මගේ දුවට…! A Massage to a Daughter

මුලින්ම මට ඉඩ දෙන්න පුංචි කතාවක් කියන්න.

වන රොද අස්සෙන් ගොම්මන් අඳුර මෝදුවෙමින් තිබුණු වෙලාවක් ඒක. හිත කීරි ගැස්සෙන විදියට හතර වටින්ම රැහැයියෝ කෑ ගහනවා. මං හිටියේ බෝර්නියෝවේ කඳු මුදුනක ගිනි මැළයක් ළඟ ඉඳගෙන. මාත් එක්ක හිටපු වයෝවෘධ මිත්‍රයා ආදි වාසී ජන කණ්ඩායමක ප්‍රධානියෙක්. අග්නිදිග ආසියාවේ සංචාරක ගෝත්‍රික පරපුරක අවසාන සාමාජිකයෙක් තමයි එයා.

Leader of an Indigenous Community

හවස් වරුව පුරාම එක දිගට කඩා හැළුණු මහ වරුසාව ඒ වෙනකොට නතර වෙලා. වනාන්තරේ තුරු මුදුන් වියන අතරින් හඳ එළිය හිමිහිට හිමිහිට මෝදු වෙන්න පටන් අරන් තිබුණේ. මගේ වැඩිහිටි මිත්‍රයා මුවෙක් දඩයම් කරලා තිබුණේ අඳුර වැටෙන්න කලින්. උගේ ඔළුව ගිනි අඟුරු උඩ පිළිස්සෙමින් තිබුණා.

“මිනිස්සු ඇත්තටම හඳට ගියේ පනිට්ටුවක් පුරවලා දූවිලි ටිකක් අරගෙන එන්න විතරක්ය කියලා කියන කතාව ඇත්තක් ද?”

ගිනි මැළයට උඩින් අහම්බෙන් අහස දිහා බලද්දි ඇහැ ගැටුණු හඳ දැකලා වයෝවෘධ මිත්‍රයා බොහොම සන්සුන් ස්වරයකින් මගෙන් ඇහුවා.

“එයාලට හොයා ගන්න පුළුවන් වුණේ දූවිලි විතරක්ම නම්, ඇයි එයාලා හඳට යන්න ඔය තරම්ම කරදර වුණේ?”

මගේ මිත්‍රයා ඇහුව ප්‍රශ්නය පාර කැපුවේ සදාකාලික පිළිතුරකට. අභ්‍යවකාශ චාරිකාවල ඇත්තම තේරුම, එහෙමත් නැතිනම් ඒවායේ සැබෑම බලපෑම තියෙන්නේ ආර්ථික සමෘද්ධිය තහවුරු කරන එක නෙමෙයි. අපේ ජීවිත සදහටම වෙනස් වෙන විදියේ ජීවන දැක්මකට පාර කපන එක.

1968 අවුරුද්දේ නත්තලට කලින් දවසේ ඇපලෝ 8 අභ්‍යවකාශ යානය චන්ද්‍රයාගෙ අඳුරු කලාපය අස්සෙන් මතුවුණු මොහොතේ තමයි ඒකේ මුල්ම බීජය වැපිරුණේ. අහසේ ඈත කොනින් හිරු පායා ගෙන එන හැටි දකිනවා වෙනුවට එයාලා දැක්කේ මොකක් ද?

Apollo 8

පහසුවෙන් කැඩිලා බිඳිලා විසිරිලා යන්න පුළුවන් කියලා හිතෙන අපේ මේ පුංචි පෘථිවිය විල්ලුද හිස් අවකාශය අස්සෙන් පායාගෙන එන හැටි. (ඡායාරූපය බලන්න) අපේ මේ පුංචි පෘථිවිය, ජීවී විශේෂ එකම ඒකකයක් ලෙස එකට බැඳුණු හුදෙකලා ජීවී ගෝලයක්ය කියන එකත්, වාතය – ජලය – සුළඟ සහ පසින් නිර්මාණය වුණු පණ ගැහෙන සීමිත ඉඩකඩක්ය කියන කාරණාවත් වෙන කිසිම විද්‍යාත්මක දත්ත ගණනාවක් ගෙනැල්ලත් කියාපාන්න බැරි තරම් ප්‍රබල විදියට මේ තනි පිංතූරයෙන් අපිට තහවුරු වුණා. ඉතිහාසයේ ඉතිරි කාලය පුරාවටම මිනිසුන්ට කතා කරන්නට පුළුවන් විදියට මේ දැනුම් ගිනි පුළිගුව දැල්වුණේ මහානුභාවසම්පන්න විද්‍යාවෙන් මතු කළ මේ හෙළිදරව්ව හින්දයි.

