BBC සංදේශය සහ ස්විට්සර්ලන්තයේ “කනල්කා” ගුවන් විදුලි සේවාවේ හිටපු මාධ්‍යවේදී, “හරය” පුවත්පතේ හිටපු ප්‍රධාන කතෘ ඥානසිරි කොත්තිගොඩ මෙවර Lanka Daily Mail වෙබ් අඩවියේ Progressive Voices සමඟ එක්වෙයි.

ප්‍රශ්නය : ඔබ ලංකාවේ මාක්ස්වාදී පක්ෂයක්වන නව සම සමාජ පක්ෂයේ නායකයෙක් වූ අතර, එහි පුවත්පතවන “හරය” හි හිටපු ප්‍රධාන කර්තෘවරයෙක්ද විය. එම අවධියේ ඔබට ඇති මතකයන් පිළිබඳව විස්තරයක් කළ හැකිද?
පිළීතුර: හැම පත්තරේකටම මතවාදයක් තියෙනවා. ඒ මතවාද බොහොමයක් දැඩි සිංහල ජාතිකවාදී. දැඩි රාජ්‍යවාදී. දැඩි කම්කරු විරෝධී, දැඩි ව්‍යාපාරිකවාදී නිසා ඒවා දැඩි ජනතා විරෝධී. ඒනිසාම ඒවා ප්‍රජාතන්ත්‍ර විරෝධී. නව සම සමාජ පක්ෂයත් හරය පුවත්පතත් මේ පෙර කී මතවාදයන් සියල්ලට විරුද්ධ මතවාදයක් නියෝජනය කළ නිසා මට නව සම සමාජ පක්ක්ෂයේ දේශපාලනය කරමින් හරය පුවත්පතේ ප්‍රධාන කර්තෘවරයා විදියට කටයුතු කරන්න කිසි ගැටුමක් ඇතිවුණේ නෑ. අපට වෙළෙඳ දැන්වීම් ලැබුණේ නෑ. අනුග්‍රාහකයෝ හිටියේ නෑ. ඒනිසාම අපට ප්‍රගතිගාමී පත්තරයක් ගහන්නත් පුළුවන් වුණා.අර මහා ප්‍රවාහයේ පත්තරවලට ලැබෙන රාජ්‍ය හා ව්‍යාපාරික වරදාන ලැබුණේ නැති නිසා අපි පත්තරේ පවත්වාගෙන ගියේ වැඩපල කම්කරුවන් මුල්කරගෙන. ඒවගේම වමේ රැස්වීම්වල, සම්මන්ත්‍රණවල අපේ පුවත්පත අලෙවි කළා. ස්ථිර සාමාජික ප්‍රමාණයක් සිටියා. මේවගේ තමයි අපි පත්තරේ පවත්වාගෙන ගියේ. ඉතිං නව සම සමාජ පක්ෂයේ වෘත්තීය විප්ලවවාදියෙක් වෙමින්ම හරයේ ප්‍රධාන කර්තෘකම පවත්වා ගෙන යද්දී මේ දෙකේ අන්තර් සම්බන්ධතාවයෙන් මගේ මාක්ස්වාදී දේශපාලනයෙන් පුවත්පතත්, පුවත්පතෙන් මගේ මාක්ස්වාදී දේශපාලනයත් පෝෂණය වුණා මිස කිසිම හානියක් ගැටුමක් ඇතිවුණේ නැහැ.

ප්‍රශ්නය: “BBC ලෝක සේවයේ සිංහල සංදේශයේ” මාධ්‍යවේදියෙක් ලෙස කටයුතු කළ සමයේ ඔබට ලැබුණු අත්දැකීම් පිළිබඳව සහ ඒවා ඔබගේ වෘත්තීය ගමනට ඇතිකළ බලපෑම පිළිබඳව සඳහනක් කළ හැකිද?
