ආචාර්ය රවින්ද්‍ර රණසිංහ:
රටක් වශයෙන් මහා විපතකට මුහුණ දී ඇති මේ අවස්ථාවේ, අපගේ දරුවන්ගේ මානසිකත්වය ට හා චිත්තවේගයන් ට සිදුවී ඇති බලපෑම අතිශය තදබල ය. විපතට පත් දරුවන් මානසික කම්පනය (Trauma), දැඩි භීතිය, තනිකම, අසරණ බව සහ තමන්ට අහිමි වූ දේ පිළිබඳ ශෝකය වැනි සංකීර්ණ හැඟීම් සමුදායකට මුහුණ දී සිටිති. මේ තත්ත්වය යටතේ, සාම්ප්‍රදායික කතාබහ මත පදනම් වූ චිකිත්සාවන්ට (Talk Therapy) අමතරව, ඔවුන්ගේ සුවය සහ මානසික සෞඛ්‍යය ගොඩනැගීම සඳහා විශේෂිත වූ, නිර්මාණාත්මක චිකිත්සනීය ක්‍රමවේද (Creative Arts Therapies) භාවිතා කිරීමේ අවශ්‍යතාවය ලොව පුරා පිළිගෙන ඇත. මෙම ක්‍රම දරුවන්ට ඔවුන්ගේ අභ්‍යන්තර වේදනාව වචනවලින් තොරව ප්‍රකාශ කිරීමට, ඒවාට මුහුණ දීමට සහ ක්‍රමයෙන් ඒවා පාලනය කරගැනීමට මහඟු අවස්ථාවක් සපයයි. ක්‍රීඩා චිකිත්සාව, රංග චිකිත්සාව, චිත්‍ර කලාව, කතන්දර කලාව, සංගීතය, නැටුම හා චලනය වැනි ක්‍රමවේද මෙහිදී සාර්ථකව යොදාගත හැකිය.
1. ක්‍රීඩා චිකිත්සාව (Play Therapy) සහ සෙල්ලම් භාවිතයේ බලය
විපතට පත් දරුවන්ගේ මානසික සුවය සඳහා භාවිතා කළ හැකි වඩාත්ම ස්වභාවික සහ ප්‍රබලම ක්‍රමවේදයක් වන්නේ ක්‍රීඩා චිකිත්සාවයි. ඇමරිකානු ක්‍රීඩා චිකිත්සක සංගමය (APT) පෙන්වා දෙන්නේ, දරුවෙකුට තම ජීවිතයේ අත්දැකීම්, හැඟීම් සහ සංකීර්ණ සිතුවිලි ප්‍රකාශ කිරීමට ඇති ස්වභාවිකම මාර්ගය සෙල්ලම් කිරීම බවයි. වැඩිහිටියන්ට මෙන් වචනවලින් තම කම්පනීය අත්දැකීම් විස්තර කිරීමට කුඩා දරුවන්ට ඇති නොහැකියාව, සෙල්ලම් කිරීම මගින් මඟ හැරේ.
ක්‍රීඩා චිකිත්සාවේ ක්‍රියාවලිය
ක්‍රීඩා චිකිත්සාව තුළදී, දරුවාට තම බිය, කෝපය, ශෝකය හෝ කම්පනීය අත්දැකීම් ආරක්ෂිත සහ පාලනය කළ හැකි පරිසරයක් තුළින් මුදා හැරීමට අවස්ථාව ලැබේ. සෙල්ලම් බඩු, රූකඩ (Puppets), වැලි තැටි (Sand Tray) හෝ සිත්තම් ආම්පන්න වැනි දේ භාවිතා කරමින් දරුවා තමාගේ අභ්‍යන්තර ලෝකය නිර්මාණය කරයි. නිදසුනක් ලෙස, ව්‍යසනයෙන් පසුව ඇතිවූ භීතිය දරුවෙකුට රූකඩයක් හරහා නිරූපණය කළ හැකියි. එසේම, වැලි තැටියේදී දරුවා විසින් සකසන දර්ශන තල මඟින් ඔවුන්ගේ මානසික අවුල හෝ සමතුලිතතාවය පිළිබඳව වෘත්තිකයා ට නිවැරදි අවබෝධයක් ලබාගත හැකිය.

