වික්‍රමාන්විත ජීවිතයක්

 “ලේඛකයකුට පැතිය හැකි ඉතාමත් ආශ්චර්යමත් පැතුම නම්, ” තමා මෙලොවින් සදහටම තුරන් වූ පසුවත්, තම  කෘතීන් මනුෂ්‍ය වර්ගයාගේ යහපත සඳහාම පවතීවා” යන පැතුමයි.

කතාව හා ක්‍රියාව එක් බඳු වන පුද්ගලයින් ලොව ඉතාමත්ම විරලය. ‘ නිකොලායි ඔස්ත්‍රොව්ස්කි’ (Nikolai osthrovski)  ලේඛකයන් අතර ගැනෙන එවන් දුලබ පුද්ගලයෙකි.1904.09.29 දින යුක්රේනයේ(Ukraine) ‘වොලින්’ කෝරළයේ ‘විලියා’ හි උපන් ඔහු  1936.12.22 දින අකල්හි මෙලොවින් මිය යන විට  32 වන වියෙහි පසුවිය. 12 වසරක්ම ඔහු ගත කළේ බරපතල රෝගියකු ලෙසය. ඉනුත් අවු.8 ක්ම අන්ධයකු ලෙසය. තමා මිය යමින් සිටින බව දැන දැනම, ඇසුරු කරන්නන් ගෙන් එය සඟවා, ජීවත්ව  සිටින උපරිම කාලය, තමාගෙන් පසු ජීවත් වන සකල මිනිස් වර්ගයාගේ ම යහ පැවැත්ම උදෙසා දිරිය හා සවිය ආදේශ කරවන කෘති ලෝකයට තිළිණ කිරීමට ඔහු ගත් මානව හිතවාදී ප්‍රයත්නය,  කිසිදු ලේඛකයෙකු ගෙන්  බලාපොරොත්තු විය නොහැකි විශිෂ්ට කැප කිරීමකි. ඒ අනුව, ඔහු ඉහතින් සඳහන් කර ඇති කරුණ තහවුරු කර ඇති දුලබ ලේඛකයෙකි.

ලොව පුරා සිටින විමුක්ති කාමීන්ගේ හා දිරිමත් යුද භටයන්ගේත් මානසික උත්තේජනයක් බවට පත් ඔහුගේ  ‘වානේ පන්නරය  ලැබූ හැටි’ නම් වූ මෙම විශිෂ්ට කෘතිය බිහිවුණේ, ඔහු රෝගාතුරව සිටි එවන් පසුබිමකය. වංකගිරියක ගමනක් බඳු වූ මනුෂ්‍ය ජීවිතවලට මෙම අගනා කෘතිය සැබෑ පන්නරයක් විය. එහි ප්‍රධාන චරිතය වූ, ‘පාවෙල් කොර්චාගින්’ මුහුණ දෙන සිදුවීම්, ඔස්ත්‍රොව්ස්කි සැබෑ දිවියේ මුහුණදෙන සිදුවීම් මය. එපමණක් නොව එම කෘතියේ ඇති සෙසු චරිත පවා එවක සමාජයේ සිටි සැබෑ පුද්ගල  චරිත මය. ලදරු සෝවියට් දේශය ගොඩනැගීමට ඔහු කම්කරුවකු ලෙස ධෛර්යයෙන් යුතුව වැඩ කළේය.

1917 විප්ලවීය ජයග්‍රහණයට එරෙහිව නැගුණු අභ්‍යන්තර විරෝධතා මැඩලීමට ගිය ඔහු එහිදී බරපතළ ලෙස තුවාල ලැබීය. තමා පෙරමුණේ  නැති අඩුව පිරිමැසීම සඳහා, මිනිසුන් ගෙ ජීවිතය ඔප මට්ටම් කර දිරිමත් කිරීම සඳහා දිවා රෑ නොබලා මහන්සි වී ඔහු තම පන්හිද  මෙහෙවීය.

නිකොලායි ඔස්ත්‍රොව්ස්කි තම කෘති සමාජයට දායාද කළේ මනුෂ්‍ය සංහතිය කෙරෙහි වූ අපරිමිත දයාවෙන් යුතුවය. හුදෙක් මිනිස් වර්ගයාගේ යහපත උදාකර දීම සඳහාම පමණි. මෙවන් උතුම් පරමාර්ථයක් යම් ලේඛකයකුට තිබේ නම් ඔහු සැබවින්ම උදාර මිනිසෙකි. එය ඔහුගේ මෙම ප්‍රකාශයෙන් මොනවට පැහැදිලිවේ.

