විපතට පත් වූ අපේම සොයුරු සොයුරියන්ගේ දුක වේදනාව අපට ආරෝපණය කරගෙන ලතෙත් හදකින් ඔවුන් දෙස බැලිය යුතු කාලයකි මේ.

රටක් එකා වන්ව එකට එක් විය යුතු, විපතට පත් වූ අපේම සොයුරු සොයුරියන්ගේ දුක වේදනාව අපට ආරෝපණය කරගෙන ලතෙත් හදකින් ඔවුන් දෙස බැලිය යුතු කාලයකි මේ. ඔවුන්ගේ සිත්වලට වඩාත් සැනසිලිදායක හැඟීමක් ජනිත කරවන එක් මඟකි ‘වචන’.

‘වචන’ යනු හුදෙක් මුවෙන් නැඟෙන හඬක් පමණක් නොවේ. ඒවා දයානුකම්පාවෙන්, ආදරයෙන් පිරුණු ‘හැඟීම්’ විය යුතුය. අප මනසින් බිඳ වැටී, අඳුරේ ගිලී සිටි මොහොතවල ඇසුණු ඇතැම් වචන අපව අඳුරෙන් අඳුරට තල්ලුකර දැමුවා අපට මතකය. එහෙත් ඒ අතර ඇසුණු ඇතැම් වචන උදෑසන හිරු කිරණක් සේ අපව ආලෝකයෙන් වැලඳගත් අයුරු ද අපට මතකය. මේ විපතින් පිරි කාලයේ අප ‘වචන’ ගැන වඩාත් සවිඥ්ඥාණික වීම වටින්නේ එබැවිනි. මේ ඒ ගැන කුඩා සටහනකි.

පසුගිය දින කිහිපය ගෙවී ගියේ කුණාටුවක් හමා යන්නා සේය. ඇත්තටම සිදු වූයේ ද එයමය. මෙතෙක් කිසිවෙකුට අත නොපා ජීවත් වූ අපේම සහෝදර සහෝදරියන්ට ඇඳි වත පමණක් ඉතිරි කොට ය කුණාටුව හමා ගියේ. ඒ ඇතැමුන්ට තම පවුලේ හිතෛශින් ද අහිමි කරවමිනි.

එවන් දුක්බර අවස්ථාවකට මුහුණ දුන් ඔවුන් හා ගනුදෙනු කරන අප අපගේ මුවෙන් ගිලිහෙන සෑම වචනයක් ගැනම වඩාත් සැලකිලිමත් විය යුතුය. අපගේ සහකම්පනය හා සහයෝගය ඔවුන් සමඟ තදින් බැඳී තිබෙන බව ඔවුනට දැනවිය යුතුය.

ඒ අතර ඔවුන්ගේ වචන සහ හැඟීම්වලට වටිනාකමක්, වලංගු භාවයක් තිබෙන බවත්, ඒ වටිනාකම අපට දැනෙන බවත් ඔවුනට දැනෙන්නට අප කටයුතු කළ යුතුය.

මේ සා කම්පනයකට පත්ව හිඳින ඔවුන් හඬා වැළපෙන්නට, කෝපයට පත්වන්නට හෝ හුදෙකලාව හිඳින්නට උත්සාහ කරන විට ඊට බාධා නොකොට ඒ සඳහා ඉඩ දීමට අප වග බලාගත යුතුය. ඒ අතර වඩාත් හෘදයාංගමව හා ශක්තිමත්ව ඔවුන් සමඟ අප කටයුතු කරන බවත්, ඔවුන් තනි වී නොමැති බවත් ඇඟවෙන සේ කතාබස් කිරීම අපේ යුතුකමයි.

එහෙත් ඒවා හුදෙක් හැඟීම් පිරි වචන ලෙස පමණක් යොදා ගැනීම සෑහෙන්නේ නැත. අවශ්‍ය දෑ වෙනුවෙන් අපට හැකි පරිදි නිශ්චිත උදවු ලබා දිය යුතුය.

ඔවුන්ගේ ක්ෂණික අවශ්‍යතා හෝ හැඟීම් කෙරෙහි අවධානය යොමු කිරීම තුලින් අප වාචිකව පමණක් නොව ප්‍රායෝගිකව ද ඔවුන් සමඟ බැඳී සිටින බව ඔවුන්ට දැනෙන්නට ඕනෑය.

හදිසියේ මුහුණ දීමට සිදුවන මෙවැනි ආපදා තත්ත්වයන් සමඟ, අපව දරාගෙන හිඳින මහ පොළොව පවා ශක්තිමත් නොවන බව අපට හැඟන්නට පටන් ගන්නේ නිරායාසයෙනි. එහෙත් කෙතරම් බිඳවැටීම් අභිමුව වුව බලාපොරොත්තු සහගත වීම ඉදිරි පියවරක් තැබීමට හේතු සපයයි.

ඔවුන් වඩා ශක්තිමත් බව ඔවුනට දැනෙන්නට සැලැස්විය යුතුය. ශක්තිමත් බව යනු බිය හෝ බිඳවැටීම වැනි හැඟීම්වලින් තොර වීම නොවේ. මේ තරම් දුශ්කර අවස්ථාවක දී පවා කල්පනාකාරීව ඊළඟ තත්පරයට මුහුණ දීම බව ඔවුන්ට ඒත්තු ගැන්විය යුතුය. ඒ සඳහා ඔවුන් සමඟ පිරිසක් එක්ව සිටින බව ඔවුන්ට දැනෙන පරිදි අප ක්‍රියා කළ යුතුය.

ඉදිරියේ උදා වන්නේ අවිනිශ්චිත මොහොතක් බව දැනෙන විට දුකට, කණස්සල්ලට පත් වීම සාමාන්‍ය හැඟීමකි. ඒ මොහොත දුශ්කර විය හැකි වුව ද, ඔවුන් වටා පිරිසක් අත් බැඳ සිටින වග දැනෙන විට, ඉදිරියට මතුව එන සෑම සිතුවිල්ලකින්ම වඩා හොඳ මොහොතකට අඩිතාලම වැටෙන බව ඔවුන්ට හැඟෙනු ඇත.

විපතට මුහුණ දුන් මොහොත ජීවිතයේ කියවන්නට අකැමැති, යලි කිසිදා නොකියවන සේ වසා දැමූ පරිච්ඡේදයක් ලෙස ගත්තා වුව ද, සම්පූර්ණ කතාව තවම අවසාන වී නොමැති බැවින් ඊළඟ තත්පරය දෙස බලාපොරොත්තු සහගතව හිඳීමට අප ද ඔවුන් හා එක්ව සිටින බව වචනයෙන් සහ ක්‍රියාවෙන් ඔවුනට ඇඟවෙන්නට ඕනෑ ය.

More From Author

ආපදාවෙන් පසු ආපදා සිතිවිලි

ළමා මානසික සුවතාවය ගොඩනැගීමට නිර්මාණශීලී ක්‍රමවේද යොදා ගැනීම

Leave a Reply

Categories

LDM Columns

https://www.facebook.com/profile.php?id=61575953530348