ක්‍රීඩා චිකිත්සාවේදී දරුවන්ට විශේෂයෙන්ම ලැබෙන ප්‍රතිලාභ
පාලනය නැවත ලබා දීම: කම්පනය යනු මූලික වශයෙන් ජීවිතයේ පාලනය සහ ආරක්ෂිත බව අහිමි වීමකි. සෙල්ලම තුළදී තීරණ ගැනීමේ සහ දේවල් මෙහෙයවීමේ හැකියාව දරුවාට නැවත ලබා දේ. දරුවාට තමන් සෙල්ලම් කරන ආකාරය තීරණය කළ හැකි වීම, ඔවුන්ගේ ජීවිතයේ පාලනය තමන් සතු බවට වූ සුවදායී හැඟීමක් ඇති කරයි.
භාවමය මුදාහැරීම (Emotional Catharsis): දරුවාට කෝපය, ආක්‍රමණශීලීත්වය හෝ ශෝකය වැනි දේ සෙල්ලම් තුළින් නිරූපණය කරමින්, ඒවා ආරක්ෂිතව මුදා හැරීමට අවස්ථාව ලැබේ. (උදා: බෝනික්කෙකු ට, ටෙඩි බෙයාර් කෙනෙකුට හෝ වෙනත් වස්තුවකට කෝපය පෙන්වීම).
සුවය ලැබීමේ ක්‍රියාවලිය ට නැවත නිරූපණය: දරුවාට තම කම්පන සහගත අත්දැකීම් නැවත නැවත සෙල්ලම් තුළින් ප්‍රතිනිර්මාණය කිරීමට අවස්ථාව ලැබෙන අතර, ක්‍රමයෙන් එය සුව කිරීමේ සහ හැකියාවන් යළි තමන් සතු කරගැනීමේ (Mastery) අත්දැකීමක් බවට පත් කර ගනී.
ක්‍රීඩා චිකිත්සාවේ සාර්ථකත්වය පිළිබඳව ලොව පුරා විශාල පර්යේෂණ ප්‍රමාණයක් සිදුකර ඇත. ස්වාභාවික විපත් සහ යුධ ගැටුම්වලින් පසුව දරුවන්ගේ කාංසාමය තත්ත්වය, බිය, අවිනිශ්චිතා අවම කිරීමට මෙය ඉතා සාර්ථකව යොදාගත් ක්‍රමවේදයකි.
2. රංග චිකිත්සාව (Drama Therapy), පපට් සහ කතන්දර කලාව
රංග චිකිත්සාව (Drama Therapy) යනු සැලසුම්ගත නාට්‍යමය ක්‍රියාවලීන්, රූපණය (Enactment), භූමිකා රූපණය (Role-playing), කැටපත්කරණය (Mirroring), කතන්දර කලාව සහ විවිධ කලාත්මක ප්‍රකාශනයන් යොදා ගනිමින් කම්පනයට පත් වූ දරුවන් ට සහාය විය හැකි ක්‍රමවේදයකි. රංගනය මගින් යථාර්ථයෙන් බැහැර වූ, ආරක්ෂිත සහ පාලනය ට ගත හැකි අවකාශයක් නිර්මාණය කරයි. මෙහි ඇති මූලික වාසිය නම්, දරුවාට තමාගේ සැබෑ අනන්‍යතාවය හෝ වේදනාව සෘජුව හෙළි නොකර, චරිතයක්, රූපකයක් හෝ කතාවක් හරහා තම ගැඹුරුම හැඟීම් සහ අත්දැකීම් වක්‍රාකාරව ප්‍රකාශ කළ හැකි වීමයි.
