ඉෂංඛා සිංහආරච්චි:
මිට තිස් පස් වසරකට පෙර උතුරේ ජීවත්වූ මුස්ලිම් ජනතාවට තම ගේදොර හැරපියා පිටමං වන්නට සිදුවුයේ දශක ගණනාවක් පැවති යුද්ධයේ බලපෑම නිසාය. එකම බස කතා කළ දෙමළ -මුස්ලිම් ජනයා අතර සැක සංකා වර්ධනය වීම දෙපාර්ශවය අතර සමගියට, සහජීවනයට බාධාවක් වූ බවට සැක නොමැත. සිය ළමා වියෙදීම, උපන්ගම්වූ මන්නාරම,සිලාවතුර හැර දමා තම මව සමග කල්පිටියේ අනාථ කඳවුරක විසි වසක් දිවිගෙවූ මුජිබර් රහුමාන් දැන් දෙදරු පියෙකි.

කල්පිටියේ අනාථ කඳවුරේ සිටියදී වික්ටර් අයිවන් ඇසුරින් විකල්ප පුවත්පත් කලාවත්,ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න ඇසුරින්, වාමාංශික දේශපාලනයත් ප්‍රගුණ කළ ඔහු මාධ්‍යවේදියෙකු මෙන්ම යහපාලනය සඳහා වූ ජාතික පෙරමුණේ ජාතික සංවිධායකවරයාද වේ. ගියවර පාලත්පාලන මැතිවරණයට මුසෝලි ප්‍රාදේශීය සභාවට තරඟ වැදුණු ඔහු මන්ත්‍රීවරයෙකු ලෙස පත්විය.

මෙවර පළාත් පාලන මැතිවරණයට තරඟ වැදීම අහිමිවුයේ නාමයෝජනා බාරදීමට යමින් සිටියදී අනතුරකට පත්වීම හේතුවෙණි.
මන්නාරමින් පිටමං කිරීම, කල්පිටියේ කඳවුරු ජීවිතය හා යුද්ධයෙන් පසු යළි පදිංචිවීම ගැන ඔහු අප හා මතක ආවර්ජනයක යෙදුනේ, කෙතරම් කටුක අත්දැකීම් ලැබුවද, සහජීවනය වෙනුවෙන් පෙනී සිටීම අත්හළ නොහැකි වගකීමක් ලෙස අවධාරණය කරමින්ය.
මන්නාරමෙන් පිටවෙන්න දින දෙකක්
90 ඔක්තෝබර් 25 වැනිදා එල්ටිටිඊ සංවිධානය පල්ලිවලට කියලා තිබුණා මුස්ලිම් ජනතාවට මන්නාරමෙන් පිටවෙන්න කියල. වාහනවල ස්පිකර් බැන්දගෙන ප්‍රසිද්ධ කළා දවස් දෙකක් ඇතුලත පිටවෙන්න කියලා. අපේ දෙමළ ඊළමේ දී ඔබලා හම්බකරපු මුදල්,රන් බඩු ඇතුළු සියලු දේපල සියල්ලම බාර දීලා, යන එන ගමන් වියදමට රුපියල් 500 ක් වැනි සුළු මුදලක් අතේ තියාගෙන, ඇඳුම් කීපයක් පමණක් අරගෙන තමයි මිනිස්සු මන්නාරමෙන් පිටත් වුනේ. රෙදි අස්සේ හොරාට රත්තරන් බඩු,සල්ලි හංගා ගෙන ආපු අයත් හිටියා.අපි කොහෙද යන්නේ කියලා ඇහැව්වම ඒ ගොල්ලන්ට දෙන්න උත්තරයක් තිබ්බේ නැහැ. හැකි විදිහකට කොහේ හරි යන්න කියලා තමයි කිව්වේ.එවකට 16 හැවිරිදි වියේ පසුවූ රහුමාන් ගේ පියා ඔහු කුඩා අවධියේදීම දිවියෙන් සමුගෙන තිබිණි. වැඩිමහල් සහෝදරයන් සිව් දෙනෙක් හා වැඩිමහල් සහෝදරියන් සිව් දෙනෙක් ඔහුට සිටී අතර ඔවුන් සියලුදෙනාම විවාහකය.

