මෙලනි ගුණතිලක:
ගිය සතියේ බැංකොක් නුවර තමාසත් විශ්වවිද්‍යාලයේ ජාත්‍යන්තර සිවිල් සමාජ සතියට සහභාගි වෙන්න අවස්ථාව ලැබුනා. එතනදි මම සහභාගි වුන සාකච්ඡාවක් ආශ්‍රයෙන් කරච්චි වලින් ආපු මාධ්‍යවේදියෙක් Inter Press Service News Agency සඟරාවට ලිපියක් ලියලා තිබුනා. අපේ සාකච්ඡාවේ මාතෘකාව වුනේ දකුණු ආසියාවේ තරුණ ව්‍යාපාර සහ ප්‍රජාතන්ත්‍රවාදී අනාගතය. මේ සාකච්ඡාවට මාත් එක්ක බංගලාදේශයේ, පාකිස්ථානයේ, නේපාලයේ සහ ඉන්දියාවේ කථිකයෝ සහභාගි වුනා.
ණය බරෙන් මිරිකුන, පිරිසිදු හුස්ම, වතුර පවා අහිමි වුන, බලාපොරොත්තු විරහිත අනාගතයන් බාරගන්න සිද්ධ වෙලා තියෙන දකුණු ආසියාවේ තරුණ පරම්පරාවන්ගේ අරගල වලට මූලික වෙන හේතු කාරණා මොනවද කියන එක වගේම වැඩිහිටි පරම්පරා බොහෝවිට මුල්තැන ගන්න සිවිල් සමාජය තරුණ අරගල වලින් දුරස් වෙන්නෙ ඇයි කියන එකත් මෙතනදි සාකච්ඡා වුනා.

මගේ අදහස් දැක්වීමෙදි දකුණු ආසියානු රටවල්වල තරුණ විරෝධතා හුදෙක් ආණ්ඩු විරෝධී හෝ සමාජ, දේශපාලනික කාරණා මත පදනම් වූ විරෝධතා විදිහට දැකීමෙන් ඔබ්බට ගිහින් අපේ රටවල් පීඩාවට පත්කරන ගෝලීය පද්ධතීන්ට එරෙහි විරෝධතා විදිහට දැකීමේ වැදගත්කම මම මතුකලා. නේපාලය, බංගලාදේශය, කෙන්යාව, ශ්‍රීලංකාව ඇතුළු රටවල සමානකම් අතර ආර්ථික සහ ණය අර්බුද, පාරිසරික අර්බුද, අසමානතාවය මුල් තැන ගන්න බවත් මම මතක් කලා.
දේශගුණික විපර්යාස නිසා දුප්පත් රටවල ජීවිත අහිමිවීමෙන් මිනිස් ශිෂ්ඨාචාරය වඳවී යන්නෙ නෑ කියලා බිල් ගේට්ස් වගේ බිලියනපතියෝ කියන්නේ සුදු මිනිසා හඳුනන බටහිර ශිෂ්ඨාචාරය ගැන මිසක් ගෝලීය දකුණේ හෝ අප්‍රිකානු රටවල්වල විචිත්‍ර, විවිධත්වයෙන් යුතු ශිෂ්ඨාචාර ගැන නොවන බවත් මම සඳහන් කලා.

දිනෙන් දින ලෝකයේ අසමානතවය ඉහළ යද්දී, දේශගුණික අර්බුදය තීව්‍ර කරන කඩ ඉම් පහු කරද්දි, ලෝකය පළවෙනි ට්‍රිලියනපතියාට සුබ පතන්න බලාගෙන ඉන්නේ අහම්බයකින් නෙවෙයි.
ඉසෙඩ් පරම්පරාව, බූමර්, මිලේනියල් පරම්පරාවන්ට එකිනෙකා පෝෂණය කරන්න අන්තර් සාකච්ඡා නැතුව අපේ රටවල්, අපේ ජීවිත ආර්ථික දියුණුව වෙනුවෙන් ඉවතලා හැකි දේවල් විදිහට සලකන මේ ආර්ථික පද්ධතිය පරාජය කරන්න බැරි බවත්, මේ සාකච්ඡා වලට ඉඩ හදන්න සිවිල් සමාජයට හැකියාව වගේම වගකීමකුත් තියෙන බවත් මම මතුකලා.
පාකිස්ථානය නියෝජනය කරපු ඉසෙඩ් පරම්පරාවේ තරුණයගේ අදහස් දැක්වීම ගොඩක් රසවත් වගේම හැඟීම් පිරුනු එකක්. නේපාල, බංගලාදේශ් සහ ඉන්දියානු සටන් සඟයන්ගේ අදහස් වගේම සාකච්ඡාවට පස්සේ අදහස් දක්වපු බිහාර් ප්‍රදේශයේ ක්‍රියාකාරී සහෝදරයෙක්ගේ අදහස් වලිනුත් පැහැදිලි වුනේ අපේ අරගල අතර වගේම අපි අත්විඳින යතාර්ථයන් අතරත් සමානකම් සෑහෙන්න තියෙන බව.
සම්පූර්ණ ලිපිය මෙතනින් 👇

මෙලනි ගුණතිලක-Melani Gunathilaka
ලිපියටත්, පින්තූර වලටත් Zofeen Ebrahimටත්, Inter Press Service (IPS) පුවත් සේවයටත් ස්තූතියි.





