මහේෂි බී. වීරකෝන්
ලෝකයේ සිටින බලවත්ම මිනිසාට “හැමිනියන්”යැයි මා කියා ඇත. බාගවිට ඔබත් එසේ කර ඇති. ඒ ට්විටර් හරහායි. එය මට යම් දුරස්ථ බවක් ලබා දුන් මුත් මඟෙ වචන වෙනුවෙන් මම පෙනී සිටිමි. කල යුතු වූ නිවැරදි දෙය එයයි.
ඊටත් වඩා දෙයක් කිරීමට හැකියාවක් තිබීම ගැන සිතා බලන්න. බලවතුන්ට අශීලාචාර විදියට කතා කරන්නට පමණක් නොවෙයි. මුළු ජාතියම ඉදිරිපිට ඔවුන් ප්‍රසිද්ධියේ ලැජ්ජාවට පත්කිරීමට. අපිට දැන් එයකළ නොහැකියි. දැන් පොදු අවකාශයේ හැමවිදියකම බෙදීම් බොහෝමයි. නමුත් අවුරුදු 2500කට පෙර ඇතන්ස් නඟරයේදී ඔබට එය කල හැකිවිය. එහි පුරවැසියන්ට පරීශියා (parrhesia) යන අයිතිවාසිකම තිබිණි. එයින් ඔවුන්ට ඔිනෑම විෂයක් හෝ පුද්ගලයෙකු ගැන තමන්ගේ සිතුවිලි බෙදාගැනීමේ රැඩිකල් නිදහස් කථනයට අවකාශය සැලසිනි. ඉතින්, අනෙක් කාටත් වඩා ඵලදායී විදියට එය භාවිතා කලේ ප්‍රහසන නාට්‍යය රචකයින් විසිනුයි.
පස්වෙනි සියවසේ ඇතන්ස් පුරයේ ක්‍රියාකාරීව සිටි බොහෝමයක් ප්‍රහසන නාට්‍යය රචකයින්ගෙන් ඇරිස්ටොඵනීස්ගේ නාට්‍යය පමණක් සාපේක්ෂ ලෙස හානියක් නොවී ඉතිරිව තිබෙයි. කාලය විසින් සිදු කල විනාශයනුත්, කතෝලික පල්ලියේ බලයත් ගැන සිතන විට එය එක්තරා විදියක වාසනාවන්ත හාස්කමක් මෙනි. කොහොම නමුත් ඔහුගේ ඉපැරණි ප්‍රහසන නාට්‍යය එසේ ඉතිරිව තිබීම අපේ වාසනාවක් වන්නේ, සම්භාව්‍ය සාහිත්‍ය පිළිබඳ ප්‍රාඥයෙකුත්, කවියෙකුත් වන ඇරොන් පූචිගියන්ගේ නව පරිවර්තනය වන “ඇරිස්ටොඵනීස්: ෆෝර් ප්ලේය්ස්: ක්ලවුඩ්ස්, බර්ඩ්ස්, ලයිසෙස්ට්‍රාටා, විමෙන් ඔෆ් ද ඇසෙබ්ලි” පෙන්වන අයුරින්, ඒවා තවමත් ජීවයෙන් පිරි, අත්‍යාවශ්‍ය නිර්මාණ වන හෙයිනි.

මීට පෙර පූචිගියන් “සැඵෝ ඉන් ස්ටන්ග් විත් ලව්: පොඑම්ස් ඇන්ඩ් ෆ්‍රැග්මන්ට්ස්” මෙන්ම ඊසිකිලස්, යුරිපිඩීස්, රෝඩ්ස් හි ඇපොලෝනියස් ආදීන්ගේ කෘති පරිවර්තනය කොට තිබෙයි. ඔහුගේ පරිවර්තන සුවිශේෂී වන්නේ ඔහු කවියෙකුගේ මනස ඉපැරණි මානයකට රැගෙන එන බැවිනි.
ඉපැරණි ග්‍රීක ප්‍රහසන නාට්‍යයක් විසි එක් වන සියවසට ගෙන ඒමේ අවදානම සහ ආශ්වාදය පිළිබඳ කතාබහ කිරීමට මා පූචිගියන් සමඟ සූම් සංවාදයක නිරත උනෙමි.