“මිනිසාගේ පරම ධනය ඔහුගේ ජීවිතයයි. එය ඔහුට හිමිවනුයේ එක් වරක් පමණි. එම නිසා ඔහු ජීවත්විය යුත්තේ ගෙවී ගිය කාලය ගැන වද වෙන,  සිත් තැවුල්වලට ඉඩ නොතබමිනි. නීච වූත් නිවට වූත් අතීතයක් පිළිබඳව ඇතිවිය  හැකි, දැවෙන ලැජ්ජාවට කිසි කලෙකවත් පත් නොවන ලෙසටය. එබැවින් මුළු මහත් ලෝකයේ ඇති උසස්ම සේවය වන, මිනිස් වර්ගයාගේ විමුක්තිය සඳහා ගෙනයන සටනට තම මුළු දිවියම, මුලු මහත් ශක්තියම කැප කළ බව, තමා මිය යන මොහොතේ ප්‍රකාශ කිරීමට හැකිවන අන්දමින් ඔහු ජීවත් විය යුතුය.”

‘වානේ පන්නරය ලැබූ හැටි’ නම් වූ කෘතිය, ජීවිතය විඳ දරා ගැනීමට නොහැකි තත්ත්වයකට පත් වූ විට පවා, කෙනෙකුට ජීවත්වීමට ශක්තිය දෙන කෘතියකි. ඒ අනුව මෙය සෑම කෙනෙකුම අනිවාර්යයෙන්ම කියවිය යුතුම කෘතියකි. මෙය කියවන විට, නිකොලායි ඔස්ත්‍රොව්ස්කි නම් වූ මේ දිරිමත් මිනිසා තවමත් ජීවමානව අප අතර සිටිනවා යැයි හැඟෙනු ඇත.

විපතේදී වානේ වලටත් වඩා ශක්තිමත් වීමටත්, මිත්‍ර සන්ථවයේ දී හදවතින්ම සුහද වීමටත්,ආදරය කිරීමේදී අවංක වීමටත්, තම ජීවිතය ශක්තිමත් කරගත යුතු ආකාරය මෙම කෘතිය කියවීමෙන් කෙනෙකු තුළ ඇති කරගත හැකිය. මෙම කෘතියේ පාවෙල් කොර්චාගීන් ට අපි දශක ගණනාවක් පුරා ආදරය කළෙමු. ජීවත්වීමේ සැබෑ පරමාර්ථය විය යුත්තේ, පරාර්ථකාමිත්වය, උත්කෘෂ්ට කැපවීම හා අප්‍රතිහත ධෛර්යයෙන්ද යුතුව කරන නොපසුබස්නා උත්සාහයත් ය යන්න ඔහු අපට අවධාරණය කළේය. ඒ අනුව ඔහු අපගේ වීරයා විය. පරමාදර්ශය විය.

ඔහුගේ මෙම නවකතාව  සැබැවින්ම පරම්පරා කිහිපයකම අත්පොත බවට පත් විය. පිටපත් කෝටි ගණනකින් මුද්‍රණය වූ මෙම නවකතාව  ලෝක ප්‍රකටය. මෙම අගනා කෘතිය අපට කියවීමට හැකි වූයේ, රුසියානු හදවත ඉතා පහසුවෙන් තේරුම් ගත හැකිවන පරිදි, වෛද්‍ය දැදිගම වි.රුද්‍රිගු විසින් එය රුසියන් බසින්ම පරිවර්තනය කළ නිසාවෙනි.

‘කුණාටුවෙන් උපත ලද්දෝ නම් වූ ඔහුගේ දෙවන කෘතිය ලියූවේ, සම්පූර්ණයෙන්ම දෙනත අන්ධව තිබියදීය. ඔහුගේ බිරිඳ, රාත්‍රී නින්දට යාමට පෙර, සිදුරු යෙදූ කාඩ්බෝඩ් පුවරුවක් යටින් කොළ 25 ක් පමණ තබා දෙන අතර, එළිවන විට නිසල රැයේ ඔහු ඒ කොල සියල්ලෙහිම  නවකතාවේ කොටස් ලියා  තබයි. මෙම කෘතියේ 2 හා 3 කොටස් ලිවීමේ අදහසක් ඔහු තුළ  වුවද, ඊට පෙර ඔහු  අවාසනාවන්ත ලෙස දිවියෙන් සමුගෙන ඇත.

More From Author

වන්දි කතාව එළියට ගෙන ආණ්ඩුව ලසන්තගේ කතාව යට ගැසුවා

අමතර වාසිය

Leave a Reply

Categories

LDM Columns