පිළිතුර: හරය පුවත්පතේ මම පෑනෙන් විතරක් කරමින් හිටිය වැඩටික මාධ්‍ය මෙවලම් පාවිච්චි කරන්න, තාක්ෂණය පාවිච්චි කරන්න මට පුරුදු පුහුණු කළේ බීබීසීය. ඒවා කියා දුන්නා පමණක් නොවෙයි මට ඒ උපකරණ පවා දුන්නා. ඒ ලබාදුන් පුහුණූවට අදත් මම බීබීසී සිංහල සංදේශයට ස්තුතිවන්ත වෙනවා. මම අගය කරනවා. මොකද ඒ පුහුණුව හා මාධ්‍ය මෙවලම් ලබාදීම මගේ මාධ්‍ය ජීවිතය ඉදිරියට යන්න විශාල ශක්තියක් වුණා. ඒවගේම ප්‍රධාන ධාරාවේ මාධ්‍ය භාවිතාවෙන් වෙන්වෙලා කොහොමද වඩා වැඩි පිරිසක් ආමන්ත්‍රණය කරන්නේ කියන එකත් මම ඉගෙන ගත්තේ බීබීසියෙන්. ලංකාවේ වර්ගසංහාර යුද්ධය යන කාලේත් අපේ සංදේශයට ලක්ෂ 21 වැඩි අසන්නන් ප්‍රමාණයක් හිටියා. මේකේ පොඩි උදාහරණයක් කියන්නම්. ඔය සටන් විරාම කාලයේ අපි මාධ්‍යවේදීන් 20 ක් විතර යාපනයේ ගිහින් එන අතරමගදී මුරුකණ්ඩි පොලිසියට ආසන්නයේදී බස් එක කැඩුණා. එතැනට ඒවෙලාවේ ආවා මුරුකණ්ඩි පොලිසියේ රාළහාමි කෙනෙක්. එයා අපේ මාධ්‍ය ආයථන මොනවාද කියලා අහද්දී මම කිව්වා බීබීසී සිංහල සංදේශයේ කියලා. එතකොට රාළහාමි කිව්වා අපි මෙස් එකේ හිටියත්, වෙන මොකක් හෝ වැඩක් කරමින් හිටියත් ඒව නවත්වලා බීබීසීය අහන්න නවයයි කාලට බංකරේට දුවනවා කියලා. බීබීසිය අහන්න එච්චර තියෙන උනන්දුව මොකක්ද කියලා මම විමසීමක් කළා. එතකොට රාළහාමි කියනවා අල්ලපු බංකර් එක කොටි අල්ලගෙනද, ඒකට ගහලාද කියලා හරියටම අපි දැන ගන්නේ බීබීසියෙන් කියලා. අන්න එහෙම තමයි එදා බීබීසී ලෝක සේවයේ සංදේශය තිබුණේ. නමුත් අද බීබීසීය ගැන හිතනකොට හරිම කණගාටුයි. මම ඒ ගැන ලොකු විස්තරයක් කරන්න යන්නේ නෑ. පලස්තීනයේ ගාසාවේ කෙරීගෙන යන ඒ මහා වර්ග සංහාරයේ වාර්තාකරණය අධ්‍යයනය කළාම ඔබලාට එදා සහ අද වෙනස තේරුම් ගන්න පුළුවන් වේවි. මොකද ජනමාධ්‍යයක ප්‍රධාන වගකීම තමයි බලවන්තයන්ට සත්‍ය කියාදීම. හැබැයි එලෙස කරන්නා වූ වාර්තාකරණයෙන් මම පාඩමක් ඉගෙන ගත්තා. එකක් තමයි ධනපති ප්‍රජාතන්ත්‍රවාදය තුළ ජනමාධ්‍ය කියන්නේ හතරවෙනි කුළුණ කියලා අපි උදම් ඇනුවට මේ සමාජයේ මුල්බැහැගත් ආචීර්න කල්පිත ආකල්ප, අදහස්නම් වෙනස් කරන්න බෑ. මොකද ලංකාවේ වර්ග සංහාර යුද්ධයෙන් සිංහල ජන සමාජයටත්, දෙමළ ජන සමාජයටත් සිද්ධවෙන විනාසය ගැන දෙපැත්තේම තොරතුරු අරගෙන අපි සාකාච්ඡා කළා. පෙන්වා දුන්නා. ලක්ෂ 21ක් විතර වූ අසන්නන්ගෙන් සාතිශය බහුතරය සිංහල වෙන්න ඕන කියලා මම විශ්වාස කරනවා. නමුත් ඒ සියළු දෙනා මහා මිනිස් ඝාතනයකට ගිහින් ඒ ම්ලේච්ඡත්වය කිරිබත් කා උත්කෘඨයට නංවමින් තමයි හමාර කළේ. මෙතැනදී මම නැවත නැවතත් තහවුරු කරගත් දේ තමයි කම්කරු පන්තිය බලය ගැනීමකින් තොරව මේ කිසිම ප්‍රශ්නයකට තිරසර විසඳුමක්නම් ලබාගන්න බැහැ කියන එක. එවගේම මේ මිනිස් සංහාරය මැද අපි කළ දියුණු මාධ්‍ය භාවිතාව භාරගන්න ලෑස්ති නැති රටක ජීවත්වීම නිසා අවසානයේ මට මගේ මව්බිම දාලා එන්න සිද්ධ වුණා. ඒකෙන් ශරීරය බේරුණා, නමුත් ජීවිතය නැතිවුණා.

