ව්‍යසනයෙන් පසුව මානසික සෞඛ්‍යය ගොඩනැගීම

ලාංකීය ජනතාවට පසුගිය දින කිහිපය පුරා අත්දකින්නට වූ අඳුරු අත්දැකීම්, අනපේක්ෂිත විනාශ සහ ජීවිත හා වත්කම් අහිමිවීම් අතිශය දැඩි කම්පනයකට තුඩු දී ඇත. මෙම සිදුවීම් මඟින් පෞද්ගලික හා සමාජ ජීවිතය ගිල ගනිමින් මානසික කම්පනය (Trauma) තීව්‍ර කෙරී ඇත. ජනතාව වසර ගණනාවක් තිස්සේ ගොඩනගාගත් දේවල් සම්පූර්ණයෙන් හෝ කොටස් වශයෙන් අහිමි වී තිබීමත්, ආදරණීයයන්ගේ වියෝව ද ඒ කම්පනය තුළ දෝංකාර දෙයි. මේ මොහොතේ ඔවුන්ගේ හඬ මහා වේදනාවක් විසින් යටපත් කර දැමුනත්, නිසි සහයෝගය තුළින් ඒ හඬ යළිත් මතුකරගත හැක.

මෙවැනි තත්ත්වයකදී, පීඩාවට පත්වූ අය අසල සිටින විශ්වාසවන්තයෙකු විසින් “ඔබ පිළිගන්නවා” කීම ම අලුත් හඬක් ඇති කිරීම ට අතිශයින් වැදගත් වේ. තමන්ට කතා කරන්නට කෙනෙකු සිටිනවාද? විනිශ්චයෙන් තොරව තමන්ගේ කතාව අසන මිතුරෙකු සිටිනවාද? යන නිහඬ බලාපොරොත්තුවක් මේ හැම වින්දිතයෙක් තුළම ඇත.

මේ මොහොතේ විපතට පත් අය හට අවශ්‍ය කරන්නේ ඔවුන්ගේ වේදනාව හඳුනා ගන්නා සහ ඔවුන් ට සහායක් විය හැකි අයෙකු පමණයි. ඔවුන් සිතන දේ මොකක් වුවත්, මේ වින්දිතයින් ට තවම තමන්ට සිද්ධ වුණේ කුමක්ද කියා නිසි වැටහීමක් නැත. ඔවුන් ට සියල්ල අපැහැදිලි ය. මානසික කම්පනයේ සුවිශේෂිත්වය එයයි. එයට ඵලදායි ලෙස ප්‍රතිචාර දැක්වීම සඳහා කාලය ද, නිසි ක්‍රමවේද ද අවශ්‍ය ය.

මනෝ උපදේශකගේ භූමිකාව පැහැදිලි කිරීම

ව්‍යසනකාරී තත්ත්වයකදී මනෝ උපදේශකගේ භූමිකාව වටහාගැනීම වැදගත් ය. එය හුදෙක් උපදෙස් දෙන්නෙකු හෝ රෝගියෙකුට ප්‍රතිකාර කරන්නෙකු ලෙස කටයුතු කිරීම නොවේ. එය ඊට වඩා මානුෂීයිය හා සංවේදී මෙහෙවරකි.

විපතකට මුහුණ දුන් පුද්ගලයින් සිටින්නේ දැඩි බියකින් හා කම්පනයකින් නිසා, ඔවුන්ට සාමාන්‍ය උපදෙස් දීමෙන් වැඩක් නැත; එය ඔවුන්ව තවත් දුකට පත් කළ හැකිය. ඒ නිසා මනෝ උපදේශකගේ භූමිකාව සුවිශේෂී වන්නේ මෙවැනි අවස්ථාවකදී උපදේශනය ඉතා පරිස්සමෙන්, සංවේදීව සහ විශේෂ ක්‍රමවේද ඔස්සේ සිදු කළ යුතු බැවිනි. තීරණාත්මක වන්නේ, මෙම පුද්ගලයන්ට සිය ජීවිතය නැවත ගොඩනගා ගැනීමට අවශ්‍ය වන මුල්ම සහ වැදගත්ම මානසික ශක්තිය සහ පදනම සපයන්නේ මෙම උපදේශකයා වන බැවිනි.

