අධිවේගය කියන්නෙ නිදාගන්න හොඳ තැනක් නෙවෙයි. මොකද අහලපහල අයට සිද්ධ වෙනව ඔයා නිදාගෙන ඉන්න දිහා බලමින් නොසෑහෙන්න හිත කළබලෙන්- ඔයා ගැන අනුකම්පාවෙන්- පෝලිම් ගැහිලා බස්සෙකෙන් බැහැලා යන එක ගැන හිතන්නත්, එයින් එකෙක් වෙලා ඔයාට තට්ටුවක් දාමින් කූද්දන විදිහ හිතන්නත්. තේරෙනව ඇතිනෙ මං කියන දේ. ඉතින් මම නිදා නොගෙන ඉන්න උත්සාහ කරමින් උනත් පොඩියට නිදාගත්තා. මට නින්ද යාගෙනම එනකොට තමයි ඔබෙන් ඇමතුමක් ආවේ. මම ඉන්නා ඉසව්ව ගැන දැනගැනීමේ අටියෙන් ඔබේ හඬ ඇහුණා.
“කපපු කන්දක් පහුවුනා” ඒ මම.
ඔබ සිනාසුනා. මම ඒක කිව්වෙ ඇත්තටම. මම පහුකරමින් උන්නෙ කපපු කඳු ගැටයක්. ඒ හැර හඳුනාගත හැකි කිසිම ආකාරයක මග සලකුණක් ඒ මඟේ තිබුණු බව මට මතක නෑ. ඒත් මම යමින් උන්නෙ කඳුකර පැත්තක නොවෙන වග මට කල්පනා උන්නැති හැටි. ඊටපස්සෙ අපි තව මොනවදෝ කියල කතාව නැවත්තුවා. නින්ද, ලද ඇසිල්ලෙන් ආයෙත් මාව වෙලාගන්න බලාගෙන දෙගිඩියාවෙන් මා ළඟ උන්නා. මම කිව්වනෙ කලිනුත්. අධිවේගය කියන්නෙ නිදාගන්න හොඳ තැනක් නෙවෙයි. ඉතින් නින්ද යාගෙනම එනකොට තමයි මට ඇහැරනේ. ඒ බස්සෙක ගමනාන්තයට ආපු බව මට මගේ අර්ධ සංවේදී ස්නායු පද්ධතියෙන් ඉඟි කරල තියෙන වෙලාවක. නින්දත් නොනින්දත් අඩ නින්දත් අතර කොහේ හෝ තැනක නැවතිලා තිබුණු පොතක් ඒ වෙද්දිත් මගෙ අතේ පෙරළෙමින් තිබුණා. නින්දටත් නොනින්දටත් අඩ නින්දටත් මොහොතකට කලින් මම හිතමින් උන්නෙ සුගී අම්මත් සුගී තාත්තත් ගැන. අරවින්ද ඒ වෙද්දිත් මැරිලා. ඉතිරි වෙලා උන්නෙ සුගී අම්මත්, සුගී තාත්‍තත්,මමත්,සුගී ත් විතරමයි. විසාල ලෝකෙ මේ. මම ඒ පොත වහල,වැහුව තැන පිටු අතර දඹරැගිල්ල නවත්තලා ජනේලෙන් එපිට බැලුවා. ජනේලෙන් වැටුණු තද අව්ව කොටුවක හැඩයෙන් මගෙ අත් උඩ තිබුණු පොතට පොලා පැනලා එතනින් මගෙ ඇහැට පනින්න හැදුවා. ළා ඒත් සැර කහපාටක පාටින් තියෙන කවරයේ, ඒකට කොහෙත්ම නොගැලපෙන රවුම් යාන්ත්‍රික රතු අකුරු කිහිපයකින් සුන්නද්දූලි ලෙස සඳහන්ව තිබුණා.
මම බස්සෙකෙන් බැස්සා. මම බලාපොරොත්තු උනේ නෑ මෙතන මුහුදක්. මුහුදක් කියන්නෙ එසේ මෙසේ ඉඩක්ද ? බලාපොරොත්තු නොවිච්ච තැනකත් මේසා විසාල දේවල් බලාපොරොත්තුවෙන් ඉන්න වෙනව මින් පස්සෙ. සැහ්. ඒක සෑහෙන කරදරයක් වේවි මට. ඒ මදිවට ගිනි අව්ව.
