සිහින

ඉතා කාර්යබහුල පැය ගණනාවකට පසුව පැමිණි පළමු නිස්කලංක මිනිත්තු කීපය ඇරඹුණු වහා මා පුටු ඇන්දට හේත්තු වී මඳක් දෑස පියා ගත්තේ නින්දක ඕනෑකමක් ඇතිව නොවේය. එහෙත්, තෙහෙට්ටුව විසින් මගේ දෑස නිද්‍රාවට පත් කොට තිබුණි. නිද්‍රාවෙන් මා අවදි වූයේ දැක දැක සිටි සිහිනයක් මැදදීය. ඒ, නිවෙසට පැමිණි අමුත්තෙකුට වටලප්පමකින් සංග්‍රහ කිරීමට සිතා රූපවාහිනියේ විකාශනය වෙමින් තිබුණු අතුරුපස වෙළඳ දැන්වීමක් තුලට රූපවාහිනී තිරය හරහා අත පොවන්නට යනවිටය. ඔබත් ඇතැම් විට මෙවැනි විකාරරූපී සිහින දැක ඇතුවා වන්නට පුළුවන. එක්කෝ ඉතාම සුන්දර සිහින දකිනවා වන්නටත් පුළුවන. එසේත් නැතිනම් භයංකර සිහින දුටු මතකයක් ඔබට තිබෙනවා ඇති. ඒ අතර තමා කිසිදු සිහිනයක් දැක නොමැති බව පවසන්නන්ද සිටිය හැකිය. සිහිනයක් දුටු බව මතක මුත් එම සිහිනය කුමක්දැයි කියා අමතක වෙනවා වන්නටද පුළුවන. ඉතින්, මේ සිහින තුල තිබෙන විද්‍යාව ගැන ඔබ දන්නවාද?

ඔබ දකින සිහින ඔබට මතකද?

සමහරු අවදි වන්නේ නින්දේදී දුටු හෝ නින්දේදී දකිමින් සිටි සිහිනයෙහි දෙබස්, පරිසරය, සිදුවීම් ආදී සියල්ල ක්ෂණිකව සිහියට නඟා ගනිමිනි. තවත් සමහරෙකුට නින්ද හිස් කරදාසියක් මෙනි. ඔබ හිඳින්නේ මේ අතුරින් කුමන ඛාණ්ඩයේද? නින්දේදී දුටු සිහිනය අකුරක් නෑර මතකයට නඟා ගැනීමට ඔබට පුළුවන්ද? විචිත්‍රවත් විස්තර සහිතව සිහිනය මතකයේ තබා ගැනීමට ඔබට හැකි නම්, ඉන් අදහස් වනුයේ ඔබගේ මොළයේ පවතින එක්තරා තත්ත්වයකි.

ලොව පුරා මනෝ විද්‍යාඥයින් දශක ගණනාවක් තිස්සේ මේ පිළිබඳව නොයෙකුත් අධ්‍යයනයන්හි නිරත වී තිබේ. ඒවාට අනුව සිහින මතකයේ තබාගත හැකි වීම අහඹු පුරුද්දක් හෝ අහඹු හැකියාවක් නොවේ. එය කෙනෙකුගේ අවධානය, පරිකල්පනය සහ ඔහු සිය අභ්‍යන්තර ලෝකය හා කෙතරම් ගැඹුරින් සම්බන්ධ වනවාද යන්න සමඟ බැඳී පවතින්නකි. ඔබත් රූපවාහිනියේ නැරඹූ ටෙලි නාට්‍යයක් සේ ඔබ දුටු සිහින මතකයට නඟාගත හැකි අයෙකු නම්, පහත ලක්ෂණ ඔබ සතුව තිබේදැයි විමසා බලන්න. මේ ඔවුන් සතු ලක්ෂණ කීපයකි.

 01. ඔබ ඔබේ සිත තුලට එබී හිඳින්නෙකි.

සිහින මතකයේ තබාගන්නා අය බොහෝ විට තමන්ගේ සිත තුලට එබී බොහෝ වේලාවක් කාලය ගත කරති. එහිදී ඔවුන් කල්පනා කිරීම, කළ – කී – සිතූ දෑ විශ්ලේෂණය කිරීම, ඒවා පිළිබඳ නැවත නැවත ස්වයං සංවාදයන්හි යෙදීම වැනි දෑ හි නිරත වෙති. මෙම ස්වයං ආවර්ජන පුරුද්ද ඔවුන් නිදා සිටිය ද නොනැවතී සිදුවේ.

අවදිව සිටියදී තම අභ්‍යන්තර ලෝකය කෙරෙහි අවධානය යොමු කරන පුද්ගලයන් තුල සිහින පිළිබඳව තිබෙන මතකය ප්‍රබලය. ඔවුන් ඒවායේ හැඟීම්වල තිබෙන කුඩා වෙනස්කම් වුව දකිති.