පූචිගියන් අවධාරණය කල අද්විතීය විභවයක් වූ පරීශියා ගැන සඳහනින් අපි කතාවට මුල පිරුවෙමු:
“ඇතීනියානුවන් අපි තරම්ම පුළුල් ලෙස කථනයේ නිදහස භුක්ති වින්ඳා. ඒ ගැන මට ලොකු ගෞරවයක් තිබුනා. ඒත් ඒක වඩා “බලපෑම් සහගත” උනේ, මම ඒ වචනෙ පාවිච්චි කලාට කමක් නැත්තම්, ප්‍රේක්ෂකාගාරේ ඉඳගෙන හිටපු සුවිශේෂී සාමාජිකයින්ට ඇරිස්ටොඵනීස් අපහාස කරපු එකෙන්. අපිට මුද්‍රණයේ හරි නැත්තම් වීඩියෝ එකක හරි දුරස්ථ බවක් තිබුනට එතැන හැමදේම සජීවියි. ඉතින්, ඇරිස්ටොඵනීස් ක්ලියෝන් ගැන කියල එයා විහිළුවට ලක් කරද්දි, බොහෝවිට ක්ලීයෝන් ඕඩියන්ස් එකේ ඉඳගෙන හිටියා. ඕඩියන්ස් එකේ හිටපු සේරම හැරිලා එයා දිහා බලල එයාගෙ උලව් මූණටම හිනාවුනා.”
ඉපැරණි ඇතන්ස් දේශපාලනය හුරුපුරුදු නැති අයෙකු වේනම්, ක්ලියෝන් යනු ට්‍රම්පියානු කථකයෙකි. ඔහු ක්‍රි.පූ. 429 කාලයේ උන්, සිය කථාවෙන් මිනිසුන් උසි ගැන්වූ උද්දච්ච දෙශාපාලන නායකයෙක් විය. ඇරිස්ටොඵනීස් අතොරක් නොමැතිව ඔහු අවඥාවට ලක් කලේය. පූචිගියන් කියයි: “ප්‍රසිද්ධියේ නින්දාවට ලක් කිරීමට වඩා බලසම්පන්න, පිළිකුල් සහගත හැසිරීම නවත්තන්න පුළුවන් තවත් විදියක් මම දන්නෙ නෑ.”

ඇරිස්ටොඵනීස්ගේ නාට්‍ය බොහෝමයක පූචිගියන් “දේශප්‍රේමී අසභ්‍යත්වය” යනුවෙන් හඳුන්වන සාධකය බොහෝ ලෙස අඩංගු වෙයි. ඒ එක්සත් ජනපදයේ ජනාධිපතිට “හැමිනියන්” කියා ටිවීටරයක් යැවීමට සාමාන්‍ය පුද්ගලයෙකු පොළඹවන ආකාරයේ ජවයකි. එය බියගුළු ප්‍රතිචාරයක් නොවේ. එය සමාජයයේ වැදගත් මෙන්ම අර්ථවත් දෑ ආරක්ෂා කිරීමට දේශප්‍රේමී ආශාව විසින් කුළුගැන්වූ ආකාරයේ යමකි.
මේ අදහස ගැන තවදුරටත් කියන මෙන් මම පූචිගියන්ගෙන් ඉල්ලා සිටියෙමි.
“කලින් ජනාධිපතිගේ කාලේදි මට හොඳටම තේරුනු දෙයක් තමයි…හ්ම්ම්…පරණ තාලේ කතිකාවන් තව දුරටත් ප්‍රජාතන්ත්‍රවාදෙට උදව් කරන්නෙ නැහැ කියන එක. මම මිශෙල් ඔබාමාට කැමතියි. ඒත් “ඔවුන් පහළට යද්දි, ඔබ ඉහළට යන්න,” කියල එයා කියනකොට, ඒක අනතුරුදායකයි. මොකද ඔයා ඉහළට යනවට වඩා, එයාල පහළට යද්දි, වැඩි මිනිස්සු ගානකට, වැඩියෙන් “ඇඟට” දැනෙන බලපෑමක් වෙනවා. ඉතින්, දේශප්‍රේමී අසභ්‍යත්වයෙන් ප්‍රශ්නේ විසඳෙනවා.
