‘ කසුන් සමරතුංගගේ පළමු නවකතාව මෙන්ම ඔහුගේ හත්වැනි සාහිත්‍යය කෘතිය ලෙස 2024 වසරේ දී ජනගත විය. එය තත්කාලීන සමාජයේ එක්තරා පැතිකඩක පුළුල් පරාසයක් විවරණය කෙරෙන ආඛ්‍යානයක් ලෙස හඳුනා ගත හැකි ය. කසුන් සමරතුංගගේ මෙකී ප්‍රබන්ධය වඩාත් විශේෂ වන්නේ ඔහු නියෝජනය කෙරෙන සමාජය පිළිබඳ කෙරෙන නිර්භය විවේචන රාශියක් සහ නිරාවරණය කිරීම් රාශියක් මෙම කෘතිය ඔස්සේ සිදු වන බැවිනි.
කසුන් සමරතුංග ඔහුගේ පළමු නවකතාව තුළින්ම ආකෘතියෙන්, භාෂාවෙන් මෙන්ම චරිත නිරූපණය තුළින් ද සිංහල ස්වතන්ත්‍ර නවකතාව තුළ අත්හදා බැලීම් කිහිපයක් සිදු කර ඇති අයුරු හඳුනා ගත හැකි ය. කොටස් කිහිපයක් යටතේ සම්පිණ්ඩණය කර ඇති නවකතාව ලවින්දි උත්පලා ජයසේකර නම් තරුණියක් මූලික කරගෙන නිර්මාණය වී ඇත. ‘පිවිසුම් කතාවේ’ සිට ‘අන්තිම කතාව’ වන තෙක්ම කුතුහළය රඳවා ගැනීමටත් නිරන්තරයෙන් වෙනස් මානයන් වෙත පාඨකයා කැඳවාගෙන යාමටත් ඒ ඒ තැන්හි පාඨකයාව අතරමං කිරීමටත් කතුවරයා සමත්ව ඇත. ඒ මගින් ඔහුගේ සමාජ කියවීම හමුවන අතර එකී කියවීම සමඟ සමපාත වීමට හෝ නො වීමට ඉහත දැක්වූ අතරමං වීම් වැදගත් වන අතර එය පඨකයා ආනන්දයෙන් ප්‍රඥාව කරා රැගෙන යාමේ මග ලෙස හඳුනා ගත හැකි ය. ප්‍රඥාව ලෙස මෙහි විශේෂයෙන් හඳුනා ගත යුත්තේ අප ජීවත්වන, අප පරිශීලනය කරන සහ අපව පරිශීලනයවන සමාජය මැනවින් හඳුනා ගැනීම ය.
සම්පූර්ණ කෘතිය රචනා වී ඇත්තේ උත්තම පුරුෂ දෘෂ්ටි කෝණයෙනි. එහෙයින් පාඨකයාට වඩාත් සමීප විඳීමකට ඉඩ ලැබී ඇත. එහෙත් පළමු කතාව අවසන් වීමත් සමඟ පාඨකයාට හැඟී යන්නේ පළමු කතාව ලෙස කියවා ඇත්තේ පාපොච්චාරණයක් බඳු කතාවක් බවය. ඒ සමඟ කතුවරයා ආකෘතිමය වශයෙන් යම් වෙනස් අද්දැකීමක් පාඨකයාට ලබා දී ඇති බව අවබෝධ වේ. එය වඩාත් සනාත වන්නේ දෙවන කතාවේ දී පළමු කතාවේ කථකයා නොමැතිව වෙනත් කථකයෙක් හමුවන බැවිනි. එ තුළ ද උත්තම පුරුෂ දෘෂ්ටිය දැකිය හැකි වුවද කථකයන් වෙනස් වීම හේතුවෙන් පාඨකයාට අපූරු අද්දැකීමකට මුහුණ දීමට අවස්ථාව ලැබේ. ඒ අයුරින්ම එයද පළමු කතාව මෙන්ම අවසන් වේ. නැවතත් නැවතත් අපට හමුවන්නේ මෙකී වෙනස් අද්දැකීමය. එය නවකතාව අපූර්ව වීමට වඩාත් හේතු පාදක වී ඇත. තවද කතුවරයා විසින් විශ්ලේෂණය නො කරන ලද පාපොච්චාරණ කිහිපයක් සහ ඒවා මැදහත්ව ගෙන හැර දක්වන ලද කතුවරයාගේ ප්‍රකාශය තුළින්ද සමන්විත වන නවකතාව කියවීමෙන් අනතුරුව නැවත නැවත කතාව මෙනෙහි කරමින් ලවින්දිගේ ඉරණම විසඳුණු අන්දමත් එය ට හේතු වූ කරුණු වෙන් කර ගනීමටත් කියවන්නාට අවස්ථාව ලැබේ. සාර්ථක නවකතාවක් තුළ තිබිය යුතු ගුණයක් ලෙස එය මෙම කෘතිය තුළ දැකිය හැකි ය.
