අමතර වාසිය

උදෑසනින් අවදි වීමට තැබූ එළාමය කිහිප වාරයක් නද දුන්නා වුවද සංදීප් හට අවදි වීමට අලස කමක් දැනුණි. අඩ නින්දේ පසු වූ ඔහු තිගැස්සුනේ මන්තිකා පිටුපසින් ඔහු වැළද ගත් හෙයිනි. ඔහු වහා ඈ වෙතට හැරී ඒ ළය මඬලේ මුහුණ හොවා ගත්තේ ය. ඔහුට නිවීමට අවැසි බව වටහා ගත් ඈ නිහඩව හිස පුරා අතැඟිලි ගෙන ගියේ සෙනෙහසකිනි. වරින් වර ඔහුගේ හිස සිප ගත්තේ ආදරය ගෞරවය මුසු හැඝීමකිනි. ඒ සෙනෙහස උණුසුම ඔහුගේ ඉදුරන් පිබිදීමට හේතු විය.

“ඔෆිස් යන්න පරක්කු වෙනවනේ මහත්තයා නැගිටින්න..කෝ..” ඈ මිමිණුවා නොව කෙදිරීය.

“ෂ්…එපා කෙල්ල..අපි අද ටිකක් පරක්කු වෙලා යමු. ම්.. ” ඔහුගේ නොඉවසිලිමත් දෑත් දෙතොල් ඇගේ ආදරය මුසු ආරාධනා පිළිගන්නට විය…එහෙත්…

“සංදී..ප් නැගිටින්න හයත් පහු වෙලා..ඉක්මණින් එන්න පොල් ගාන්න තියෙනවා..” උස් හඩින් කෑගසන මන්තිකාගේ හඩින් ඔහු පියවි සිහියට පත් විය. ඔහුගේ පිබිදුනු ඉදුරන් ඈ ඉල්ලා කෑගසන්නට විය.

“අයියෝ..හ් අද හාෆ් ඩේ යමුකෝ කෙල්ල..කෝ එන්නකෝ චුට්ටක් මගේ ගාවට. මට ඔයාට තුරුළු වෙලා ඉන්න ඕනී. එන්නකෝ… අ”

“තුරුළු වෙන්න…හහ් තුරුළු වෙන්න ගිහින් තමයි මට මෙච්චර හරියක් උනේ..තුරුළු වෙන්න.. ඒක කියපු ලස්සන. බෑන්ක් ලෝන් එක එහෙන්..කාර් එකේ ලීසින් එක එහෙන්.. තුරුළු වෙලා ඇද උඩ දැගලුවම ඔක්කොම හරි යයි.. අනේ මේ එනවා කුස්සියට. අපේ අම්මා බලන්න යන්න ඕනී හවසට. ඊයේ රෑ උණ හැදෙන්න වගේ කිය කිය ඇඬුවත් එක්ක. සුමනා දැන් හරියට අම්මා ගැන බලන්නේ නැහැ වගේ. කොහෙද මේ බාගෙට හදපු ගේ අස්සට ඒ මනුස්සයව හදීසියකට වත් ගේන්න කියලද? තාත්තත් නැතුව දුක් විඳලා මාව…”

සංදීප් කොට්ටය ගෙන හිස වසා ගනිද්දී මන්තිකා උස් හඩින් දොඩන්නට වූයේ දිනකට එක් වරක් මුමුණන ඒ අඳෝනාව කාගේ හෝ නියමයක් ලෙස සලකා ගෙනය. ඇගේ වදනින් සන්දීප් හට තම මව සිහි විය. මාස කිහිපයක් ගත වුවද තමාට තම මව බැලීමට යෑමට නොහැකි වූ වග සිහි විය. ඇයට මසකට වරක් හෝ මුදලක් අතමිට මොලවන්නට නොහැකි වන්නේ මන්තිකා හේතුවෙනි.

