මෙලොව උපදින කවරෙකු වුවද ලෝක ධර්මතාවය අනුව දිනෙක මරණයට පත් වේ. ස්වේච්ජාවෙන් ස්ව කැමැත්තෙන් තම ජීවිතය විනාශ කර ගැනීම සිය දිවි නසා ගැනීම ලෙස නිර්වචනය කළ හැකිය. මෙය ජාති, ආගම්, ස්ත්‍රී පුරුෂ, වයස් භේදයකින් තොරව ලෝකය පුරා සිදුවන නිශේධනාත්මක සංසිද්ධියක් මෙන්ම වර්තමාන ලෝකයේ දිනෙන් දින උග්‍රවන සමාජ ගැටලුවකි. සිග්මන් ෆ්‍රොයිඩ්ට අනුව සිය දිවි නසා ගැනීම යනු පුද්ගලයකු තුළ සහජයෙන්ම ඇති ප්‍රචණ්ඩත්වය තමාටම එල්ලකර ගැනීමකි. මෑතකාලීනව ගත් කළ විශ්ව විද්‍යාල ශිෂ්‍යයෙක් හා අධ්‍යාපන පීඨ පුහුණු ගුරුවරියක් මෙන්ම ස්වාමින් වහන්සේ නමක්ද සිය දිවි හානිකර ගත් අවාසනාවන්ත පුවත් කිහිපයක්ම අසන්නට දකින්නට ලැබෙන්නේ කාගෙත් අවාසනාවටය.
කැනේඩියානු මානසික සෞඛ්‍ය සංවිධානය දක්වන පරිදි, ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව, සෑම තත්පර 40කට වරක් ම ලෝකයේ එක් පුද්ගලයෙකු සිය දිවි නසා ගනී.

එමෙන්ම සෑම වසරකම, ලොවපුරා මිනිසුන් 873000 ක් පමණ සිය දිවි නසා ගන්නා අතර සිය දිවි නසා ගැනීමට තැත් කරන සංඛ්‍යාව මිලියන 10ත් 20ත් අතර මට්ටමක පවති. ලෝක සෞඛ්‍යය සංවිධානයට අනුව සිය දිවි නසාගන්නා රටවල් අතරින් 1995 දී ශ්‍රී ලංකාව පළමු ස්ථානයට පැමිණ තිබේ. යටත් පිරිසෙයින් ශ්‍රී ලංකාවේ 23 දෙනෙකු සිය දිවි නසා ගන්නා අතර, ඔවුන් වැඩි දෙනෙකු අවුරුදු 16-35 වයස් කාණ්ඩයේ පසුවන්නන් ය.
විශේෂයෙන් වර්තමාන සමාජය දෙස අවධානය යොමු කීරීමේදී පෙනී යන කරුණක් වන්නේ අවුරුදු 18 ට අඩු ළමුන් අතර මෙම සිය දිවිනසා ගැනීමේ වැඩි ප්‍රවණතාවයක් ඇති බවයි. 1939 අංක 48 දරණ ළමයින් හා තරුණයින් පිළිබද ආඥා පනතට අනුව අවුරුදු 14ට අඩු වයස් සීමාවේ පසුවන්නන් ළමයින් ලෙස සැලකේ. ළමා අයිතිවාසිකම් ප්‍රඥප්තියට අනුව උපතේ සිට අවුරුදු 18 දක්වා සියලුම පුද්ගලයන් ළමුන් ය. ළමයින් තුළ ගැටලු විසඳා ගැනීමේ දුෂ්කරතා පැවතීමද, එනිසා ඇති වන විෂාද තත්ත්ව මත ඉච්ඡාභංගත්වයට පත්වීමෙන් සිය දිවි නසා ගැනීමට පෙළඹිය හැකිය. කෙසේ නමුත් සිය දිවි නසා ගැනීම, මානසික රෝගි තත්ත්වයක ප්‍රතිඵලයකි. එයට හේතුවන ප්‍රධාන ම මානසික රෝග අතර විෂාදය (Dipression), උමතු විෂාදය (Maniac Dipression) හා හීන්නෝන්මාදය ^Sehizoprenia) යනාදිය හඳුනාගත හැකිය.