තමන් උපන්බිමින් පිටවෙන්න මන්නාරමේ මිනිස්සුන්ට දින දෙකක් ලැබුණත්, මුලතිව් මුස්ලිම්වරුන්ට සතියක් ඇතුලත පිටවිය යුතුබවට දන්වා තිබිණි. කිලිනොච්චි මුස්ලිම්වරුන්ට දින පහක් ලැබුන මුත්, යාපනේ මුස්ලිම් ජනයාට ලැබුනේ පැය දෙකක් වැනි සුළු කාලයකි.
යාපනේ මිනිස්සුන්ව ඔස්මානියා ස්කොලේ ජින්නා පිට්ටනියට රැස් කරලා එහෙන් පිටත්වෙන්න කියලා කිව්වාම මිනිස්සු අහලා තියෙන්නේ අපි කොහෙද යන්නේ කියලා. කණ්ඩායම් නායකයා වුනු ආන්ජනෙයිර් [පසුකලෙක ඔහු ඉලම්පරිදි නමින් දෙමළ ඊළාම් විමුක්ති කොටි සංවිධානයේ යාපනේ ප්‍රධානියා විය] එයාගේ තුවක්කුවෙන් උඩට වෙඩි තියලා, පස්සේ ඒ කණ්ඩායමේ අනිත් අයත් එයාලගේ තුවක්කුවලින් උඩට වෙඩි තියලා තියෙනවා. වැඩිය ප්‍රශ්න කරන්න ගියොත් අහසට එල්ල වුනු තුවක්කු ඊළඟට පත්තුවෙන්නේ පහළට කියලා මුස්ලිම් මිනිස්සු තමන්ගේ සියල්ලම දාලා යන්න පිටත් වුණා. එසේ යාපනයෙන් පිටමං කිරීමට ලක්වූ යාපනේ නගරේ, නාච්චිකුඩා, චාවකච්චේරි, මුලතිව්, කිලිනොච්චි ඉඳන් ගැහැණු,පිරිමි, ළමයි සියල්ලමQ එක පොදියට පා ගමනින්ම වව්නියාවට පැමිණ අනුරාධපුරේ, පුත්තලම, මිගමුව,පානදුර,කුරුණෑගල,ගම්පහ,මාතලේ වැනි ප්‍රදේශවල අනාථ කඳවුරු වෙත හෝ ඥාති මිත්‍ර ආදීන් වෙත උන්හිටි තැන් අහිමිවුවෝ ලෙසින් පිටත්වුහ.
ඔයාලගේ ආරක්ෂාව ඔයාලා බලාගන්න
අපිට ඔයාලට ආරක්ෂාව දෙන්න බැහැ. ඒ හින්දා ඔයාලගේ ආරක්ෂාව ඔයාලා බලාගන්න.කඳවුරට එන්න එපා කියලා අපේ මිනිස්සුන්ට හමුදාව කිව්වා.ඒ වෙලාවේ තිබ්බේ ප්‍රේමදාසගේ යු.එන්.පී ආණ්ඩුවක්. අපිට ආරක්ෂාව දෙන වගකීම ආණ්ඩුව අත්හැරියා. අම්මයි, මමයි, අයියාගේ පවුලේ කට්ටියයි වෙරළ පැත්තට ආවා. දවස් දෙකක් විතර එතැන ඉඳලා බෝට්ටුවක කල්පිටියට ආවා. ඇඳුම් දෙක තුනක් විතරක් ශොෆින් බෑග් එක දාගෙන අපි ආවේ.
කල්පිටියට පැමිණි රහුමාන්ලා ඇතුළු තවත් දහස් ගනනක් වූ පවුල් පුත්තලම ප්‍රදේශයේ සියළුම පාසල් වල ලැගුම් ගන්නට වුහ. නිසි පහසුකමක් නොමැති තාවකාලික අනාථ කඳවුරු බවට පත්වූ, එම පාසැල් මාස තුන හතරක් ඇවෑමෙන් යළි බාර දෙන්නට සිදුවුයේ පාසැල් අධ්‍යාපන කටයුතු ඇරඹීමටය.දවස් පහක් ඉක්ම ගිය පසුව ආණ්ඩුවෙන් ආහාර ලබා දුන් අතර එතෙක් ඔවුන්ගේ කුසගිනි නිවාදැමුවේ කල්පිටිය ප්‍රදේශවාසීන්ගේ නොමසුරු ආධාරයෙනි. මොවුන් ගැන මාධ්‍ය වාර්තා කරන්නේ ද සතියක් ඇවෑමෙනි.