එදා ඒ මොහොතේ ඉඳන්ම අපි අලුත් විදියට හිතන්න පටන් ගත්තා. පොඩ්ඩකට කල්පනා කරන්න. මිනිස්සු තමන්ගේ මෝටර් රථයේ ඉඳන් කුණු කසල එළියට වීසි කරලා දාන එකට නැවතීමේ තිත තියෙනවා වගේ දෙයක් වුණත් මීට අවුරුදු පනහකට කලින් සැලකුවේ මහා ලොකු පරිසර ජයග්‍රහණයක් විදියට. ජෛවගෝලය (biosphere), ජෛවවිවිධත්වය (biodiversity) වගේ දේවල් ගැන කවුරුවත්ම කතා කළේ නැහැ. ඒත් මේ වෙද්දි ඒ වගේ වචන පාසල් ශිෂ්‍යන්ගෙ පෙළ පොත්වල පවා තියෙනවා.

බලාපොරොත්තුවේ මහාමේඝයක් වගේ මේ ආලෝකධාරාවේ ශක්තිය හැමතැනකම පැතිරිලා ගියා. මේ අතරතුර කාලයේ දී යහපත් දේවල් බොහොමයක් සිද්ධ වුණා. පරපුරක් ගෙවිලා යද්දිම වගේ කාන්තාවන් කුස්සි කාමරයෙන් අධ්‍යක්ෂ මණ්ඩල කාමරයට ගියා. දොර මුල්ලෙ හිටපු සමරිසි පරපුර අල්තාරය ළඟට ගියා. ඇෆ්රිකන්-ඇමරිකානුවො දර මඩුවෙන් ධවල මන්දිරයට ගියා.

අපි හැමෝම සහෝදර සහෝදරියො. ඇත්තටම කියනවා නම් එකම මූලයකින් පැවත ගෙන එන එකම පවුලක්. අපි හැමෝම අන්තිමේ දී අප්‍රිකානු දරුවෝ. හමේ වර්ණය කියන්නේ තමන් අනුගත වේචච පරිසරය නිසා ඇතිවුණු අංගයක් විතරමයි. ඒත් මානවයාගේ තිබුණු සැහැසි උද්ධච්ඡකම හින්දම හමේ වර්ණය කියන සාධකය පරම්පරා ගණනාවක් පුරාම අයුතු විදියට පාවිච්චි කළා. ඝර්ම කලාපීය දේශගුණයේ ඉන්න අයට මෙලනින් හරි එහෙමත් නැතිනම් හිරු එළියෙන් ආරක්ෂා වෙන සන්ස්ක්‍රීන් (sunscreen) එකක් ඕන කරනවා. ඒ වගේම තමයි උතුරුකරේ දීර්ඝ සිසිරයේ ජීවත් වෙන අයට යහපත් ශරීර සෞඛ්‍යයක් පවත්වා ගෙන යන්න අත්‍යවශ්‍ය වන විටමින් D ලබාගන්න හිරු එළියට පුළුවන් තරම් නිරාවරණය වෙන්න සිද්ධ වෙනවා. අන්තිමට බැලුවම ‘කළු – සුදු’ කියන්නේ ‘සන්ස්ක්‍රීන්’ සහ ‘විටමින් ඩී’ හැරුණම වෙන කිසිම දෙයක් නෙමෙයි.