“අපි මොකටද දෙන්නේ? මල්ලිට නේ මහ ගේ තනියම අයිති උනේ. එයා ඔහොම නෙවෙයි පෙරළි පෙරළි අම්මට සලකන්න ඕනි. අනික අම්මා අපිට හිතවත් නැහැ… මල්ලිටයි උදේශිකාටයි තමයි ආදරේ. මම මේ ළමයෙක් හදන්නේ නැත්තේ ඒ ළමයි ලොකු වෙනකල් ඉන්න ඕනී නිසා. නැත්නම් ඔයාගේ අම්මා අපේ ළමයා ගනන් ගන්න එකකුත් නැහැ… අපරාදේ කියන්න බැහැ වචනයෙන් පරිසමාප්තියෙන්ම ඔයාගේ අම්මා මට නම් සාම්ප්‍රදායික නැන්දම්මම තමයි.” ඇගේ වදන් අබියස තමා සෑම විටම නිහඬ වන්නේ කිසිදා දිනුමක් ඈ හා තර්ක කොට නොලැබෙන හේතුවෙනි.

දුම්රිය ස්ථානයට පැමිණි සංදීප් දුරකථනය හා කාර්‍යබහුල විය. මෝටර් රථය නිවසේ තබා දෙදෙනා දුම්රියේ හා බස් රියේ ගමන් කරන්නේ ලැබෙන ආදායමෙන් ණය ගෙවූ පසු වාහනය නඩත්තු කර ගනිමින් දෙදෙනා හට ජීවත් වීම පහසු නොවන කර්‍යයක් වන බැවිනි.

“ගුඩ් මෝනිං මචං..” ඒ සංදීප්ගේ දුම්රිය ගමනේ හමු වූ හොදම මිතුරා වූ සුරංගය. සුපුරුදු සංවාදයේ යෙදී අවසන ණය වාරිකයෙන් අවසන් වන කතා බහ සුරංගගේ අවවාදයෙන් අවසන් විය.

“එක්කෝ කාර් එක විකුණලා ඒ බරින් නිදහස් වෙයන්. නැත්නම් ගේ හොද ගානකට විකුණලා කාර් එකේ ලීසිං එකත් ගෙවලා ඉතුරු එකෙන් ඉඩමක් අරන් දාලා ටික ටික ගේ කෑල්ලක් හදාගනින්..”

“මම කැමැතියි මචං..ඒත් මන්තිකා කැමති නැහැ නේ. එයාගේ නමට නේ බං දෙකම ගත්තේ. ලැජ්ජා වෙන්න බැහැලු. නෑදෑයෝ යාළුවෝ හිනා වෙයිලු..අන්තිමට නොගැලපෙන කසාදයක් කරන් කාළකන්නි උනා කියලා අඩලා දොඩලා කතාව ඉවර කරනවා.”

දුම්රියට ගොඩ වී මිතුරු මිතුරියන් හා එක් වූ සැනින් නිවස, මන්තිකා මෙන්ම ණය වාරිකද සංදීප් හට අමතක විය. සැමදා මෙන් දෙනෙතින් කතා කරනා රුවනි අබියස ඒ දෙනෙත් නතර විය. රුවනි තම අසුන බලහත්කාරයෙන් එහි වූ කෙනෙක් හට ලබා දී සංදීප් අසලට ලං විය.

“ඇයි මූණ? මොකක් හරි ප්‍රශ්නයක් ද? ඇයි දුකෙන්..” රුවනි සංදීප්ගේ හොදම නාඩිය අල්ලා තද කලාය. ඔහුගේ සිත පුරා අමුතු මිහිරක් හට ගත්තේය. දුක් අඳෝනා රැසක් ඔහු මුවග විය. දෙදෙනා බොහෝ කෙටි කලකින් මිතුරන් බවට පත් විය. ඒ මිතුදම ආදරය බවට පෙරළා ගැනීමට රුවනිට හැකි වූයේ මන්තිකාගේ නොසැලකිලිමත් බව ඈ හට ප්‍රයෝජනවත් වූ හෙයිනි.

“මම හෙට කාර් එකේ එන්නම්. මොකද කියන්නේ යමුද?” ඈ කෝල බවකින් හිස සැලුවා පමණි.