මනෝ විද්‍යානුකූලව මෙය මෙටාකොග්නිශන් හෙවත් පාරදෘෂ්‍යතාවය ලෙස නම් කරයි. ඒ ඔබේම සිතීම ගැන සිතීමට ඔබට තිබෙන හැකියාවයි. මෙම සිතුවිලි සහ අත්දැකීම් පිළිබඳව ස්වභාවිකවම මෙනෙහි කරන පුද්ගලයන් තුල සිහින මතකයේ තබා ගැනීමේ හැකියාව ඉහළ මට්ටමක පවතී.

 02. ඔබ වඩාත් පරිකල්පනීය අයෙකි.   

ඔබේ සිහින – කලාත්මක සිනමා පට හෝ මනඃකල්පිත නවකතා මෙන් ඔබට දැනෙනවා නම්, ඔබ ශක්තිමත් පාරිකල්පනික දක්ෂකමක් ඇති අයෙකි. කුඩා කල වේවැලක් අතට ගෙන පුටුවලට, ගස් කොටන්වලට තරවටු කරමින් ලොවක් තනන්නට දවල් හීන දකිමින් කතන්දර මැවූ අය මේ අතර සිටිති.

ලොව පුරා සිදුකර තිබෙන පර්යේෂණවලින් පැහැදිලි කෙරෙන ආකාරයට සජීවී, සවිස්තරාත්මක සිහින වාර්තා කළ හැකි බව අයෙකුගේ නිර්මාණශීලීත්වය, කුතුහලය සහ නව්‍යතාවයට ඇති ආශාව පිළිබිඹු කරයි. ඔවුහු සිහින මතක තබාගන්නවා පමණක් නොව, සිහිනය දකින විට ඒ තුල ජීවත් වෙති; කොටින්ම අවදි වූ පසු සිහිනයේ ඉතිරි කොටස දකින්නට ආශා කරති.

03. ඔබ චිත්තවේගීය වශයෙන් වඩාත් සංවේදී අයෙකි.

සිහින යනු බොහෝ විට චිත්තවේගීය සෙල්ලම් පිට්ටනියක් වැන්නකි; කොටින්ම සිහින යනු චිත්තවේගීය සෙල්ලමකි. ඒ කුමක් වුවත්, සිහිනවලින් සිතුවිලි ඇවිස්සේ.

තමා දකින සිහින සවිස්තරාත්මකව සිහිපත් කළ හැකි පුද්ගලයින්ට ඉහළ චිත්තවේගීය සංවේදීතාවයක් තිබෙන බව පිළිගැනේ. එයින් අදහස් කෙරෙනුයේ ඔවුන් රූපවාහිනියේ දකින ඕනෑම සංවේදී රූපරාමුවක් දැක කඳුලු සලන බව නොවේ. එහෙත් ඕනෑම සිදුවීමක් ඔවුනට ගැඹුරින් දැනේ. ඔවුන් නින්දේ පසුවන විට එම හැඟීම් අවදි වේ.

තමා දකින සිහින පිළිබඳ මතකය ඉහළ යෑම, මොළයේ සංවේදනය සහ චිත්තවේගීය දැනුවත්භාවයට වග කියන කලාප සමඟ වැඩි සබඳතාවයක් තිබෙන බව ස්නායු විද්‍යාඥයින්ගේ අදහසයි.

අන් පුද්ගලයින් නොතකා හිඳින චිත්තවේගීය ධාරාවන් තරයේ ග්‍රහනය කරගන්නා පුද්ගලයින් තුල මේ සබඳතාවය ශක්තිමත්ව පවතී. කිසිවක් සිදු නොවී තිබියදී පවා යටිපෙළින්  මතුවන ගැටළුව ඔවුනට වටහා ගන්නට හැකිවේ. ඔවුන්ගේ මෙම සංවේදීතාවය, සිහිනවලදී සංකේතාත්මක දර්ශනවලට ආරෝපණය වීමක් සිදුවේ.

04. ඔබ සැහැල්ලුවෙන් නිදාගන්නෙකි.

නින්දේ අවධි කිහිපයක් තිබේ. ප්‍රධාන වශයෙන් NREM (Non-Rapid Eye Movement) සහ REM (Rapid Eye Movement) ලෙස ප්‍රධාන වශයෙන් වෙන් කෙරෙන මෙම අවධි දෙක තවත් අනු අවධිවලට ද බෙදේ. ඒ අතුරින් අපට වැඩිපුරම සිහින පෙනෙනුයේ  REM අවධියේ දීය. එම අවධියේ අවදිවන්නට නැඹුරුවන පුද්ගලයන්ට සිහින මතක තබාගැනීමේ වැඩි ඉඩක් පවතින බව කියැවේ.

සැහැල්ලුවෙන් නිදාගන්නන් නින්ද නොයෑමේ ලක්ෂණ නොපෙන්වන අතර නින්දේදී ඔවුන්ගේ මොළය වඩාත් ප්‍රතික්‍රියාශීලීය. ඉතා කුඩා කටහඬකට හෝ සිහින් කෙඳිරුමකට වුව ඔවුන්ව ගැඹුරු විවේකයෙන් පිටතට ඇද ගත හැකිය. ඒ අවදිවන මොහොතේදී දකිමින් සිටි සිහිනය ඔවුන් සමඟ සජීවීව රැඳී පවතින්නා සේ ඔවුනට කල්පනා වේ.