1990 ට කලින් කොළඹ සහ වෙනත් ප්‍රදේශවල ව්‍යාපාර කටයුතුවලට සම්බන්ධව සිටී අය එම ප්‍රදේශවලට තම පවුලේ අය රැගෙන ගිය අතර එසේ සම්බන්ධතා නොමැති අය පුත්තලමේ නතර විණි.
කල්පිටිය සිංහල විද්‍යාලයේ තාවකාලික අනාථ කඳවුරෙන් අපි දැම්මේ පොල් වත්තකට එකේ පොල්අතු පැලක් හදාගෙන හිටියේ. එක් අයෙකුට රුපියල් 1,423 ක් මාසික ආධාරයක් විදිහට අපිට ලැබුණා. ඒත් ඒක සර්ප විමානේ, නයි පොළොංගු මාපිලව් එක්ක අපි ජිවත් වුනේ. මම කසාද බැඳලා නෝනා එක්ක ජිවත්වුනෙත් මේ පොල් අතු මඩුවේ. විදුලිය තිබ්බේ නැහැ භූමිතෙල් ලාම්පු තමයි පාවිච්චි කළේ. දවසක් මම බැට්රි දාන ටෝච් එකක් සල්ලිවලට ගෙනාවා. ගෙදර ගෙනත්,රාත්‍රියේ දී බැට්රි එහෙම දාලා එළිය කොහොමද කියලා බලන්න පොල්අතු වහලෙට එළිය කරා. මෙන්න අඩි හයක් විතර දිග සර්පයෙක්.පස්සේ කට්ටිය එක්ක එකතුවෙලා මරලා දැම්මා

පිටමං කරනු ලැබීමෙන් පසු පුත්තලමට පැමිණි මුස්ලිම් ජනයාගෙන් පිරුණු තාවකාලික කඳවුරු සංඛ්‍යාව ආරම්භයේදී හැටකට වැඩි වූ අතර 2004 එක්සත් ජාතීන්ගේ සරණාගතයන් පිලිබඳ මහකොමසාරිස්ගේ වාර්තාවන්ට අනුව අවතැන්වුවන්ගේ කඳවුරු 123ක පුද්ගලයන් 61,763 කි. 2006 වසර වන විට අනාථ කඳවුරු ගණන 145 දක්වා ඉහල ගොස් තිබිණි. ශ්‍රීලන්කන් කැම්පේන් සංවිධානය පෙන්වා දෙන පරිදි යාපනය හා කිලිනොච්චියෙන් 20,000 ක් ද, මුලතිව් 5,000 ක් ද, වවුනියා 9,000 ක්ද, මන්නාරමෙන් 38,000 ක් ද වශයෙන් සංඛ්‍යාවක් මුස්ලිම් ජනයා පිටමං කර ඇත. මුළු ගණන 75,000 කට ආසන්නය.
දෙමළ කවියක් තියෙනවා උදේ ඉස්කොලේ ගිහින් ඉගෙන ගන්නවා, හවසට ගෙදරවිත් සෙල්ලම් කරනවා කියලා අදහස කියවෙන. කල්පිටියේදී අපි මේ කවිය වෙනස් කළා. මොකද අපිට ඉස්කෝලේ යන්න තිබ්බේ හවස දෙකේ ඉඳන් හය වෙනකම්. කල්පිටියේ ඉන්න ළමයින්ට උදේ ස්කොල තිබ්බට පස්සේ තමයි අපිට උගන්වන්නේ. ඉතිං අපි උදේ සෙල්ලම් කරලා හවස ඉකොලේ යනවා. රහුමාන් සිනාසෙමින් කවිය මුමුණයි.