පපට් හෙවත් රූකඩ භාවිතය (Puppetry)
රංග චිකිත්සාවේදී රූකඩ (Puppets) භාවිතය අතිශයින්ම වැදගත් කාර්යභාරයක් ඉටු කරයි. රූකඩය දරුවාගේ හැඟීම් සහ ගැටළු ගවේෂණයේ මාධ්‍යයකි.
ආරක්ෂිත දුරස්ථභාවයක් (Safety and Distance): රූකඩය හරහා කතා කිරීමේදී, දරුවාට තමන්ගේ බරපතළ හැඟීම් හෝ කම්පන සහගත අත්දැකීම් තමන්ගේ නොවන බවට පත් කරමින් (Externalization) ප්‍රකාශ කිරීමට හැකිවේ. උදාහරණයක් ලෙස, බිය උපදවන අත්දැකීමක් රූකඩයේ කතාව ලෙස ඉදිරිපත් කළ හැකිය. මෙම දුරස්ථභාවය මගින් දරුවාට තමාගේ හැඟීම් සමඟ සෘජුවම ගැටීමට සිදු නොවන බැවින්, චිකිත්සක ක්‍රියාවලිය අතරතුර ඇතිවන මානසික ආතතිය සහ කාංසාව විශාල වශයෙන් අඩු කරයි.


ප්‍රබල සන්නිවේදන මාර්ගයක්: තම කම්පනකාරී අත්දැකීම් පිළිබඳව සෘජුව කතා කිරීමට නොහැකි තරම් බියක්, ලැජ්ජාවක් හෝ වරදකාරී හැඟීමක් ඇති දරුවන් සිටිය හැකියි. එවැනි අවස්ථාවලදී, ඔවුන් රූකඩයක් අතට ගත් විට එය තම කටහඬ බවට පත් කර ගනිමින් ඉතා පහසුවෙන් සන්නිවේදනය කිරීමේ හැකියාවක් පෙන්නුම් කරයි. රූකඩය දරුවාගේ සිතේ ඇති ”සැඟවුණු“ සිතුවිලි පිටතට ගෙන ඒමට උපකාරී වන පාලමක් ලෙස ක්‍රියා කරයි.
කතන්දර කලාව (Storytelling)
තමන්ගේම කතාවක් නිර්මාණය කිරීම හෝ පවතින කතාවක් යළි සකසා ඉදිරිපත්කිරීම (Re-telling) ද රංග චිකිත්සාවේම වැදගත් කොටසකි. කම්පනයට පත් වූ දරුවන්ට දැනට පවතින කතාවක් නැවත කීමට, වෙනස් කිරීමට හෝ තමන්ගේම කතාවක් නිර්මාණය කිරීමට ඉඩ දීමෙන් ඔවුන්ගේ කම්පනකාරී අත්දැකීම් ආරක්ෂිත සහ සංවිධානාත්මක ආකාරයකින් සැකසීමට (Processing) උදව් වේ.
අත්දැකීම් ප්‍රතිසංවිධානය කිරීම: කම්පනකාරිත්වය මානසික ව ගත් කළ වියවුල් සහගත අත්දැකීමක් ජනිත කරයි. එය මතකයන් සහ හැඟීම් අවුල් කරයි. කතන්දර නිර්මාණය කිරීම තුළින් දරුවාගේ ජීවිතයේ සිදුවූ දේ පිළිවෙලකට සහ තේරුම් ගත හැකි ආකාරයකට ගලපා ගැනීමටත්, ඒ පිළිබඳව යම් කළමණාකරණයක් ඇති කර ගැනීමටත් අවස්ථාව සලසා දේ.
