ආපදාවෙන් පසු ආපදා සිතිවිලි

මේක ආපදා අවස්ථාවක පුංචිම පුංචි සිදුවීම් සමූහයක් වුනත් මහ බරට හදවතේ රැඳුන සිදුවීම් සමූහයකි.

මේ ලියන අදටත් අපට නල ජලය නැත. නාගරික ප්‍රදේශයක ජීවත් වෙන නිසාවෙන් ලිං ජලය සපයා ගැනීමද අපහසු කාර්යයකි.

ආපදාව හේතුවෙන් අක්‍රිය වූ ජල සැපයුම යථාවත් කිරීමට වෙහෙසෙන ජාතික ජල සම්පාදන මණ්ඩලයේ නිලධාරින්, සේවකයින් දිව්වා රෑ නොබලා කටයුතු කරන බවද දනිමි.

ආපදාවෙන් විපතට පත් නොවූවත්, එදිනෙදා කටයුතු කරගෙන යාමට ඉතාම අවශ්‍ය ජලය නොමැති වීමෙන්ද ජන ජීවිතය අඩාල වූ බවද නොරහසකි. කරුණු කෙසේ වුවද, පසුගිය සඳුදා, එනම් දෙසැම්බර් පළමුදා සිට රාජකාරී කටයුතු සඳහා කාර්යාලයට ද වාර්තා කලෙමි.

වතුර නොමැතිව දින එක, දෙක ගෙවෙන විට, කොහේ හෝ වතුර ඇති බව ට ලද ආරංචි මාත්‍රයකින් පවුල් පිටින් තම ජල අවශ්‍යතා සපුරා ගැනීම සඳහා ඒ තැන් සොයා ඇදෙන පිරිස් ද, තම ළඟම නෑයා සමග දිය නා රෙදි බරට සෝදාගෙන නැවත පැමිණෙන පිරිස්ද රාජකාරී නිමවා එන අතරමග මට මුණ ගැසිනි. එවන් ගමනක් හෝ ගොස් මගේ ජල අවශ්‍යතාවය සපුරා ගැනීමට යාමට මගේ වයෝවෘද්ධ පියා සමග නොහැකිය. ඉදින්, අද, හෙට හෝ හැකි විගස වතුර ලැබෙන තුරා මම මග බලමි.

මා වෙසෙන ප්‍රදේශයේම නිවසක ළිඳක් ඇති බවත් එයින් මගේ ජල අවශ්‍යතා සපුරා ගැනීමට හැකි බවත් ලද සතුටුදායක ආරංචියෙන් පසු, මැසිවිල්ලකින් තොරව මගේත්, මගේ පියාගේත් ජල අවශ්‍යතා සපුරා ගනිමින් සිටිමි.

මෙය ලියන්නට සිත් වූයේ මගේ අපහසුතාවය දැන්වීමට නොවේමය.

තම ආදරණීය පවුල සමඟ වෙසෙන, තම දුක සැප බෙදා හදා ගැනීමට තම බිරිඳ ස්වාමියා, දරුවන් දැරියන් සිටින, එක්ව වාසය කරන, තම අපහසුතා කියන්නට කෙනෙක් අසන්නට කෙනෙක් සිටින හැමෝම සතුටු විය යුතුය. මට අනුව ආපදාවෙන් මියෙන්නට හෝ අපිට අපි එක්ව සිටී නම් ඒ ඇතිය.

එසේ නොවී,
මව එක තැනකය.
පියා එක තැනකය.
දරුවන් තව තැනකය.
ඒ හිත් වල ඇතිවන ගින්න නිවීමට මහ ජල කඳකටවත් බැරිය.

රටක් වශයෙන් අපි මුහුණ දෙන විවිධාකාර වූ ගැටලු ප්‍රශ්න වලින් එහාට ගිය, තනි තනි පුද්ගල වශයෙන් එකිනෙකා මුහුණ දුන්, මුහුණ දෙන ගැටලු කාටවත්, කෙසේවත් පහදා දිය නොහැකිය.

ආපදා තත්ත්වය එකිනෙකාට වෙනස් අයුරින් බලපානවා යනු එය ය.

මහා ව්‍යසනය අතරතුර, විදුලිය සම්පූර්ණයෙන්ම බිඳ වැටිණි.
දුරකථන සේවාවන් සම්පූර්ණයෙන්ම බිඳ වැටිණි. නිවසේ ඉහලම තැනට ගොස් එක කණුවක් හෝ පෙන්නුම් කරන විට ම’පුතු ඇමතූයෙමි. මගේ කාර්යාලයේ මගේ ශාඛාවේ උන් හොඳින් දැයි අසා එකිනෙකාට වෙන වෙනම නොව, වට්ස්ඇප් ගෲපයට පණිවිඩයක් එකතු කළෙමි. කොයිතරම් උත්සාහ කල ද සමහර ඇමතුම් සම්බන්ධ කර ගැනීමට නොහැකි ම විය. අවට සිදුවන කිසිදු දෙයක හාංකවිසියක් නොදැන, මම මගේ පියා සමග මහවැස්සේ බලා සිටියෙමි.

ඒ අතරතුර,
ඔබේ අපහසුතා සොයා නොබැලීම පිළිබඳව අමනාප නොවෙනු ඇතැයි ද සිතූයෙමි.

අවුලක් නෑ.. එයා ඉන්නේ තම පවුලේ අය එක්ක,..
එයා ඉන්නේ තම ස්වාමියා සමග..
එයා ඉන්නේ තම බිරින්දෑ සමග,..
එයා ඉන්නේ තම දරු දැරියන් සමග..

ඒ මං හිතන හැටියට..
මට හිටියානම් ඒ මට ලෝකයක් ම වන බැවිනි.

ඉදින්,..

මා දන්නා ඔබ සැවොම හොඳින් බව දැනී මම සතුටු වුනෙමි.

More From Author

ව්‍යසනයෙන් පසුව මානසික සෞඛ්‍යය ගොඩනැගීම

විපතට පත් වූ අපේම සොයුරු සොයුරියන්ගේ දුක වේදනාව අපට ආරෝපණය කරගෙන ලතෙත් හදකින් ඔවුන් දෙස බැලිය යුතු කාලයකි මේ.

Leave a Reply

Categories

LDM Columns

https://www.facebook.com/profile.php?id=61575953530348