නුවර සම්බන්ධ ප්‍රශ්නය මගේ හිතේ කවදාවත් නොවිසිඳුණු එකක්

A Gypsy Heart පොත වැඩිපුර ම ලියැවුණේ නුවර.. නුවර කොෆී ෂොප්වල. පටු, ඒත් මිනිසුන්ගෙන් පිරුණු වීදි පේන බැල්කනිවල. මීදුම තැවරුණු සදාහරිත කඳු පංති පේන හෝටල් කාමරවල ලියන මේස උඩ. හුඟක් සති අන්තවල මං මේ පොත වෙනුවෙන් ම නුවර ගියා.

හැබැයි පොතේ කතාවට නුවර එක්ක ලොකු සම්බන්ධයක් නෑ.

ඒත් මට පොත ලියපු කාලය පුරා ම දැනුණේ “නුවර හැඟීම..”

මේ “නුවර හැඟීම” කියන්නේ මොකක්ද්ද කියන එක මගේ මුළු ජීවිත කාලය පුරා ම මං decode කරගන්න උත්සාහ කරපු එකක්.

කොයි වෙලාවේ වහියිද නොවහියිද කියලා නොදන්න ජීවිතේ සීතල වැහි මන්දාරම.. ක්වීන්ස් හෝටලය ළඟින් පටන් අරන් වලාකුළු බැම්ම පහු කරලා, ස්විස් හෝටලය, මල්වතු අස්ගිරි විහාර, පරණ මතක තැවරුණු බිල්ඩින් පසු කරගෙන, රූස්ස ගස් හෙවණේ මහමායාව පැත්තට ඇවිදගෙන යනකොට දැනෙන සාංකාමය හැඟීම… වැව රවුමේ බංකුවක වාඩි වී වැව් දිය රැළිවලට ඔබ්බෙන් කොහේ හෝ ඈතක් දිහා බලාගෙන ඉන්න ඉපල් වුණු මිනිසෙකු ගේ මුහුණේ ඇඳී තියෙන සොදුරු හුදෙකලාව..

“නුවර හැඟීම” කියන්නේ මේ හැම දේම එකතුවෙන් හැදුණු කොලාජ් එකකට.

ජීවිතේ මුලින් ම මට මේ “නුවර හැඟීම” දැනුණ දවස ගැන යම් මතකයක් තියෙනවා.

මං උසස් පෙළ පංතිවල ඉගෙන ගන්නා කාලේ තවත් යාළුවන් හතර පස් දෙනෙකු එක්ක දවසක් නුවර ගියා. අපි උදේම පිටකොටුවට ඇවිත් නුවරට යන ඉන්ටර්සිටි බස් එකක නැග්ගා. සතියේ දවසක් වුණු එදා අපිට බස් එකේ අන්තිම පේළිය අල්ලගන්න පුළුවන් වුණා. මං වාඩි වෙලා ගියේ ජනේලෙ අයිනෙමයි. නව යොවුන් කාලෙ බොහෝ කතා කවට කතා මැද්දෙන් ගිය ඒ ගමන හරිම විනෝදජනක එකක්. ඒ කාලේ අපට තිබුණේ අලුතෙන් පියාපත් ලැබුණු කුරුල්ලන්ට තියෙන හැඟීම වගේ එකක්.

එදා ටිකක් තදට වැහි බීරුම තිබුණ දවසක්. බසයේ රේඩියෝව ක්‍රියාත්මක කරවා තිබුණා. උදේ පාන්දරම බස් එකට නැගලා කෙළි කවට කතා කියමින් ආපු මිතුරන්ගෙන් ඇතැමෙකු, කඩුගන්නාවට ළං වෙන විට සිටියේ නිදි කිරා වැටෙමින්. බස් එක කඩුගන්නාවේ කන්ද නගින්නට පටන් ගත්තා. පොද වැස්ස.. මීදුම..අඩ අඳුර.. කවුළුවෙන් පිටත දැවටෙන හැටි ජනේලෙන් එළිය බලනකොට මට පෙනුණා.

එක පාරටම වැස්ස තද කළා.. ඒත් එක්කම බස් එකේ රේඩියෝවෙන් වාදනය වුණේ නන්දා මාලිනිගේ මේ ගීතය..

කප් සුවහස් කල් පෙරුම් පුරාගෙන
අනන්ත බාධක දුක් පීඩා විඳ
භවෙන් භවේ යන මං සළකුණු දැක
ඔබව සොයා ආවා – මම ඔබව සොයා ආවා..”

ඒ මොහොතේ ඒ ගීතය මගෙ සිතේ කිඳා බසින්නට පුළුවන් ගැඹුරුම තැන දක්වා කිඳා බැස්සා මට අද වගේ මතකයි. ගීතයේ සෑම වචනයක් වගේ ම නන්දා මාලිනි ගේ කටහඬත් ඒ වෙලාවේ මගේ සිත කොනිත්තා රිද්දුවා. ඒ වෙලාවේ මට දැනුණේ ශෝකයත් නොවන, සාංකාවත් නොවන, හරියට ම වචනයට නගන්න තේරෙන්නේ නැති මීදුමකට සමාන, එනිග්මාවක් වගේ මන්දාරම් සහගත හැඟීමක්.

ඒක තමයි “නුවර හැඟීම”..

ඒ “නුවර හැඟීම” තවමත් මා පසුපස හොල්මන් කරනවා. මං ලියන හුඟක් දේවල තැවරිලා තියෙනවා.

මිහිකා” කියලා කියන්නේ මීදුමට.. ඉතින් A Gypsy Heart පොත පුරාමත් මට මීදුම සහ මඳ අඳුර තැවරුණු ඒ ‘නුවර හැඟීම’ දැනෙනවා.

හරියට ම ජූලි 19 වැනිදා හවස ඔබට කොළඹ බේරෙ වැව අද්දර තියෙන බිෂොප් විද්‍යාලයීය ශ්‍රවණාගාරයේ දී ඒ “නුවර හැඟීම” විඳින්න පුළුවන්.

ඒ ආකාස සූත්‍ර – The Gypsy Chapter එකේ දී..

A Gypsy Heart පොත මුලින් ම ඔබ අතට පත්වෙන්නෙත් එදාටමයි.

ඉතින් ඒ හැඟීම එදාට අඩු නැතුව බෙදාගනිමු…

More From Author

ශක්තිකගේ “කණ්ඩෙම්කාරයා්” හා යනුෂාගේ “දේවස්මිතා” පොත් දොරට වැඩුම ජුනි 23 දා මහනුවර පොත් ප්‍රදර්ශනයේදී

සියදිවි නසා ගැනීමේ සමාජ ගැටලුව

Leave a Reply

Categories

LDM Columns

https://www.facebook.com/profile.php?id=61575953530348