දේශපාලනික විරුද්ධවාදීන් පහත් වැඩ කරද්දි කෙනෙකුට ඒ තරම්ම් පහළට යනවා හෝ ඊටත් වඩා පහළට යනවා ඇරෙන්න වෙන විකල්පයක් නෑ. ඒ තරම්ම මිනිස්සු ගනනකට, ඒ වගේම “බොක්කටම” දැනෙන විදියෙ බලපෑමක් කරන්න ඕනිනම්… කලින් පරිපාලනයෙන් මට පෙනුන දේ තමයි අපේ මුළු ප්‍රජාතන්ත්‍රවාදයේම ඉරණම, අසභ්‍යය දේවලුත්, හාස්‍යානුකරණයත්, උපහාසයත් ඵලදායී විදියට පාවිච්චි කරන්න අපිට තියෙන හැකියාවත්, බුහුටිකමත් මත රැඳිල තියෙන්න පුළුවන් කියන එක.
දේශප්‍රේමී අසභ්‍යත්වය නිකන්ම හොඳින් ස්ථානගත කරපු කුණුහරුප බෝම්බයක් නෙමෙයි. ඇරිස්ටොඵනීස් එයාගේ නාට්‍ය පිරෙව්වා අධෝවාත, ශීෂ්ණ, රළු ඇනුම්පද වලින්. මළ පහ කරන්න තැනක් හොයන, නැත්තම් බීගත්තු, මඳ කිපිනු, වංචාකාරී, උද්දච්ච වාචාලයින්ගෙන්, නැත්තම් අන්තිම මෝඩයින්ගෙන්. හුඟක් වෙලාවට එයාල මේ සේරම ගතිගුණ එකවර පෙන්නුවා. මේ විදියට ලියපු එකම කෙනා ඇරිස්ටොඵනීස් විතරක් නෙමෙයි. ඔයා ක්‍රේටිනස්, ක්‍රේට්ස්, යුපෝලිස් සහ අනෙක් විශිෂ්ඨ ඇතීනියානු ප්‍රහසන නාට්‍යය රචකයින්ගේ නාට්‍යවල දැනට ඉතුරු වෙලා තියෙන කොටස් කියෙව්වොත් මේ වගේම අශ්ශීල හාස්‍යක් දකීවි.
ඒක සලකන්නේ පහත් හාස්‍ය රසයක් විදියට. අනිවාර්‍යෙන්ම ඒක එහෙම තමයි. කොහොම උනත් පහුගිය අවුරුදු පහ තුළ තරම් වෙන කවදාවත් ඒක අපිට වැදගත්වත්, අත්‍යාවශ්‍යවත් වෙලා නැහැ.”
“පැරණි ප්‍රහසන නාට්‍යය” යනුවෙන් හඳුන්වන ඇරිස්ටොෆනීස්ගේ නාට්‍ය ඔබට හුරුපුරුදු නැතිනම් මේ එකතුව ඒ සඳහා ඉස්තරම්ම හඳුන්වාදීමක් වෙයි. “ක්ල්වුඩ්ස්” නාට්‍යය තුළ සොක්‍රටීස් සහ අනෙකුත් බුද්ධිමතුන් උපහාසයට ලක් කරන ඇරිස්ටොඵනීස් “බර්ඩ්ස්” නාට්‍යයේදී නාගරික ජීවිතයටත්, ගැටුම් සමථයට පත් කිරීමේ දී එය නීතිය පිළිබඳ තබන දරාගත නොහැකි තරම් වූ යැපීමටත් සිනහසෙයි. ලයිසෙස්ට්‍රා නාට්‍යයේ පෙලපනීශියන් යුද්ධය නැවැත්වීමේ උත්සාහයක් ලෙස ඇතන්ස් පුරයේ ස්ත්‍රීන් ලිංගික වැඩ වර්ජනයක් දියත් කරන අතර “අසෙම්බ්ලි ඔෆ් විමෙන්”හිදි ඔවුන් පුරුෂෝත්තමවාදය නෙරපා දමයි.

