ගයනි ගුරුගේ:
අපි නිතර ඇවිදින්නෙමු, එසේම එක් එක් අවස්ථාවල එක් එක් වේගවලින් ඇවිදින්නට අපට සිදුවේ. එහෙත් එක් එක් පුද්ගලයාට අනන්‍ය වූ සාමාන්‍ය වේගයක් තිබේ.
මානව හැසිරීම් සම්බන්ධයෙන් අධ්‍යයනය කරන එක්තරා විද්‍යාඥයින් කණ්ඩායමක් කළ පරීක්ෂණයකට අනුව ඇවිදීමේ වේගය යන නිර්ණායකය සැලකීමේදී, එකිනෙකාට වෙනස් පෞරුෂ ලක්ෂණ තිබෙන බව සොයාගෙන තිබේ.

කාර්යබහුල වීදියක යනෙන පුද්ගලයන් ගැන මඳක් අවධානය යොමු කරන්න. නොයෙක් වේගවලින් ඇවිද යන මිනිසුන් අපට දැක ගත හැකි අතර ප්‍රධාන වශයෙන් ඔවුන් වේගයෙන් ඇවිදින සහ සෙමෙන් ඇවිදින පුද්ගලයන් ලෙස පැහැදිලිව තෝරා ගන්නට පුළුවන.
අවට යනෙන මිනිසුන් කෙතරම් වේගයෙන් ගමන් කළා වුවද, තමාගේ කාලය ඉතා සෙමෙන් භාවිතා කරමින්, සාප්පුවල කවුළු අසල නතර වෙවී ඇවිද යන පුද්ගලයන් ඒ සෙමෙන් ගමන් කරන කොටසයි. තවත් සමහරු ඉතා වේගයෙන් ගමන් කරන්නේ තමා යන්නට සිටින බසය මඟහැරෙතැයි සිතන්නාක් මෙනි.
පර්යේෂකයන් වැඩි අවධානයක් යොමුකර තිබුණේ අර කී වේගවත් පුද්ගලයන් කෙරෙහිය. මූලිකව ගත් කළ වේගවත්ව ඇවිදින මිනිසුන් අතර පුදුම සහගත ස්ථාවර ගති ලක්ෂණ පෙන්නුම් කෙරෙන බව පර්යේෂකයන් නිරීක්ෂණය කර තිබුණි.
වේගයෙන් ඇවිදින්නන් අනෙකුත් වැඩක් කිරීමේ දී පවා වඩාත් ඉක්මන් බවත්, හෘද සාක්ෂියට එකඟව කටයූතු කිරීම, ඉලක්කය වෙත වහා දිශාගතවීම වැනි ලක්ෂණ ඔවුන් සතු බවත් ඒ අතර වේ.
ස්වභාවිකව ම වේගයෙන් ඇවිදින පුද්ගලයින් සංවිධානාත්මකය, උදාසීන විට නොසන්සුන්ය, එසේම ඔවුනට පැහැදිලි ප්‍රගතියක් දැක ගැනීමට මහත් ඕනෑකමක් තිබේ.
වේගයෙන් ඇවිද යන්නන් ඒ වන්ම වේගයකින් ඔවුන්ගේ ඉලක්ක කරා ගමන් කරන අතර සෙමෙන් ඇවිදින්නන් අරමුණු කරා ළඟා වන්නේ මන්දගාමීවය. එසේම, මේ දෙ ආකාරයේම වටිනාකම් මෙන්ම අවදානම් ද තිබෙන බව පර්යේෂකයෝ පවසති.
ඒ අනුව නිසගයෙන් ම වේගවත් සහ නිසගයෙන් ම මන්දගාමී පුද්ගලයන් සිය වේගය අඩු හෝ වැඩි ලෙස පාලනය කරගැනීමට නොවෙහෙසී, තම තමාගේ වේගය ගැන සවිඥ්ඥානිකව, එය තමාට එදිනෙදා ක්‍රියාවන්හි නිරත වීමේදී සැලකිලිමත් විය යුතු සංඥාවක් ලෙස ගැනීම වඩා යහපත්ය.
තවද, ඇවිදීමේ වේගය පෞරුෂයට පමණක් සීමා වන්නක් නොවේ. එය අනාගතයේ කොටසක් ද පුරෝකථනය කරයි. දිගුකාලීන සෞඛ්‍ය අධ්‍යයනවලින් සොයාගෙන තිබෙන්නේ වේගයෙන් ඇවිදින පුද්ගලයන් දිගු ජීවිත කාලයක් අත්පත් කරගන්නා බවයි. ඔවුන් ශක්තිමත් හදවතකට සහ ශක්තිමත් පෙනහළුවලට උරුමකම් කියන බව ඉන් අදහස් කෙරේ.

නමුත් පුද්ගලයෙකුගේ සාමාන්‍ය වේගය මත අවස්ථානුකූලව බලපාන බාහිර කරුණු ද තිබේ. ඇවිදින වේගය චිත්තවේග සමඟ අත්වැල් බැඳගෙන තිබෙන අතර ඇතැම්විට දෙදෙනෙකු හෝ කිහිප දෙනෙකු එක්ව ඇවිදින විට අනෙකාගේ වේගය සමඟ අතිපිහිත වනු පිණිස තම වේගය අඩු වැඩි කරගැනීමක් ද සිදුවේ.
බොහෝ විට සමීප මිතුරන් හෝ යුවලක් එක්ව ඇවිදින විට නොදැනුවත්ව ම මධ්‍යම වේගයක් වෙත හැඩගැසේ.
අප අයත් වන්නේ මේ කී දෙ ආකාරයෙන් කුමකට වුවත්, පහත කරුණු කීපය ගැන සැලකිලිමත් වීම සුදුසුය.
වේගයෙන් ඇවිදීම සෑම විටම ආතතිය නිසා සිදුවන්නක් නොවේ. එය ඉහළ ශක්තියක් සහ ඉලක්කගත අරමුණක් වෙත යන අයෙකුගෙන් ද දිස් වේ. එසේම වේගවත් ඇවිදීමේ පුරුද්දක් ආරෝපණය කරගන්නට යන්නෙකු එසේ වේගවත් ඇවිදීමකට හුරු වූවද එක් එක් ඛාණ්ඩයට අයත් පෞරුෂ ලක්ෂණ එසේ තමාට ආරෝපණය කර ගැනීම අසීරුය. විශේෂම කරුණ නම්, සෙමෙන් ඇවිදින්නන් ඉවසීමෙන් කටයුතු කරන නිසා අඩු වේගයකින් මුත් යහපත් සාර්ථකත්වයක් ඔවුනට අත්පත් කරගත හැකි වීම ය.
තොරතුරු අන්තර්ජාලයෙනි.

ගයනි ගුරුගේ-Gayani Guruge





