩ කටයුතු කරනවා කියලා කට්ටිය කතාවුණා.” නිරාෂා ද කියවමින් සිටි බණ පොත වසා ටීපෝව මතින් තබමින් කීවාය.

නිවසට හැරෙන හන්දියේ දමා ඇති දැන්වීම් පුවරුව දෙස සුමේධ මොහොතක් බලා සිටියේය. ඔහුගේ එක් අතක වූයේ කාර්යාල බෑගයයි. අනෙක් අතෙහි වූයේ ගෙදරට මිලදී ගත් සිලලර දැමූ ෂොපින් කවරයකි.

“ආ සුමේධ අයියා. වැඩ ඇරිල එන ගමන් වගේ…” මෝටර් බයිසිකලයකින් පැමිණි තරුණයන් දෙදෙනක් එය සුමේධ අසල නැවැත්වුවේය.

“ආ ගයාෂාන් මල්ලිලනේ… ඔව්… මං මේ එන ගමන්. මේක දැකල නැවතුනේ…” සුමේධ හිසින් දැන්වීම් පුවරුව පෙන්නුවේය.

“ඒකනේ. අයියා භාවනා අසපුවේ වැඩවලට එන්නෑනේ. අක්කයි දුවයිනම් එනවා. මේ ඉරිදට අලුතෙන් හදපු ලැගුම්ගේ විවෘත කරනවා. තව ධර්ම ශාලාවක් හදන්න මුල් ගල තියනවා. අපි මේ අසපුව පැත්තේ යන ගමන්…” ගයාෂාන් මෝටර් බයිසිකලය පණ ගැන්නුවේය. සුමේධ ඔවුන්ට සමුදුන්නේය.

සමාධි භාවනා අසපුවේ භාවනා වැඩසටහන් සඳහා පැමිණෙන පිරිස් දිනෙන් දිනම ඉහළ යන්නට වූහ. මත්තේගොඩ, කොට්ටාව වැනි නගරවලින් පමණක් නොව පිළියන්දල, මහරගම, හෝමාගම, කුරුඳුවත්ත වැනි ප්‍රදේශවල සිට ද වැඩසටහන් සඳහා පිරිස් පැමිණෙන්නට වූහ.

“සුමේධ ඔයගොල්ලන්ගේ ගෙවල් පැත්තේ හොඳ අසපුවක් තියෙනවලු නේද? ඒ ගැන ආටිකල් එකක් කරන්න.” පුවත්පතේ ප්‍රධාන සංස්කාරකවරයා කියූ නිසා සුමේධ සමාධි අසපුව පිළිබඳව විශේෂාංගයක් කළේය. අදාළ විශේෂාංගය පුවත්පතෙහි පළ වූ දින ස්වාමීන් වහන්සේ සුමේධගේ නිවසට වැඩම කොට ඒ පිළිබඳ ස්තූතිය පළ කළහ.

නිරාෂාගේ දුරකථන ඇමතුම එන විට සුමේධ පුවත්පතෙහි පිටුවක් සැලසුම් කරමින් සිටියේය.

“සුමේධ හරිවැඬේනේ… අසපුවේ වෙලයි වගුරයි ගොඩ කරනවා…” නිරාෂාගේ හඬෙහි වූයේ තැතිගත් ස්වභාවයකි.

“උසාවියෙන් ඒක ගොඩ කරන එක තහනම් කරලනේ තියෙන්නේ… ඕක ගොඩ කරොත් මු`ඵ ගමම යටවෙනවා. ගමේ අය නැද්ද?” සුමේධ කලබල වූවේය.

“ගමේ අය කීපදෙනෙක් ගේන පස් තුනී කරන්න ශ්‍රමදානයක් කරනවා…” නිරාෂාගේ වදන් සුමේධට අදහා ගත නොහැකි විය.

“මොනවා මේ මිනිස්සුන්ට පිස්සු ද? මං නිවාඩුවක් දාලා එන්නම්…” සුමේධ දුරකථනය විසන්ධි කළේය. හදිසි නිවාඩුවක් ලබාගත් ඔහු නිවසට පැමිණෙන විටත් අසපුව පල්ලෙහා වෙල සහ වගුරු බිමේ කොටසක් ගොඩකර තිබුණි. සුමේධ ඉක්මනින් ග්‍රාම නිලධාරීවරයා කැඳවාගෙන උසාවි නියෝගයේ පිටපතක් ද ගෙන අසපුවට යන්නට විය.

“අම්මි මං ආය සෙල්ලම් කරන්න මාලනී ආන්ටිලගේ ගෙදර යන්නෑ.” දුව මූණ කඵ කරගෙන ගෙට ඇතුඵ වූවාය. ඉරිදා දිනයක් වූ එදින දිවා ආහාරය ගෙන සුමේධ පුවත්පතක් බලමින් සිටියේය.

