දර්ශනී අබේසිංහ:
“කවුරු හරි එක්ක මොනයම්ම හෝ සම්බන්ධතාවය ක ඉද්දී හිතන්න, ඒ ඔහු හෝ ඈ එක්ක ඉන්න අන්තිම මොහොත කියලා. ඒ නිසාම ඒ මොහොතේම, ඒ හමුවීම ආදරණීය අනුස්මරණීය එකක් කර ගන්න පුලුවන් හොඳම අවස්ථාව කර ගන්න.
මේ වචන වලට සමාන කියමනක් මූණු පොතේ දැක්කම ඒ මත මගේ මනසේ පෙල ගැසුන සංකල්පනාවක් ලියන්න හිතුනා.
මේ කරුණ අනුමත කල හැකි යම් යම් සිද්ධීන් දැන් දැන් මගේ ජීවිතයටත් එකතු වෙනවා. වයසින් මුහුකුරා යද්දී මෙවන් සිද්ධීන් වලට ප්‍රතිචාර දක්වන විදිහට වෙනස් වුනාට හදවතේ දැනීම්, සංවේදී බව, වෙනස් වෙන්නේ නෑ.
මේ මොහොත පවා ස්ථිර නැති ජීවිතය තුල මොහොතකට කලින් හිනා වෙලා කතා කල අය ජීවිතයට සමුදෙනවා සමු ගැනීමක් නැතිවම.
නොකියා යන මේ අස්ථිර ජීවිතය තුල සෑම මුණගැසීමකට ම සුන්දර සමුගැනීමක් ලබා දෙන්න පුලුවන් නම් කෙතරම් අගනේද? හිත් තුල හිස් තැන් නැතිව මතක් කරන්න පුලුවන් සෑම නිමේෂයක්ම, තමා ජීවත් වන තුරාවට තමාගේ මතක තුල එකතු කර තබන්නට පුලුවන් කාරුණික සංසිද්ධ්න් නම්, තම තමන්ගේ ගේ අවසන් මොහොතත් සතුටු සිතින් ගත කරාවි.

අද, මේ මොහොතේ ජීවිතය හැර යන ඔබ දන්නා කවුරු ගැන වුනත් ලැබෙන ආරංචිය මත , ඒ කෙනා අවසන් වතාවට හමුවූ ආකාරය ඔබේ මගේ හදවත මත්තට විගසින් පැමිණෙනවා. ඒ අවසන් හමුවීම, හිතේ කිසිදු කහට පැල්ලමක් එකතු නොකල එකක් වන තාක්, ඒ මොහොත මතක් කරලා අපේ හිතට සැනසීමක් ලබන්නට පුලුවන් නේද?

සෑම හමුවීමකටම කරුණාවන්ත වෙන්න කියන්නේ,
සෑම හමුවීමකටම ආදරණීය වෙන්න කියන්නේ
සෑම හමුවීමකටම වටිනාකමක් දෙන්න කියන්නේ, ඒ නිසාමයි.
අවසන් වතාවට වන හමුවීමක් විය හැකි බැවින් තදින් හදවතට තුරුල් කරගෙන සිනාවකින් සමුදෙන්න.
මනුෂ්‍යත්වයට පොඩ්ඩක් ඉහලින් ඉන්න බවක් හදවතට දැනේවි.
මොකද මේ අපි ඇවිදින් ඉන්නේ යා යුතුම ගමනක් යන්න පටන් ගන්නේ අද ද හෙට ද දන්නේ නැතිව.

ඒ ගමන අපි යා යුතුම බැවින් , ඒ අතරතුර හමුවෙන , වෙන්වන සියලු දෙනාටම අවසන් වතාවට වන හමුවීමක් සේ සලකා ආදරයෙන් සමුදෙන්න.

දර්ශනී අබේසිංහ-Darshani Abesinghe