එකම ජාන සමූහයක් උරුම කරගත්ත අපි හැමෝටම තියෙන්නේ සමාන බුද්ධි මට්ටමක් සහ හැකියාවක්. ‘ප්‍රාථමික’ (primitive) එහෙමත් නැතිනම් ‘ගෝත්‍රික’ සහ ‘ශිෂ්ට සම්පන්න’ (civilized) කියන්නේ කිසිම දවසක නොතිබුණු සංස්කෘතික බලාධිකාරයක් පෙන්නන හිස් වචන දෙකක්. යටත්විජිත සහ වර්ගවාදී සංකල්පවලින් ලාභ ප්‍රයෝජන ලබපු අය තමයි ඒ දේවල් තමන්ගේ ඔළු ඇතුළේ තැන්පත් කරගෙන හිටියේ. අපි හැමෝටම පොදු වෙච්ච මානව බුද්ධියේ එකිනෙකට අනන්‍ය වූ සුවිශේෂීත්වය තමයි හැම සංස්කෘතියකින්ම පෙන්නුම් කරන්නේ. හැම සංස්කෘතියකටම තියෙනවා ලෝකයට කියන්නට දෙයක්… මුළු ලෝකයම සවන් දෙන්න ඕනේ ඒ හඬට.

ඔය කිව්ව කාරණාවෙන් ඔයාට දෙන පණිවිඩය හරිම සරලයි දුවේ. ඔයා කොහෙත්ම දන්නෙ නැතිව ඇති. ඒත් මුළු ලෝකයේ හැම හතර කොණකම දස දහස් ගණනක් ගුරුවරු ඉන්නවා ඔයාට.

තමන්ගෙ නැව් බඳේ වැදෙන දිය රැළිවල හඬට කන්දීලා ඈත සිතිජයට ඔබ්බෙන් තියෙන හිරිගල් දූපතක් ගැන කියන්නට තරම් ඉවක් තියෙන පොලිනීසියානු ජාතික යාත්‍රිකයෙක් එක්ක ඔයාට පුළුවන් මුහුදු චාරිකාවකට යන්න.

අවුරුදු හතක් පුරාම දවසකට පැය 17ක්ම අභ්‍යාසවල යෙදෙන ජපානයේ ටෙන්ඩායි භික්ෂුවක් අනුගමණය කරන්න ඔයාට පුළුවන්.

Tendai Monk

නිල් පාට ලෝගු පොරවාගෙන ගිනිගහන සහරා කාන්තාරයේ තවලමේ යන Tuareg කණ්ඩායමක් එක්ක එකතු වෙන්න ඔයාට පුළුවන්. එහෙමත් නැතිනම් උත්තර ධ්‍රැවයේ ඇස්කිමෝවරුත් එක්ක මහ රෑට පායන හිරු එළියෙන් තල්මසුන් දඩයම් කරන්න යන්න ඔයාට පුළුවන්.

තිබ්බතයේ ගල් ගුහාවක බෝධිසත්වයෙක් එක්ක එකට ඉඳගෙන ඉන්න, එහෙමත් නැතිනම් ඇමසෝනියාවේ ආදිවාසී වෙදදුරෙකුගෙන් වෙද හෙදකම් ගැන ඉගෙන ගන්න ඔයාට පුළුවන්.

එහෙමත් නැතිනම් ඔයාට පුළුවන් ඔය කිව්ව හැමදේකින්ම මුළුමනින්ම වෙනස් මාර්ගයකට පිවිසිලා විද්‍යාවේ, කලාවේ, සමාජ සාධාරණත්වයේ, ඉංජිනේරු තාක්ෂණයේ, වෛද්‍ය විද්‍යාවේ, හමුදා සේවයේ, එහෙමත් නැතිනම් පැවිදි දිවියේ නිම් වළලු සොයා ගෙන යන්න.

ඔය කිව්ව හැම කාරණාවක්ම පැත්තකින් තිබ්බම ඔයා කල්පනා කරනවා ඇති ඔයා අද ඉන්න තැනින් අනාගතයේ ඔයා බලාපොරොත්තු වන තැනට යන්න මේ කිව්ව මොනවා හරි දෙයක් උදව් කරගන්නේ කොහොමද කියන එක.

ඔයා දන්නවා ඔයාට විකල්ප තියෙනවා කියලා. ඒත් ඔයා දන්නෙ නැති දේ තමයි ඔයාට ඕන මොනව ද කියන එක… මොන මාර්ගයේ ද යන්න ඕනේ කියන එක… මොන විදියේ වෘත්තියකින් ද ජීවිතය ජය ගන්න ඕනේ කියන එක.