මට සිතෙන අයුරින්, මේ සියළු නාට්‍ය අපිට අතිශයින් අදාළ වන කරුණු කාරණා පිළිඹිබු කරයි. පූචිගියන් එයට එකඟ විය: “මම කියන්නේ, මට පෙනුනා ඒවා සේරම හරිම කාලීනයි කියල. විශේෂයෙන් පළායාමේ ආසාව ගැන කියන “බර්ඩ්ස්”. ඊට පස්සෙ ගැහැනුන් පිරිමින් අභිබවා ඉදිරියට එන “ලයිසෙස්ට්‍රා” සහ “විමෙන් ඔෆ් ද අසෙම්බ්ලි”ත්. ඒවා ඉපැරණි ග්‍රීක පිරිමින්ගේ සැක සාංකාවන් පෙන්වුම් කරනවා.”
“හරියට අද කාලේ විෂ සහගත පිරිමිකම වගේ?” මම ඇසුවෙමි. ඔහු හිස වනමින් එකඟ වෙයි.
වසර ගනනක් පුරා මම ඇරිස්ටොඵනීස්ගේ විවිධ වූ පරිවර්තන බොහෝමයක් කියවා ඇත. ඒවා සම්භාව්‍ය සාහිත්‍ය පිළිබඳ නම රැන්ඳූ විද්වතුන් වන ස්ටීවන් හලිවෙල්, මෝසෙස් හාඩාස්, සහ ඇලන් සමස්ටීන්ගේ සිට නවකථා රචක පාවුල් රෝච්ගේ පරිවර්ත දක්වා විහිදෙයි. කෙසේ නමුත් පූචිගියන්ගේ පරිවර්තන වල අමුතු ගැස්සීමක් ඇත. ඒ හරියට, ශාස්ත්‍රාලයෙන් වදන් නිදහස්කොට කරදර වල පටලවා ගැනීමට ඒවා මහ මඟට ඇද දැමුවාක් මෙනි. මම එසේ කියද්දී පූචින් හිනැහෙයි.

“ඒකේ පැහැදිලිව සටහන් උනු වෙනසක් තියෙනවා. ලිංගික විප්ලවයට කලින්, හැටේ සහ හැත්තෑව දශකයට කලින්, ඇරිස්ටොඵනීස්ගේ පරිවර්තන වල අසභ්‍යත්වය සුමට කිරීමේ නැඹුරුවක් තිබුනා. ලිංගික විප්ලවයට පස්සේ, “ද මැක්‍යුලේට් මියුස්” කියන පොත ලියපු විශිෂ්ඨ විද්වතෙක් උනු ජෙෆ්‍රි හෙන්ඩර්සන්ගේ6% කෘති වලින් කූඨප්‍රාප්තියට පත් උන විදියට, විද්වතුන් අසභ්‍යත්වය ඕනිවට වඩා උළුප්පා දැක්වූවා. වේදිකාව පුරුදු කෙනෙක් විදියටත්, රසඥතාවයක් ඇති කෙනෙක් විදියටත් මට ඒ ගැන තියෙන ගැටළුව තමයි- මම මේ සෝබනකාරයෙක්වත්, සීලවන්තයෙක්වත් හෙම නෙමේ- ඒත්, ඔයා නිතර නිතර කුණුහරුප පාවිච්චි කරන්න ගත්තම ඒක තවත් විහිළුවක් වෙන්නෙ නෑ. නේ? ඒව නීරස වෙනවා. ඉතින් හාස්‍යෝත්පාදක නාට්‍යකාරයෙක් විදියට ඇරිස්ටොඵනීස් එහෙම ඉවක් බවක් නැතිව අසභ්‍යය දේවල් ලියුවා කියල මම හිතන්නෙ නෑ. ඒ වගේ, ඒකෙ බැලන්ස් එකක් තියෙන්න ඕනි.”
මඳක් කල්පනාවට වැටුනු ඔහු මඟෙන් මෙසේ ඇසුවා, “ඔයා කවදහරි ශබ්දය මුහු කරන මික්සින් බෝඩ් එකක වැඩ කරල තියෙනවද?”
“ඔව්.”
