සොබා දහමේ අධ්‍යනය කරන්න හුඟක් ලස්සන දේවල් තියෙනව. එයින් එකක් තමයි bird landing සහ bird’s flying …මේක සරලව කියනව නම් “කුරුල්ලො අහසෙ පියාඹල පොළොවට බහින විදිය ” සහ ” පොළොවෙ සිට ආපසු අහසට පියාඹන විදිය” එක එක කුරුල්ලො පොළොවට බහින්නෙ එක එක විදියට. උකුස්ස ගත්තොත් හුඟක් පාතට එනකම් පාවෙවී ඇවිත් එකපාරට සට සට ගාල තටු ගහල යාන්තමට ඇලේට නිය පහුරු වලින් අත්තක් අල්ලගන්නව. පරෙවිය වේගයෙන් තටු ගහගෙන ඊ ගහ වගේ පොළොව දිහාට ඇවිත් බහින්න අඩි දෙක තුනක් උඩදි ලස්සනට වේගය පාලනය කරල ලතාවකට බහිනව. දෙමළිච්චො, මයිනො එහෙම පොළොවට බහින්නෙ ළඟපාත ගහක අත්තක ලැගල හොඳට සෝදිසි කරල බයෙන් බයෙන් වගේ. මේ කොයි කුරුල්ලත් පොළොවට පාත් වෙනකොට පුදුම ලස්සන හැඩයකටයි ඒක කරන්නෙ.
කොක්කුන්ට තමයි ලස්සනම landing එක තියෙන්නෙ. පියාඹගෙන ඇවිත් තටු දිගෑරගෙන ඇලේට පොළොවෙ දෙපා තියල ඒ ඉරියවුවෙන්ම ටික දුරක් දුවගෙන යනව. කොක්කු පියාසැරිය අරඹන්නෙත් එහෙමයි. අඩි දෙක තුනක් දුවල පොළොවෙදිම තටු දිගෑරල අහසට නගිනව.
මේ පින්තූරෙ ඉන්නෙ යුරෝපීය රටක සීත සමයට පෙර වගුරු බිම් වලින් සමුගන්න තාරාවො වර්ගයක්. යුරෝපීය රටවල තාරා, පාත්ත, කුකුලු වර්ගයේ සතුන් විවිධ ප්‍රභේද බොහොමයක් ඉන්නව. සීත කාලෙ ලං වෙනකොට වගුරු බිම් වලින් සමු අරන් උණුසුම් ප්‍රදේශ හොයාගෙන යන තාරවන් සහ වටුවන්ගේ මිහිරි සමුගැනීම ගැන සොඳුරු ලෙස කල වර්ණනාවක් “කාමා නදිය” නැමැති රුසියානු කෙටි කතාවෙ සඳහන් වෙන්නෙ මෙහෙමයි. “වගුරු බිම් වලින් සමුගන්නා වටුවන් සහ පාත්තයින් උන්ගේ හදවතට මිහිරි ලෙස දැනුනු තැන් වලදී පහත් වී යළි ඉහල නැගෙති.” වෙර අරන් තටු දිගෑරල පොළොව මතුපිටින් සමුගන්න ඉරියවුව සහ එහි හැඩය හරිම සුන්දරයි. මේක දකින්න පළපුරුදු ඇහැක් ඕන.
අපේ අම්මල අපේ දරුවන්ව මේ මහපොළොවේ සුන්දරත්වයෙන් ඈත් කරල පංකා කැරකෙන , විදුලි එළියෙන් ඇස් කකියවන කාමරේක කොටු කරල ශිෂ්‍යයත්ව විභාගෙට උගන්වනව. උන් එළියට ඇවිත් මානසික පීඩන ලිහිල් කරගන්න ගෙදර ඉන්න පූසගෙ නැට්ටෙන් ඇදල හිරිහැර කරනව.
යුනේකා ලක්මිනි අබේරත්න