අවුරුදු හතරක සරසවි උපාධිය සම්පූර්ණ කරලා සරසවියෙන් පිටවෙද්දී උපාධියෙන් මොනවද කරන්න පුළුවන් කියක එක ගැන බොහොම අපැහැදිලි හැඟීමක් තමයි ඔයාට තියෙනවා ඇත්තේ. මට තේරුම් ගන්න පුළුවන් ඔය හැඟීම. මං සරසවියෙන් පිටවුණාට පස්සේ ඔයාගෙ අත්තම්මා මගෙන් ඇහුවා මං දැන් මොනව කරන්න ද හිතාගෙන ඉන්නේ කියලා. එහෙම කිසිම දෙයක් ඔළුවෙ නැහැ කියලා මට ඇත්තම කියන්න සිද්ධ වුණා. අන්න එදා තමයි මගේ අම්මා පුදුමයෙන් කෑගැස්සෙන හැටි මං දැක්ක මුල්ම වතාව. එහෙම දැක්ක අවසාන වතාවත් ඒකම තමයි. ඒ වෙද්දී මට අවුරුදු විසි තුනක් කියන එක මට අමතක වෙලා නම් ඒක මතක් කරගන්න කියලා අම්මා මට කිව්වා.

ඔයාගෙ අත්තම්මා සෘජු ගතිගුණ තියෙන ආදරණීය කෙනෙක් වුණත් ඒ මොහොතේ අත්තම්මගෙ දුක සංතාපය මට මහ ලොකු බලෑමක් කළේ නැහැ.

ඔයාගෙ ජීවිතය ගැන වැඩිහිටි අය තීන්දු තීරණ ගනිද්දී එයාලා ඇත්තටම ඒ සැලසුම් සකස් කරන්නේ ඔයා වෙනුවෙන් නෙමෙයි, එයාලා වෙනුවෙන්මයි. එහෙම නැතිනම් අඩුම තරමින් තමන් සිහින දැකපු ලෝකය ගොඩ නගා ගන්න බැරි වුණු පශ්චාත්තාපය තමයි ඒක ඇතුළේ තියෙන්නේ.

යාළුවො කියලා කියන්නෙ වෙලාවකට ආශිර්වාදයක් තමයි. ඒත් ඒ වගේම වෙලාවකට ඔයාගෙ දියුණුවට එයාලා බාධාවක්. යාළු මිත්‍රකම් කියන්නෙම පරස්පරයක්නේ. යාළුවො උදව් උපකාර කරන්නෙ එයාලගෙ හිත් සතුටු කරන විදියට අද මේ මොහොතේ ඉන්න

‘වර්තමාන ඔයාට’ මිසක් ඕනෑම සැඩ රළු පහරකට මුහුණ දීලා දියුණුවේ හිණිපෙත්තට පිය නගින්නට සූදානම් වෙන, ඒ වගේම අනාගතයේ කවරාකාර පුද්ගලයෙකු වේවිදැයි පුරෝකථනය කරන්නට බැරි ‘අනාගත ඔයාට’ නෙමෙයි.

වෙනස්වීම කියන්නෙම හිත කලබලයට පත් කරන දෙයක්, විශේෂයෙන්ම වර්තමානයත් එක්ක විතරක්ම බද්ධ වෙලා ඉන්න කෙනෙකුට.

මට තව පුංචි කතාවක් කියන්න ඉඩදෙන්න. ඔයා වගේම කලා උපාධියක් ලබාගත්ත ස්ටීව්ටත් කිසිම අරමුණක් තිබුණේ නැහැ සරසවිය හැරගියාට පස්සේ මොකක්ද කරන්නේ කියලා. ඉතින් එයා ගියා ඉන්දියාවට. ගිහින් ජීවත් වුණේ ගල් ගුහාවක. ඔහොම අවුරුදු හතරක්ම ගියාට පස්සේ ගමේ හිටපු මිනිස්සු එයාට කෑම බීම සල්ලි පූජා කරන්න පටන් ගත්තා. අන්න එතකොට එයා තේරුම් ගත්තා දැන් කාලෙ හරි ආපහු ගෙදර එන්න කියලා. ඉතින් එයා ආපහු ඇමරිකාවට ආවා. ඇමරිකාවට ඇවිත් දවස් හැට පහක කාලයක් පුරා ආපහු භාවනා කර කර හිත සමාධිගත කරන්න උත්සාහ කළේ අනාගතයේ දී මොනවාද කරන්නේ කියලා හිත හිතා. ඔන්න එක සැරේටම එයාගෙ හිත ක්ෂණික අලෝක ධාරාවකින් දීප්තිමත් වුණා: නිර්මාංශ ප්‍රෝටීන් (vegetable protein)

සෝයා කිරිවල තියෙන ප්‍රධානතම ගැටළුව තියෙන්නේ එ්වා දාලා තියෙන බහාලුමේ (container) මිසක් කිරිවල නෙමෙයි කියලා ස්ටීව්ට එක සැරේටම හිතුණා.

