කෙටිකතා සංග්‍රහයට ලබාදී ඇති නමෙහි පරිසමාප්ත අර්ථයෙන්ම මෙය ස්ත්‍රීන්ගේ කතා ස්‍රාවයකි. ‘ඊස්ට්‍රජන් කෙටිකතා ස්‍රාවය’

කෘතිය – ඊස්ට්‍රජන් කෙටිකතා ස්‍රාවය (කෙටිකතා)
කතෘ – සුරේඛා සමරසේන
ප්‍රකාශනය – විදර්ශන ප්‍රකාශන

2025 වසර වෙනුවෙන් විදර්ශන සාහිත්‍ය ත්‍යාගය දිනාගත් ප්‍රශස්තම කෙටිකතා අත්පිටපත වන්නේ සුරේඛා සමරසේන විසින් ලියන ලද ‘ඊස්ට්‍රජන් කෙටිකතා ස්‍රාවය’ නැමැති අත්පිටපතයි. මෙම ජයග්‍රාහී අත්පිටපත විදර්ශන ප්‍රකාශන ආයතනය විසින් පොතක් ලෙස ප්‍රකාශයට පත්කොට ඇත. ‘ඊස්ට්‍රජන් කෙටිකතා ස්‍රාවය’ කතුවරියගේ දෙවන කෙටිකතා සංග්‍රහය වන අතර මෙම කෘතිය කෙටිකතා හයකින් සමන්විත වේ.

මෙම කෙටිකතා සංග්‍රහය හරහා අප වෙසෙන වාස්තවික සමාජයේ විවිධ ස්ත්‍රී භූමිකා ඉතා තාත්විකව සහ එකී සන්ධර්භයන් තුළ සැබෑ ස්ත්‍රියක විසින් අපේක්ෂා කරනු ලබන මනෝලිංගික මෙන්ම ජීවවිද්‍යාත්මක සාධක පදනම් කරගත් අනේකවිධ කාරණා ස්ත්‍රියකගේ දෘෂ්ටිකෝණයෙන් ලියවී ඇත. මෙහි අපට හමුවන ගැහැනුන් විවිධාකාරය. ඔවුනගේ බලාපොරොත්තු හා අශාවන් විවිධය. පුරුෂමූලික සමාජයක විවිධ තල වල ජීවත්වන මෙරට ස්ත්‍රිය අත්විඳින, අත්දකින සමාජ හා සංස්කෘතික කාරණා හරහා ඇගේ චිත්තවේග (හැඟීම්, දැනීම්) කුටුම්බයක් තුළ සිරවන ආකාරයත්, ඒ නිසා ඇය විඳින පීඩාවත් මැනවින් පිළිඹිබු වන පරිදි එකිනෙකට වෙනස් තේමාවන් ඔස්සේ මේ අඛ්‍යානයන් සියල්ල කතුවරිය විසින් ඉතා යතාර්ථවාදීව රචනා කොට ඇත. මේ කතා, ප්‍රබන්ධ කතා යැයි කෙනෙකුට උපකල්පනය කළ හැකි වුවද සත්‍ය වශයෙන්ම මේවා ප්‍රබන්ධ කතා ලෙස ලඝු කිරීම සාධාරණ නොවන බව මාගේ හැඟීමයි.