 05. ඔබ ස්වභාවයෙන්ම කුතුහලයෙන් යුතු අයෙකි.

සිහිනයේ අර්ථය, සංකේතවාදය සහ එහි සැඟවුණු ස්ථර පිළිබඳව වඩාත් කුතුහලය සහිතව කල්පනාවට ගන්නා මොවුන් අවදි වී මිනිත්තු කිහිපයක් ගිය තැන සිහිනය අමතක කොට දමා නොහිඳ ‘සිහිනයෙන් කුමක් අදහස් වන්නට ඇතිදැ‘යි විමර්ශනය කරයි.

මෙම කුතුහලය නිසාම ඔවුන් සිහින කෙරෙහි වැඩි උනන්දුවක් දක්වති. සිහින ඔවුන්ගේ මතකයේ රැඳීමට තිබෙන ඉඩකඩ වැඩි වන්නේ ඒ නිසාය. එහි ප්‍රතිඵලයක් ලෙස මොළය සිහින දැකීමේ ඕනෑකම ඇති කර ගනියි.

මේ ප්‍රවර්ගයේ පුද්ගලයන් සතු එකී කුතුහලය පවතිනුයේ සිහින කෙරෙහි පමණක් නොව, ජීවිතයේ අනෙකුත් අංශවලදී ද එය විද්‍යාමාන වේ. නිතර ප්‍රශ්න නඟන්නේ ද, මතුපිටින් පවා ගැඹුරට ගවේශනය කරන්නේ ද, බොහෝ අය නොසලකා හරින දෑ පවා තේරුම් ගැනීමට උත්සාහ කරන්නේ ද මේ ආකාරයේ පුද්ගලයන්ය.

06. ඔබ පැහැදිලි බහු අරුත් සමඟ ඕනෑකමින් ගනු දෙනු කරයි.

සිහින යනු ඇත්තෙන්ම සැබෑම තේරුමක් ගෙනෙන රූපරාමු පෙළක් නොවේ. බොහෝ විට ඒවායේ කිසිදු තේරුමක් නැත. අගක් මුලක් නොමැති සිදුවීම්, කිසිදු දිනෙක හමු නොවුණු පුද්ගලයන් සමඟ ඇති ඉතා ළඟ යාලු මිතුරුකම් වැනි තුන් හිතකවත් නොතිබුණු දෑ පවා සිහින අප වෙත රැගෙන එයි. 

නමුත් ඒවායේ නොවිසඳුණු තැන් සොයමින්, සංකේතාර්ථ විශ්ලේෂණය කරමින්, විකාරරූපී සිදුවීම් මැද රැඳී සිටින්නට ‘සිහින මතක තබාගන්නෝ‘ කැමැත්තෝය. එසේම, නම්‍යශීලී බව ඔවුන්ගේ තවත් එක් පොදු ලක්ෂණයකි. ඔවුන් දැඩි මතධාරීන් නොවන අතර ප්‍රතිවිරෝධතා ඉවසා දරා ගැනීමේ හැකියාවද පවතී. සිහිනවලින් දකින දෙයෙහි බහු අරුත් සොයමින්, අභිරහස් සමඟ ජීවත් වීමට ඔවුනට හැකිය.

ඉතින්, ඒ කියැවෙන ආකාරයට සිහින මතක තබා ගැනීම විජ්ජාවක් නොවේ. නමුත් එහි අරුතක් තිබේ. එය අභ්‍යන්තර සියුම්තාවයට සහ පරිකල්පනයට සුසර වූ මනසක් පිළිබිඹු කරයි. ඔබේ සිහින ගුප්ත ප්‍රහේලිකා ලෙස ඔබට හැඟුණත්, විකාරරූපී සිදුවීම් නැවත නැවතත් ප්‍රතිවිකාශනය වන ලෙස ඔබට දැනුණත් ඒවා පවසන්නේ ඔබ ලෝකය දකින ආකාරය සහ ඔබට ලෝකය දැනෙන ආකාරය පිළිබඳවයි. ඉතින්, මෙම ලිපිය හරහා අපගේ අවධානය යොමු කළ යුතු වන්නේ සිහිනයේ තේරුම සොයා යාම නොව, සිහිනය අපේ මතකයේ රඳා පවතින්නේ කෙසේද කියා විමසා බැලීමයි.

තොරතුරු අන්තර්ජාලයෙනි.

More From Author

මගේ පළවෙනි කාව්‍ය අත්පිටපත වූ ‘කොලු පැටියෙක් උපදිනකං’ සංස්කරණ කිහිපයකින් පසු, ‘ඇස් දොළහක් හය විදිහක්’ නමින් මගේ දෙවෙනි කවි පොත විදිහට 2024 දී පාඨකගත වුණා.

Object-Oriented Ontology – (OOO): ප්‍රායෝගික මානව අවශ්‍යතා ඉක්මවා යන පාරිසරික දේශපාලනයක් නව දේශපාලනික සහ ආචාරධාර්මික මානයක් කරා (දෙවන කොටස)

Leave a Reply

Categories

LDM Columns

https://www.facebook.com/profile.php?id=61575953530348