න්‍යෂ්ඨික අවියෙන් තොර ලොවක් පැතූ විසල් ලාංකිකයා: විනිසුරු සී.ජී. වීරමන්ත්‍රී

දෙවන ලෝක යුද්ධය අවසානයේ දී, ඇමරිකාව විසින් ජපාන අධිරාජ්‍යයා දණගැස්වීමේ අටියෙන් මහත මිනිහා (Fat man) සහ කුඩා කොලුවා (little boy) නම් ලද පරමාණුක බොම්බ ද්වය 1945 අගෝස්තු 6 සහ 9 දිනයන්හී දී ජපානයේ හිරොෂිමාවේ හා නාගසාකියේ සිවිල් වැසියන්ගේ හිස්මත පතිත කිරීමෙන් පසුව න්‍යෂ්ඨික බලය අයුධයක් ලෙස භාවිතා කළ හැකි බව ලොවට අනාවරණය විය.

මිත්‍රවරුනි යුද්ධය තුළ යුක්තිය ඉටුකරන්නේ ජයග්‍රාහකයාට පක්ෂපාතීව ය (victor’s Justice Principle). එබැවින් මේ මහා මිනිස් සංහාරයට එරෙහිව ඇමරිකාව කවදාවත් දංගෙඩියට ගියේ නැත.

දෙවන ලෝක යුද්ධයෙන් පසු එළැඹෙන්නේ ද්වි-ධ්‍රැවීය ලෝකයකි. පරමාණුක අවියේ විනාශකාරීත්වය කොපමණක් වූවද ලෝක බලවතුන් පරමාණුක බලය යුධ ශක්තියක් බවට පරිවර්තනය කරගැනීමේ නොතිත් ආශාවෙන් මහා තරඟයක නියැළුණි. සෝවියට් සමූහාණ්ඩුව එක් පසෙකිනුත්, ඇමරිකා එක්සත් ජනපද ය අනෙක් පසෙකිනුත් පරමාණුක අවි තැනීම වහ වහා වේගවත් කරනන්ට විය. කල්යත්ම මේ බලකඳවුරු ද්විත්වයේ මිත්‍ර සමාජිකයනුත් පරමාණුක යුධ ශක්තිය අත්හදා බලන්නට පෙළඹූ අතර ලොව මහා විනාශයක් අභිමුඛව සිටින බැව් පැහැදිලිවම නිරීක්ෂණය විය.

යළිඳු ලෝක යුද්ධයක් ඇතිවුවහොත් එය මානව ශිෂ්ඨාචාරයේ අවසානය බැව් වටහාගැනීමට අමුතු නුවණක් අවශ්‍ය නොවූයෙන්, එවකට ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂක ජනරාල් වූ ජපානයේ හිරෝෂි නකජිමා සහ එවකට එක්සත් ජාතීන්ගේ මහලේකම් වූ ඊජිප්තුවේ බෘටෝස් බෘටෝස් ගානි දෙපළ විසින් වෙන් වෙන්ව අන්තර්ජාතික යුක්ති අධිකරණයට න්‍යෂ්ඨික අවි පිළිබඳ උපදේශාත්මක මතයක් ප්‍රකාශ කරන ලෙස ඉල්ලීම් සිදු කළහ.

ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් “සෞඛ්‍ය හා පාරිසරික බලපෑම් සැලකිල්ලට ගනිමින්, යුද්ධයකදී හෝ වෙනත් සන්නද්ධ ගැටුමකදී රාජ්‍යයක් විසින් න්‍යෂ්ටික අවි භාවිතා කිරීම WHO ව්‍යවස්ථාව ඇතුළු ජාත්‍යන්තර නීතිය යටතේ ඇති බැඳීම් උල්ලංඝනය කිරීමක් වේද?” (“In view of the health and environmental effects, would the use of nuclear weapons by a State in war or other armed conflict be a breach of its obligations under international law including the WHO Constitution ?”) යන ප්‍රශ්නය 1993 අගොස්තු 27 දාතමින් යුතුව අන්තර්ජාතික යුක්ති අධිකරණය වෙත යොමු කළ පෙත්සමෙන් විමසන ලද අතර, 1994 දෙසැම්බර් 19 දා “ඕනෑම අවස්ථාවක න්‍යෂ්ටික අවි තර්ජනය කිරීමට හෝ භාවිතා කිරීමට ජාත්‍යන්තර නීතිය යටතේ අවසර තිබේද?” (“Is the threat or use of nuclear weapons in any circumstance permitted under international law ?”) යන විමසුම මහා මණ්ඩල යෝජනා සම්මතයක් තුළින් එක්සත් ජාතින්ගේ මහ-ලේකම්වරයා විසින් යුක්ති අධිකරණයට යොමු කරන ලදී.