යහපත් අවසානයක් ලබා දීම: දරුවාට තම කතාවේ අවසානය වෙනස් කිරීමට ඉඩ දීමෙන් (උදා: කතාවේ වීරයා අවසානයේ දිනයි) ඔහුට බලාපොරොත්තුවේ සහ ශක්තියේ හැඟීමක් ඇති කර ගත හැකිය. මෙම ක්‍රියාවලිය දරුවාට අනාගතය පිළිබඳව ධනාත්මකව සිතීමටත්, කම්පනයෙන් පසු අහිමි වූ බලය නැවත ලබා ගැනීමටත් මානසික අවස්ථාව විවෘත කරයි.
3. චිත්‍ර හා දෘශ්‍ය කලා
චිත්‍ර හා දෘශ්‍ය කලා යනු චිත්‍ර ඇඳීම, වර්ණ ගැන්වීම, මූර්ති නිර්මාණය, කොලාජ් නිර්මාණය (Collage), මැටි වැඩ, සහ වෙස් මුහුණු නිර්මාණය වැනි දෘශ්‍ය කලා මාධ්‍යයන් යොදා ගනිමින් දරුවන්ගේ මානසික, භාවමය සහ සමාජීයිය සුවය සඳහා උපකාර කළ හැකි ක්‍රමවේදයකි. කම්පනකාරී අත්දැකීම්වලට මුහුණ දුන් දරුවන් සඳහා මෙය විශේෂයෙන්ම බලවත් මෙවලමකි. මක්නිසාද යත් කම්පනය ආශ්‍රිත මතකයන් බොහෝ විට මොළයේ භාෂාමය (Verbal) කොටස්වලට වඩා සංවේදක (Sensory) සහ චිත්තවේගීය කොටස්වල තැන්පත් වී ඇති බැවිනි. මේ නිසා එම අත්දැකීම් වචනවලින් ප්‍රකාශ කිරීම අතිශයින් අපහසු විය හැකියි.
චිත්‍රය හරහා ලැබෙන ප්‍රතිලාභ
චිත්‍රය මගින් කම්පනයට පත් වූ දරුවෙකුට තම ඇතුලාන්ත වේදනාව සහ හැඟීම් පිටතට ගෙන ඒමට ආරක්ෂිත මාර්ගයක් සැලසේ.


වාචික නොවන ප්‍රකාශනය (Non-Verbal Expression): දරුවෙකුට තම බිය, වේදනාව, කෝපය, හෝ කාංසාව කතා නොකර වර්ණ, රේඛා සහ රූප හරහා පෙන්වීමට හැකිවේ. චිත්‍රයක අඳුරු වර්ණ භාවිතය, අධික ලෙස කුරුටු ගෑම (Scribbling), හෝ නැවත නැවත ඇඳෙන රූප රටා (Repetitive patterns) මඟින් දරුවාගේ මානසික තත්ත්වය සහ ඔහු අත්විඳින ආතති මට්ටම පිළිබඳව නිවැරදි තොරතුරු හඳුනාගත හැකිය.
නිර්මාණශීලී පාලනය සහ ස්වයං-කළමනාකරණය: තමාගේ නිර්මාණය කෙරේ පාලනයක් පවත්වා ගැනීමට හැකිවීම යනු කම්පනය අතරතුර අහිමි වූ ස්වයං-කළමනාකරණයේ (Self-Regulation) හැඟීම යළි ගොඩනැගීමට උපකාරී වීමයි. දරුවාට තමන් කැමති වර්ණයක්, හැඩයක් හෝ මාධ්‍යයක් තෝරා ගැනීමට ඇති හැකියාව, ඔවුන්ගේ ජීවිතයේ පාලනය තමන් සතු බවට වූ සුවදායී හැඟීමක් ඇති කරයි.
