දර්ශනී අබේසිංහ
තරුණ කාලේ ආදරේ කරලා නැති, ආදරේ විඳලා නැති අයට මේක අපභ්‍රංශ වගේ වේවි. කරන්ට දෙයක් නෑ. ආදරේ කරපු ආදරේ විඳපු මට, අදත් ආදරේ කරන පොඩිවුන් දැක්කම ආදරේම හිතෙනවා. මටත් ඉතින් ඉන්නේ දැන් ආදරේ කරන වයසක ඉන්න කොලුපැටියෙක් වෙච්චි කොට,.. තරුණ ආදරේ ගැන අඩු තක්සේරුවට ලා බලන්නට ම බැරිය.
නාලකසිරි එක්කලා රාජකාරි ගමනක් ගිහින් එනකොට රෝස පාටට මල් වැක්කෙරෙන රොබරෝසියා ගහක් යට පුංචි කෙල්ලෙකුයි, කොල්ලෙකුයි පොටෝ ගන්නවා. මටත් ඉතින් ජංගම කැමරාව නිකම් තියාගෙන ඉඳලා පුරුද්දක් ඇත්තේම නැති කොට, පොටෝ ගත්තා එක දිගට, මේක දැක්ක නාලකසිරි නතරකර කියහාංකෝ වාහනේ. මොනව වුනත් හොඳ එකා. මං නිවාඩු පාඩුවේ පොටෝ අරගෙන, වීඩියෝ කරගෙන ඉවර වෙනකොට නාලකසිරි කියාපි, මිස් යන්න එතනට, මං පොටෝ එකක් අරන් දෙන්නම් කියලා. ලැජ්ජාවේ බෑ. මේ පුංචි වුන් අස්සේ ගිහින් මාත් හිට ගත්තනම් එහෙම කොහොමට හිටීවිද? දැන් හරි යමු කියලා ආවා ඔපීසියට.
ඇවිත් මට මේක ගැන මොනවද හරි ලියලා මුණුපොතට දානකම් ඉවසිල්ලක් නෑ.
කෙටි නිවාඩුවකින් ගෙදර ඇවිත් පොටෝ ව එක්ක වචන කීපයක් තැපැල් කලා මූණූ පොතට. විනාඩි ගානයි ගියේ. අම්මෝ අහපු කතා. යෞවනයේදී, සරසවියේ පෙම් කල අයට තමා මේක වැඩිපුර ම දැනුනේ.
පේරාදෙණිය කියන්නේ පාරාදීසයක්. මොකක් හරි මලක් හැමදාම පිපෙන. කහ මල් වසන්තය, රොබරෝසි වසන්තය අපිට හුරුපුරුදු වසන්ත කාල. ඇත්තමයි, මේ සුන්දර පරිසරය හිත් නිවනවා. ඉස්සර නම් රොබරෝසි පිපෙන කාලයට යායට පිපෙන්නේ. බැලූ බැලූ අත රෝස පාටයි. දැන් එහෙම නෑ. ගලහා හන්දියේ, දංගොල්ල හන්දියේ තිබුණ ගස්, මාර්ග සංවර්ධන කටයුතු හේතුවෙන් ඉවත් කලා. ඒ වුනාට තැනින් තැන රෝස පාටින් අහස සිඹින මල් ගස් නැතිවම නොවේ.
හිත රිදෙන තැවෙන කරුණු කාරණා කොහොම යෙදුනත්, මේ පරිසරයට ඇහැ යොමු කලාම හිත නිවෙනවා කියන එක බොරුවක් නෙමේ.
හින් වැහි පොද වැටෙනකොට, රොබරෝසි ගහක් යට, මල් වැස්සටයි, පොද වැස්සටයි දෙකටම තෙමි තෙමී, අපි දෙන්න දවසක හවසක, සරසවි මාවතේ තැනක නතර වුණා මට මතක් වුනා. නතර වෙලා ඔන්න ඔහේ ටිකක් තෙමෙමු කියලා ගලහා හන්දියෙන් හැරිලා සරසවියේ ක්‍රීඩාංගනයටම ඇවිද ගිය හැටි මතක් වුණා. දවසක සවසක අවසන් වතාවට අපි දෙන්න තුන් දෙනා වෙලාත්…
ඒත් මේ මල් පාරෙම අපි ඇවිදන් ගිය හැටි මතක් වුණා.
ඇත්තටම ආදරේ කියන්නෙම මට අනුව ගීතයක් වගේ සොඳුරු තත් පිරි මැදීමක්. රොබරෝසි පිපෙන හැමදාකම මගේ හිතට ගෙන එන වසත් ගීතයක්.