Steve Demos

ඒ කාලයේ සෝයා කිරි විකුණන්න තිබුණු බහලුම හින්දා සෝයා කිරි සුපර් මාර්කට්වල විකුණන්නට තියලා තිබුණේ සාමාන්‍ය කිරි විකුණන තැන්වල නෙමෙයි. ඉතින් එයා තීරණය කළා සෝයා කිරිවල නම වෙනස් කරන්න. ‘soy’ සහ ‘milk’ කියන නම් දෙක එකට එකතු කරලා ‘Silk’ කියලා නම විතරක් වෙනස් කරලා ස්ටීව් නිකම් හිටියේ නැහැ.අනෙක් සාමාන්‍ය කිරි නිෂ්පාදන එන බහලුමකට ඒවා ඇහුරුවා. ඉතින් ඊට පස්සේ සුපර් මාර්කට් එකේ “Silk” කිරි විකුණන්නට සැලැස්සුවේ අනෙක් කිරි විකුණනන්ට තියෙන අංශයේමයි.

අන්තිමේ දී අවුරුදු පහකට පස්සේ ස්ටීව් තමන්ගේ සමාගම Silk සමාගම විකුණලා දැම්මේ ඩොලර් දශලක්ෂ 295කට.

(බටහිර රටවල ජනප්‍රිය සිල්ක් කිරි නිෂ්පාදන සහ ස්ටීව්ගේ ඡායාරූපයක් මේ සමග අමුණා ඇත).

ස්ටීව් මේ තේරුම් ගත්තේ සර්වකාලීන පාඩමක්. ජීවිතය කියන්නේ සරල රේඛීය ගමනක් නෙමෙයි. ඒවගේම පුරෝකථනය කරන්න පුළුවන් දෙයකුත් නෙමෙයි.

ජීවිතයේ නව ඉසව් හොයා ගෙන ගමන් කරන්නට ඔයා තීරණය කළා නම්, සමහරවිට ඔයාට සිද්ධ වේවි කිසිම දෙයක් මුණ නොගැසෙන අවස්ථාවන් පහු කරන්න. ඒත් දිගටම ඉදිරියට යන්න. ඒ ගමන නිසැකයෙන්ම සාර්ථකත්වයෙන් අවසාන වේවි.

නිර්මාණශීලීත්වය කියන්නේ ක්‍රියාවක ප්‍රතිඵලය මිසක් එහි අරමුණ නෙමෙයි. කළ යුතු දේ මුලින්ම කරන්න. ඒක කරන්නට පුළුවන් කමක් තිබුණු දෙයක් ද එහෙමත් නැතිනම් කරන්නට ඉඩකඩ ලබා දුන්න දෙයක් ද කියන එක විමසා බලන්න පස්සෙ පුළුවන්. ධෛර්යයට තමයි ස්වභාව ධර්මයත් ආදරය කරන්නේ. Jim Whittaker කියන්නේ එවරස්ට් කන්ද තරණය කළ ප්‍රථම ඇමරිකානු ජාතිකයා. තරුණ කාලයේ දී ඔයා නව ඉසව් සොයා ගෙන යන්නේ නැතිනම් මිහිතලයේ ඔයා වෙනුවෙන් වැයවන ඉඩකඩ ප්‍රමාණය බොහොම වැඩියි කියලා ජිම් කිව්වා.

සිදු වෙන්න පුළුවන් කියලා හිතන්න බැරි දේවල් ගැන සිහින මවන්න. එහෙම වුණොත් ලෝකයා කිසිම දවසක ඔයාව පහළට ඇදලා දාන්නේ නැහැ. ඒ වෙනුවට ලෝකය ඔයාව ඉහළටම ඔසවලා තියාවි.