මිත්‍රවරුනි මේ සමය වන විට අන්තර්ජාතික යුක්ති අධිකරණයේ උප-සභාපති ධූරය හොබවා කීර්තියක් දිනා සිටි ලාංකික විද්වතෙක් විය. ඔහු නමින් ක්‍රිස්ටෝපර් ග්‍රෙගරි වීරමන්ත්‍රී ය. අන්තර්ජාතික නීති ක්ෂේත්‍රයේහි එවකට ලංකාව ප්‍රසිද්ධ වූයේ ‘ඒ වීරමන්ත්‍රී විනිසුරුතුමන්ගේ රට‘ යනුවෙනි. පරමාණුක අවි පිළිබඳ මත විමසීමේ දහ හතර දෙනනෙකුගෙන් සමන්විත විනිසුරු මණ්ඩලයේ එතුමාද අසුන් ගති.

පළමු ඉල්ලීම සලකා බැලුණි. ලෝක සෞඛ්‍ය සංවිධානයට එහි ව්‍යස්ථා ප්‍රකාරව එවන් ඉල්ලීමක් ගෝලීය අධිකරණයෙන් සිදු කළ නොහැකි බැව් පවසමින් පෙත්සම ඉවත දමන ලදී. ඊට විනිසුරුවන් එකළොස්දෙනෙකු එකඟ වූ අතර, තිදෙනෙකු විරුද්ධ විය. ඒ වීරමන්ත්‍රී මැතිතුමා, ගයානා හි මොහොමඩ් ශහබ්දීන් විනිසුරුතුමා සහ සියරා ලියෝන් හි අබ්දුල් කොරොමා විනිසුරුතුමාය. තම මතය තහවුරු කරමින් දීර්ඝ පැහැදිලිකිරීමක් කළ වීරමන්ත්‍රී මැතිතුමන්, ලෝකවාසී ජනයාගේ සෞඛ්‍යය හා පාරිසරික ආරක්ෂාව උදෙසා ලෝක සෞඛ්‍ය සංවිධානය සිදු කළ ඉල්ලීම හුදු තාක්ෂණික කරුණක් මත ඉවත් කිරීමට යුක්ති අධිකරණයට යුක්ති යුක්ත නොවේ යැයි තරයේ ප්‍රකාශ කරන ලදී. අනතුරුව සලකාබැලුවේ මහ ලේකම්වරයා ගොනුකළ පෙත්සමයි. එහිලා පහත නිගමනය වෙත බහුතර විනිසුරවරුන් එකඟ විය. එනම්, න්‍යෂ්ටික අවි තර්ජනය හෝ භාවිතය පිළිබඳ පුළුල් හා විශ්වීය තහනමක් අන්තර්ජාතික චාරිත්‍රානුකූල හෝ සම්මුතිමය නීතියේ නොමැති බවයි. (There is in neither customary nor conventional international law any comprehensive and universal prohibition of the threat or use of nuclear weapons) බහුතර මතය යනු සැමවිටම යුක්තිය නොවේ. එබැවින් විනිසුරු වීරමන්ත්‍රී, විනිසුරු ශහබ්දීන් සහ විනිසුරු කොරෝමා යළි තම විරෝධය පළකළහ. විනිසුරු වීරමන්ත්‍රී මැතිතුමා විසින් මෙහිදී දැඩිව ප්‍රකාශ කරන ලද්දේ, ඕනෑම තත්වයක් යටතේ න්‍යෂ්ඨික අවි භාවිතය හෝ භාවිතා කිරීමේ තර්ජනය නීති විරෝධී බවත්, එය අන්තර්ජාතික නීතියේ මූලික මූලධර්ම උල්ලංඝනය කරන අතර, මානුෂීය නීතියේ ව්‍යුහයට අභ්‍යන්තරයේ පවතින මානුෂීය වටිනාකම් සියල්ල නිෂේධනය කරන බවයි. නමුත් මිත්‍රවරුණි සුළුතර මතය මඟින් අවසන් විනිශ්චය හෝ තීන්දුව සටහන් නොකරයි. අධිකරණ සම්ප්‍රදාය යනු එයයි. දීර්ඝ විමර්ශනය අවසානයේ දෙවසරකට පසු 1996 ජූලි 8 වැනි දා අන්තර්ජාතික යුක්ති අධිකරණය විසින් සිය උපදේශාත්මක මතය ප්‍රකාශ කරන ලදී. ඉන් කියැවුණේ න්‍යෂ්ඨික අවි භාවිතාවේ තහනමක් අන්තර්ජාතික නීතියේ තවමත් නොමැති බවත්, ඵලදායී ජාත්‍යන්තර පාලනය යටතේ න්‍යෂ්ඨික නිරායුධකරණයට තුඩු දෙන සාකච්ඡා යහපත් විශ්වාසයකින් යුතුව කරගෙන යාමට සහ නිගමනයකට එළඹීමට රාජ්‍යයන් වෙත බැඳීමක් පවතින බැව් පමණි. මහා විනාශයකින් ලෝකය ගලවාගැනීමේ ස්වර්ණමය අවස්ථාවක් ඉන් ගිලිහුණි.