සුරේඛා සමරසේන

ගැහැනියක පුරුෂයෙකු කෙරෙහිත්, පුරුෂයෙකු ගැහැනියක කෙරෙහිත් දක්වන ආකර්ෂණය හා කැමැත්ත ලිංගිකත්වය මත පමණක්ම පදනම් වූවක් ද? දෙදෙනෙකු අතර පවතින සමීප සබඳතා වල සෞඛ්‍යසම්පන්නභාවය කෙරෙහි ලිංගිකත්වය නැමැති සාධකය ඍජුවම බලපෑවද ඊට එහා ගිය වෙන යමක් එකී සබඳතාවල දක්නට නොලැබෙන්නේද? ගැහැනුන්ට වඩා පිරිමින් ද, පිරිමින්ට වඩා ගැහැනුන් ද වෙනස් බව අපි දනිමු. ඔවුන්ගේ අශාවන් ද විවිධ බව අපි දනිමු. ‘ඊස්ට්‍රජන් කෙටිකතා ස්‍රාවය’ නැමැති කෙටිකතා සංග්‍රහයේදී, ස්ත්‍රියගේ අශාව හා පුරුෂයාගේ අපේක්ෂාව පවතින්නේ ස්ථර දෙකක බව මෙහි එන කතා දෙස සියුම්ව බලන විට පෙනී යන කරුණකි. දෙයක් ඍජුවම පවසනවාට වඩා නිහඬව හිඳීම හෝ වක්‍රාකාරව පැවසීම බොහෝ සබඳතාවල දැකගත හැකි දෙයකි. ඒ තුළින් අපේක්ෂා කරන්නේ එක පාර්ශවයක චිත්තවේගයන් අනෙක් පාර්ශවය විසින් මැනවින් අවබෝධ කර ගනු ඇති බවට වන අවංක විශ්වාසයයි.

ආදර සබඳතාවයක් හෝ විවාහ සබඳතාවයක් තුළ නිහඬව හිඳීමේ මෙම රෝග ලක්ෂණයේ ස්වභාවය වටහාගන්නේ කීයෙන් කී දෙනාද? මේ කාරණය විශේෂයෙන්ම ස්ත්‍රියකගේ ආශාවන් අනෙකා වෙත දැනවීමට ස්ත්‍රිය විසින්ම ගනු ලබන ක්‍රියාමාර්ගයකි. මේ තත්ත්වය හමුවේ දෙදෙනා අතර පවතින අනවබෝධය හා දුර්වල සන්නිවේදනය හේතු කොට ගෙන කුටුම්බයන් තුළද, ප්‍රේමවන්තයන් තුළද විවිධ ගැටුම් නිර්මාණය වේ.

මෙම කතා තුළදී අප සමාජයේ වෙසෙන විවිධ කාන්තාවන් අපට හමුවේ. ඇතැමෙකු වෙසෙන්නේ නාගරික පරිසරයකය. තවෙකෙක් ගමෙහි වාසය කරති. අර්ධනාගරික වටපිටාවකට උරුමකම් කියන ස්ත්‍රීහුද සිටිති. ඔවුන්ගේ ජීවන තත්තවයන් සලකන විට ඉහළ, මධ්‍යම හා පහළ යන සෑම පන්තියකම නියෝජනයන් පාඨක අපට දැකගත හැකිය. මෙහිදී එන ඇතැම් කාන්තා චරිත ඔවුන් ජීවත්වන සමාජ සන්ධර්භයට අනුව ජීවිතයේ විවිධ තීන්දු තීරණ ගැනීමේදී, සභ්‍යත්වය හා බැඳුනු පොදු අපේක්ෂාවන්ට මෙන්ම පුරාතනයේ පටන් ඔවුන් කූඩුවී සිටින / කූඩුකර තිබෙන සම්මත හා ගතානුගතික සංස්කෘතික රාමුවට එරෙහිව ක්‍රියා කරන ආකාරය ඒ ඒ චරිත වලට අනන්‍ය වූ චරිත ලක්ෂණ හා ස්වභාවයන් හරහා නිරූපනය කිරීමට කතුවරිය ගෙන ඇති උත්සාහය අගය කළ යුතුය.