මනෝ උපදේශක සතුව ප්‍රධාන ක්‍රියාකාරිත්වයන් තුනකි:

විපතට පත් වූ අය අසල සිටීම: මෙහිදී මනෝ උපදේශක භෞතිකව විපතට පත් වූ තැනැත්තා අසල සිටීම අදහස් කරනවාට වඩා, චිත්තවේගීයව අසල සිටීම වැදගත් වේ. ඔවුන්ගේ නිහඬ පෙනී සිටීම (Presence) මඟින් “ඔබ තනි වී නැත” යන ප්‍රබල හැඟීම ලබා දිය යුතුය. මෙම පෙනී සිටීම විපතට පත් වූවන්ට ආරක්ෂාවක් සහ නැවත විශ්වාසයක් ගොඩනගා ගැනීමට අවශ්‍ය මූලික පදනම සපයයි.

ඔවුන්ගේ හඬට කන් දීම සහ නිහඬ වේදනාවට සවන් දීම: මනෝ උපදේශකගේ ප්‍රධානතම කාර්යය වන්නේ සවන් දීමයි. මෙය හුදෙක් විපතට පත් වූ තැනැත්තාගේ වචනවලට පමණක් සවන් දීම නොවේ. මෙහිදී උපදේශක වඩාත් ගැඹුරින් අවධානය යොමු කළ යුත්තේ, විපත නිසා වචනවලට පෙරළා කීමට නොහැකි වූ, යටපත් වී ඇති දුක, බිය සහ කම්පනය වැනි හැඟීම් හඳුනා ගැනීම කෙරෙහිය. උපදේශකගේ භූමිකාව වන්නේ එම නිහඬ වේදනාව හඳුනාගෙන, එය පිළිගැනීම සහ වලංගු කිරීම (Validate) මඟින් ඔවුන්ට මානුෂීය සහනයක් ලබා දීමයි.

මානසික සෞඛ්‍ය ප්‍රථමාධාරය (Psychological First Aid):

මානසික සෞඛ්‍ය ප්‍රථමාධාරය (PFA) යනු හදිසි ආපදා අවස්ථාවකදී මානසික කම්පනයට පත් වූවන්ට ලබා දෙන මානුෂීයිය, උපකාරශීලි සහ ප්‍රායෝගික වැඩපිළිවෙලකි. මෙය සාමාන්‍ය මනෝ උපදේශනයක් නොවන අතර, පීඩාවට පත් අයගේ තත්ත්වය නරක අතට හැරීම වැළැක්වීමට මෙන්ම, සුවවීමේ ක්‍රියාවලියට පදනම දැමීමට අත්‍යවශ්‍ය වේ. PFA හි මූලික අවධානය යොමු වන්නේ, පීඩාවට පත් වූවන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම, ඔවුන්ට සැනසීමක් ලබා දීම, නිහඬව සවන් දීම සහ මූලික ප්‍රායෝගික අවශ්‍යතා සඳහා සහාය වීම කෙරෙහිය.

PFA හි ප්‍රධාන අංග කිහිපයක් පවතී. පළමුව, උපදේශක විසින් විපතට පත් වූවන්ට භෞතිකව හා චිත්තවේගීයව ආරක්ෂිත පරිසරයක් ලබා දිය යුතුය. දෙවනුව, ඔවුන්ගේ වේදනාවට විනිශ්චයන්ගෙන් තොරව සවන් දීම සහ කතා කිරීමට බල නොකිරීම වැදගත්ය. තෙවනුව, ඔවුන්ගේ හදිසි ප්‍රශ්න (උදා: ආදරණීයයන් හෝ නවාතැන් සොයා ගැනීම) විසඳා ගැනීමට ප්‍රායෝගික උපකාර ලබා දිය යුතුය. අවසාන වශයෙන්, ඔවුන්ට තම පවුලේ අය හෝ ප්‍රජාව සමඟ නැවත සම්බන්ධ වීමට (Connecting) උදව් කිරීම ද PFA හි වැදගත් කොටසකි.