“ඇයි? තරුෂිත් එක්ක රණ්ඩු වුණාද?” නිරාෂා දුව දෙසට එමින් ඇසුවාය.

“නෑ. මාලනී ආන්ටි කීවා අපේ තාත්ති දෙව්දත් පරපුරේ කෙනෙක් කියලා.” දුව අම්මාගේ අතේ එල්ලුණාය.

“ඒ කතාවේ තේරුම මොකක්ද?” නිරාෂා දුවව වඩාගත්තාය.

“අසපුව දියුණු කරන්න දෙන්නැත්තේ ඒ හින්දලු.” දුවගේ වදන්වලට සුමේධට සිනහ ගියේය. නිරාෂා තරහින් පුපුරන්නට වූවාය.

“ඒ ගෑනිට පිස්සුද? අපි විරුද්ධවුණේ අසපුව දියුණු කරනවට නෙවේ. අර වගුර ගොඩ කරනවට. මං මාලනීට හොඳවයින් දෙකක් කියන්නම්කෝ” නිරාෂා උස් හඬින් කියන්නට වූවාය.

“කෑගහන්න එපා. මිනිස්සුන්ගේ හැටි ඔහොම තමයි.” සුමේධ බිරියව අස්වසන්නට වූවේය.

දියණිය සෙල්ලම් කිරීමට යන ගමන නවතා දැමූ පසු නිරාෂාද අසපුවට යන ගමන නවතා දැමීය. ඒ පිළිබඳව සුමේධ ඇයගෙන් නොවිමසුවේය. අසල්වැසියෝ සමහරක් පාරක තොටක හමුවුව ද තමන්ව මගහරින බව සුමේධට ද අවබෝධ වී තිබුණි. එහෙත් ඔහු ඒ පිළිබඳව එතරම් තැකීමක් නොකළේය.

රාත්‍රියේ පටන්ගත් වර්ෂාව උදය වන විට ද අඩු වීමක් නොවීය. වැස්සේ රැකියාවට යාමට සුමේධ මැළිවිය. ඔහු දුරකථනයෙන් පත්තර කන්තෝරුවට කතා කොට නිවාඩුවක් ලබා ගත්තේය. දියණියගේ පාසල් ගමන ද නතර කළේය. දහවල් වන විට වර්ෂාව එන්න එන්නම වැඩි විය. අසපුව දෙසින් පැමිණෙන බොර වතුර පාරේ වේගය සහ ප්‍රමාණය ද මදින් මද වැඩි වන්නට වූවේය. ගෙවත්ත සම්පූර්ණයෙන් වතුරෙන් යට වූ පසු නිරාෂා බියවූවාය.

“අනේෟ සුමේධ ගේ ඇතුළටත් වතුර දායි ද දන්නෑ. කෝකටත් අපි උඩ පැත්තේ තියෙන රුවන්ලගේ ගෙදරටවත් යමුද?” දියණිය වඩාගෙන පැමිණි නිරාෂා සුමේධ අසල වාඩිවුවාය.

“බයවෙන්න එපා මම රුවන්ට කතා කරල ඔය දෙන්නව එහේ නතර කරන්නම්. දමයන්තිත් ගෙදර ඇති. අර වෙලයි වගුරයි ගොඩ කරපු එකෙන් තමා වතුර මෙහාට දාන්න පටන් ගත්තේ…”

“සුමේධ ජංගම දුරකථනයෙන් රුවන්ට ඇමතුමක් ලබා ගත්තේය. දුරකථනයට පිළිතුරු දුන්නේ රුවන්ගේ බිරියයි. සුමේධ දැනට තම පවුල මුහුණ දී ඇති ගැටලුව සැකවින් පැවසුවේය.

ඔහොම තමා මිස්ට සුමේධ. මිථ්‍යාදෘෂ්ටික වුණහම ස්වභාවධර්මය හරි ඒ අයට එරෙහි වෙනවා…” දමයන්තිගේ වදන් සුමේධගේ දෙසවන් පසාරු කරවාගෙන ගියේය.

ඡායාරූප අන්තර්ජාලය සහ ⁣Meta AI ඇසුරිනි.

More From Author

යුරෝපයේ දීර්ඝතම කාලයක් සිරදඬුවම් විඳිමින් සිටි දේශපාලන සිරකරුවා නිදහස් කෙරේ!

දේශපාලනික මාක්ස්වාදයක් සදහා -Towards Political Marxism (5 කොටස)

Leave a Reply

Categories

LDM Columns

https://www.facebook.com/profile.php?id=61575953530348