ද්‍රව්‍යමය සාක්ෂි සහ සංවාදය: නිර්මාණය කරන ලද චිත්‍රය, මූර්තිය හෝ කොලාජ් එක යනු ඇස් ඉදිරිපිට ඇති ද්‍රව්‍යමය සාක්ෂියකි (Tangible Evidence). මෙය දරුවාට අඳින ලද දේ පිළිබඳව වෘත්තිකයා සමඟ සංවාදයේ යෙදීමට සහ ඔවුන්ගේ අත්දැකීම් වචනවලට පෙරළීමට මග පාදයි.
වෙස් මුහුණු නිර්මාණය (Mask Making)
වෙස් මුහුණු නිර්මාණය යනු චිත්‍ර ක්‍රියාවලියේ බලවත් මෙවලමක් වන අතර, විශේෂයෙන්ම කම්පනයට පත් දරුවන්ට හැඟීම් වෙන්කර හඳුනා ගැනීමට සහ හැසිරවීමට උපකාරී වේ.
“ආරක්ෂිත” මුහුණක් නිර්මාණය කිරීම: දරුවාට තමාව ආරක්ෂා කරන, ශක්තිමත් හෝ සතුටින් සිටින වෙස් මුහුණක් නිර්මාණය කළ හැකිය. මෙහිදී වෙස් මුහුණ දරුවාගේ සැබෑ අභ්‍යන්තර වේදනාවට තාවකාලික ආරක්ෂක ස්ථරයක් (Protective Layer) සපයන අතර, එම වේදනාව පිටත සිට නිරීක්ෂණය කිරීමට අවස්ථාව ලබා දේ.

“තමන්’ වෙනත් අයෙකු වීම: දරුවෙකුට තම සැබෑ මුහුණින් පෙන්වීමට අසීරු වන කෝපය, බිය හෝ අවදානම වැනි හැඟීම් වෙස් මුහුණක් හරහා ප්‍රකාශ කළ හැකිය. වෙස් මුහුණක් පැළඳීමෙන්, එය වර්ණ ගැන්වීමෙන් ඔවුන්ට නිදහසේ චරිත රඟපෑමට සහ ඔවුන්ගේ කම්පනය හා බැඳුණු චිත්තවේග මුදා හැරීමට හැකිවේ.
ශ්‍රී ලංකාව තුළ යුද්ධය, සුනාමිය, සහ පාස්කු දින ප්‍රහාරය වැනි විශාල කම්පනකාරී අත්දැකීම්වලට මුහුණ දුන් දරුවන්ගේ මානසික සුවතාවය සඳහා චිත්‍ර චිකිත්සාව යොදාගත් ආකාරය පිළිබඳව අපමණ පර්යේෂණ සහ ක්ෂේත්‍ර වැඩසටහන් සිදු කෙරී ඇත.
4. සංගීතය, නැටුම හා චලනය
සංගීතය සහ නැටුම යනු මානව ඉතිහාසයේ ඉතා ඈත කාලයක සිටම මානසික හා භාවමය සුවය, සහනය සහ සැනසීම ලබා දීම සඳහා යොදා ගත් බලගතු මෙවලම් වේ. විශේෂයෙන්ම විපතට හෝ කම්පනයට පත් වූ දරුවන්ගේ ශාරීරික හා මානසික ආතතිය සහ වේදනාව මුදා හැරීම සඳහා මෙම නිර්මාණාත්මක ප්‍රතිකාර ක්‍රම ඉතා සාර්ථකව යොදාගත හැකිය. මෙම චිකිත්සාවන් දරුවන්ට තම හැඟීම් සන්නිවේදනය කිරීමට සහ කම්පනයෙන් මිදීමට ආරක්ෂිත මාර්ගයක් සපයයි. විපතට පත් දරුවන් සඳහා සරලව සංගීතයට සවන් දීම, ගායනා කිරීම, සංගීත භාණ්ඩ වාදනය කිරීම හෝ රිද්මය නිර්මාණය කිරීම වැනි ක්‍රියාකාරකම් සිදු කළ හැකිය.