පාරෙ මේ පැත්තෙ මට යන්න කියල තිබුණෙ මූද විතරයි. ඔව්. ඒ හින්දා මම පාරෙ අනිත් පැත්තට පැන්නා. ඒ පැත්ත ගැන කියන්න අමුතුවෙන් දෙයක් නෑ. සකල ලංකාවාසී පොදු ජනයාගේ ජන හද හඳුනන බස් ස්ටෑන්ඩ් එකක් ඒක. බොහොම සාමාන්‍යයි කියන්නෙ අසාමාන්‍ය ලෙසම සාමාන්‍යයි ඒ දර්ශනය. පොඩි හරි අසාමාන්‍යකමකට කියල තිබුණෙ එහා පැත්තෙ තිබුණ අසමාකාර හැඩ ක්‍රීඩා පිටිය බොහොම සමාකාර වෘත්තයක් වගේ පේන්න පටන් අරගෙන තිබුණ එක තමයි. මම අමාරුවෙන් උත්සාහ කළා මේක බොහොම අසමාන හැඩයක් බව හිතන්නත්. ඒ හැම සිතුවිල්ලකටම සනත් ජයසූරිය බාධා කළා. මොකද ඒ පිට්ටනියෙ ලොකුත් නැති පොඩිත් නැති සාමාන්‍යත් නැති සයිස් එකකින්-නමට කිසිසේත් නොගැලපෙන සයිස් එකකින්-බෝඩ් එකක් ගහල තිබුණා සනත් ජයසූරිය ක්‍රීඩාංගනය කියල. ලා නිල්පාට පසුබිමේ තද නිල්පාට් අකුරින්. වස කැතයි. මම ඒ බෝඩ් එක යටට ගියා කට හෝදගන්න. එතන පොඩි කොල්ලො තුන් දෙනෙක් ඉඳගෙන සිගරට් දෙකක් උරනව. උන් මාව ගානකට ගත්තෙ නැතුවයින් මම එතෙන්ට වෙලා කට හෝදගත්තා.
ඔබෙන් දෙවනි ඇමතුම. මම දැන් බස් ස්ටෑන්ඩ් එකේ බිල්ඩිමක් ඇතුලෙ ඉඳගෙන ඔබෙන් එන ඇමතුම දිහා බලාගෙන කකුලක් පිට කකුලක් දාගෙන, උඩ කකුලේ නිදහස් කෙළවර අනිත් කකුලේ විලුඹ ළඟ තියගෙන. මම ඇමතුම අරගත්තා. ඉන්න තැන පිළිවෙලවට කිව්වා. ඔයා තව මොනවදෝ කිව්වා. ෆෝන් එක තිව්වා. ඉන්පස්සෙ මං මාරුවෙන් මාරුවට බකං නිලාගෙනත් ආයෙම නිකං බලාගෙනත් උන්නා. ඔබ එතැයි මග බලන් ඉන්නැද්දි වරක් දෙවරක් නැගිට පෙර මග පවා බැලුවා.
දකුණු පැත්තෙන් යමක් මට කනට ඉහළින් ඇහුණා. මම බැලුවා දකුණු පැත්තෙ තිබුණ රවුම් පිටිය දෙස ඒ මොකක්දැයි දැනගන්න. මම දැක්කෙ නෑ කිසි දෙයක්. මොකද එතන තිබ්බෙ නෑ කිසි දෙයක්. සියල්ල යමක් විසින් ඇදගෙන ඒ තුලට. මොකක් නමුත් ඒ නොපැහැදිලි වස්තුව-එතන තිබු සියල්ල ඒ විසින් ඇදගෙන එය තුලට. ආලෝකය පවා තිබුණේ නෑ. ඒ තරම් ගුරුත්වජ බලයක් ! ඒකයි කිසි දෙයක් පෙනුනෙ නැත්තෙ. පෙනුනත් ඇත්තටම එතන කිසි දෙයක් තිබුණෙත් නෑනෙ. තේරුමක් නෑ හින්දා කරදර වෙලා ඕවා හිතලා. ඒත් පොඩි හිත ගැස්මක් තියෙනව.