විවාහක අඹුසැමියන් ප්‍රාර්ථනා කළ යුත්තේ සතුට, සමාදානය නොවේද? දරුවන් ඇතුව හෝ නැතුව ලද දෙයින් සෑහීමකට පත්ව තෘප්තිමත්ව ජීවත්වීම නොවේද? මෙහි එන ‘වැලි සිමෙන්ති’ කතාවේ අඹුසැමියන්ට එකී තෘප්තිමත් ජීවිතයක් කවදා නම් උදාවේවිද? සිය සකලවිධ අපේක්ෂාවන් ඔවුන්ගේ නිවස සාදන අතරතුර වැලි හා සිමෙන්ති අතර දියවී යන අයුරු ස්ත්‍රියකගේ දෘෂ්ටියෙන් කතුවරිය මතු කරන ආකාරය විශ්මයජනකය. රෙදිසේදීම, ඉවීම, ගෙවල් අස්පස් කිරීම ඇරුනු කොට මේ කතාවේ ස්ත්‍රියට වෙන රාජකාරියක් නැත. ක්‍රියාත්මක වන්නේ සැමියාගේ අණය. කුමක් කළද ඇගේ ස්වාමියාගෙන් ඇයට අවසානයේ හිමිවන්නේ ගැරහුම් පමණි. අඩුමතරමේ සාදනු ලබන මුළුතැන්ගෙය ස්වකීය අවශ්‍යතාවයන්ට ගැලපෙන අන්දමට නිමවාගැනීමට හෝ ඇය ඉඩක් නොලබන්නීය. අඩුපාඩුවක් පෙන්වාදීමට ඇයට අවස්ථාවක් නොලැබෙන්නේය. එම නිවස සාදා අවසන් වන විට පවුල් සංස්ථාව බිඳී යනු ඇතැයි යන සැකයෙන් මේ කාන්තාව පසුවන අතර සිය නිවස තුළ ඇය අත්විඳින පීඩාවේ තරම පාඨකයාට මැනවින් ඒත්තු ගැන්වෙන පරිදි මෙම කතාව කතුවරිය විසින් මනාව ගොතා ඇත.

‘කොටු පැනීම’ වත්මන් සමාජයේ පවුල් ඒකක තුළ සුලභ දෙයකි. අඹුසැමියන් අතර සේම, තිස්තුන් කෝටියක් වන දේව මණ්ඩලයේ ද, ජාතක කරන ලද මව්පියන්ගේ ද නාමයෙන් හිසමත දිවුරා පොරොන්දු ලබාදෙන ප්‍රේමවන්තයන් අතරද කොටුපැනීම කලාවක් වී ඇත. ‘තොරණක්’ කෙටිකතාව හරහා පිළිඹිබු වන්නේ විවාහ ජීවිතයේ ලබන හා විඳින අතෘප්තිය සන්සිඳුවා ගැනීමට උත්සාහ කරන ස්ත්‍රියකගේ චරිත ස්වභාවයයි. තොරණක කොටුවලින් කියවෙන්නේ කතාවක විවිධ සිද්ධිය. සැමියාට හා නැන්දම්මාට මුසාබස් පවසන මෙහි එන විවාහක කාන්තාව සිය අනියම් පෙම හමුවේ තෘප්ත වන ආකාරය කතාවේ එන තොරණේ කොටු හරහා නිරූපනය වේ. එහිදී ඔවුන්ට අත්විඳීමට සිදුවන විවිධ බාධක කතුවරිය විසින් සිත් ඇදගන්නා අන්දමට විස්තර කරනු ලබයි. අහම්බයෙන්න් මුණගැසෙන පිරිමියකුගේ අපේක්ෂාවන් හමුවේ මෙකී විවාහක කතගේ ආශාවන් දියවී යන අයුරු දැක ගැනීමට නම් තොරණ දෙස අපට බලා හිඳීමට සිදුවේ.

