අනුර.බී.සෙනවිරත්න
වජිර කස්තුරි මිත්‍රයාත්, මාත් හාපුරා කියා පළමුවරට මුණගැහෙන්නේ අසූව දසකයේ අගභාගයේ හෝ අනූව දසකයේ මුල්භාගයේ. කාගේ හෝ සාහිත්‍ය වැඩකට මම කොළඹ ආවෙ ත්‍රිකුණාමළයේ ඉඳං. අපේ සුනිල් අයියා ( සුනිල් මාධව ප්‍රේමතිලක) දිවයින ‘අටවැනි පිටුව’ ට ලියූ කලකට පෙර සිට මා දැන හඳුනාගෙන සිටි නර්මදාත් (නර්මදා කුමුදුනී රණවීර) ඒ සාහිත්‍ය වැඩේට ඇවිත් හිටියා. ඇය ඇවිත් හිටියේ වජිර කස්තුරි එක්ක. සාහිත්‍ය වැඩේ ඉවරවෙලා අපි සාහිත්‍යය දේශපාලනය ඈ විවිධ දෑ කතාබහ කරමින් බම්බලපිටිය දක්වා පයින් ම ආ හැටිත්, සුපිරි තෝස කඩයකට ගොඩවෙලා පේපර් තෝස රස වින්ද හැටිත් මට තව ම මතකයි.
එදා දැන හැඳිනගත් වජිර කස්තුරි කියන මිත්‍රරයා ඉන් වසර ගණනක් යනතෙක් මට හමුවූයේ පුවත්පත්වලින් සහ ටෙලිනාට්‍යයවලින් පමණයි. පස්සෙ කාලෙක මගේ මුහුණුපොතේ මිතුරකු බවට පත්වන ඔහු නැවත මට මුණගැහෙන්නේ පසුගිය වසරේ කොළඹ පොත් ප්‍රදර්ශනයේ දී. ඒ, අපේ සොඳුරු ග්‍රන්ථ ප්‍රකාශක ප්‍රේම් දිසානායක සොහොයුරාණන් මගේ ‘නිරුවත් සිතුවම‘ අලුත් ම කෙටිකතා සංග්‍රහයත්, ඔහුගේ ‘නිෂ්පත්ති‘ නම් අලුත් ම නවකතාවත් ප්‍රකාශයට පත්කළ මංගල කාරණයට පින්සිද්ධ වෙන්න.
ඔහුගේ ‘සුරස’ කුටිය සූදානම් කර තිබූ ලේඛක පාඨක හමුවට අපි දෙන්නට ම ඔහු ඇරයුම් කර තිබුණේ එකම දවස්වලට. ඒ දින දෙක අපේ අතීත මතක අලුත් කරගන්න හොඳ අවස්ථාවක් වුණා. මටත්, ඔහුටත් කලෙකින් මුණනොගැසුන අපේ නර්මදාගේ දුරකථන අංකය එහි දී ඔහු මට ලබාදුන්නත් මේ වනතෙක් ඇය සම්බන්ධ කරගන්න හැකිවූයේ නැහැ.
- ඉතිං ඇයත්, මමත්, තවත් බොහෝදෙනකුත් තනිකර හදිසියේ ඔහු යන්න ගිහින් කියන මේ පුවත මා බෙහෙවින් සසල කළා. විප්‍රවාසී මට අවසන් මොහොතේ හෝ ඔබ දකින්නවත් එන්න නොලැබීම දුකක් වජිර ! ඔබට සුබගමන් !