මට දැනුනා තද සැරට ඉර එළිය මගේ වම් ඇහැට ඉහළින්. ඇහි බැමි ඇකිළුණා වම් ඇහැට ඉහළින්. වම් අත එසලුණා වම් ඇහැට ඉහළින්, රෂ්මියෙන් බේරන්න කණිනිකා නැගණිය. වීර කතාවල බුහුටි තරුණියව සුරකින පෙම්වතෙකු විලසින්. මුවම දල්වා බලාගන්නට ඒ දෙස, කණිනිකා ගෝලය කැරකුණා වම් ඇහැට ඉහළින්.
ඉර පායලා. වෙන කිසිවක් නෙවෙයි. ඉරට යටින් සුපුරුදු බස් ස්ටෑන්ඩ් එකක දර්ශනය. ඒ දර්ශනය මැද්දෙන් ඔබ. ඔබෙ එක් අඩයි මට පැහැදිලි. අනෙක් අඩ බොඳ වී ගිහින්. මම ඒත් බලා උන්නා ඉර දිහාත් ඉරට යටින් ඇති සුපුරුදු බස් ස්ටෑන්ඩ්මය දර්ශනය දිහාත් ඒ මැදින් එන අඩ පැහැදිලි ඔබ දිහාත් වැඩිමනත් කළු කුහරය අමතක කරනු රිසියෙන්. මම ගිලුණා ඒ තද ආලෝක රූපය තුලට.
ඉන්පස්සෙ ඔබ මං ළඟට ආවා. මම මගේ අත තිබුණු බෑග් දෙක දෙපාරක් නොහිතා බිම තිව්වා. අඩියක් ඉස්සරහ පැන්නා. ඔබව වැළඳගනු පිණිස දෑත් දෙපසට යැව්වා. ඔබෙ සිනා පිරි මුහුණ කිට්ටුවෙන්ම මම මගේ මුහුණ අරගෙන තිව්වා. ඉන්පසසෙ එය පහුකරන් උරහිසේ වැහුවා. දෑත් බදමින් ඔබ වැළඳ ගෙන තප්පර කීපයක් ගෙව්වා. අතේ තිබු බෑගයක් ඔබ අතට මාරු කර යැව්වා. ඉන්පස්සෙ අපි කොහෙ කොහෙද දිව්වා. මොන මොනවදෝ අපි අපිටම කිව්වා. කවුරුත් නැති තැනක මගෙ ඇඟිලි ඔබ අතක් හෙව්වා. ඔබෙ සිහින් සිනා මුව මට පපා හොරෙන් ඉඟි මැව්වා.
මිතුරු පිරිසක් හමුවුණු තැනක විහිළුවෙන් තහලුවෙන් තවත් පැය කීපයක් ගෙව්වා. අන්තිමට අපි බිව්වා. සිගරට් දුමක් හෙව්වා. හමුවුණු තැනක එය බෙදන් ඉරුවා. අන්තිමම දුම් උගුර මට ඉතුරු කර මගෙ අතට එව්වා. මම ඒක බිව්වා. ෆිල්ටරේ විසික්කෙව්වා. අපි හිනා මැව්වා. ආයෙමත් කවුරුවත් නැති තැනක් හෙව්වා. හමුවුණු තැනක ආයෙමත් මගෙ ඇඟිලි ඔබෙ අතක් හෙව්වා. ඔබ දෙ ඇස් වට පිටේ වේගයෙන් එහෙ මෙහේ යැව්වා. සිහින් මද සිනාවක් එව්වා. මම හුඟක් මොනවදෝ කිව්වා. ඔබ මගේ මුව දිහා බැලුම් හත අටක් මූණ ඇලකර හෙළුවා. ඔබ දෙතොල එහෙ බලා මෙහෙ බලා මගෙ මුවින් තිව්වා. මගෙ දෙතොල් ඒ තෙතින් තෙරෙපෙමින් තව තවත් මොනවදෝ හෙව්වා. වේගයෙන් ඔබෙ දෙතොල් ඈත් වී සිනාවක් මැව්වා. අතේ තිබු ප්ලාස්ටික් කප් එකෙන් මධු පොදක් බිව්වා. බයිට් නැතුවම මමත් උගුරක් බිව්වා.