වර්ෂ 1897 දී දුර්කයිම් විසින් ‘Le suicide’ නමින් ප්‍රංශ බසින් ලියන ලද ‘Suicide: A Study in Sociology’ නමින් 1951 දී පරිවර්තනයට බඳුන් වූ කෘතිය මගින් සියදිවි නසාගැනීම පිළිබඳ සමාජ විද්‍යාත්මක කරුණු රාශියක් අනාවරණය වේ.

එහිදී සියදිවිනසා ගැනීම ප්‍රධාන වර්ග තුනක් යටතේ පුද්ගලයා සියදිවිනසා ගැනීම සිදුකර ගන්නා බව සිය අධ්‍යයන තොරතුරු ඇසුරින් විශ්ලේෂණය කර තිබේ. එනම්,
- ආත්මීය සියදිවිනසා ගැනීම
- පරාර්ථකාමී සියදිවිනසා ගැනීම
- අනෝමීය සියදිවිනසා ගැනීම
සමාජයේ බහුලව දැකිය හැක්කේ ආත්මීය සියදිවිනසා ගැනීම්ය. මෙහිදී වැදගත් වන ප්‍රධාන සමාජ සාධකය වන්නේ තනි පුද්ගලයා සමාජය සමඟ තිබෙන බැඳීම හෙවත් ඒකාබද්ධතාව අවම වීමයි. පුද්ගලයා තමා ජීවත් වන පවුල, අසල්වැසියන් සහ මිතුරන් අතර මනා ලෙස සබඳතා නොපවත්වන්නේ නම් හෝ අවම වූ විට මෙම වර්ගයේ දිවිනසා ගැනීම් සිදුවේ. මෙහිදී දුර්කයිම් පෙන්වන ප්‍රධාන නිදසුනක් වන්නේ ආගම සහ පුද්ගලයා අතර ඇති සබඳතාවයේ ස්වභාවය පිළිබඳවය. සාම්ප්‍රදායික කතෝලික ජනතාව නියෝජනය කළ ස්පාඤ්ඤය, පෘතුගාලය සහ ඉතාලිය වැනි රටවල සියදිවිනසා ගැනීමේ ප්‍රතිශතය අවම වේ. මන්දයත් පල්ලිය හා පූජකයා පුද්ගලයා සමග නිරන්තරයෙන් බැඳෙන අතර එනිසාම පුද්ගලයා සාමූහික ජීවිතය සමඟ බැඳීමක් ඇති කරගනී. නමුත් පර්සියාව සහ ඩෙන්මාර්ක් වැනි ප්‍රොතෙස්තන්ත්‍ර දහම අදහන පුද්ගලයන් අතර සියදිවිනසා ගැනීම බහුලව පවතින්නේ එහි අන්තර්ගත පුද්ගලවාදය හේතුවෙනි. ප්‍රොතෙස්තන්ත්‍රවාදය හා බැඳුණු විද්‍යාවේ සහ තාක්ෂණයේ දියුණුව පුද්ගලයා සමූහය සමඟ පැවති සම්බන්ධතා ඉවත් කළේය. එය සියදිවිනසා ගැනීමේ ප්‍රතිශතය බහුලවීමට හේතුවිය. පුද්ගලයා තම පවුල සමඟ තිබෙන බැඳීම ඉවත් වූ විටත් පවුලේ සාමාජිකයින් තමන්ගේ නියමිත කාර්යභාරය ඉටු නොකිරීමත් නිසා පුද්ගලයා හා පවුල් අතර සබඳතා දුරස්ථ වීම සියදිවිනසා ගැනීමට බලපායි.
පුද්ගල ජීවිතය ඉතාම දැඩි ලෙස සමාජ චාරිත්‍ර හා පුරුදු මෙන්ම විශ්වාස මත පාලනය වන්නේ නම් පුද්ගලයා ඒ මත ක්‍රියා කිරීම හේතුවෙන් සියදිවිනසා ගැනීමට ලක් වේ නම් එය පරාර්ථකාමී සියදිවි නසා ගැනීම වේ. පුද්ගලයා තමාගේ ජීවිතය අනුන්ගේ නියෝග මත රඳා පවතින හේතු සහ පුද්ගලයා සමාජය සමග මහත් සේ ඒකාබද්ධ වී තිබේ. එසේම පුද්ගලයා තම ජීවිතය ආගමික මතවාද වෙනුවෙන් කැප කරනු ලබයි. නැතිනම් වෙනත් සමාජමය කාර්යයක් සඳහා කැප කරනු ලබයි. එය දේශපාලනය හෝ තම ජාතිය, ආගම හෝ තම ජනතාව වෙනුවෙන් කැපකිරීම ඇතුළත් විය හැකිය. පරාර්ථකාමී සියදිවිනසා ගැනීම නූතන සමාජයේ බහුලව සිදුවන එක් අවස්ථාවක් ලෙස හමුදා සෙබළුන් විසින් සිදු කරගනු ලබන දිවිනසා ගැනීම් පෙන්විය හැකිය.
