ප්‍රවීණ වේදිකා නාට්‍ය අධ්‍යක්ෂක හා ලේඛක සරත්චන්ද්‍ර වල්පොල මෙවර ලංකා ඩේලි මේල් වෙබ් අඩවියේ අරුනැල්ල සමඟ එක්වෙයි.

ප්‍රශ්නය : ඔබ 2024 දී එළිදැක්වූ ‘ඇස් දොළහක් හය විදිහක්’ කාව්‍ය සංග්‍රහය පිළිබඳව කෙටි හැඳින්වීමක් කළොත්?
පිළිතුර : මේ කෘතිය මුද්‍රණයෙන් පළවූ දෙවෙනි කාව්‍ය සංග්‍රහය වුණාට මෙය මගේ ප්‍රථම කවි අත් පිටපත. අත් පිටපත නාමකරණය කරලා තිබ්බෙ මේ පොතේ එන කවියක් වන ‘කොලු පැටියෙක් උපදිනකං’ නමින්.
කොවිඩ් වසංගත සමයේ මා විසින් ලියූ කෙටි කවි එකතුවක් අත් පිටපතක් ලෙස 2021 අගොඩගේ අත් පිටපත් තරඟයට යොමු කළා. එනිසා එය 2021 ගොඩගේ අත් පිටපත් ප්‍රශස්ත කාව්‍ය කෘතියක් ලෙස ඇගයුමට ලක් වී 2022 දී ‘බෝ දෑ නික්මෙති’ නමින් එය පළවුනේ මගේ පළවෙනි කාව්‍ය සංග්‍රහය විදහට. ඒ අනුව ඒක අහඹු සිදුවීමක්.
ඉතින් මං මගේ පළවෙනි කාව්‍ය අත් පිටපත වූ ‘කොලු පැටියෙක් උපදිනකං’ සංස්කරණ කිහිපයකින් පසුව ‘ඇස් දොළහක් හය විදිහක්’ නමින් මගේ දෙවෙනි කවි පොත විදිහට 2024 දී සිලිකා ප්‍රකාශණයක් විදිහට පාඨකගත වුණා.


ප්‍රශ්නය : බෝ දෑ නික්මෙති’ සහ ‘ඇස් දොළහක් හය විදිහක්’ කාව්‍ය සංග්‍රහවලට අමතරව ඔබ විසින් රචනා කළ කෘති මොනවාද?
පිළිතුර : චන්ද්‍රරත්න බංඩාරගේ සම්මානිත නවකතාවක් වූ ‘ප්‍රේමානිශංස’ කෘතිය සාහිත්‍ය කථිකාවේ අධිපති ස්ථාපිත ආයතනවලින් ඇගයුමට ලක්වීමට පෙර මා එකී කෘතිය පිළිබඳව ජගත් වීරසිංහ සමග කළ සංලාපය ‘කර්තෘගේ මරණය සහ කියවන්නාගේ උත්පත්තිය’ හෙඩිමෙන් යුතු දීර්ග ලියවිල්ලක් වූ නිසා එය පුවත්පතක පළ කිරීමට නොහැකි වුණා. කෙසේ හෝ එම දීර්ග සංලාප ලිපියත් සමග මාධ්‍ය අවකාශයේ සහ ඩිජිටල් ප්ලැට්ෆෝම් එකේ ‘ප්‍රේමානිශංස’ ගැන පළවූ විචාර ලිපි එකතුවක් සංස්කරණය කර ‘කර්තෘගේ මරණය සහ කියවන්නාගේ උත්පත්තිය ප්‍රේමානිශංස විචාර විමංසන’ නමින් ග්‍රන්ථ සංස්කරණයත්, සංගීතවේදී නවරත්න ගමගේ පිළිබඳව ‘නවා ගවේෂණශීලී යුග යාත්‍රිකයා’ ග්‍රන්ථය මනුබන්ධු විද්‍යාපති සහ ආරියවංශ ධම්මගේ සමගත් සංස්කරණය කළා. ‘පරිප්පු වැස්සක බත් ගුලි’ නමින් කෙටි කතා අත්පිටපත ලබන වසරේ දී කෘතියක් ලෙස පළ කිරීමට සූදානම් වෙනවා.


ප්‍රශ්නය : වර්තමාන සාහිත්‍ය නිර්මාණ පිළිබඳ ඔබේ ඇගයීම කෙබඳුද?