සෙනග අතරට වැදී අපි අපිව හොයන්නැතුව ඉන්න හිතුවා. පොඩි පොඩි සංවාද කව ගොඩක් හැදිලා අත වැනුවා. මම ඒ අතර මට සතුටු කතාවක් හෙව්වා. හොරෙන් ඔබ ඉන්න ඉසව්ව දෝවා, හිනාවක් යැව්වා. ආය කයියක ගිලුණා. තව පැයක්-වට පහ හයක් ගෙව්වා. හෝටලෙන් අපිව විසිරෙව්වා. අපි දිව්වා. මම ඔබේ අත අරන් දිව්වා. බස් එකක් හෙව්වා. ගොඩවුණාම ඔබ දුරට ගෙව්වා.
අපිව මූද ළඟ පහන් කණුවක් යටට හලලා ගිය බස්සෙක ඉදිරියට ඇදෙනව අපි දෙන්නා බලන් මොහොතක් ගෙව්වා.
පාර පැන්නා. පයින් තරමක් මැන්නා. කිලෝමීටරයකට අඩු දුරක් අපි මනිමින් ඇවිදිමින් උන්නා. බෝඩිම් කාමරයකට ඔබ මාව එක්කගෙන ඇවිත් තිබුණා. දොර ඇරන් ඔයා මට කිව්වා “ඇතුලට එන්න සව්වා”.
මම ගිහින් බෑග් එක ඇඳ ළඟම බිම තැනක තිව්වා.
“මහන්සියි සුගී” මම කිව්වා.
“වොෂ් එකක් දාගමු ද සව්වා?”
මං “හා” කිව්වා.
වතුර මල යට මහන්සිය දියකරපු මම ඇඳ කොනක දිගාවී උන්නා.
තුවායක් ඇඳගෙන වොෂ් රූම්මෙක පැත්තෙන් එන ඔබ දිහා නොබලා ඉන්න මම උත්සාහ කළා. තවත් මොහොතකින් සරමකුත් පටලගෙන මං ළඟට ඇවිත් උර පෑවා. එතන හරිම සීතල තැනක් නිසා විතරක්ම නොවුණත් මම ඔබේ උණුහුමට නිවුණා.
ඒ අතර මගෙ ඇඟිලි මල් දුමක් කඩිසරව හෙව්වා. සිගරට්ටුවකින් බලහත්කාරයෙන් පැහැරගත් දුම්කොළ ටිකක් සහ මල් සුවඳ විශේෂිත යමක් මගෙ ඇඟිලි අතර ටික වෙලාවක් ගෙව්වා. ඉන්පස්සේ සීරුවට තීරුවක ඔතා ඒ සුවඳ දැව්වා. දැවි දැවී අළු වෙවී දුම් මැවී නිවුණා. පපුකුහරෙ මල් සුවඳ පුරවගෙන හෙමින් පා කෙරුවා. තුන් හතර වතාවක් මං එහෙම දුම් වළා යැව්වා. මල් කූර ඔයා අත තිව්වා. ඔයා ඒ මල් රොනකින් මහ පොළොව අතැර යන මග ඇහුවා . මමත් නොදැවී අහස් ගඟ පීනමින් උන්නා. දැන් අපිට වෙනදාට වඩා දේවල් දැනෙමින් තිබුණා. මම කොහොමද දන්නෙ කියල අහන්න එපා ඒවා බයිලා. මම දන්නවා. ඔයාටත් ඒ වගේම- හරියටම ඒවගෙම- දැනුණා. ඔයාගෙ ඇස් මට එහෙම කිව්වා. මම ඔයාට යමක් කියන්න ඉඩ හෙව්වා.