අශ්රොෆ්ගෙන් රුපියල් දහ දාහක්
කල්පිටියට පැමිණ වසර හතරකට පස්සේ පැවති එක්සත් ජාතික පක්‍ෂ දේශපාලනය නිමා කරමින් 1994 චන්ද්‍රිකා කුමාරතුංගගේ පොදුජන එක්සත් පෙරමුණ ජය ලැබුවේ සාමයේ අපේක්ෂාවන් දල්වමිනි. ඒ ජයග්‍රහණයේ කොටස්කරුවෙකු වූ මුස්ලිම් කොංග්‍රස් නායක එම්.එච්.එම්. අශ්රොෆ්ට වරාය,නාවික,පුනරුත්ථාපන හා නැවත පදිංචි කිරීම් ඇමතිධූර පිරිනැමිණි.
1996 දී අශ්රොෆ් එක් පවුලකට දුන්නා රුපියල් 10,000 ක්, නැවත පදිංචි කරන කම් ඉඩමක් අරන් පොඩිවට ගෙයක් හදාගන්න කියලා. මම රුපියල් 5000 කින් පුත්තලමින් පර්චස් 10 ක් ගත්තා. චන්ද්‍රිකාගේ ආණ්ඩුව රිවිරැස මෙහෙයුම පටන් ගත්තහම වව්නියාවේ බෝඩර් විලේජ් වල හිටපු මුස්ලිම් අය ඒගොල්ලොන්ගේ ගම් වලට ගියා. ඒත් රහුමාන්ලාගේ ඉරණම ඊට වෙනස්විය. යුද්ධය අවසන්වන තෙක්, වසර විස්සක්,අනාථයන් ලෙස කල්පිටියේ කල්ගෙවන්නට ඔවුන්ට සිදුවිය.
මෙසේ මුස්ලිම් ජනයාට පිටවෙන ලෙස නිවේදනය කරන්න හේතුවූ කාරනා කිහිපයක් වන බව රහුමාන් පවසයි. ඒ අතරින් ප්‍රමුඛවන්නේ මුස්ලිම් ජනතාව දෙමළ සටන්කාමීන් ගැන රජයේ හමුදාවට තොරතුරු ලබා දීම කියන සාධකයවේ.
87 -90 අතර මෙහෙ හිටිය ඉන්දීය සාමසාධක හමුදාව ගියාම අනතුරුව කොටි සංවිධානය ටික කාලෙකින් ලංකා හමුදා එක්ක සටන් ආරම්භ කළා. එවිට මුස්ලිම් ජනතාව හමුදාවට ඔත්තු දෙයි කියලා සැක කළා.සමහරු එහෙම කරලා තියෙනවා. නැගෙනහිර පළාතේ දෙමළ හා මුස්ලිම් ගැටුම් හේතුවෙන් වැඩි වාසි ලබා ගත්තේ රජයේ හමුදාවයි. එම නිසා උතුරෙන් මුස්ලිම් ජනයා පිටමං කිරීමේ යෝජනාව ඉදිරිපත් කරන්නේ කරිකාලන්, කරුණා වගේ නැගෙනහිර අය. අනෙක් කරුණ තමයි, මේ සියලු දෙනාගේ රත්තරන් අරන් ඒවා මුදල් කරලා ආයුධ ලබා ගැනීමයි. මෙහෙමත් කිව්වා ගැටුම්වලට මැදිවන මුස්ලිම්වරුන්ගේ ආරක්ෂාවට මෙසේ පිටත් කරනවා කියලා. ඇයි එහෙනම් කුඩා දරුවන්ගේ අත්වල,ඇඟිලිවල දාලා තිබුණු මුදු,වළලු කපා ගත්තේ යැයි මුස්ලිම් විද්වතුන් පසුව ප්‍රශ්න කළ බව ද ඔහු පවසයි.
එල්ටීටීඊ, ඊපිආර්එල්එෆ් , ප්ලොට්, ඊරෝස් වගේ දෙමළ සටන්කාමි සංවිධානවල නායකත්ව මට්ටමේ යම් මුස්ලිම් නියෝජනයක් දක්නට ලැබුණි. 1990ට කලින් දෙමාපියන් විසින් මන්නාරමේ වයස අවුරුදු 16 -25 අතර තරුණයන්ව දකුණු පළාතට පිටමං කරනු ලැබුවේ අධ්‍යාපනයට හෝ ව්‍යාපාර කටයුතු වලටය. ඒ සටන්කාමි සංවිධානවලට එක් වෙනු ඇතැයි හෝ එම සංවිධාන වලින් පැමිණ බලහත්කාරයෙන් රැගෙන යනු ඇතැයි, ඔවුන් තුල වූ බිය නිසාවෙනි.