පිළිතුර : දැන් සෑම වසරක ම සාහිත්‍ය මාසය ළංවන විට විවිධ ශානරයේ කෘති පළවීම ප්‍රමාණාත්මකව වැඩියි. ඒක එක්තරා ආකාරයක සාධනීය තත්වයක් සේ පෙනුනත් එහි ගුණාත්මක බව ගැන නම් කුකුසක් තියෙනවා. මෙවන් පසුබිමක නම් වශයෙන් ලැයිස්තුවක් ඉදිරිපත් නොකළත් කවි, කෙටිකතා, නවකතා, යොවුන් නවකතා ආදී පොහොසත් සාහිත්‍ය කෘති ගනනාවක් ම බිහිවීමත් සතුටට කාරණයක්. අනෙක් කණගාටුදායක කාරණය නිසි විචාර ක්‍රමවේද නොමැතිකම. අසූව අනූව දශකවල පියසීලි විජේගුණසිංහ සුචරිත ගම්ලත් සුසංයෝගයේ මාක්ස්වාදී විචාර ක්‍රම වේදයවත්, අනූවෙ අග සහ සහසක්‍රයේ දී දීප්තිලා ගෙනාව මනෝවිශ්ලේෂනයවත් අද සංගත ලෙස ඉදිරිපත් වෙන්නෙ නෑ. විචාර විකාර ලෙස උඩු යටිකුරු වෙලා. දායක සභාවල පිට කසාගැනීම් වැනි ගෝත්‍රික ක්‍රියා නිසා පොහොසත් සාහිත්‍ය කෘති සහ ඊට නිර්මාණාත්මක ශ්‍රමයක් ලබාදෙන ලේඛක ලේඛිකාවන්ව හිතා මතා ම අපගමනයට ලක් කරනවා. කෘතියක ආකෘතියේ නව්‍ය බව හෝ අන්තර්ගතයේ බහු ශාබ්දික විචිත්‍රවත් බව අමතක කර තම තමන්ගේ කල්ලිවාදී දේශපාලන දෘෂ්ටිවාදයන්ට මුල්තැන දෙනවා.
අනෙක අපේ කොදෙව්වේ ලේඛකයෙක් හෝ ලේඛිකාවක් ලෙස භෞතීස්ම කරන්නේ කවි පොතක් හෝ කෙටි කතා පොතක් හෝ නව කතා පොතක් හෝ පළ කළොත් පමනයි. මහා සමාජයට කෘති සම්පාදනය නොකළාට පත්තරවලට හෝ ඩිජිටල් ෆ්ලැට්පෝමයේ අභ්‍යාස කරන සහ ඒ මාධ්‍යවලටවත් නොලියන ප්‍රතිභාව තියෙන ලේඛක ලේඛිකාවො අනන්තවත් ඉන්නවා. ඔවුන්ට ඉදිරියට ඒමට ලේඛකාධාර ව්‍යාපෘති විවිධ අඩු පාඩු මධ්‍යයේ වුව තිබීම තරමක් දුරට හෝ සතුටුදායක තත්වයක්.
ඒ වගේම විවිධ ශානරයේ ඉතා පොහොසත් පරිවර්තන සහ ස්වතන්ත්‍ර සාහිත්‍ය කෘති බිහිවීම පැසසුම් කටයුත්තක්. ඔවුන්ට ගෞරවයක් ලෙස ඔවුන්ගේ නම් සහ කෘතිවල ලැයිස්තුවක් ඉදිරිපත් නොකරන්නේ මෙවන් අවකාශයක එක නමක් හෝ මගහැරී ගියොත් එය ඔවුන්ට වෙන අසාධාරණයක් නිසා.
ප්‍රශ්නය : ඔබ සම්මානලාභී නාට්‍ය නිෂ්පාදකවරයෙක්, ඒ ගැන සඳහන් කළොත්?
පිළිතුර : මගේ ප්‍රකාශන මාධ්‍ය දෙක කවිය සහ නාට්‍යය. මං ඉසිපතනෙ උසස් පෙළ ඉද්දි 1985 දී ‘පිළිලය’ නමින් වේදිකා නාට්‍යයක් කළා. එහි මංගල දර්ශනය විතරක් 1985 ජනවාරි 27 ලුම්බිනියේ දී වේදිකා ගත කළා.
