මහේෂි බී. වීරකෝන්:
ඒක සිදු උනේ හරියටම මොන හේතුවකටද කියලා මට මතක නෑ. මාත් වැරදියි. එයත් වැරදියි. එහෙම නැත්තම් අපි දෙන්නම වැරදි නෑ. මට හිතෙන්නේ ඒ ටික විතරයි.
කේන්තිය කියන්නේ එපා වීම සඳහා හොඳ ෆුයෙල් එකක්. ඒකෙන් දුක, වේදනාව අමතක වෙලා යනවා. කිසිම දෙයක් නොතකා ඉරක් වගේ දැවි දැවී ඉදිරියට යන්න ඒක ඔයාට උදව් කරනවා. ඒත් එකම ගැටළුව, මොනතරම් ලොකු කේන්තියක් උනත් දවසක ඉවර වෙනවා. ඉන්ධන ඉවර වෙනවා.
කේන්තිය ලාස්ට් උනේ උපරිම මාස දෙකයි. ඒ මුළු කාලෙම මම හිටියේ සමනලයෙක් වගේ නිදහසේ. අපි බ්‍රේකප් වෙන්න ලං වෙලා ගෙවුන මාස දෙක තුන හරිම ස්ට්‍රෙස්ෆුල් වෙලා තිබුනේ. ඉවරක් නැති රණ්ඩු, නෝක්කාඩු, හිත් රිදවීම්, ටිට් ෆො ටැට්ස්. අන්තිම මහා රණ්ඩුවෙන් පස්සේ එක සැරේට ඒ සේරම නැවතුනාම, හරියට කුණාටුවක් ඉවර උනා වගේ මට පුදුම තරම් සාමයක් දැනුනා.

ඒත්, ඒ කුණාටුව ඉවර උනාට පස්සේ දැනෙන සාමය නෙමෙයි, ඒ කුණාටුව එන්න කළින් දැනෙන සාමය කියලා මම දැනගත්තේ මාස දෙකකට පස්සේ අර කේන්තිය නිවිලා ගියාම.
ඉස්සරවෙලාම කඩා හැලෙන්නේ පුංචි මතක ගල් කැබැලිත්තක්. ඊට පස්සේ ඔයා මුළුමනින්ම නාය යනවා. නරක මතක සේරම යටපත් වෙලා, එයා ගැන තියෙන ආදරණීය මතක සේරම මතුපිටට එනවා.
මම පුංචි කාලේ ඩැඩාගේ ලයිබ්‍රරියේ තිබුන පොතක කියවපු කෙටිකථාවක් තිබුනා: “Sunstroke” – ඉවාන් බූනින්. මම ඒ කථාව කියෙව්වේ ඒ එකම එක වතාවේදි විතරයි. මට මතක විදියට නැවකදි මොහොතකට හමුවෙන ආදරවන්තයින් දෙන්නෙක් වෙන් වෙලා මාස ගානකට පස්සේ, ලියුටිනන්ට් කෙනෙක් වෙන පිරිමියාට දැනෙන වියෝ දුක ගැනයි කථාවේ තියෙන්නේ. ඒ වයසට මට ඒ හැඟීම් කිසිවක් නොතේරුනත්, ලියලා තිබුන විදියටද මන්දා කතාව කියවගෙන යද්දි ඒ පාළුව, ඒ වේදනාව, ඒ මූසල හැඟීම මටත් ඒ විදියටම දැනුනා.