කතුවරිය සිය තුන් වන කෙටිකතාව නම් කර ඇත්තේ ‘පොට්ටු’ නමිනි. විවාහක සැමියා නොමැතිව තනිවම සංචාරය කරන ශිල්පාට පොට්ටුව අවශ්‍ය වන්නේ ඇයි? පොට්ටු මංජුසාවෙන් ඉවතට ගන්නා පොට්ටුව නළල මැදින් තබන ශිල්පා ඊලඟට කරන්නේ කණ්නාඩිය ඉදිරියට ගොස් ඇය සමඟම සංවාදයේ යෙදීමය. මෙම සංවාද, ඇය තුළ පවතින අවිඥානික හැඟීම් මෙන්ම ඇගේ විවිධ මනෝභාවයන් නිරූපනය කිරීම සඳහා කතුවරිය විසින් ඇගේ පරිකල්පනය මුසුකොට නිර්මාණාත්මකව ගොඩනංවා තිබෙන බව පෙනීයයි. ශිල්පා පසුවන්නේ ස්වකීය සම්ප්‍රදායත්, සංස්කෘතියත් යන කාරණා දේවත්වයෙන් සලකමිනි. තමා දේවත්වයෙන් සලකන ඒ සංස්කෘතික කාරණා ඇයට ඇගේ සිතැඟි ඉටුකර ගැනීමට බාධාවක් වුවද අවසානයේ ලෞකික සුඛවිහරණය උදෙසා ඇය ක්‍රියා කරන්නේ ඒ බාධක කිසිවක් මායිම් නොකරමිනි. නුපුරුදු දේශයක ඇයට මුණගසෙන අසංක නම් වූ මඟපෙන්වන්නා, ඔහුගේ නිවසේදී එරමිණියා ගොතාගෙන භාවනා කරන විට ඔහු දෙස විනාඩි පනහක් පමණ ඉවසීමෙන් බලාසිටින ශිල්පා අවසානයේ ඔහුගේ උකුල මත වාඩිවන්නේ කුමක් අරභයාද? ආශාවන් සිරවී පවතින පවුල් සංස්ථාවෙන් මඳකට ඈත් වූ විට දැනෙන නිදහස හමුවේ ශිල්පා ක්‍රියා කළේ කුමන බලාපොරොත්තුවෙන්ද? කතාව කියවීම පාඨක ඔබට බාර කරමි.

සංස්කෘතික කාරණාවක් වන වැඩිහිටියන්ට සැලකීම අපි නිතැතින්ම උරුමකරගෙන සිටිමු. ජීවිතයේ අවසාන කාර්තුව ගෙවන බහුතරයක් වඩිහිටියෝ සෞඛ්‍යයෙන් පිරිහුණු අය වෙති. එවන් වැඩිහිටියෙකු මානසික ව්‍යාකූලත්වකට ගොදුරු වී තිබීම වඩාත් සංකීර්ණ තත්ත්වයකි. ‘අපි දෙන්නා’ නම් වූ කෙටිකතාව හරහා කතුවරිය අපට ගෙන එන්නේ එවැනි මානසික රෝගයකින් පෙළෙන බාලම්මාගේත් ඇගේ ඥාති දියණියකගේත් කතාවකි. රැකබලාගන්නිය අත්විඳින සංකීර්ණතා පාඨකයාට අවබෝධ වන පරිදි කතුවරිය විසින් මේ කතාව ගොතා ඇත.

ජීවිතයේ නිවැරදි තීරණයක් ගත නොහැකිව, එහෙත් හමුවන තීරණාත්මක ගැටළු හමුවේ කුමක් හෝ තීරණයක් ගෙන තිබුණ ගැහැණුන්ගේ කතා ‘වංකගිරියක’ නම් වූ කෙටිකතාවෙන් අපට කියවා ගත හැකිය. මේ කතා වල හමුවන ගැහැනුන් විවිධය. ඔවුන්ගේ මනෝභාවයන් විවිධය. ඔවුන් මුහුණපාන සංකීර්ණතා විවිධය. ඔවුන් මහාද්වීපික ගැහැනුන් මෙන් රැඩිකල් මත දැරුවද ඔවුන්ට ඇත්තේ දූපත් මානසිකත්වයන් ය. මේ තත්ත්ව දෙකට මැදිවූ අතීරණාත්මක ගැහැනියකගේ අවිනිශ්චිත ආශාවන්ගේ ස්වභාවය මේ කතාව හරහා දිගහැරෙයි.