ශාරීරික ආතතිය ලිහිල් කිරීම: සංගීතයේ ඇති ස්ථාවර රිද්මය සහ තාලය (Rhythm and Tempo) දරුවාගේ ස්නායු පද්ධතිය සන්සුන් කිරීමටත්, හෘද ස්පන්දන වේගය සහ ශ්වසනය සමනය කිරීමටත් උපකාරී වේ. මෙය ශරීරය තුළ තැන්පත් වී ඇති ගැඹුරු ආතතිය සහ කාංසාව අඩු කිරීමට ප්‍රබලව දායක වේ.


භාවමය සම්බන්ධතාවය සහ සමාජ බැඳීම: තමන්ට හැඟෙන දේ ට අනුනාද වන ගීතයක් ඇසීම හෝ තමන්ගේම සංගීත කොටසක් නිර්මාණය කිරීම මගින් දරුවාට තම හැඟීම් අවබෝධ කර ගැනීමටත්, තනි වී නැති බව දැනීමටත් අවස්ථාව ලැබේ. කණ්ඩායම් ක්‍රියාකාරිත්වයේදී අන් අය සමඟ එක්ව ගායනා කිරීම හෝ වාදනය කිරීම තුළින් බලවත් සමාජ බැඳීමක් සහ සහයෝගීතාවයක හැඟීමක් ඇති කරයි, එය කම්පනයෙන් පසු හුදකලා වූ දරුවන්ට අතිශයින් වැදගත් වේ.
නැටුම් හා චලන චිකිත්සාව (Dance/Movement Therapy – DMT)
කම්පනීය අත්දැකීම් ශරීරය “රඳවා තබා ගනී” (The body keeps the score). නැටුම් හා චලනයන් (Movement) හරහා සිරුරේ තැන්පත් වූ ආතතිය, තැතිගැන්ම සහ සිරවී ඇති හැඟීම් ආරක්ෂිතව හා ස්වභාවිකව මුදා හැරීමට අවස්ථාව ලැබේ.
ශරීරයේ පාලනය නැවත ලබා ගැනීම: දරුණු කම්පනයකින් හෝ විපතකින් පසු, දරුවාට තම ශරීරය පිළිබඳව තිබූ පාලනය අහිමි වී යාමට හෝ තමන්ගේ ශරීරය සමඟ විරසක වූ හැඟීමක් ඇතිවීමට (Dissociation) ඉඩ ඇත. රිද්මයානුකූල සහ නැවත නැවත කෙරෙන චලනයන් (Rhythmic and Repetitive Movements) මගින් දරුවාට ක්‍රමයෙන් තම ශරීරය පිළිබඳ නැවත හිමිකාරිත්වය සහ පාලනය පිළිබඳ හැඟීමක් ඇති කර ගැනීමට උපකාරී වේ.


චලන හරහා භාවමය ප්‍රකාශනය: බොහෝ විට දරුවන්ට තම කම්පන සහගත අත්දැකීම් වචනවලින් ප්‍රකාශ කිරීමට නොහැකිය. නැටුම හා චලනය හරහා වචනවලට පෙරළිය නොහැකි එම සංකීර්ණ හැඟීම් (බිය, කෝපය, දුක) සංකේතාත්මකව ප්‍රකාශ කිරීමටත්, ඒවාට මුහුණ දීමටත් හැකිවේ. මෙය කතා කිරීම අවශ්‍ය නොවන, ගැඹුරු සුවයක් ලබා දෙන සන්නිවේදන මාර්ගයකි.