රැකියාවක් හොයා ගන්න ඔයා වද වෙනවා කියන එක මට තේරුම් ගන්න පුළුවන්. ඒත් පරිස්සම් වෙන්න. ‘Job’ කියන වචනය නිර්මාණය වුණේ 16 වැනි සියවසේ දී ‘gober’ කියන ප්‍රංශ වචනයෙන්. ඒකෙ තේරුම ‘ගිල දමනවා’ වගේ අදහසක්. මගේ තාත්තාට හැමදාමත් රැකියාවක් තිබුණා. තාත්තා හැමදාම නගරයට ගිහින් හවසට ගෙදර එන්නේ හිටියාට වඩා තරමක් පුංචි වෙලා කියලයි මට මගේ පුංචි කාලෙදි හිතුණේ.

ඔයාව මුළුමනින්ම ඇතුළු කරන්න පුළුවන් මට්ටමේ තනි වෘත්තියක් ඔයාට කවදාවත් හොයා ගන්න පුළුවන් වෙයි කියලා මං හිතන්නේ නැහැ.

ඒත් රැකියාව විදියට ඔයා තෝරා ගන්න කාර්යය නම් මට වගේම ඔයාටත් හැම අතින්ම අසීරු කටයුත්තක් බව නම් මට විශ්වාසයි. ‘Work’ කියන වචනයම ඒකට සුදුසුයි. ඒ වචනය හැදිලා තියෙන්නේ පුරාණ ඉංග්‍රීසි ශබ්දකෝෂයේ ‘action’ සහ ‘deed’ කියන වචනවල එකතුවෙන්.

රැකියාව කියන්නේ එක කාලයකට විතරක් ලෝකය දකින්නටත්, ලෝකය අවබෝධ කරගන්නටත් ලැබෙන අලුත් කන්නාඩියක්ය කියන එක ඔයා අනාගතයේ දී තේරුම් ගනීවි. ඒ තුළ ‘ජීවත්වීම’ සහ ‘ජීවමානව සිටීම’ තමයි ඉලක්කය වෙන්න ඕනේ. කෙනෙකුගේ රැකියාව තුළින් අනාගතයේ හැම දෙයක්ම තීරණය කිරීමටවත්, සැලසුම් කිරීමටවත් බැරි බව හොඳින්ම දැන සිටීමත් හරිම වැදගත්. මිනිස් ජීවිතයක් තරම් සංකීර්ණ දෙයක අවසාන ප්‍රතිඵල ගැන පුරෝකථනය කරන්නට කොහෙත්ම බැහැ.

ඒත් ජීවිත කාලය පුරාම අලුත් දොරටු විවෘත කරගෙන ඉන්නට පුළුවන් නම් නොසිතූ නොපැතූ දේ ඉන්ද්‍රජාලයක් විදියට ඒ දොරටු තුළින් ඔයාගේ ජීවිතයට ඇතුළු වේවි.

ජීවිතයට හොඳම දේවල් ලැබෙන්නේ සම්මුතියකින් ගොඩ නගා ගන්න බැරි කරුණු කාරණා වලින්. මීට කලින් කිසිම දවසක නොදුටු විරූ ශක්‍යතාවන්ගෙන් පිරුණු ලෝකයක් ගොඩ නගා ගෙන ඒ ලෝකයේ අසිරිය විඳිමින් ජීවිතය වටහා ගන්නට කෙනෙකුට යම් කාලයක් ගතවෙනවා.

ඔයා තාමත් ජීවිතය පටන් ගත්තා විතරයි. බොහොමයක් වෙනස්කම් අනාගතයේ දී සිදුවන්නට නියමිතයි.

අනාගතයට පා තබද්දී ඔයා තෝරා ගන්න රැකියාව ගැන වගේම ඔයා අනාගතයේ දී කවරාකාර මිනිසෙකු වෙන්න ඕනෙද කියන කාරණාව ගැනත් පුළුවන් තරම් හොඳට හිතන්න. මුදල් කියන්නේ කොයි තරම් නම් අල්ප සාධකයක් ද කියලා තේරෙන්නේ කල් ගත වුණාට පස්සෙයි. කරුණාව, දයාව මත පදනම් වෙලා ඔයා කරන හැම ක්‍රියාවක්ම සදාකාලිකවම රැඳිලා තියේවි.