ඉන්දියන් හමුදාවයි ලංකා හමුදාවයි කොටි සංවිධානයට ගහනකොට අපේ මිනිස්සු තමයි ඒ අයට කෑම දුන්නේ. බොන්න වතුර ටිකක් පවා ඉල්ලා ගන්නේ මුස්ලිම් මිනිස්සුන්ගේ ගෙවල්වලට ඇවිත්. එහෙම බැඳීමක් 90 වට කලින් තිබ්බා. මුස්ලිම් අය වැඩියම හිටියේ ප්ලොට්, ඊරෝස් ඒකත් එක්ක. එල්ටීටීඊයත් එක්කත් හිටියා. ඉන්දියන් හමුදා ගියාට පස්සේ ප්ලොට්, ඊපීඑල්එෆ්, ටෙලෝ සංවිධානවලට විරුද්ධව එල්ටීටීඊ යුද ප්‍රකාශ කළා.ඒවායේ හිටපු මුස්ලිම් අයත් ඔවුන්ට විරුද්ධව එකතු වුණා.
උතුරේ මුස්ලිම් ජනයා පිටමං කිරීමට තම සංවිධානය ගත් ක්‍රියා මාර්ගය සිදු නොකළ යුත්තක් බවට දෙමළ ඊළාම් විමුක්ති කොටි සංවිධානයේ නායකයන් විසින් 2002 වසරේදී පැවති සාම ගිවිසුම් කාලයේදී දෙස් විදෙස් මාධ්‍ය ඉදිරියේදී පවසා තිබිණි. ඒ පිළිබඳව ඔවුන් මුස්ලිම් ජනයාගෙන් සමාව ඉල්ලා සිටී බවට මාධ්‍ය වාර්තා කර ඇත.
විල්පත්තුව කැලේ නොවේ, මේ අපේ ඉඩම්
රහුමාන්ලා නැවත පදිංචියට සිලාවතුරට පැමිණෙන්නේ 2009 වසරින් පසුවය. වයස අවුරුදු 16 දී අම්මා සමග මන්නාරමෙන් පිටමංවූ රහුමාන් නැවත පැමිණෙන විට කුඩා දරුවන් දෙදෙනෙකු ද සිටින වෙනම පවුලකි.

අපේ ඉඩම් කැලෑ වෙලා තිබුනේ. ආණ්ඩුව ඒක සුද්ද කරලා දුන්නා. එතකොට තමයි ඔය විල්පත්තු කැලෑව කපනවා කියලා උද්ඝෝෂණ ඇතිවුනේ. ඒත් ඒ විල්පත්තු කැලේ නොවේ අපේ ඉඩම්. අපිට ඒවාට ඔප්පු තියෙනවා. දැන් ඉතිං ඒ ඉඩම් වල පොඩි ගෙයක් හදා ගෙන ඉන්නවා
විල්පත්තු කැලේ විනාශ කරන බවට චෝදනාව එල්ලවූයේ රාජපක්‍ෂ ආණ්ඩුවේ ඇමතිවරයෙකුව සිටී රිෂාඩ් බදියුදීන් වෙතය. පරිසර සංවිධාන වල විරෝධය අවසානයේ අධිකරණය දක්වා ගොස් හිටපු ඇමැතිවරයාට එරෙහිව නඩු පැවරිණි.
අපි විල්පත්තු කැලේ විනාශ කරන්නේ නැහැ. අපි සුද්ධ කරන්නේ නිත්‍යානුකූල ඔප්පු තියෙන අපේ ඉඩම්. කියලා සියලු කරුණු ඇතිව මම ලිපියක් ලිව්වා වීරකේසරී පත්තරේට. ඒ ලිපිය උසාවියට ඉදිරිපත් කරන්න කියලා රිෂාඩ් බදියුදින්ගේ නීතිඥයා මගෙන් අවසර ඉල්ලුවා. රිෂාඩ්ගේ දේශපාලනයට මම විරුද්ධවුනත් මගේ ලිපිය දුන්නා. ඒ අනුව තමා රිෂාඩ් විල්පත්තු කැලෑ කපනවා කියන නඩුවෙන් නිදහස් වුනේ.
