අනුත්තරා කන්නාඩියෙන් මුහුණ බලා හිටියා….

        

අනුත්තරා කණ්නාඩියෙන් තමන්ගේම මුහුණ දිහා බලාගෙන හිටියා. මුව දෙකෙළවරින් පහතට ඇදෙන  රේඛා දෙක නිසා මූණට ඇවිත් තිබුනේ විඩාපත් පෙනුමක්. මූණට හිනාවක් නගා ගෙන ඒ රේඛා දෙක ඉහලට ඔසවා තැබීමේ අසාර්ථක උත්සාහයක ඈ යෙදුනා. නිරන්තර ශෝක කිරීම්, බරපතල ලෙස සිද්ධීන් පිළිබඳව අවධානය දීම් නිසාම, මූනේ හිනා රේඛා, බුම්මා ගත් රේඛා ලෙසට පරිවර්තනය කර ගෙන ගොඩාක් කල් නිසාම,  පුංචි හිනාවකට බෑ ඒ මකන්නට.

සුසුමක් හෙලා අනුත්තරා කණ්නාඩිය අසලින් මෑත් වුනා.

ඈත හන්තාන කන්දට රාස්සිගේ අව්ව වැටිලා, තැඹිලි පාටින් දිලිසෙනවා. දෑස් පුංචි කර ඒ දිහා බලාගෙනම අනුත්තරා ආලින්දයේ තියෙන අත්පුටුවට වාරු වුණා.

ඉතාම පුංචිම කාරණාවකට පවා දෑසේ කඳුලු පුරව ගත්ත අනුත්තරා, දැන් දැන් දැනෙන සිත් රිදවීම්, මොහොතක කම්පනයට ලක් කලත්, දිගින් දිගටම ඒ අල්ලාගෙන දුක් වෙන එක නතර කරලා ටිකක් කල්. එදා හිටිය අනුත්තරාට වඩා අද ඉන්න අනුත්තරාගේ දරා ගැනීම ඉහළයි.

තමන් ගැනම ඇතිවුන පුංචි පහේ ආඩම්බරයකින් හිත පුරෝ ගත්ත අනුත්තරා හීනියට සුසුමක් හෙලූවා.

ජීවිතයට දුක් එකතු වෙද්දී, ජීවිතය හැර යාමට නම් අනුත්තරා කවදාවත්ම හිතුවේ නෑ.

දුක තුනී කරගන්න හිතාගෙන පන්සල් පල්ලි ගානේ ඇවිදින්න ගියෙත් නෑ.

තමන්ගේම හදවත සමග අනවරත අරගලයක යෙදිලාම රිදුන තැවුන හිත තනියෙම්ම ශක්තිමත් කර ගත්තා කිව්වොත් තමා හරි.

දාලා නොගියත් නටබුන් වූ ප්‍රේමයක අයිතිකාරියක වන තමන් ගැනම ඇතිවූ ශෝකයෙන් කාලයක් ජීවත් වුන අනුත්තරා, හදවතට දැනෙන රිදුම් පසෙකලා, තමාවම නගා සිටුවීම සඳහා කල හැකි කල යුතු දේවල් පිළිබඳව අවධානය දෙන්න පටන් ගත්තට පස්සේ, ටිකින් ටික තම හදවතේ වූ තුවාල සුවපත් වන අයුරු දැක, සැනසීම විඳින්නට පටන් අරගෙන වැඩි කාලයකුත් නෑ.

රිදවු මුත් අත්හැර නොගිය ප්‍රේමය වෙනුවෙන් ඈ කර ඇති පරිත්‍යාග අපමණ වන අතර, අදටත් ඒ වෙනුවෙන් සැදී පැහැදී ඉන්න අනුත්තරා, ඒ සෑම අවස්ථාවක්ම හදවතට නිරාමිස සතුටක් එකතු කර ගන්න මොහොතක් පමණක් බවට පත් කර ගත්තා.

ප්‍රේමය වනාහී දීමක් මිස, ගැනීමක් නොවන බව තම සිතට ඒත්තු ගන්වා, තම රිදෙන සිත, නොරිදවා ගැනීමට අනුත්තරා අවබෝධයෙන්ම ඉගෙන ගත්තා.

දරදඬු හැසිරීම්, සතේකට මායිම් නොකර සිටීමට පුරුදු පුහුණු වුණ හිතට, අද මතක් වුනත් දුකක් දැනෙන්නේ නැතිවන තරමට අනුත්තරා අත් නොහැර අත් හැරීමට හිත පුරුදු කරගත්තා.