කම්පනයට පත් වූවන් සමඟ කටයුතු කිරීමට පෙර මෙම පුහුණුව අත්‍යවශ්‍ය වන්නේ ඇයි? වැරදි වචනයක් හෝ ඉක්මන් මැදිහත්වීමක් මඟින් පුද්ගලයාගේ කම්පන තත්ත්වය තවත් උග්‍ර කළ හැකි (Re-traumatize) බැවිනි. එබැවින්, PFA පුහුණුව මඟින් උපදේශකයින්ට උපදෙස් දීමට ඉක්මන් නොවී, ආරක්ෂිතව සහ නිවැරදිව සහාය ලබා දෙන්නේ කෙසේද යන්න පිළිබඳව පැහැදිලි අවබෝධයක් ලැබෙන අතර, එය දිගුකාලීන සුවවීමේ ක්‍රියාවලියකට ශක්තිමත් පදනමක් සපයයි.

අර්ථවත් මනෝ උපදේශනයක් සඳහා මනෝ උපදේශකයා,

හුදෙක් වෘත්තීකයෙකු ට වඩා මිතුරෙකු (Befriender) විය යුතුය.

විනිශ්චයකාරී හෝ පාර්ශ්වික අදහස් ගෙන නොදක්වන, හදවතින්ම සවන් දෙන අයෙකු විය යුතුය.

විපතට පත් අය ට වචනයෙන් ප්‍රකාශ කිරීමට අපහසු හැඟීම් සහ වේදනාවන් හඳුනාගෙන, ඒවා පිළිගන්නා බවට විශ්වාසයක් තහවුරු කළ යුතුය.

‘කියවීම’ (වචන පිට කිරීම) නොව, සවන් දීම, අසල සිටීම, මිතුරෙකු ලෙස සහාය වීම යනු මනෝ උපදේශකගේ ප්‍රධාන මෙහෙවරයි.

අප දැනගත යුතු සත්‍යයක් ඇත: වැඩියෙන් කථා කිරීම මනෝ උපදේශනය නොවේ. ඇත්තටම, අවශ්‍ය කරන්නේ අනාගත බලාපොරොත්තුව ගොඩනගන සුවපත් බවේ හැඟීමයි (healing presence). අවබෝධයක් නැතිව කතා කිරීම, විපතට පත් ජනතාව තුළ කම්පනය යළි ඇති කරවීමේ (re-traumatize) විශාල අවදානමක් ඇත.

ඒ නිසාම, මහත් පීඩාවට පත් වූ අය අසල නිහඬව වාඩිවී සිටීම, ඔවුන් තනිකොට නැතැයි දැනුවත් කිරීම, නිරීක්ෂණය මත පදනම් වූ ශරීර භාෂාවක් පෑම — මෙය ආරක්ෂිත අවකාශයක් තනන්නාවූ මනෝ උපදේශන ක්‍රියාවලියයි.

යුද්ධය, සුනාමිය, පාස්කු ඉරුදින බෝම්බ ප්‍රහාර වැනි අවස්ථා වලදී, මානසික කම්පනයට ඇමතීම පිළිබඳ පළපුරුද්දක් නොමැති මනෝ උපදේශකයින්ගේ මැදිහත්වීම් හේතුවෙන් විපතට පත් අයට වැඩි හානි සිදුවූ අවස්ථා අප දැක තිබේ.

මේ නිසා, නිසි පුහුණුවක් නොමැති නම් මෙම ව්‍යසනකාරී අවස්ථාවේ උපදේශන කාර්යයේ යෙදීමෙන් වැළකී සිටීම ඉතා වැදගත් ය. එය සමාජය කෙරේ ඇති ආචාර ධාර්මික වගකීමකි. අපි කටයුතු කරන්නේ මිනිස් හදවත් සමඟයි. මානසික සෞඛ්‍යය යනු මනුෂ්‍ය ජීවිතයේ ඉතා වැදගත් හා තීරණාත්මක අංගයක් බව අවබෝධ කොට ගත යුතුය.

ඉවසීම මනෝ උපදේශකගේ ප්‍රධාන ගුණාංගයකි. නිරීක්ෂණය, විනිශ්චයෙන් තොරව සවන්දීම — මේවා පෞද්ගලිකව හොඳින් පුහුණු කළ යුතු කරුණු වේ. මෙය තාක්ෂණික පුහුණුවක් නොව, මානුෂික ගනුදෙනුවකි.