මෙහි එන අවසාන කෙටි කතාව වන්නේ ‘කනදරාවේ කාන්ති’ ය. කාන්ති එක් දරු මවකි. ඇගේ සැමියා ඇයට අහිමි වන්නේ නොසිතූ මොහොතකය. ඇයටත් ඇගේ එකම පුතාටත් තනි රැකීම සඳහා මිය ගිය පුරුෂයාගේ ඥාති පුත්‍රයෙකුට ඔහුගේ නිවසෙන් අනුමැතිය හිමිවේ. යෞවනත්වය පසුකරමින් සිටින වෙනුරගේ හැඟීම් කාන්ති ඉදිරියේ මුදාහැරෙන ආකාරය මේ කතාවෙන් නිරූපනය වේ. අතිශය දුෂ්කර ග්‍රාමයක වෙසෙන වෙනුර වන් තරුණයන්ගේ සමනල් හැඟීම් ක්‍රමයෙන් මෝදුවීම කාන්ති වැනි මැදිවියේ කතකට කෙසේ නම් පාලනය කළ හැකිද? ස්වභාවික ආශාවන් තෘප්ත කර ගැනීම වෙනුවෙන් වෙනුර ක්‍රියා කරන්නේ කෙසේද? වෙනුරගේ කවකටු පෙට්ටියේ සලකුණු මැකුණු කෝණමානයෙන් හා කැඩුණු කවකටුවෙන් සංකේත්වත් වන්නේ මොනවාද? ඇගේ තනිකම මෙන්ම කාන්සිය නිවාදැමීමට වෙනුරට හැකියාවක් ලැබේද? කාන්ති එය භාරගන්නේ කෙසේද? ගාමන්ට් රස්සාව කරන කාන්තිට තෙල් සාත්තුවෙන් ලැබෙන සුවය කෙබඳුද? පිළිතුරු සියල්ල ‘කනදරාවේ කාන්ති’ කියවන විට ලැබෙනු ඇත.

පිරිමි අපේක්ෂාවන්ට යටත්වීමට සිදුවන, සකලවිධ ආශාවන් විවිධ හේතු නිසා යටපත් කරගෙන සිටින, කුටුම්බයක් තුළ සිය ආශාවන් අවතැන් කරගෙන ජීවත්වන, සංස්කෘතිය හා සභ්‍යත්වය හමුවේ රාමුවකට කොටුවී සිටින, ජීවත්වන සමාජ පන්තියේ සීමාවන්ට අසීමිතව නතුවුන, අසීමිත හා අතෘප්තකර සිතැඟි කෙසේ හෝ මුදුන්පමුණුවා ගැනීමට වෙහෙසෙන විවිධ කාන්තාවන් අපට මෙම කෙටිකතා පොත හරහා මුනගැසෙනු ඇත. කියවන පාඨකයන් ලෙස අප කළ යුත්තේ එසේ මුණගැසෙන කාන්තාවන්ට විනිශ්චයන් ලබා දීම නොව ඔවුන්ව තේරුම් ගැනීමට උත්සාහ කිරීමය. පුරුෂයාගේත් ස්ත්‍රියගේත් චිත්තවේග ක්‍රියාකරන අන්දම වටහාගැනීමට උත්සාහ කිරීමය.

කෙටිකතා සංග්‍රහයට ලබාදී ඇති නමෙහි පරිසමාප්ත අර්ථයෙන්ම මෙය ස්ත්‍රීන්ගේ කතා ස්‍රාවයකි. රචනාකොට තිබෙන සුමට හා සරල බස් වහර නිසා කියවන පාඨකයා පළමු කතාවේ සිට අවසාන කතාව දක්වාම එකම ස්ථරයක රඳවා තබාගැනීමට කතුවරිය සමත්වී ඇති බව කිව යුතුය. ඇයගේ පරිකල්පනය ද විශිෂ්ටය.

More From Author

සමාජයේ නොයෙකුත් තරාතිරම් වල ඇතැමුන් අත්විඳින කටුක මෙන්ම ආදර්ශයක් ලබාදීමට හැකි ඇතැම් සංසිද්ධි ඔස්සේ තමයි මෙම කෘතිය ලියා තිබෙන්නේ…

දකුණු ආසියාවේ තරුණ ව්‍යාපාර සහ ප්‍රජාතන්ත්‍රවාදී අනාගතය

Leave a Reply

Categories

LDM Columns

https://www.facebook.com/profile.php?id=61575953530348