මගේ තාත්තා කිසිම දවසක ආගම පස්සේ ගිය කෙනෙක් නෙමෙයි. ඒත් හොඳ සහ නරක කියන සංකල්ප දෙක ගැන තාත්තට විශ්වාසයක් තිබ්බා.

“හොඳ නරක කියලා දෙකක් ලෝකයේ තියෙනවා. ඔයා කැමැති පැත්ත තෝරගෙන ඔයාගේ ගමන යන්න”, අන්න එහෙමයි ඔයාගේ සීයා මට කිව්වේ.

ඔය කිව්ව ‘හොඳ’ සහ ‘නරක’ කියන සංකල්ප දෙක ඇතුළේ මහා දැවැන්ත ඥානයක් ගැබ් වෙලා තියෙනවා. අපේ මේ මුළු ඉතිහාසයම දුවන්නේ ඔය කිව්ව මාවත් දෙක අතරින්. ඉස්සරහටත් එහෙමම තමයි. අපිට බැහැ කවදාවත්ම අඳුර සදහටම පරාජය කරන්නට. අපිට පුළුවන් එකම දේ දිනුම හෝ පැරදුම ගැන නොසිතා නිවැරදි දේ කිරීම විතරයි. යම් දෙයක් බලාපොරොත්තු නොවී කරන ක්‍රියාවකින් කිසිම දවසක බලාපොරොත්තු කඩවීම් සිද්ධ වෙන්නේ නැහැ. ඒ වගේම සටන අත්හරින්නට හේතුවක් ඇතිවෙන්නේත් නැහැ.

ජීවිතයේ මේ දිගු ගමන වන්දනාවක්. අවසන් ඉලක්කය ගමනාන්තය නෙමෙයි. ඒ ජීවන ගමන පුරාම ඔයාගේ හිතේ සැරිසරන මානසික ස්වභාවයයි (State of mind).

නිර්මාණශීලීත්වයේ ඉහළම අභියෝගය තමයි තමන් විසින් තමන්ගේම ජීවිතය මූර්තිමත් කරගනු ලැබීමේ අභියෝගයට මුහුණ දීම. ඒ නිසා ඉවසන්න. සම්මුතීන්වලට පැටලෙන්නට එපා. ඔයාගේ ඉරණමට කාලය දෙන්න ඔයා කවුද කියලා හොයා ගන්න.


(අවුරුද්දේ නිකුත් වුණු ‘Beneath the Surface of Things’ කියන පොතෙන් උපුටා ගත්ත ලිපියක් තමයි ඉහතින් දැක්වෙන්නේ.

මේ පොත ලියලා තියෙන්නේ කැනඩාවේ බ්‍රිටිෂ් කොළොම්බියා සරසවියේ (UBC) මානව ජීව විද්‍යා මහාචාර්ය Wade Davis. වසර 13ක කාලයක්ම National Geographic සංගමයට අනුබද්ධව කටයුතු කළ මහාචාර්ය ඩේවිස් පොත් පත් 15ක් පමණ රචනා කළ සම්මානලාභී ලේඛකයෙක්.

Prof.Wade Davis

2012 අවුරුද්දේ ඉංග්‍රීසි භාෂාවෙන් රචනා වුණු හොදම ‘nonfiction’ කෘතියට හිමි ‘Samuel Jhonson’ ත්‍යාගය හිමිකරගත්තේත් මහාචාර්ය ඩේවිස්. දැනට මාස කිහිපයකට කලින් නිකුත් වුණු මහාචාර්ය ඩේවිස්ගේ මේ අලුත්ම කෘතියේ ‘A Massage to a Daughter’ කියන ලිපිය ‘සංක්ෂිප්ත අනුවර්තනයක්’ තමයි මේ විදියට පළ කරන්නේ අපේ දූ දරුවන්ටත් මේ ලිපිය වැදගත් වෙයි කියලා හිතුණු නිසයි)

ඡායාරූප අන්තර්ජාලය හා Meta AI ඇසුරිනි.

More From Author

නිවී ගිය රතු සඳ එළිය

ලොව විවිධ භූගෝලීය කලාප නියෝජනය කරන පරිවර්තිත කෙටිකතා එකතුවක් !

Leave a Reply

Categories

LDM Columns

https://www.facebook.com/profile.php?id=61575953530348