“මොකද්ද සංදීප් අද කාර් එකේ යන්න තියෙන විශේෂත්වය? කවුද ඔය මං නොදන්න යාළුවා එන්ගේජ් වෙන? අනික ඔයා මොකටද වෙස්සන්තර වගේ කාර් එක අරන් ගිහින් අනික් අය දාගෙන යන්නේ? ඊටත් පෙට්‍රල් වියදම? අනික දවසම නිවාඩු. ඕටී එකත් නැතිවෙනවා ඉන්සෙන්ටියු එකත් නැති වෙනවා. මේ…හ් බොන්නේ එහෙම නැහැ… හොදද? පොලීසියෙන් ඇල්ලුවොත් ඊලගට දඩ කන්නත් වෙයි..”

සංදීප් නිහඩව සූදානම් වූයේ තම වාසිය තකා වුවත් ඒ නිහඬ බව මන්තිකාට දැනුණේ තමා ඔහු නිරුත්තර කොට සත්‍යය පවසා ජය ගත් බවක් ලෙසය. වරදේ බැදෙන්නට අවැසි මානසික නිදහස උදෙසා සාධාරණ හේතුවක් ලෙස මන්තිකාගේ අඳෝනාවන් සංදීප් හට උපකාරී විය.

මාස ගණනාවක් ණය වාරික හේතුවෙන් සිර කර ගත් තුරුණු හැඟුම් රිසි ලෙස මුදා හල සංදීප් රුවනිගේ හිස තම ළය මත තබාගෙන ඈ තදින් තුරුළු කර ගෙන සිටියේ ඒ උණුසුමෙන් මිදී යා නොහැකි හෙයිනි. එක්වරම උණුසුම් වූ ළය මඩලට අත තබද්දී ඇය හඬනා බවක් දැනුණි.

“ෂ්..මෙච්චර සතුටින් ඉදලා අඩන්නේ ඇයි? දැන් මං ඔයාට ඉන්නවනේ..අපි පැටියෙක් හදමු. නැන්දම්මා එතකොට කට වහ ගනියි. අනික සැක හිතන්නෙත් නැහැ නේ ඔයා බෙහෙත් කරන නිසා..” ඔහු වහා ඈ පෙරළාගෙන ඈ මතට විත් නලලත සිප ගත්තේ ය.

“තෑන්ක්ස් රුවනි..ගොඩක් තෑන්ක්ස් මාව ඉවසුවට. පිස්සු හැදිලා හිටියේ මම. අද මාර විදිහට ස්ට්‍රෙස් රිලීස් උනා..” ඔහු ඇගේ නලලත සිප ගත්තේය. රුවනි නිහඩව දෑතින්ම ඔහු වැළද ගත්තා ය.

මාස ගණනාවක් දෙදෙනාගේ ඇසුර පැවැත් වුණු අතර සංදීප් මිතුරන්ගේ මෝටර් රථ හා මෝටර් බයිසිකල් ඉල්ලා ගනිමින් රුවනි සමග වූ අනියම් ඇසුර නඩත්තු කලේ මන්තිකාට සැක සංකා පහල නොවන අයුරිනි. දෙදෙනාගේම සිත්වල ප්‍රේමය නම් නොවීය. එහෙත්… රුවනිගේ සිතෙහි මුල් බැස ගත් අභිමතාර්ථයන් නම් ඉටු නොවීය. ඈ ඒ පිලිබදව නිතර නිතර මැසිවිලි නගන්නට විය.

“රුවනි ඔහොම කලබල වෙන්න එපා..අපි හැමදාම එකතු උනා නම් ඔය ප්‍රශ්නය නැහැ… අපි ඉතින් මාසෙට දවස් දෙක තුන නේ රූම් යන්නේ..අනි..”

“සංදීප්… මම මෝඩියක් නෙවෙයි. සරු දවස් තමයි මම දාගන්නේ.. මට පේන්නේ ඔයත් තිරාන් වගේ ව..”

“මේ…හ් මගේ යකා අවුසන්න එපා රුවනි. ඌ පො..න්$# උනාට මම එහෙම නැහැ කියලා ඔයාට දැනෙන්න ඇති නේ..අනික මට ඌ$ට වඩා පෞරුෂයක් තියෙනවා මොකද මගේ ගෑ$නි නන්න$ත්තාරේ යන්නේ නැහැ උ$ගේ ගෑ$නි වගේ..ආවා මෙතන..”