අනෝමීය සියදිවිනසා ගැනීම සිදුවන්නේ සමාජය පුද්ගලයාට එරෙහි වූ අවස්ථාවන්හිදීය. එනම් සමාජය හා පුද්ගලයා අතර මනා ඒකාබද්ධතාවක් නොමැති වූ විටය. යම්කිසි පුද්ගලයකුගේ අනාගත අපේක්ෂා තමන්ට දරාගත නොහැකි අවස්ථාවකදී අනෝමීය සියදිවිනසා ගැනීමක් සිදුවිය හැකිය. හදිසියේ ධනවත් වූ පුද්ගලයින්ට එය දරාගත නොහැකි වේ. ඔහුට තමාගේ ආශා අවබෝධ කරගැනීමට නොහැකි වේ. එවිට ඔහුට ජීවිතයේ සැබෑ ස්වභාවය දැකීමට නොහැකි වේ. දික්කසාදයක් සිදු වූ විට වෛවාහක අනෝමීයත්වය ඇතිවේ. මෙම තත්ත්ව දික්කසාද වූ ගැහැනුන්ට සාපේක්ෂව පිරිමින්ට අත්විඳීමට සිදුවේ. සමාජය යනු ආකර්ෂණියම සාධක ඇති ස්ථානයක් නොව අසමාන බලවේගයක් සහිත තනි පුද්ගල ක්‍රියාකාරිත්වය සහිත ස්ථානයකි. දිළිදුබව සියදිවිනසා ගැනීම වැඩිවීමට හේතුවක් විය හැකිය. පාරිභෝජන භාණ්ඩ හා අත්‍යවශ්‍ය භාණ්ඩ මිල ඉහළ යාම නිසා පුද්ගලයාට ඇතිවන පීඩනය හේතුවෙන් ස්වේච්ඡා මරණ සිදු විය හැකිය.
සියදිවිනසා ගැනීම් සඳහා බලපාන හේතු විවිධාකාර වේ. පුද්ගලයාගේ වයස, ජීවත් වන සමාජ වටපිටාව, පවුල, ඇසුරු කරන බාහිර පාර්ශවය යනාදිය ඒ කෙරෙහි බලපායි. ළමා වයසෙහි පසුවන්නන්ගේ සියදිවිනසා ගැනීම් වලට බලපාන්නා වූ හේතු අතර දෙමාපියන්ගේ අනවශ්‍ය බලපෑම් කිරීම්, දඬුවම් ලබා දීම්, පවුලේ අඬදබර, මව විදේශ ගතවීම, ගුරුවරුන්ගේ අනවශ්‍ය පාලනයන්, පාසලෙන් එල්ල වන බලපෑම, පවුල තුළ ඇති වන ආදරය බෙදී යාම වැනි ප්‍රශ්න, ආර්ථික ප්‍රශ්න, පරාජිත හැඟීම, සමාජයෙන් ඇති වන ප්‍රතික්ෂේප කිරීම්, කාලය කළමණාකරණය කර ගත නොහැකි වීම තුළ මුහුණ දෙන වැඩ එකතු වීම් සුලබව දැකිය හැකිය.
කායික මානසික වෙනස්කම්, ප්‍රේම සබඳතා ආශ්‍රිත ගැටලු, අන්තර්ජාල ඇබ්බැහි වීම්, යහළුවන් හා ඇසුරු කරන්නන්ගේ බලපෑම, ලිංගික හිංසනයන්ට ගොදුරු වීම්, මත්ද්‍රව්‍ය ඇබ්බැහිය, සමාජ වෙබ් අඩවි අනිසි ලෙස පරිහරණය, රැකියා විරහිත වීම්, රැකියා ස්ථානයේ ඇති වන පීඩනය දරා ගත නොහැකි වීම, සමාජයෙන් විවිධ දේ අරඹයා ඇති වන බලපෑම වැනි හේතු නිසා යොවුන් විය තුළදී ඇතැමුන් සියදිවිනසා ගැනීම් වලට යොමු වන බව දැකිය හැකිය.