“සින්දුවක් දාමුද ? හැබැයි ඉස්සෙල්ලා දාන්නෙ මං”
ඔයා ඔලුව දෙතුන් පාරක් වැනුවා. මම මගේ ෆෝන්නෙක එබුවා. ගීත ලැයිස්තුව තියෙන තැන බැලුවා. අත පාන මානේම මම හෙවූ ගී ඔඩම තිබුණා.
සහානා බාජ්පායේ මෙලන්කෝලික සහ ශෝකී නමුත් ආදරණීය හඬකින් ගීතයක් ගැයුවා.
“කොහොමද බාසාව ? මේ බෙංගලි. තාගෝර්ගෙ ලිරික්ස්.” මම උජාරුවට හිනාවක් පෙන්නා කිව්වා.
ඔබ ඔබේ ඇස් බැම්මෙ ගුරුත්වාකර්ෂණය බින්දා. ඇහි දෙබැම උඩ ගිහින් තිබුණයින් මම සතුටු ගංගාවෙ එබුණා. බාජ්පායේමය සයුරට මෝය කටකින් ගිහින් වැටුණා. ඔයා මට ඉදිරියෙන් වමෙන් අංශක විස්සකින් ගිලෙමින් උන්නා. මට හිනාවක් එව්වා. නිලාවේලිය වගේ හීනයක් පෙනිලා මම රැව්වා. මගෙ ඔලුව ආයෙමත් උරහිසක් හෙව්වා. ඔයා මට උරහිසක් තියාගන්නම කියල දුන්නා. මම එමත ඔලුව බරකර තිව්වා. එඅතර ඔබේ වම් ඇඟිලි මගෙ ඔලුවෙ කෙස් අතර නින්දක්ද කොහෙදෝ හෙව්වා. අනිත් අත බෝ තදින් මගෙ අතක හිරවෙවී උන්නා.
“අපි දැන් අපේ නේද ?” මම ඇහුවා.
ඔයාගෙ තොල්වලින් මගෙ තොල් වැහුවා. මට උත්තරේ ලැබුණා.
“අපි ෆිල්ම් එකක් බලමු.” ඔයා ඇහුවා.
ලින්ච්මය සිහිනයක නමක් මම කිව්වා.
ක්ලබ් සිලෙන්සියෝ ඔපෙරාව අහ අහා අපි ඇඬුවා. මම ඔබේ බෙල්ල ඉඹ ඉඹ ඇඬුවා. සින්දුව ඉවර වෙන්න කලියෙන් ගායිකාව ඇදන් බිම වැටුණා.
“අන්න අන්න සීන්නෙක” මම අඬන එක නතර කර කර කිව්වා.
“ලා හායි බන්දා” ඔයා කඳුළු අතරින් හිනා වෙවී මට කිව්වා. මම මගේ එහා පැත්තෙ තිබුණු බෑග් එක අතට ගත්තා ඒක අරින අටියෙන්. ඒක අරින්න කලින් මං ඔබ දිහා ආයපාරක් බැලුවා. ඔබ ඔලුවෙන් සන් කරා. මම බෑග් එක ඇරියා. ඒ තුළ තිබුණු යමක් මම දෝතටම ගෙන ඔබට දුන්නා. ඔයා ඇස් ලොකු කරන් මං දිහා බැලුවා. ඒ පොතක්. අඳුරු පෑ කොළපාට පොතේ පිටුවෙන් පිටුව මම හඬ නගා රඟ පපා කිව්වා.
“කොහේට යන්නද ?” ටැක්සිය ඇකිසියගෙන් ඇහුවා.
“ධූමලාවන්‍යාගාරය පැත්තට” ඇක්සිය ටැක්සියට කිව්වා.
මල් අල්මේදාගෙ ගුරුහරුකම් අපි දෙන්නම ඉහමුලින් පිළිගත්තා. අල්මේදට පිටිපස්සෙන් මමත් සුගීත් ගාලුපාර දිගේ ඉස්සරහට ම ගියා. ගාලුපාර මූදට වැටෙන තැන බලන්න.
“හුඟ කාලෙකින් අපි මෙහෙම ගමනක් යන්නෙ.” ඒ ඔයා.
“මම නම් ගියා.”