මුණ ගැසෙන සෑම දිනකම මෙවැනි රණ්ඩු සුලබ සාමාන්‍ය දේවල් බවට පත් විය. සැනසීම සොයා ගිය ද එයද තවත් එක් බන්ධනයක් වී තම සැනසීම උදුරා ගත්තේ යැයි හැගීමක් ද සංදීප් තුල විය.

“මොකක් ද සංදීප් ඔයාට වෙලා තියෙන්නේ? ලීසින් එකයි හවුසින් ලෝන් එකයි දෙකම බාගෙට ගෙවලා තියෙන්නේ..ඒ මදිවට ගෙදර බඩු ගේන්නෙත් අඩුවෙන්. මමත් ණය වෙවී බර අදිනවා. ඔයා මේ සල්ලි වලට මොනාද කරන්නේ..?”

දුම්රියේ දී රුවනි සමග ද ආරවුල් ඇති වී මානසික පීඩාවක සිටි සංදීප්ගේ සිතෙහි තම බිරිඳ පිලිබදව ද කෝපයක් හට ගත්තේ ඇය තම යුතුකම් නිසි ලෙස ඉටු කලේ නම් මෙසේ අනියම් පෙමක් නඩත්තු කිරීමට නොවන බව වූ හැගීමෙනි. සංදීප්ගේ මුහුණෙහි මස් පිඩු කෝපයෙන් නටන්නට විය.

“මම කාලා බීලා ජොලි කරලා හො#ර ගෑනිටයත් වියදම් කලා. මගේ සල්ලි මට ඕන විදිහට මම වියදම් කරනවා ඇයි මොකක්ද ප්‍රශ්නය? ආහ්..මොන කරුමයක් ද මේ ගෙවන්නේ..කෙහෙල්මල.. මේවා විකුණලා මාව නිදහස් කරපන්.. ශිට්..ශිට් කරු$මයක් කර ගැහුවා මං”

කිසිදා නොවන ඔහුගේ වදන් ඈ විශ්මයට බියට පත් කල මුත් ඈ සිතට ධෛර්යයක් ගත්තාය.

“දැන් ද තමු$සෙට කරුමයක් උනේ? මාව කසාද බදින්න ඉස්සෙල්ලා හෝටල් ගානේ ගෙනියන කොට මතක් උනේ නැද්ද ඕවා? මමයි කරු$මයක් කර ගැහුවේ..මහ ලොකුවට පෙන්නුවේ කොහොමද? මට මෙහෙම වෙලා මදි…අනේ..මම මගේ අම්ම්ගේ වචනෙටත් පිටි පෑවා..දෙවියනේ..” ඈ අඳෝනා නගද්දී ඔහු කාමරයට ගොස් දොර වසා ගත්තේ ය.

පසුදින දුම්රියේ දී රුවනි මුණ ගැසුණු මුත් ඒ මුහුණෙහි පවා වෙනදා වූ උනන්දුව ආදරය පිළිගැනීම නොවීය. ඈ තමා මග හරින්නා සේ ඔහුට දැනුණි. තම ආශාවන් බියක් සැකක් වැඩි වියදමක් නොමැතිව විශ්වාසනීය ලෙස සපුරා ගත හැකි රුවනි මග හැර ගන්නට ඔහුගේ සිත ඉඩ නොදුන්නේය. ඔහු හිස වනා ඈ කැදවීය. දැඩි අකමැත්තෙන් ඈ ඔහු වෙතට පැමිණියා ය.

“මන්තිකා අදයි හෙටයි අම්මලගේ ගෙදර ගියා අම්මා අසනීපෙන් නිසා. අද හාෆ් ඩේ දාලා එන්න අපේ ගෙදර යමු. අහල පහල අවුලක් නැහැ… ගෙවල් වල අය වැඩට යනවනේ.. මම රෑ වෙලා කාර් එකේ ගෙදරටම බස්සන්නම්..”