ඊට පස්සේ ආදරේ කරපු හුඟක් වතාවල පෙළක් ආදරවන්තියන්ගෙන් වෙන් උනාම, (වෙන් උන කොන්ටෙක්ස්ට් එක අනුව) මට දැනුනේ හරියටම ඒ හැඟීම්ම තමයි. ඉන්ටෙන්සිටි එක ටිකක් එහෙ මෙහෙ වෙන්නැති ඕනි නම්.
ඉතින් අර මාස දෙකෙන් පස්සෙ මම සන්ස්ට්‍රක් උනා. හිරුගේ ගිනි පහරට අහු උනා. හැම මොහොතකම මට එයා මතක් උනා. හැම හැන්දෑවක්ම එයා නැති පාළුවේ ගිලුනා. හැම උදයක්ම වේදනාවෙන් බර උනා. කොටිම්ම එයාගේ රණ්ඩු පවා මට මිස් උනා. එයාගේ ලස්සන ඇස්, බොත්තම් නාහේ, රෝස පෙති තොල්, උල් නිකට, කැරළි කොණ්ඩේ, හුරුබුහිටි අතපය, මාබල් පියයුරු, හැම තත්පරේකම මගේ හිතේ හොල්මන් කළා. මම දැක්කම එයා පොඩි එකෙක් වගේ උඩ පැනගෙන හිනා වෙවී මගේ ලඟට එන හැටි, මට චොක්ලට් කවන හැටි, තොල් පෙරළාගෙන අඬන්න වගේ මූණ හදාගන්න හැටි, එකිනෙකා රිදවගනිමින්, සනසගනිමින් අපි සෙක්* කරපු හැටි…
අන්තිමේටම, අන්තිම මොහොතකටත් පස්සෙ මොහොත එළැබුණා. එක දවසක් අහම්බෙන් මම fb ෆීඩ් එකේ අපේ මියුචුවල් ෆ්‍රෙන්ඩ් කෙනෙක් ශෙයා කරපු එයා ඉන්න පින්තූරයක් දැක්කා. හැමදෑම වගේ සුරංගනා ලස්සනකින් උනත් ඇස් දෙකේ මොකක්දෝ සාංකාවක් එක්ක. මට ඉවසුම් නැතුව ගියා. හදවත කෑලි සිය දහසකට කැඩිලා ගියා. මම ෆෝන් එක අතට අරන් එයාට මැසේජ් එකක් දැම්මා.
“මට ඔයා මතක් වෙනවා හැම වෙලේකම. ඔයා නැතුව ඉන්න එක මට ලේසි නෑ. මගෙ හිතේ තරහක් නෑ. ඉතින් මගේ මගේ චූටි තම්බලීනා, ඔයත් තාමත් මට ආදරෙයි නම්… මේකට රිප්ලයි එපා. මං හෙට හවස ඔයාලාගෙ ගේ ඉස්සරහින් යනවා, ඔයා තාමත් මට ආදරෙයි නම්, if you still feel the same…මිදුලේ තියෙන පයින් ගහේ රතු පාට රිබන් එකක් ගැට ගහලා තියන්න. ඒ ඇති.”

ඊට පස්සේ, පහු වෙනිදා හවස, හදවත වේගෙන් ගැහිලා, මුළු ඇඟම දාඩියෙන් තෙත් වෙලා, මට පැනික් ඇටෑක් එකකුත් එන්න ඔන්න මෙන්න තියලා වගේ මම කාර් එක අරන් එයාලගේ ගෙවල් දිහාවට ගියා. සෑහෙන දුරක් වාහනේ පැදලා, එයාලගේ ගෙදරට වෙනකල් යන, කිලෝමීටරයක් විතර වෙන අතුරු පාරට කාර් එක හැරෙව්වා. ඒ පාර දෙපැත්ත මායිම් වෙලා තියෙන්නේ පයින් ගස් පේළියකින්. ඉතින්, පාරට හැරෙද්දිම තියෙන පළවෙනි පයින් ගහේ අඩි පහක් විතර උසට වෙන්න තිබුණා….රතු රිබන් පටියක්.
එතැන ඉඳන් පාර දෙපැත්තේ කිලෝමීටරයක් විතර යනකල් තිබුන හැම පයින් ගහකමත් ඒ උසින්ම රතු රිබන් පටියක් බැඳලා තිබුණා…
P.S. ඉවාන් බූනින්ගේ කතාවේ චරිත දෙකට නම් නෑ. ඉන්නේ “ඔහු” සහ “ඇය” විතරයි.
OnThisDay

මහේෂි බී. වීරකෝන්-Maheshi B.Weerakoon