“මං එක්ක?”
“ඔව්.”
“ඉතින් මං ආවද ?”
“ඔව්. නැත්තං ඒක ඔයා එක්ක ගිය ගමනක් වෙන්නෙ කොහොමද ?”
“මං එක්ක ගමනක් ගියා නම් මට මතක තියෙන්නෙ එපැයි. අපි මාස ගානකට පස්සෙ හම්බුනෙත් අද උදේ.”
“මම ඔයා එක්ක ගමනක් යනව කියන්නෙ ඔයා දැනගන්නම ඕනෙ දෙයක් නෙවෙයි. මම ගියෙ ඔයාට හොරෙන්.”
“එහෙම යන්නෙ කොහොමද ?”
“ඒත් මම ගියා. පෙරේදා. හීනෙන්.”
ඔයා මගෙ දකුණු කනට උඩින් තැනක් අතින් තල්ලු කරා.
“කොහෙද ගියෙ කියල අහන්නැද්ද?”
“අහන්නෑ. ඔයා කියන්න.”
“හැබැයි අහන්න බෑ හරිද ?”
“අහන්නෙම නෑ.”
“අපි ගියෙ සිරීපාදේ”
“ඒක තමයි ඊයෙ උදේ නැගිටිද්දි මගෙ කකුල් රිදුණේ.”
“මගෙත් කකුල් තාම රිදෙනවා”
“ඔයා නං ගියපු මනුස්සයා නිසා රිදෙනවා. මම ?”
“ඉතින් ඔයත් ගියානේ”
“මම ගියා වෙන්නෙ කොහොමද ?”
“ගියෙ නැත්තං කකුල් රිදෙන්නෙ කොහොමද?”
“කකුල් යනව කියන්නෙ මම යනව කියන එක නෙවෙයි.”
අපි එහෙම මොහොතක් ගෙව්වා.
“මොකද උනේ කියල අහන්නැද්ද ?”
“අහන්නෑ. ඔයා කියන්න.”
“හැබැයි අහන්න බෑ හරිද ?”
“අහන්නෙම නෑ”
“මම ටිමාව දැක්කා”
“ටිමාව? ඉතින් කතාකරාද ?
“නෑ. එයා මාව දැක්කෙ නෑ.”
“ඉතින් කතාකරන්න එපැයි.”
“මට කරදර කරන්න බෑ හිතුණා.”
“ඒ ඇයි ?”
“එයා හිටියෙ කවියක් ඇතුලේ.”
“කවියක් ඇතුළේ ?”
“කවියක් කිව්වට, කවි නිමිත්තක් ඇතුලේ. එයා පහුකරමින් උන්නෙ කවි නිමිත්තක කොටසක්.”
“මල විකාර” ඒ ඔයා.
“මම හොරෙන් අහගෙන උන්නා එයාලගෙ කතාව”
“ඒක මහ කැත වැඩක්නෙ.”
“කැත වැඩක් වෙන්නෙ කොහොමද ?”
“ඉතින් එයාගෙ පවුද්ගලික දෙයක්නෙ ඒක”
“පවුද්ගලික දෙයක් වෙන්නෙ කොහොමද ? මං කිව්වෙ එයා හිටියෙ කවි නිමිත්තක. ඒක පවුද්ගලික වෙන්නෙ කොහොමද ?”
සුගී මෙල්ල වුණා
“මොනවද එයාලා කතාකළේ” කලාවෙන් උද්දීපනය කරන වනචාරී සහජාශයන් හෙවත් කලාකාරයාගේ අම්මගෙ දැළි රෙද්දේ සිට රස බැලිමේ නොසංසිඳෙන ආශාව කියන බොහොම සෞම්‍ය මිහිරි ආලෝකමත් හැඟීම්වලින් ඔයා පිරෙමින් තිබුණ.
“ටිමා සිගරට් එකක් බිබී උන්නෙ. දඹු වැටිය කඩනතර එයා පැහැදිලිව මෙහෙම කිව්ව අර කෙල්ලට.
“මම බැඳපු මිනිහෙක්”
“බුදු වුණෙත් බැඳපු මිනිහෙක්” කෙල්ල ආයෙත් රැව්වා.”