“අනේ…අද බැහැ සංදීප්.මට සනීප නැහැ… අනික අද තිරාන්ගේ බර්ත් ඩේ එක..” රුවනි සාර්ථක පිළිතුරක් ලබා දී යටි සිතෙන් උද්දාමයට පත් විය.

“තමු$සෙට අසනීප වෙන දවස් මම දන්නවා. අද නාවොත් හවසට මම හොද ගිෆ්ට් එකක් අරන් ගෙදර එන්නම් තිරාන්ගේ බර්ත් ඩේ එකට” සැබැවින්ම ඈ ඒ වදනින් බියෙන් තැති ගත්තාය. අවසානයේ සංදීප් ජයග්‍රහණය කලේය.

සංදීප්ගේ නිවසට ත්‍රීරෝද රථයෙන් පැමිණි දෙදෙනා රිසි ලෙස නිදහසේ හැසිරුණා වුවද රුවනිට එය බලහත්$කාරකමක් විය.එහෙයින් වෙනදා ලැබෙන සහය ඇයගෙන් නොලද හෙයින් ඔහු බොහෝ සේ කිපුණි.

“මොකෝ…මගේ රහ මදිද? අලුත් එකෙක් අහු උනා ද? සීයක් එක්ක ගියත් තමු$සෙගේ ආශාව ඉෂ්ඨ වෙන්නේ නැහැ ඒක පිරිමියගේ අඩුපාඩුවක් නෙවෙයි. කෝ.. ඉක්මන් කරලා ලෑස්ති වෙනවා මම ගෙදරට ගිහින් දාන්නම්..”

සංදීප් ඔච්චමට මෙන් සිනාසෙමින් නාන කාමරය වෙත ගියේය. සැනෙන් ක්‍රියාත්මක වූ රුවනි තම යට ඇඳුමක් ගෙන මන්තිකාගේ ඇදුම් අසලින් තබන්නට විය.

මන්තිකාගේ මව සුව වූ සැනින් ඈ මෙහෙකාරිය සමග තබා මන්තිකා නිවසට පැමිණියේ දින හතරකට පසුය. ඇයට සන්දීප් පිලිබදව ශෝකයක් විය. ඈ නිවස අස්පස් කොට රාත්‍රී ආහාර නිම කරමි යන සිතුවිල්ලෙන් වැඩ ආරම්භ කලාය. කාමරයට පැමිණ රෙදි සේදුම් යන්ත්‍රයට දැමීමට සූදානම් වෙද්දී රුවනිගේ ගේ යට ඇදුම දැක තිගැස්සුනි. එය තමාගේ නොවන බව දත් මන්තිකා හිස දෝතින් බදාගත්වනම ඇද පාමුලට වැටුණි.

ඇගේ මතකය මතකයට නගා ගත හැකි උපරිමයට ගිය ද සංදීප් හා සංවාසයේ යෙදුණු දිනයක් මතකයට නගා ගත නොහැකි විය. සතියකට වරක් බලහත්කා$රයෙන් හෝ තම සිතැඟි සපුරා ගන්නා ඔහු ඊට මතක ඇති කාලයක සිට උත්සහ නොකළා නොවේදැයි සිහි වෙද්දී තමාගේ නොසැලකිලිමත් බව පිලිබදව ශෝකයක් ඇගේ හද වෙලා ගත්තේය.

“ශිට්…ශිට්…ශිට්.. මම මහ මෝඩියෙක්.. මගේ ඇස් වහලා මේ මිනිහා මෙච්චර වංචාවක් මට කරලා.. දෙවියනේ.. හ් මම රැවටිලා. මම දුක් විද විද මේ මිනිහා නඩත්තු කරලා..අනේ..හ්..”

ඈ කෝපයෙන් පවසමින් තම හිස කේ ඇද දමමින් පොළොවට දෑතින්ම ගසමින් තම සැමියා තමාට ද්‍රෝහී වීම, තමා රැවටීම පිලිබදව ශෝකය කෝපය පිට කලාය.