එදිනෙදා ජීවිතය අමතක කර මුලු ජීවිතයම කාවින්ද වටා ගොතා ගත් අනුත්තරා, පුංචි මකුළු පැටියෙක් වගේ එහිම එතිලා මිය යන්න ආසන්න මොහොතක ඒ දැලටම යා කර වියාගත් අලුත් දැලෙන් ආයෙම මතු වෙලා ජීවත් වෙන්න පටන් ගත්තා.

කාවින්දගේ ජීවිතය පහසු කරන්න අවශ්‍ය,  හැකි.  ඔහු ඉල්ලන ඕනෑම සහයෝගයක් අනුත්තරා අදටත් දෙනවා.

ඒ පෙරලා කිසිත් බලාපොරොත්තු නොවීම මයි.

අතහැරුන, මගහැරුන, අධ්‍යාපන කටයූතු නැවත පටන් ගැනීමත් සමගම, රැකියා තත්වයේ උසස්වීමක් ද ලද අනුත්තරා හිත හදාගෙන බව වත් කාවින්ද අදටත් දන්නේ නෑ. ඒ අනුත්තරා කාවින්ද වෙනුවෙන් අදටත් ඉන්න හින්ද.

අද අනුත්තරා සතුටින් හිනා වෙලා ඉන්නවා.

හිතපුරා පිරුණ ආදරේ එහෙම්ම තියාගෙන.

සැඳෑ අහසට මල්වත්ත දෙසින් නැගුන වවුල් රංචුව දැක්කම අනූ ට සතුටුයි. හැමදාම දැක්කත්, අදම දැක්ක වගේ ආසාවෙන් අහස දිහා බලාගෙන ඉන්න අනූ ආසයි. හදවතේ සැනසීම පිරුණට පස්සේ මුලු විශ්වය දෙසම ආදරයෙන් කරුණාවෙන් බලාගෙන ඉන්න ආසාවක් අනූ ගේ හිතේ තියෙන්නේ.

මේ නිදහස් හිත ගැන සතුටින් අනූ ගෙට ආවේ හෙට කාර්යාලයට යන්න අඳින පළඳින දේ ලක ලෑස්ති කර ගන්න.

පෙරලා යමක් බලාපොරොත්තු නොවනතාක් ආදරය, ප්‍රේමය වුනත් හරි සැහැල්ලුයි. ඇයි අපි අපිම ජීවිතය බරට ගන්නේ. දෙන ආදරය පෙරලා ලැබිය යුතුයි, දෙන අවධානය,  කාලය තමන් වෙනුවෙනුත් වෙන්විය යුතුයි, කියල හිතාගෙන, නියමයන් දාගෙන ආදරය කලාම ඒ නොලැබුණ වහාම හදවත ලෙඩ වෙන එක අරුමයක් නෙවෙයි.

ඉතා වැදගත්ය කාරණාව තමා, ඔබට ඒ සියල්ලම ඉල්ලීමකින්, බලකිරීමකින් තොරව, නිරායාසයෙන්ම ලැබෙනවානම්, ඒ තමා ඔබේ තැන.

ඇත්තටම එහෙම නෙවෙයිද වෙන්න ඕන.

ප්‍රේමය සම්බන්ධව පමණක් නොව සියලු මානව සම්බන්ධතා වලදී, පෙරලා යමක් බලාපොරොත්තු නොවී, තම පාර්ශ්වයෙන් ඉටු විය යූතු යමක් ඇත්නම්, ඒ ඉටුකර, තම හදවත සැහැල්ලුව තබා ගැනීම තමා සුදුසුම.

ප්‍රේමයට නිර්වචන නොමැත කියලා ලියන්න හිතනකොට ම,

“ප්‍රේමය නම්.. රාගයෙන් තොර සඳ එළිය සේ අචින්ත්ය යි, පාරිශුද්ධයි, සුරම්‍යයි.”

නන්දා මාලිනිය ආවේ ලියපු මගේ හිතට.

More From Author

නුඹ මට

දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරීන් හා දිස්ත්‍රික් සහකාර මැතිවරණ කොමසාරිස්වරුන්  කොළඹට කැඳවීමට තීරනයක්……….

Leave a Reply

Categories

LDM Columns