ශ්‍රී ලංකා රංග චිකිත්සකයින්ගේ සංගමය මෙම අවශ්‍යතාව හඳුනාගෙන, මානසික සෞඛ්‍ය ප්‍රථමාධාරය සහ විපතට පත් අය හට සහාය විය හැකි ක්‍රියා පටිපාටීන් පිළිබඳ පුහුණුවීම් ආරම්භ කිරීමට කටයුතු යොදා ඇත. දෙසැම්බර් 6 සෙනසුරාදා රාත්‍රී 8 සිට Zoom මඟින් පැවැත්වෙන මෙම සැසි, අත්දැකීම් හුවමාරු කරගැනීමට, කුසලතා වර්ධනය කිරීමට, සහ සත්කාරක භූමිකාව වඩාත් පුලුල් කරගැනීමට අවස්ථා සපයයි. ඕනෑම අයෙකුට මේ සැසිවලට එක්විය හැකිය.

මානසික කම්පනයකට ලක් වූ දරුවෙකුට ලෝකය දැනෙන්නේ අනාරක්ෂිත ස්ථානයක් හැටියට. මේ නිසා ඒ අයගේ ආරක්ෂකයින් ලෙස කටයුතු කරන අය නිරතුරුවම ඒ ආරක්ෂිත බවේ හැඟීම දරුවා තුළ යළි ස්ථාපිත කෙරෙන ආකාරයට කටයුතු කිරීම අවශ්‍යයි. දරුවාට ආරක්ෂිත බවක් දැනෙන වචන භාවිතා කරන්න: “මං ඔයා එක්ක ඉන්නවා. ඔයා පරිස්සමින්” යන තහවුරුව දරුවාට අවශ්‍යයි. කාංසාව දරුවාට තදින්ම දැනෙන දෙයක්. ඒ කාංසාව අනාරක්ෂිත බවින් උපදින දෙයක්. මේ නිසා දරුවාගේ සිතේ ඇති ඒ බිය පහවීමට සත්කාර සපයන්නා දරුවා ඉදිරියේ නිවුණු සහ සන්සුන් ස්වරයක් පවත්වා ගැනීම වැදගත්.

කම්පනයට පත් දරුවන්ට තම සංකීර්ණ හැඟීම් (කෝපය, දුක, භීතිය) වචනවලින් ප්‍රකාශ කිරීමට අපහසු වන අතර, ඒවා බොහෝ විට ආක්‍රමණශීලී හැසිරීම් හෝ නිශ්ශබ්දතාව ලෙස පිට කරයි. ඔවුන්ගේ හැඟීම් බැහැර නොකර, ඒවාට වලංගුතාවය ලබාදීම අවශ්‍යයි. “ඔයාට මේ වෙච්ච දේ ගැන ලොකු දුකක් දැනෙනවා” හෝ “අපිට බයක් දැනෙන දේවල් කොච්චර සිද්ධ වුනාද” වැනි අවබෝධය පෙන්වන ප්‍රකාශවලින් ඔවුන්ට ක්‍රියාශීලීව සවන් දෙන්න. කතා කිරීමට අකමැති දරුවන් වෙනුවෙන්, චිත්‍ර ඇඳීම, සෙල්ලම් චිකිත්සාව (Play Therapy), කතාන්දර කීම, රංග චිකිත්සාව (Dramatherapy) වැනි නිර්මාණාත්මක ක්‍රියාකාරකම් තුළින් ඔවුන්ගේ හැඟීම් ආරක්ෂිතව පිට කිරීමට අවස්ථාව සලසා දීම අවශ්‍යයි.

කම්පනයට පත් දරුවන්ගේ හැසිරීම්වල ඇතිවන වෙනස්කම් (නැවත ඇඬීම, ඇඟේ එල්ලී සිටීම, නිතර නිතර මුත්‍රා කිරීම වැනි) කම්පනයේ සාමාන්‍ය ප්‍රතිචාර බව වටහාගෙන ඉවසීමෙන් යුතුව කටයුතු කරන්න. ඔවුන් වඩාත් ශක්තිමත් විය යුතු යැයි අපේක්ෂා නොකරන්න. කෙසේ වෙතත්, මෙම කම්පන ලක්ෂණ සති කිහිපයකට වඩා පවතින්නේ නම්, දරුවාගේ එදිනෙදා කටයුතුවලට බාධා කරන්නේ නම්, හෝ දැඩි මානසික පීඩා ලක්ෂණ පෙන්නුම් කරන්නේ නම්, ඔබගේ නිවසේ සහයෝගය ප්‍රමාණවත් නොවිය හැක. එවැනි විටක, වහාම ළමා මනෝ වෛද්‍යවරයෙකුගේ හෝ පුහුණු මානසික සෞඛ්‍ය වෘත්තිකයෙකුගේ සහාය ලබා ගැනීම අත්‍යවශ්‍යයි.