කතුවරයාගේ භාෂාව හැසිරවීමේ ගුණය ද විශේෂයෙන් විමසා බැලිය යුතු ය. එක් එක් අවස්ථාවට උචිත අන්දමේ වාග්මාලාවක් සහ එය ඒ ඒ පුද්ගලයාට ගැළපෙන අන්දමෙන් හසුරුවා තිබීම සංයමයෙන් විඳින්නෙක්ට හඳුනාගත හැකි ය. මාධ්‍යවේදියා කතිකයා ලෙස හැසිරෙන විට භාවිත කරන බස කවියෙක් සහ ගුරුවරයෙක් කථකයා ලෙස හැසිරෙන අවස්ථාවේ යොදාගත් භාෂාවට වඩා වෙනස් ආරකින් රචනා වීමත් පූර්ණ කාලීන වාමාංශික ව්‍යාපාරයක නියැලෙන්නාගේ කතාව තුළ යොදා ගත් භාෂාව මෙන්ම රචනා විලාසයද සම්පූර්ණයෙන් වෙනස් ආරක් ගැනීම දැක ගත හැකි ය. ඒ තුළින් ඔවුන්ගේ තරගකාරීබව, මානසික තත්ත්වයන්, අරමුණු, සමාජීය සබඳතා කෙබඳු ද යන්න මෙන්ම ඔවුන්ගේ ජීවිතවල ගොඩ නගා ගත් ප්‍රතිරූප කෙබඳු ද යන්නද හඳුනා ගත හැකි ය. පාඨකයාට ඒකාකාරී භාවයකින් තොරව නිරන්තර වෙනස්වන විඳීමකට ඉඩකඩ ලබා ගැනීමටද එම භාෂා හැසිරවීම බලපා ඇත. තවද ඔහු මෙහිදී යොදා ගන්නා වචන, යෙදුම් ආදියද තත්කාලීන සමාජ පරිසරය තුළින් අහුලා ගත් ඒවා බැවින් ආයාසයකින් තොරව කියවා විඳ ගැනීමට හැකි ය.
කෘතියෙහි ආකෘතියට, භාෂාවට මෙන්ම අද්දැකීමට වටිනාම සාධාරණය කෙරෙන්නේ අන්තර්ගතය තුළින් ය. කසුන් සමාජයේ විසල් පරාසයක් තම කෘතිය තුළින් පාඨකයා හමුවට ගෙන එන්නේ ය. එහිදී සුවිශේෂීම ස්ථානයක් වත්මන් අධ්‍යාපන ක්‍රමයට ලැබී ඇත. ඔහු එහි පටු තැන් විවේචනය කිරීම කිසිඳු පැකිලීමකින් තොරව සිදු කරයි. සාහිත්‍ය උත්සවයක සහ කොටහළු උත්සවයක වෙනස නොතේරෙන විදුහල්පතිතුමා මගින් ඔහු විවේචනය කරන්නේ විෂය නිර්දේශයටම පමණක් කොටු වී සිටින පොත් පිරවීම පමණක්ම අධ්‍යාපනය සේ සළකන ගුරු විදුහල්පතවරුන් ය. එහෙත් එකී විවේචනය ඔවුන්ට අතුල් පහරක් නොවන්නේ සාහිත්‍ය එවැන්නන්ට බොහෝ සේ දූරස්ථ වන බැවිනි. අධ්‍යාපනය පමණක් නොව ඔහු පොත් එළිදැක්වීමේ උළෙල සිට සම්මාන උළෙල දක්වාමත් වත්මන් සම්මාන ගැටලු පිලිබඳවත් දක්වා ඇති කරුණු නැවත නැවතත් කියවා අවබෝධ කර ගත යුතු සහ සමාජය විසින් නිවැරදි කර ගත යුතු දෑ බව පෙනී යනු ඇත. එමෙන්ම වාමාංශික දේශපාලනයේ විවිධ ඉසව් වෙත සිහින් පහරක් එල්ල කර ඇති අයුරු සිත් ගන්නා සුළු ය. ඒ තුළින් පැහැදිලි වන්නේ වමේ දේශපාලනය යන්න කුමක් ද යන්න වමේ දේශපාලනයේ නියැලෙන්නන් ද නිසි පරිදි අවබෝධ කරගෙන නොමැති බවය. ඔහු ඒ සියල්ල උපහාසය මුසු හාස්‍ය රසයක් උපදින අයුරින් රචනා කර ඇති අයුරු අගය කළ යුතු ය.