අත්තිකාල ලබා ගැනීමේ චේතනාවෙන් රාත්‍රි හත වන තෙක්ම රාජකාරියේ යෙදුණු සංදීප් නිවසට පැමිණෙද්දී නිවස පුරා වූ අදුර හේතුවෙන් කුතුහලයකට පත් වූයේ මන්තිකා නිවසට පැමිණි වග දැන් වූ හෙයිනි. ඔහු වහා දොරට ගසමින් ඈ ඇමතුවේය. නැත.. පිළිතුරක් නැත. ඊට පසු දුරකථනය ගෙන ඈ ඇමතුවේය. කිහිප වාරයක් උත්සහ කල පසු ඈ ඇමතුම හා සම්බන්ධ වී සංදීප් යමක් විමසීමට පෙර දොඩමලු විය.

“තමුන්ගේ ඇදුම් බෑග් දෙක ඉස්සරහ පුටුව උඩ ඇති. අදින් පස්සේ මේ මගුල ඉවරයි. මගේ ලෝයර් තමුන් ව මීට් වෙයි..”

“තමු$සෙට පිස්සු ද ඕයි.. මොන කෙහෙල් මලක් ද මේ කියවන්නේ. මොන මඟු$ලෙ ද ගියේ? ගෙදර එනවා මට බඩගිනියි.. මහන්සියි..විකාර නටනවා..”

“මම ද මිනි#හෝ මඟුලේ ගියේ.. ආහ්..? මම ආයේ ගෙදර එන්නේ නැහැ… ඕක මගේ ගේ නිසා තමු$සෙට ඔහේ ඉන්න බැහැ..ආහ් මේ…හොදම එක අමතක උනා. තමු#සෙගේ හනිමුන් ඉවර වෙලා යද්දී හොර මනමාලි යට කලිසම දාලා ගිහින්. ඒකත් තමු$සෙගේ බෑග් එකේ ඇති ගෙනිහින් දීලා ඒකිගේ ගෙදරම නතර වෙනවා.”

සංදීප් ඇගේ වදනින් තිගැස්සුනි. ඔහුගේ සිත රුවනි පිලිබදව කෝපයකින් පිරී ගියේය.

“ප$ට්..එතැන් සිට නොපරුස් වදන් රැසක් ඔහුගේ මුව මත විය. ඔහු රුවනි ඇමතුව මුත් දුරකථනය විසන්ධි කොට තිබුණි. ඔහු උමතුවෙන් මෙන් නිවසේ කොරිඩෝව පුරා මෙන්ම ගෙමිදුල පුරා ඇවිද යන්නට විය. හිමිදිරියේම තම ඇදුම් බෑග් රැගෙන මහ ගෙදරට ගිය සංදීප් කිසිවෙකු හා නොදොඩා සූදානම් වී රුවනිගේ කාර්‍යාලයට ගියේය. රුවනි මද චකිතයකින් ඔහු සොයා පැමිණියාය.

“විනාඩි දහයක් දෙන්නම් මොකක් හරි බොරුවක් කියලා එනවා. මට දැන් තමුසෙව ඕනී..” රුවනි කෙතරම් බැගෑපත් වුවද ඔහු තීරණය වෙනස් නොකළ හෙයින් අවසන ඈ ඔහු සමග පැමිණියා ය.

දීඝා ජාගරතෝ රත්තී,

දීඝං සන්තස්ස යෝජනං

දීඝෝ බාලානං සංසාරෝ,

සද්ධම්ම අවිජානතං…

පින්වත්නි..මේ ඉල් පුන් පොහෝ දින මම මාතෘකා කර ගන්නා මේ ගාථාවේ තේරුම තමයි..

නිදිවරන්නාට රැය දිග ය.

ගමන් විඩා සහිතව ඇවිදින්නා හට යොදුන දිග ය.සද්ධර්මය අවබෝධ නො කරන්නා වූ මෝඩයා හට සසර දිග ය.