1988 යෞවන සම්මාන උළෙලේ මං රචනා කරලා නිෂ්පාදනය කරපු ‘සම්ප්‍රාප්තිය’ කෙටි නාට්‍යයට හොඳම නිෂ්පාදනය දෙවෙනි ස්ථානය, රචනය කුසලතා ඇතුළුව සම්මාන හයක් ලැබුණා. රොජර් සෙනෙවිරත්න මිතුරා නිසා සුගතපාල ද සිල්වාගේ ‘මරාසාද්’ නාට්‍යයේ වේදිකා කළමනාකරුවෙක් විදිහට වැඩ කළා. මාස අටක පමන පුහුණුවීම් කාලය ඉතා හොඳ වැඩබිමක් සහ සුගත් සර් වැනි අධ්‍යක්ෂකවරයෙක් සමග වැඩ කිරීම රංගකලා විශ්ව විද්‍යාලයක රංග කලාව හැදෑරීමක් වගේ වුණා. එය මගේ නාට්‍ය ජීවිතයට සහ නාට්‍ය ගැන හැදෑරීමට මග පෙන්වීමක් වුණා.
මං දීර්ග කාලයක් වැඩ නොකර පොත් කියවමින් නාට්‍ය සහ චිත්‍රපට කියවමින් රස වින්දා. ආයෙමත් මං දීර්ග නිද්‍රාවකින් පසු ඇහැරුණේ 2014 දී ‘මට ඉඩක් නැද්ද’ කෙටි නාට්‍යය රචනා කර නිෂ්පාදනය කිරීමෙන්. එය දහදිය සිත්තම, වේදිකාවෙන් මහ පොළොවට, අන්තර් රාජ්‍ය සේවක නිර්මාණ තරඟාවලිය, රාජ්‍ය නාට්‍ය උළෙල නියෝජනය කරමින් සම්මානිතව ඇගයුමට පාත්‍ර වුණා. එහි රඟපෑ මිහිරි ප්‍රියංගනී යාපාට හොඳම නිළිය සම්මානය සහ මට අධ්‍යක්ෂණයට ජූරියේ සම්මානය, සුමේධ හේවාවිතාරණට හොඳම අංග රචනය, හොඳම රංගාලෝකය වශයෙන් උළෙල කීපයක දී ම ඇගයුමට පාත්‍ර වුණා. 2019 දී වාචික අභිනය රහිත පර්යේෂණාත්මක කෙටි නාට්‍යයක් මාස හයක පමන වර්ක් ෂොප් එකක් කරමින් නිෂ්පාදනය කළා. දීප්ති දහනකගේ ‘විනි විදි විසි’ කෙටි කතාව ඇසුරින් ‘මගේ අරමුණ ඈව බේරා ගැනීම’ කෙටි නාට්‍යය ආරිවවංශ ධම්මගේ සමග සම අධ්‍යක්ෂණය කළා. ඒ නාට්‍යයත් 2023 රාජ්‍ය නාට්‍ය උළෙල අවසාන වටය සහ වේදිකාවෙන් මහපොළොවට අවසාන වටය නියෝජනය කරමින් ඇගයුමට පාත්‍ර වුණා.
2025 දී ඒක පාත්‍ර වාචික අභිනය රහිත ‘Dummy’ කෙටි නාට්‍යය කොළඹ ජාත්‍යන්තර රංග කලා උළෙල දකුණු ආසියානු අංශය අවසාන වටය සහ ඊට සමගාමී ඉන්දියාවේ ඇසෑම් හි බූලෝන් බූතූර් රංග කලා උළෙල නියෝජනය කළා. ඒ නාට්‍යයේ විශිෂ්ට රංගධරයෙක් වන සමිත සුධීෂ්වර තමයි රංගාවතරණයේ යෙදුණේ. ඔහුගේ රංගනය ඇසෑම් නාට්‍ය උළෙළට පැමිණි ක්‍රොයේෂියාව, රුමේනියාව, ටියුනීසියාව, දකුණු කොරියාව සහ ඉන්දියාව ආදී රටවල වෘත්තිමය නාට්‍ය කරුවන්ගේ ප්‍රශස්ත ඇගයුමට ලක් වුණා.

ප්‍රශ්නය : ඉදිරියට පැමිණීමට තිබෙන නව නිර්මාණ මොනවාද?
පිළිතුර : මං කලින් සඳහන් කළ ‘පරිප්පු වැස්සක බත් ගුලි’ කෙටිකතා සහ ‘බිඳිති’ කෙටි කවි එකතුවත් ඉදිරි වසරේ දී එළි දක්වන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේ ම දීප්ති දහනකගේ කෙටි කතාවක් කෙටි නාට්‍යයක් ලෙස වේදිකාවට ගේන්නත් පෙර සූදානම්වල යෙදෙනවා.
සංවාද සටහන: සුභාෂ්
බෝදෑ නික්මෙති|Bode Nikmethi සහ අනෙකුත් කෘති පිළිබඳ [YouTube] කෙටි වීඩියෝව පහත සබැඳියෙන් නැරඹිය හැකිය.