කෘතිය තුළ ලිංගිකත්වය හා ලිංගික සබඳතා ගැන දක්වා ඇති ආකාරය විශේෂයෙන් විමසා බැලිය යුතු ය. ඔහු ලිංගික සබඳතා පිළිබඳ දක්වා ඇති තැන්හි කිසියම් සංයමයක් සහිතව වර්ණනා කර ඇත. වර්තමානයේ ලිංගිකත්වය සහ ලිංගික ජීවිතය ගැන අතිශයෝක්තියෙන් වර්ණනා කරමින් නිර්මාණ විකුණාගන්න තැත් කර අයුරු දැකිය හැකි වුවත් කසුන් සමරතුංග එකී තත්වයෙන් පරිබාහිරව තම නිර්මාණය සිදු කර ඇත. එහෙත් ඔහුගේ භාෂා විලාසය සහ චරිත නිර්මාණය කර සංවර්ධය කර ඇති ආකාරය අනුව එකී තත්ත්වය පාඨකයාට අවබෝධ කර ගැනීමට අවස්ථාව සලසා ඇත.
එමෙන්ම ඔහු මේ ආකාරයෙන් ලිංගිකත්වය ගැන සංයමයෙන් දක්වන අතරම ලිංගිකත්වය පිළිබඳ විවෘත්ත මත කෘතිය තුළ පළ කර තිබීම දැකිය හැකිය. සමලිංගිකත්වය සහ ස්වයං වින්දනය වැනි කරුණු එතරම් විවෘත්තව කතා කරන පිරිසක් අප සමාජය තුළ සිටින බව ඔහු අපට සිහි ගන්වයි. එවැනි කාරණා අපේ අධ්‍යාපන පද්ධතිය තුළින් සඟවා තැබීම නිසා එය අපට අරුමයක් වී ඇති බව පසක් කරවයි. වත්මන් ගැටලු රැසකට විසඳුම් එකී කාරණා ක්‍රමානුකූලව අනාගත පරපුර වෙත අධ්‍යාපන පද්ධතිය හරහා සම්ප්‍රේෂණය කිරීමෙන් ලබා ගත හැකි ය. ඒ තුළින් මිනිසුන් සියල්ල දෙසත් සියලු මානව සම්බන්ධතා දෙසත් උපේක්ෂාවෙන් යුතුව බැලීමට හැකි වනු ඇත.
මීට අමතරව විවාහක යුවළකට දරුවන් නොමැති වූ විට අදටත් අප සමාජය වරද කාන්තාව කෙරෙහි පමණක් යෙදීම, කාන්තාවට සමතැන නොදීම, ඔවුන් නොඉවසීම, දරුවන්ගේ කැමැත්තට ඉඩ නොදී දෙමාපිය කැමැත්තට අනුව ක්‍රියා කිරීම නිසා ඔවුන්ගේ සහජ හැකියාවන් අහිමිව යෑම වැනි ප්‍රශ්න රාශියක් ‘මන්දාකිනියක කීපදෙනෙක්’ නවකතාව තුළින් සාකච්ඡා කිරීමට කසුන් සමරතුංග සමත් වී ඇත. ඔහු ඔහුගේ පළමු නවකතා වෑයම සාර්ථක කර ගෙන ඇති බව පැවසිය යුතු ය.
– ශානක දිල්ශා