මැදි වියේ පසුවන්නන් අතරද මෙම සියදිවිනසා ගැනීම් දැක ගත හැකිය. ඒ සඳහා බලපාන හේතු අතර ආර්ථික ප්‍රශ්න, දරුවන්ගේ ගැටලු, ණය බර දරා ගත නොහැකි වීම්, සමාජ ප්‍රතික්ෂේප වීම්, හුදකලා වීම් යන හේතු සාධක දැක ගත හැකිය.
මෙහිදී කරුණු අනුව පෙනී යන්නේ සියදිවි නසාගැනීම සඳහා මූලික වශයෙන් හේතුපාදක වන්නේ ගැටලුව නොව එය මානසිකව දැඩිව අල්වා ගන්නා ආකාරයයි- එනම් දරා ගැනීමේ ප්‍රතිශතය අනුව අපගේ ජීවිතය තීරණය වන බවයි. අපට පීඩනය දරා ගත නොහැකි නම් නිසි පරිදි කළමණාකරණය කර ගත නොහැකි නම් එහිදී අප ඉවසා ගත නොහැකිම අවස්ථාවක ජීවිතය තොර කර ගැනීමට පෙළඹේ. දරුවෙක්ට කුඩා කළ පටන් ඕනෑම දෙයක් එක සේ දරා ගැනීමට හුරු කළ යුතුය. වැඩ හා කාලය කළමණාකරණය කර ගැනීම, නොබියව අසාධාරණයන්ට විරුද්ධව නැගී සිටීමට දෙමාපියන් තම දරුවන්ට මඟ පෙන්විය යුතුය.
මෙම සියදිවි නසා ගැනීම් පිළිබඳව සමාජ ආකල්පයන් ප්‍රතිශේධානාත්මකය. මන්ද කණ කැස්බෑවා විය සිදුරෙන් අහස දෙස බලන්නාක් මෙන් අප ලබන අතිශය දුර්ලභ ආත්මය ස්වේච්ජාවෙන් නැති කර ගැනීම නැවත මිනිස් ආත්මයක් නොලැබී යාමටද හැකි බව සමාජ පිළිගැනීමයි. ඒ අනුව ගත් කළ මෙවැනි සියදිවි නසා ගැනීම් හමුවේ සමාජයෙන් බොහෝ අපවාද විඳීමට සිදුවේ. නමුත් එවැනි අපවාද, චෝදනා හා සමාජ ගැරහුම් එල්ල කරන පිරිස් සියදිවි නසා ගත් පුද්ගලයන් ඔවුනට තමාගේ ගැටලුවකදී කතා කළ විට ඒ පිළිබඳව නොසළකා හරියි. තවදුරටත් ප්‍රතික්ෂේප කරයි. මිනිසුන් ලෙස අපට තවත් මිනිස් ජීවිතයක් බේරා ගැනීමට හැකියාවක් ලැබේ නම් එය වටිනේය. ඇතැම් විට අවශ්‍ය වන්නේ අවැසි මොහොතක ඔවුන්ට සවන් දීම පමණකි. යථාර්ථය අවබෝධ කර දීමකි. එලෙස අප ඔවුන්ට අපට හැකි අයුරින් ඔවුන්ගේ සියදිවි හානිකර ගැනීමේ අදහස් නැති කර මිනිස් ජීවිතයක වටිනාකම අවබෝධ කර දෙන්නේ නම් මේ රට තුළ සියදිවි නසා ගැනීමේ ප්‍රතිශතයන් පහළ යනු ඇසු පනාපිට දැක ගත හැකිය.
එච්. එම්. එන්. දේශානි හේරත්-H. M. N. Deshani Herath
සහකාර කථිකාචාර්ය , දර්ශන අධ්‍යයන අංශය, සමාජීය විද්‍යා පිඨය, කැලණිය විශ්වවිද්‍යාලය .