ව්‍යසනයකින් පසු සුවය ලැබීම යනු ඉතාමත් පෞද්ගලික හා සංකීර්ණ ගමනකි. ඔබට නැවත ශක්තිය ලැබීමට සහ සාමාන්‍ය ජීවිතයට යොමු වීමට උපකාරී වන ප්‍රායෝගික පියවර කිහිපයක් පහත දක්වමි.

1. වේදනාව පිළිගන්න, එයට කතා කරන්න

හැඟීම්වලට වලංගුතාවක් දෙන්න: ඔබගේ වේදනාව, දුක, භීතිය, තනිකම සහ කෝපය වැනි හැඟීම් මේ මොහොතේදී සාමාන්‍ය බව (Normal) පිළිගන්න. මේ කිසිම හැඟීමක් “වැරදි” හෝ “උවමනාවට වැඩි” නොවේ.

කිසිවෙකු සමඟ සංසන්දනය නොකරන්න: ඔබ සුවය ලබන වේගය වෙනත් අයෙකු සමඟ සසඳන්න එපා. ඔබේ අත්දැකීම ඔබටම අනන්‍යයි.

විශ්වාසය තබන්න: ඔබේ සිත තුළ යටපත් වී ඇති දේ වචන බවට පත් කිරීමට උත්සාහ කරන්න. මේ ගැන කතා කිරීමට විශ්වාසවන්ත මනෝ උපදේශකයෙක් හෝ පුහුණුව ලත් මිතුරෙක්/පුද්ගලයෙක් සිටීම ඉතා වැදගත්ය. ඔබේ හදවතේ බර බෙදා ගන්න.

2. ආරක්ෂාව සහ සහයෝගය සොයන්න

තනිව සිටීමෙන් වළකින්න: කම්පනයට පත් වූ විට හුදෙකලා වීමට සිත් දෙනු ඇත. නමුත් තනිව සිටීමෙන් වළකින්න. පවුල, මිතුරන් හෝ ආගමික/ප්‍රජා කණ්ඩායම් සමඟ සම්බන්ධ වී සිටීම මානසික ශක්තියට උපකාර කරයි.

මූලික අවශ්‍යතා සුරක්ෂිත කරන්න: ඔබේ දෛනික අවශ්‍යතා (ආහාර, නවාතැන්, ජලය) හැකි ඉක්මනින් සුරක්ෂිත කරගන්න. භෞතික ආරක්ෂාව මානසික සුවයට පදනම සපයයි.

විශ්වසනීය තොරතුරු පමණක් ලබා ගන්න: නිරන්තරයෙන් ව්‍යසනයට අදාළ පුවත් හෝ සමාජ මාධ්‍ය නිරීක්ෂණය කිරීම නවතාලන්න. මෙය අනවශ්‍ය ලෙස කම්පනය යළි උග්‍ර කරයි (Re-traumatize). විශ්වසනීය මූලාශ්‍රවලින් පමණක් තොරතුරු දැන ගන්න.

3. කුඩා පියවර තබන්න

දෛනික චර්යාවක් සාදන්න: ව්‍යසනය නිසා බිඳ වැටුණු දෛනික චර්යාව (නිදා ගැනීම, අවදි වීම, කෑම ගැනීම) නැවත ඉතා සෙමින් හෝ ස්ථාපිත කරන්න. මෙය ජීවිතයේ යම් පාලනයක් ඇති බවට හැඟීමක් ලබා දෙයි.

සරල ඉලක්ක තබන්න: ජීවිතය යළි ගොඩනැගීම එක දිනයකින් සිදුවන්නේ නැත; එය දිනෙන් දින සිදුවන ක්‍රියාවලියකි. අද දවසේ කළ හැකි ඉතා කුඩා ඉලක්ක (උදා: ඇඳ පිළිවෙළ කිරීම, වතුර වීදුරුවක් පානය කිරීම) තබාගෙන ඒවා ඉටු කරන්න.

ශාරීරික සෞඛ්‍ය කෙරෙහි අවධානය යොමු කරන්න: හැකිනම් මද වේලාවක් ඇවිදීම හෝ මෘදු ව්‍යායාමයක යෙදෙන්න. ප්‍රමාණවත් තරම් ජලය පානය කර සමබර ආහාර වේලක් ගැනීමට උත්සාහ කරන්න. (ශරීරය සුව වූ විට සිත ද සුවය ලබයි.)