නිර්මාණශීලී ක්‍රමවේදවල සුවිශේෂී වටිනාකම සහ අවශ්‍යතාවය
මෙම නිර්මාණශීලී ක්‍රමවේද සියල්ලෙහිම හරය වන්නේ, ඒවා සෞන්දර්යාත්මක ප්‍රකාශනය සහ සංකේත භාවිතය මගින් මානසික සුවය ලබා දීමයි. විපතකදී දරුවන්ගේ ප්‍රජානන (Cognitive) හැකියාවන් තාවකාලිකව අඩාල විය හැකි බැවින්, තාර්කිකව සිතා කතා කිරීමට ඔවුන් අපොහොසත් විය හැකිය. මෙවැනි තත්ත්වයන් යටතේ නිර්මාණශීලී ක්‍රමවේදවල වටිනාකම අතිමහත් ය:
වාචික නොවන සුවය (Non-Verbal Healing): වචන සොයාගත නොහැකි වූ විට, චිත්‍ර, සංගීතය හෝ චලනය වැනි වාචික නොවන මාධ්‍යයන් හැඟීම්වලට නිදහසේ ගලා යාමට ඉඩ සලසයි. මෙය කම්පනයට පත් වූ මොළයේ කොටස් සුව කිරීමට උපකාරී වේ.
අභ්‍යන්තර ශක්තිය ගොඩනැගීම: යමක් සාර්ථකව නිර්මාණය කිරීම හෝ ක්‍රීඩාවක යෙදීම තුළින් දරුවාගේ ආත්ම විශ්වාසය, “මට පුළුවන්” යන හැඟීම නැවත ගොඩනඟයි.
අර්ථය ගොඩනැගීම (Meaning-Making): දරුවන්ට තම වේදනාකාරී අත්දැකීම් කලාත්මක ආකාරයකින් නැවත සැකසීමට අවස්ථාව ලැබෙන විට, ඔවුන්ට එම අත්දැකීම අවබෝධ කරගෙන, එය තම ජීවිතයේ කොටසක් ලෙසින් අර්ථවත් කර ගැනීමට හැකිවේ.
කණ්ඩායම් බැඳීම්: කණ්ඩායම් වශයෙන් චිත්‍ර ඇඳීම, සංගීතය නිර්මාණය කිරීම හෝ රංගනයක යෙදීම තුළින් දරුවන්ට තමන් තනි වී නැති බවත්, අන් අය තමන් හා සමාන අත්දැකීම් විඳින බවත් අවබෝධ කරගත හැකිය. මෙය සමාජ සහයෝගය (Social Support) වර්ධනයට මග පාදයි.

ලංකාවේ දරුවන් මේ මොහොතේ ව්‍යසනය නිසා කම්පනය ට ලක්ව සිටිය ද, ඔවුන්ගේ මානසික සුවය ගොඩනැගීමේදී, මෙම නිර්මාණශීලී ක්‍රමවේද අතිශයින් වැදගත් සහ ප්‍රායෝගික මෙවලම් වේ. ලෝකයේ විවිධ යුධ, දේශගුණික සහ සමාජීයිය අර්බුදවලින් පසුව මෙම ක්‍රමවේද පිළිබඳව විශාල පර්යේෂණ ප්‍රමාණයක් සිදුකර ඇති අතර, එමගින් ඒවායේ සාර්ථකත්වය තහවුරු වී ඇත. මෙම සියලු ක්‍රමවේද නිසි පුහුණුවක් ලැබූ වෘත්තිකයන් විසින් නිවැරදිව යොදා ගැනීම, දරුවන්ගේ අනාගතය යහපත් කිරීමට සහ ඔවුන්ට මානසික කම්පනයෙන් සාර්ථකව ගොඩ ඒමට අවශ්‍ය ශක්තිය ලබා දෙනු නොඅනුමානය. මෙම නිර්මාණශීලී ප්‍රවේශය තුළින් දරුවන්ට තම වේදනාව සුව කරගෙන, යළිත් සිනාසෙන්නටත්, අනාගතයට සූදානම් වීමටත් හැකියාව ලැබේ.

ආචාර්ය රවින්ද්‍ර රණසිංහ-Dr.Ravindra Ranasinha
අධ්‍යක්ෂක – රංග චිකිත්සන පර්යේෂණ ආයතනය, ශ්‍රී ලංකාව