රිෂාඩ් බදියුදින් ද මන්නාරම දුපතේ පදිංචිව සිටිය දී 1990 ඔක්තෝබර් මාසයේදී පුත්තලමට පිටමංවූවෙකි.
ෂොපින් බෑග් එකක ඇඳුම් දෙකක් තුනක් දාගෙන මන්නාරමේ ඉඳන් පුත්තලමේ අනාථ කඳවුරට ආපු කෙනෙක් රිෂාඩ්. කඳවුරේ ඉඳන් අබුබකර් කියන මන්ත්‍රී ගේ ට්‍රාන්ස්ලේටර්, කොඩිනේටර් වගේ වැඩ කරා ඊට පස්සේ සුමතිපාල ජයවර්ධන කියන මන්ත්‍රීගේ කොඩිනේටර් විදිහට හිටියා. ඔය අතරේ මොරටු කැම්පස් එකේ එන්.ඩි.ටී. කෝස් ඒකත් කළා. මුලින් එයා ශ්‍රීලංකා නිදහස් පක්ෂයට සම්බන්ධව උන්නේ. ඒත් ඒකෙන් නාමයෝජනා ලැබුනේ නැති නිසා මුස්ලිම් කොංග්‍රසයෙන් ජන්දේ ඉල්ලලා පාර්ලිමන්ට් ගියා.
නැවත පදිංචි කළ ද තවමත් විසඳි නොමැති බොහෝ ගැටළු මන්නාරමේ පවතින බව රහුමාන් නගන චෝදනාවකි. යුද්ධය අවසන්ව වසර 15 ක් ඉක්ම ගියද මන්නාරමේ නැවත පදිංචිවූවන්ට මෙන්ම ප්‍රදේශයේ බහුතරය වූ ගොවියන්ගේ හා ධීවරයන්ගේ ගැටළුවලට තිරසාර විසදුම් ලැබී නොමැත. පැවති ආණ්ඩු මෙන්ම වත්මන් ආණ්ඩුව ද ඉදිරියට ගෙනයමින් තිබෙන සුළං මෝල් හා වැලි කැණීම් ව්‍යාපෘති හරහා මතුවන පාරිසරික ප්‍රශ්න වලට අමතරව ගොවීන් හා ධීවරයන් තව තවත් අසරණ කරනු ඇත. අධ්‍යාපනය, සෞඛ්‍ය, වාරිමාර්ග ක්ෂේත්‍රවල හා රැකියා පිළිබඳව ද නොවිසඳුණු ගැටළු රැසකි.
සිලාවතුර මුසොලි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ හමුදා කඳවුරු හතරක්, නාවික හමුදා කඳවුරු හතරක්, එක් පොලිස් කඳවුරක් තියෙනවා. මේ කඳවුරුවල ඉන්න අයත් එක්කම, ප්‍රදේශයේ මිනිස්සු ඔක්කොම බෙහෙත් ගන්න යන්නේ සිලාවතුර රෝහලට. ඒත් එකේ වෛද්‍යවරු නැහැ, කාර්ය මණ්ඩලය නැහැ, බෙහෙතුත් නැහැ.ගිලන්රථ පහසුකම් අවම හින්දා ගැබිණි මව්වරු පවා මිය ගිය සිද්ධි ඕනේ තරම් තියෙනවා. ඒත් ඒ මරණ වලට හේතුව විදිහට කියන්නේ අධික ලෙස රුධිරය වහනය වෙලා කියලා.