ඔබත් එතකොට රැව්වා.
නරියෙක් මහ බලු විදිහට හූ තිව්වා. අපි යමින් හිටියෙ මල් අල්මේදගෙ පිටිපස්සෙන් ගාලුපාර දිගේ. දැන් ගාල්ලත් පහුකරල හුඟ වෙලා.
මට ඈතින් මාතර ස්ටෑන්ඩ් එක පේන්න ගත්තා. ඊට එහාපැත්තෙන් අසමාකාර එහෙත් රවුම් සනත් ජයසූරිය ක්‍රීඩාංගනය. ඇත්තටම එතන ක්‍රීඩාංගනය තිබුණෙ නෑ. එතන කිසි දෙයක් තිබ්බෙ නෑ. සියල්ල යමක් විසින් ඇදගෙන ඒ තුලට. මොකක් නමුත් ඒ නොපැහැදිලි වස්තුව-එතන තිබු සියල්ල ඒ විසින් ඇදගෙන එය තුලට. ආලෝකය පවා තිබුණේ නෑ. ඒ තරම් ගුරුත්වජ බලයක් ! ඒකයි කිසි දෙයක් පෙනුනෙ නැත්තෙ. පෙනුනත් ඇත්තටම එතන කිසි දෙයක් තිබුණෙත් නෑනෙ. තේරුමක් නෑ හින්දා කරදර වෙලා ඕවා හිතලා. ඒත් පොඩි හිත ගැස්මක් තියෙනව. මට දැනුනා තද සැරට ඉර එළිය මගේ වම් ඇහැට ඉහළින්. ඇහි බැමි ඇකිළුණා වම් ඇහැට ඉහළින්. වම් අත එසලුණා වම් ඇහැට ඉහළින්, රෂ්මියෙන් බේරන්න කණිනිකා නැගණිය. වීර කතාවල බුහුටි තරුණියව සුරකින පෙම්වතෙකු විලසින්. මුවම දල්වා බලාගන්නට ඒ දෙස, කණිනිකා ගෝලය කැරකුණා වම් ඇහැට ඉහළින්.
ඉර පායලා. වෙන කිසිවක් නෙවෙයි. ඉරට යටින් සුපුරුදු බස් ස්ටෑන්ඩ් එකක දර්ශනය. ඒ දර්ශනය මැද්දෙන් ඔබ. ඒත් ඔබෙ එක් අඩයි මට පැහැදිලි. අනෙක් අඩ බොඳ වී ගිහින්.
මම අමාරුවෙන් මගෙ ඇහේ කාච එහා මෙහා කළා ඔබේ නොපෙනෙන අර්ධය බලාගන්න. විනාඩි කිහිපයකින් ඇහේ කාච හෝ ඔබත් මමත් අතර ඇති රේඛීය දුර හෝ විසින් එකිනෙකාව සීරුමාරු කිරීම නිසා මට ඔබව පැහැදිලි වෙන්න පටන් අරගෙන තිබුණා.
ඔබේ දකුණු පැත්තෙ පිටිපස්සෙන් තව රුවක් ඇදෙනු මම දැක්කා. ගෑනු විලවුන් සුවඳක් ඔබව පහුකර හැමුවා. ඔබේ පිටිපස්සෙන් ආව ඒ රූපයේ එක අතක් ඔබෙ ඇඟිලි හෙව්වා. ඔබ ඇඟිලි කරු අතර ඒ ඇඟිලි ආදරෙන් වෙළුණා.
මගේ පිටිපස්සෙ සියල්ලම නැති වී යමින් තිබුණා. කළු කුහරය විසින් සියල්ල ඇදගනිමින් තිබුණා. ඒත් ඒ කිසිවක් මාව අදිමින් තිබුණ බවක් මට දැනුනේ නෑ. ඒ වෙන මුකුත් නිසා නෙවෙයි, මගේ හැඟීම් මට දැනෙන්න කලින් කළු කුහරය තුලට ඇදී යාම නිසා කියල මම දැනන් උන්නා.
ගගන වර්ණකුලසූරිය