ඉතින්…මේ බන්ධනාගාරයේ වෙසෙන ඔබ සැම දිවි ගමන විඩාබර ලෙස ගෙවූ හෙයින් නොනිමෙන ආශාවන් සපුරා ගැනීමට යෑම තුලින්…

ශාලාවේ කොනක සිටි සංදීප් හට ස්වාමීන් වහන්සේ පවසන්නේ කෙතරම් සත්‍යයක් දෝ කියා සිතුණි. තමා ආශාවන් පසු පස හඹා ගොස් රුවනි නසා අවසන මරණීය දණ්ඩනය ලබා වසර විස්සකට ආසන්න කාලයක් වැලිකඩ බන්ධනාගාරය තුල නොවේදැයි සිතුණි. බන හමාර කොට ස්වාමීන් වහන්සේ පිටව ගිය පසු දානය ගෙන අවසන් කොට සිටියදී හමු වූ නිලධාරී මහතෙකු පැවසූ වදන් අන් සිරකරුවෙක් හට නම් ප්‍රීතියක් නොවේදැයි සිතුණි. පොදු සමාව යටතේ තමාට ද එළඹෙන නිදහස් දා නිදහස් විය හැකි බව දැන් වූ මුත් ඔහු ඊට විරුද්ධව ප්‍රධාන ජේලර් මහතා හමුවීමට ඉටා ගත්තේය.

“මෝඩයෙක් වෙන්න එපා සංදීප්..එලියට එන්න පුළුවන් නම් වරෙන්..” සැමදා මිතුරෙකු ලෙස ඉතිරි වූ ඉඳහිට හෝ ඔහු බැලීමට පැමිණෙන සුරංග අද ද ඔහුට පැවසුවේය.

“අන්තිමට මන්තිකා ඔක්කොම විකුණලා ණයෙන් නිදහස් වෙලා කසාද බැදලා දරුවොත් හැදුවා. උඹ මෝඩයෙක් වෙලා රුවනිවත් ම$රලා එල්ලුම් ගස් ගියා. ආන්ටිත් අඩලා වැලපිලා අදත් කිව්වේ උඹව නිදහස් කරගන්න බලන්න බැරි ද කියලා. මල්ලි ෆැමිලි එක පිටින් රට ගිහින් තියෙන්න උඹට ගේ ලියලා. ආන්ටි යන්න බැහැ කියලා උඹව දාලා.. නිදහසට කැමති වෙලා වරෙන් ගෙදර..” සුරංග තවත් මොනවදෝ පවසද්දී.. සංදීප් නැගිට හෙමිහිට බන්ධනාගාරය වෙතට පිය නැගීය. ඔහුගේ දෙසවන් තුල වෙසක් පොහොය දා ධර්ම දේශනාව සදහා පැමිණි ස්වාමීන් වහන්සේගේ වදන් විය.

“ඔබට මේ ලැබිලා තියෙන්නේ හරි අපූරු අවස්ථාවක්. බාහිර ලෝකෙන් මිදිලා මෙහෙම ඉද්දී මනස ධර්මය වෙත යොමු කරන්න ලේසියි. මොකද ගැටීම් අඩුයි.. අපි ගැටෙන්නේ අපේ කැමති අකමැති සිතුවිලි එක්ක. මෙහෙදි ඔබට කැමති දේවල් කරන්න ලැබෙන්නේ නැති තරම් නිසා ඔබ ඔබේ සිත පාලනය කර ගනිමින් පවත්වාගෙන යනවා. ලැබෙන දේ අනුව ජීවිතය හැඩ ගස්වා ගන්නවා. මෙහේ හැමෝටම එකම නීතිය. සැලකිල්ල තමයි ඉතින් පොඩ්ඩක් එහේ මෙහේ වෙන්නේ. නමුත් බාහිර ලෝකෙන් ඔබට බාධක නැහැ… හැබැයි එළියේ ඉන්න අයට ජීවත් වෙන්නම වෙන්නේ අනුන් සනසන්න. ඉතින් කාවත් සනසන්න අවශ්‍ය නැති මේ බන්ධනාගාරය තුලින් කරපු වරදට දඩුවම විදින ගමන් සසර මග කෙටි කරගන්න අමතර වාසිය

More From Author

වික්‍රමාන්විත ජීවිතයක්

පැරිස් කොමියූනයෙන් “ජන සංහාරක සත්දින”         1871 මැයි 21 -28

Leave a Reply

Categories

LDM Columns