“පරිවර්තකයෙකුත් ලේඛකයෙකුත් විදියට මම මන් ගැන හිතන්නේ අසභ්‍යත්වයත් ඇතුලුව
විවිද දේවල් වල මට්ටම සීරු මාරු කරන විදියට. ඉතින් ඔයා එකොළහ වෙනකල් ඒක වැඩි කළොත් අන්තිමේට මිනිස්සු ඒක නිමලා දාලා ඒක අහන එක නතර කරයි. ඔයා ඒවගේ මට්ටම හරිම සූක්ෂම විදියට සුමට කරන්න ඕනි.”
මෙය මා මවිත කලේය. මුල් ග්‍රීක භාෂාවෙන් පරිවර්තනය කිරීමේදී වෙනස්කම් කිරීමට එතරම් නිදහසක් වේයැයි මා නොසිතුවෙමි. “නැතැයි” කියමින් පූචිගියන් ඔහුගේ හිස සොලවයි: “වෙනස්කම් කරන්න ටෙක්ස්ට් එක ඇතුකෙ හුඟක් ඉඩ තියෙනවා. උදාහරණයක් විදියට යුරුප්‍රොක්ටෝස් (euruproktos) කියන ග්‍රීක වචනෙ පරිවර්තනය කරන එක මට පුදුම වේදනාවක් උනා. මේක තියෙන්නෙ “ක්ලවුඩ්ස්” නාට්‍යයේ. ඔයාට මතක ඇති “නව අධ්‍යාපනය” සහ “පරණ අධ්‍යාපනය” අතර මහා වාදය.
මේ චරිත පෙළක් වෙලාවට පරිවර්තනය වෙන්නෙ “නව න්‍යාය” හෝ “පරණ න්‍යාය” කියල. නැත්තම් “හොඳ න්‍යාය”, “නරක න්‍යාය” කියල. එයාල වාද කරනවා නීතිඥයන් සහ නීති සම්පාදනය නිසා ඇතන්ස් සංස්කෘතිය දූෂණය වීම ගැන.”
පූචිගියන් කියයි:
“ඉතින්, “යුරුප්‍රොක්ටෝස්” (euruproktos) කියන්නේ, “ප්‍රොක්ටෝස්” (proktos) කීවහම ඔයාට ඒක තේරුම් ගන්න පුලුවන් ප්‍රොක්ටොලොජිස්ට් කියන වචනෙන්, ඒ කියන්නේ අධෝ මුඛය. “යුරු” (euru) කියන්නෙ පළල් කියන එකයි. එතකොට “යුරුප්‍රොක්ටෝස්” කියන්නේ “පළල් අධෝ මුඛය”. ඒ කියන්නෙ ඔයාගෙ ගුද විවරය ලොකු වෙලා තියෙන්නේ ඒක ඇතුලෙ නිතර සංසර්ගය කරලා. ඇරිස්ටොඵනීස් මේක පාවිච්චි කරන්නෙ දේශපාලකයින් සඳහා සාමාන්‍යෙන් පාවිච්චි කරන වචනයක් විදියට. ඉතින් මට ඒක හරියට තෝරගන්න ඕනි උනා. ඇලන් සමස්ටෙයින් වගේ අනෙක් පරිවතකයෝ ඒක පරිවර්තනය කලේ “තඩි පුක” කියල. ඒකෙන් එන්නේ එයාලට ලොකු පශ්චාත් භාගයක් තිබුනා කියන අදහස. කොහොම උනත් ඇරිස්ටොඵනීස් කතා කරන්නේ ඒ ගැන නෙමෙයි. ඒ විදියට, මුල් කෘතියේ ඒක මාර විහිළුවක් උනා වගේම සමකාලීන රසඥතාවයට ඒක හිත් රිදවීමක්.”
ඔහු සිය දෙවුර ගසා දමයි: “වෙනස්කම් කරන්න හුඟක් ඉඩ තියෙනවා. වැඩියෙන්ම, මුළු ලිංගික ක්‍රියාවම ගොඩනඟන්නේ කොහොමද කියන එක ගැන අපේ සංකල්පය ඉපැරණි ග්‍රීක ලෝකයෙන් වෙනස් වෙන නිසා.”