මුලතිව් ප්‍රදේශයේ නැවත පදිංචියට පැමිණෙන මුස්ලිම්වරුන්ට බලවත් ප්‍රශ්නයක් වන්නේ ඉඩම් පිලිබඳවය. මුලතිව් වලින් 1990 දී පිටමං කළ මුස්ලිම්වරුන් ගණන 9000 ක් පමණවේ. එහෙත් වසර 20 කට පසුව පැමිණෙන්නේ නව පරම්පරාවන් සමගින්ය. ඉඩම් දෙන්නේ මුලතිව් උපන් අයට විතරයි කියලා රාජ්‍ය නිලධාරින් කියන්නේ. ඒත් දෙමාපියෝ එහෙ උපන්නා වුනාට ළමයින්ගේ උප්පැන්න සහතිකේ තියෙන්නේ පුත්තලම නැත්නම් අනුරාධපුරේ හරි වෙන කොහේ හරි. අවුරුදු විස්සකට පස්සේ නේ එන්නේ.මගේ දුවත්, පුතාත් උපන්නේ පුත්තලමේ. මන්නාරමේ නම් ඒක එච්චර ගැටළුවක් නැහැ. මුලතිව්, කිලිනොච්චි තමයි ප්‍රශ්නේ. අනිත් එක මිනිස්සු එන්නත් කැමති නැහැ මොකද තවමත් මෙහෙ රැකියා නැහැ. අනෙක් පහසුකම් නැහැ. පොඩි ඉඩකඩක වුනත් පුත්තලමේ ඉන්න එක හොඳයි කියල.
ජනාධිපති කොමිසමක්
උතුරෙන් පිටමං කළ ජනයා වෙනුවෙන් වෙන් කෙරුණු වන්නි හා යාපනය නමින් ජන්ද කුටි දෙකක්, යුද්ධය අවසානයට පෙර සෑම මැතිවරණයකදීම පිළියෙළ කෙරිණි.නමුත් 2009 න් පස්සේ එය ඉවත් කරනු ලැබිණි.
මිනිස්සු මෙහෙ හිටියට ජන්දේ තියෙන්නේ මන්නාරමේ, මුලතිව් නැත්නම් කිලිනොච්චියේ. ජන්දේ කාලේට ගිහින් ජන්දේ දාන්න ඕනේ. මේ ගැන අපි මැතිවරණ කොමසාරිස් එක්ක කතා කළා. එයාලා කියන්නේ ජන්දේ ලියාපදිංචි කරලා තියෙන දිහාවේ තමයි ජන්දේ දාන්න පුළුවන්.වියදම් කරගෙන එහෙට ගිහින් ජන්දේ දාන්න නැත්නම් දැන් ඉන්න තැනක ජන්දේ ලියාපදිංචි කරන්න කියල එයාල කියන්නේ. දැන් බොහෝ දෙනෙක් පුත්තලමේ වගේ පැතිවල ජන්දේ ලියාපදිංචි වෙලා. ජන්දේ කාලෙට දේශපාලනඥයෝ සියලු වියදම්දරලා බස්වලින් මන්නාරමට,වන්නියට මිනිස්සු ගේනවා පුත්තලමේ ඉඳන්. මේ වැඩේ කරන්න පුළුවන් රිෂාඩ් බදියුර්දින්,කාදර් මස්තාන් වගේ සල්ලි තියෙන දේශපාලඥයන්ට.ඒකයි ඒගොල්ලෝ හැමදාම දින්නේ. අපි වගේ දුප්පත් අයට එහෙම කරන්න අමාරුයි.
රහුමාන් තම දේශපාලන පක්‍ෂය වන යහපාලනය සඳහාවන ජාතික පෙරමුණ මගින් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින්නේ උතුරේ මුස්ලිම්වරුන් පළවා හැරීම ගැන ජනාධිපති කොමිසමක් පත් කරන ලෙසය. ඔහු ඉල්ලා සිටින්නේ එවැනි කොමිසමක් හරහා 35 වසක් සපිරෙන පළවා හැරීමට හේතු, ඊට වන්දි ගෙවිය යුත්තේ කවුද, දැනට සියයට පනස් පහක් යළි පදිංචි කර ඇතිමුත්. ඉතිරියද යළි පදිංචි කිරීම වැනි දේ නොපමාව ඉටුකළ යුතු බවය. හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ විසින් මේ ගැන කොමිසමක් පත් කරන බවට පොරොන්දුවුවද, ඔහුගේ ධුර කාල දෙක තුලම එය ඉටුකිරීමට සමත් වී නොමැත.
අපි අවුරුදු 20 ක් අනාථ කදවුරුවල හිටියා. දැන් යුද්දේ ඉවර වෙලා අවුරුදු 15 ක්. තවමත් අපි අනාථයෝ වගේ. ඒ ඔහුගේ වේදනාවේ හඬය.

ඉෂංඛා සිංහආරච්චි-Ishankha Singha Arachchi