4. ඔබටම ඉඩ දෙන්න

ඉක්මන් වීමට උත්සාහ නොකරන්න: “මම ශක්තිමත් විය යුතුයි” හෝ “මම ඉක්මනින් සුව විය යුතුයි” යන පීඩනයෙන් මිදෙන්න. සුවය ලැබීමට ගත වන කාලය එක් එක් පුද්ගලයාට අනුව වෙනස් වේ.

හැඟීම්වලට ඉඩ දෙන්න: ඔබට අඬන්නට අවශ්‍ය නම් අඬන්න. කෝපය දැනේ නම් එය ආරක්ෂිත ආකාරයකින් පිට කරන්න. හැඟීම් යටපත් කිරීමෙන් වළකින්න. හැඟීම් ස්වභාවිකව පැමිණීමට ඉඩදීම සුවය ලැබීමට උපකාරී වේ.

සැනසීම සොයන්න: ඔබට සැනසීමක් හෝ සන්සුන් බවක් ලබා දෙන ක්‍රියාකාරකම්වල (භාවනාව, යාඥා කිරීම, සංගීතයට සවන් දීම) නිරත වන්න.

5. හෙට දවසට බලාපොරොත්තුව තබන්න

ආලෝකය දකින්න: විපතට පත් අයට අවශ්‍ය වන්නේ ඔවුන්ගේ හෙට දවසට ආලෝකයක් සහ නව බලාපොරොත්තුවක් ගොඩනැඟීමයි. මේ මොහොතේ ඇති වූ අහිමි වීම් ජීවිතයේ අවසානය නොවන බව විශ්වාස කරන්න.

අභිප්‍රේරණය සොයා ගන්න: ජීවිතය ඉදිරියට ගෙන යාමට අවශ්‍ය කුඩා අභිප්‍රේරණයක් සොයා ගන්න. එය පවුලේ අය, අනාගත සැලසුමක් හෝ ඔබ ප්‍රිය කරන විනෝදාංශයක් විය හැකියි.

ඔබේ පැවැත්ම අගය කරන්න: ඔබ මේ තරම් කම්පනයකට මුහුණ දී තවමත් ජීවත් වීම ඔබේ ශක්තිමත් භාවයේ විශාල සාක්ෂියකි. ඒ ගැන ආඩම්බර වන්න.

ව්‍යසනයකින් පසු මානසික සෞඛ්‍යය යළි ගොඩනැගීමේ ගමන යනු ඉක්මන් අවසානයක් අපේක්ෂා කළ නොහැකි, ඉවසීම සහ සත්‍ය අවබෝධය අවශ්‍ය වන දීර්ඝ ක්‍රියාවලියකි. මේ මොහොතේදී, මනෝ උපදේශකගේ ප්‍රධාන වගකීම වන්නේ විනිශ්චයෙන් තොර මිතුරෙකු (Befriender) ලෙස, විපතට පත් වූවන්ගේ වේදනාවට සවන් දීමයි.

සැබෑ සුවය ගොඩනැඟෙන්නේ, උපදේශක විසින් ඇතිකරන ආරක්ෂිත සහ විශ්වසනීය පරිසරය තුළයි. මෙම මානුෂීය බැඳීම තුළින් විපතට පත් වූවන්ට ඔවුන්ගේ ජීවිත යළි ගොඩනඟා ගැනීමට අවශ්‍ය මානසික ශක්තිය සහ හෙට දවස පිළිබඳ නව බලාපොරොත්තුවක් හිමි කර දේ. මානසික සෞඛ්‍යය යනු හුදෙක් රෝගයක් සුව කිරීම නොව, මනුෂ්‍ය ජීවිතයේ ගෞරවය (dignity) යළි තහවුරු කිරීමයි.

අධ්‍යක්ෂක – රංග චිකිත්සන පර්යේෂණ ආයතනය

More From Author

ජීවිතයට පාඩම් උගන්වන්න දිට්වා ට වැඩිකාලයක් ගත වුනේ නෑ

ආපදාවෙන් පසු ආපදා සිතිවිලි

Leave a Reply

Categories

LDM Columns

https://www.facebook.com/profile.php?id=61575953530348