මෑදකදී “ත්‍රයිව් ග්ලෝබල්” සඟරාවේ පළකල ලිපියක පූචිගියන් චාල් බුද්ලෙයර්ගේ කවි පරිවර්තනය කිරීම පිළිබඳ කතා කරයි. “මම පරිවර්තකයෙක් සලකන්නේ මුල් කතෘගේ ආත්මයෙන් ආතුර උන මාද්‍යක්, වාහකයෙක් විදියට.” ඉතින්, ඇරිස්ටොඵනීස්ගේ අශ්ශීල ආත්මයෙන් ආතුර වීම කොයිවගේදැයි ඔහුගෙන් අසන්නට මට සිදුවිය. ඔහු කැප් තොප්පිය හරිබරි ගසාගෙන කැමරාව වෙත නැමෙයි.

“ඒ ගැන ඇහුවට ස්තූතියි. ඒක ඇත්තටම අමාරු කාලයක්. මම හිටියේ කැලිෆෝනියාවේ ෆ්‍රෙස්නෝ වල, මගේ දෙමව්පියන්ගේ වගේ තිබුනු වතුයායේ. මගේ දෙමව්පියෝ විශ්‍රාම ජීවිතය ගත කරන්න ගියේ එහෙට. මගේ තාත්තා නැති වෙලා හිටියේ. මම හිතුවේ මම එහෙ දිගටම ජීවත් වෙන්නයි යන්නෙ කියල. ඒත් රස්සාවක් පැත්තෙන් හිතුවහම එහේ අනාගතයක් තිබුනෙ නෑ. ඉතින් මම මගේම උදාන කවි ලියමින් හිටියා. ඒවා හරිම නාටකීයයි, කාව්‍යාත්මකයි, ස්වාත්මගතයි. ඒකෙ බුබුළ පිපිරවිය යුතුව තිබුනා. ඉතින් ඇරිස්ටොඵනීස්ගේ අශ්ශීලත්වයේත්, විකාරරූපීබවේත් ගිලීම මට ටක්කෙටම හරියන ප්‍රතිවිෂ උනා. මඟේ ජීවිතේ ඒ වගේ පීඩාකාරී කාල පරිච්ඡේදෙකදි ඒක තුළට වැදිලා ජීවත් වීම… මුළුමනින්ම ප්‍රහසන නාට්‍ය වෙනුවෙන් කැපවීම… ඒක මාව බේරාගත්තා. මාව මුදාගත්තා.”
පරිවර්තය ඔහුගේ ජීවිතය බේරාගත්තා? පූචිගියන් හිනැහෙයි.
“පළායෑමක් ලෙස සාහිත්‍යට මම බොහොම කැමතියි. බුද්ලෙයර් අපිට පෙන්නලා දෙනවා නීරස බවේ දිග පළල. ඒ වගේම එයින් බේරිලා යන විදිහ. අසීරු කාල පරිච්ඡේද බොහෝමයක් ජීවිතය තුළ තිබුණ මම පරිවර්තනය වෙත යොමු උනේ, ඔයා කියන්නෙ මොනවද කියන එකට වඩා, ඔයා යමක් කියන්නෙ කොහොමද කියන එක ගැන අවධානය කේන්ද්‍රගත කරන්න පුළුවන්, ශිල්පීය ව්‍යායාමයක් සඳහා ඵලදායි දෙයක් විදියට විතරක් නෙමෙයි. මොකද ඒක කොහොමත් තියෙන දෙයක්නේ. ඒත් නිර්මාණාත්මක රචකයෙකුගේ ජීවිතයේ එන පුනරාවර්තනයෙන් පලෑයෑමකුත් ලෙස. පරිවතනය කිරීම තුළින් තමන්ගෙන් එළියට යන එකට වඩා ලේඛකයෙකුට යහපතක් වෙන තවත් දෙයක් ගැන මට හිතාගන්න බැහැ. බලවත් හඬවල් පරිවර්තනය කිරීම තුළින්.”
“Patriotic Obscenity: Aaron Poochigian and the Comedy of Aristophanes” ලිපිය ඇසුරිනි.
By Mark Haskell Smith
June 20, 2021
OnThisDay
මහේෂි බී වීරකෝන්( පරිවර්තනය)

මහේෂි බී. වීරකෝන්-Maheshi B. weerakoon