මෙවැනි නිර්දේශයක් ලබාදුන්නෝ කවුරුන් විය හැකිද? මිත්‍රවරුණි ඉන් බහුතරයක් දෙනා ලෝකයේ බලවත් රාජ්‍යයන් නියෝජනය කළ විනිසුරුවන් වූහ. සභාපති විනිසුරු ලෙස ඇල්ජීරියාවේ මොහමඩ් බොජොයි, උපසභාපති ලෙස ඇමරිකාවේ ස්ටෙපන් ශෝබෙල්, බ්‍රිතාන්‍යයේ රොස්ලින් හිගින්ස්, ප්‍රංශයේ ගිල්බට් ගොලියම්, ජර්මනියේ කාල් ඕගස්ට් ෆ්ලේෂර්, චීනයේ ශී ජියං, රුසියාවේ වෙල්ඩ්ලන් එස්. වෙරශ්ටීන්, ඉතාලියේ ලූගි ෆෙරාරි බ්‍රාවෝ, හංගේරියාවේ ගේසා හර්ග්සග්, මැඩගස්කරයේ රේමන්ඩ් රන්ජීව්, හා ජපානයෙ ශිගේරු ඔඩා ඒ අතර විය.

ගෝලීය භූ දේශපාලනික අභිප්‍රායන් ඉදිරියේ අන්තර්ජාතික නීතිය යනු යෝධයකු ඉදිරියේ කිරිසප්පයකු වැනිය. මිත්‍රවරුණි අන්තර්ජාතික යුක්ති අධිකරණයේ අධිකරණ ශාලාවෙන් ඔබ්බටත් තම නිති විශාරදභාවය පරමාණුක අවි වලට එරෙහිව භාවිත කළ වරදට විනිසුරු වීරමන්ත්‍රීන්ගේ දෙවන ධූර කාලය ආරක්ෂක කවුන්සිල අනුමැතියට යටත් නොවුණි. එහෙත් මේ මහා මිනිසා 2017 දී සිය දෙනෙත් පියාගන්නා තුරුම න්‍යෂ්ඨික අවියෙන් තොර සාමකාමී ලොවක් වෙනුවෙන් කැපවිය.
එහි ප්‍රතිඵලයක් ලෙස 2017 දී න්‍යෂ්ඨික අවි තහනම් කිරීමේ සම්මුතිය එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් සම්මත කරගන්නා ලදී. නමුදු අදවනතුරු ලෝක නෂ්ඨික බලවතුන් කවරෙකු හෝ මේ ගිවිසුමට එකඟ වී නොමැත.

මිත්‍රවරුණි මේ පුංචි රටේ මහා මිනිසෙක් හුදෙකලාව ම ලෝක සාමය වෙනුවෙන් දිවි ඇති තෙක්ම සටන් වැදුණ ද, ලෝක සාමය වෙනුවෙන් තම බල-දේශපාලන උවමනාවන් අත්හැරීමට ලෝක බලවතුන් තවමත් සූදානම් නැත.

න්‍යෂ්ඨික යුද්ධයක් අබියස ලෝකයක් ගල්ගැසී බලා සිටින මොහොතක ලෝකය සාමයෙන් පැවතියයුතු යැයි විශ්වාස කළ, ඒ වෙනුවන් සටන් කළ මහා ලාංකික පුත්‍රයාට ගෞරව පිණිස මේ සටහන මෙලෙස අවසන් කරමි.

සරලවම පෘථිවියේ ඇති වඩාත්ම විනාශකාරී තාක්‍ෂණය මගින් අපව ප්‍රාණ ඇපයට තබා ගැනීමට ප්‍රධාන හේතුව නම්, න්‍යෂ්ඨික අවි තහනම් කර ඒවා ලෝකයේ අවි ගබඩාවලින් පිටුවහල් කිරීමට ජාත්‍යන්තර අධිෂ්ඨානයක් නොමැතිකම නොවේ ද?“

(The main reason we are held hostage by the most destructive technology on earth is simple: the complete lack of international resolve to ban nuclear weapons and banish them from the arsenals of the world. – Hon. Justice C. G. Weeramantry)

More From Author

සියල්ල නිමා වූ තැන හුස්ම ගන්නා යමක් ඒ තුළ ඉතිරි වී නැතැයි කිව හැක්කෙ කාට ද?

ඊශ්‍රායල් මිනිස් ජාවාරම්  මාෆියාවේ වින්ඳිතයින්වූ ලාංකීක ශ්‍රමිකයින්

Leave a Reply

Categories

LDM Columns

https://www.facebook.com/profile.php?id=61575953530348