ප්‍රශ්නය: ස්වීට්සර්ලන්තයේ “කනාල්කා ගුවන් විදුලි සේවයේ” වැඩ සටහන් මෙහෙයවීමේ අභියෝගය සහ විශේෂත්වය පිළිබඳව ඔබට කියන්නට තිබෙන්නේ කුමක්ද?
පිළිතුර : “කනල්කා” කියන්නේ ස්වීට්සර්ලන්තයේ තිබෙන ප්‍රජා ගුවන් විදුලි සේවාවක්. ඒවා පවත්වාගෙන යන්න රජය උදව් කරනවා. මට ඒ ගුවන් විදුලිය එක්ක වැඩ කරන්න ලැබුණේ අජීවන් කියන නමින් බොහෝ දෙනා දන්නා අඳුනන වීරකීර්ති තමිල්චෙල්වම් නම් වූ මගේ ආදරණීය මිත්‍රයා නිසා. ඔහු පසුගිය සැප්තැම්බරයේ අපෙන් සදහටම සමුගත්තා. දෙමළ ඊළාම් මහජන විමුක්ති පෙරමුණේ (PLOT) ගුවන් විදුලියේ සේවය කළ නිසා තමයි ඔහු දේශපාලන රැකවරණ පතා ස්වීට්සර්ලන්තයට එන්නේ. අජීවන් මැලේසියාවේදී රේඩියෝ කලාව පිළිබඳ ඉගෙන ගත් ඒ පිළිබඳ ප්‍ර්‍රාමාණික දැනුමක් තිබෙන කෙනෙක්. ඒ වගේම ඔහුට වීඩියෝ කැමරාකරණය පිළිබඳවත් මනා දැනුමක් තිබුණා. ඉතිං ඔහුත් එක්ක එකතුවෙලා මම කනල්කා එකේ වැඩ සටහන් ගණනාවක් කළා. ලංකාවේ ඇතැම් දේශපාලන පක්ෂ නායකයන් පවා අපේ වැඩසටහන්වලට සම්බන්ධ කරගත්තා. මගේ ජනමාධ්‍ය කලාවේ තිඹිරිගෙය වෙච්ච හරයෙන් මම ලබාගත් දැනුමත්, බීබීසී සංදේශයෙන් ලබාගත් තාක්ෂණ හා අනෙකුත් දැනුමත් මට ප්‍රයෝජන්වත් වුණා. ඒනිසා අභියෝගක් කියන්න තරම් දෙයකට මුහුණ පෑවේ නෑ. ඉතිං මේ ගුවන් විදුලියේ වැඩසටහන් කළාට අපට වැටුපක් ලැබෙන්නේ නැති නිසා ජීවත්වීම සඳහා වැටුපක් ගන්න රස්සාවක් කරන්න වුණා. නමුත් කනල්කා එක්ක සම්බන්ධවීමෙන් ලංකාවේ මම කළ මාධ්‍ය රස්සාවත් අඛණ්ඩව කරන්න ලැබුණු එක මගේ හිතට විසාල සහනයක් වුණා. මට එහෙම සහනයක් ලැබුණත් මම පිටුවහල් වෙච්ච කාලයේම ජීවිත ආරක්ෂාව පතා පිටුවහල් වෙච්ච ලෝකය පුරා විසිරී ඉන්න තවත් මාධ්‍යවේදීන් බොහොමයකට එවැනි අවස්තාවන් ලැබිලා නැහැ. ඒ අයගේ පුරුදු පුහුණු මාධ්‍ය භාවිතාව වෙනුවට ජීවිතේ ගැට ගහගන්න නුහුරු නුපුරුදු, අපි නොපැතූ, අපි අකැමති රස්සාවල් කරන්න සිද්ධවෙලා තියෙනවා. ඒක ඉතිං හරි වේදනාකාරියි. ඒත් ඉතිං මොනවා කරන්නද?

ප්‍රශ්නය : වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ හිටපු සභාපතිවරයෙක් ලෙස ශ්‍රීලංකාවේ මාධ්‍ය විකාශනය පිළිබඳ ඔබගේ දැක්ම කුමක්ද?
පිළිතුර : මාධ්‍ය මෙවලම්වල විකාශයක් වෙලා තියෙනවා. ඒත් මාධ්‍යවේදය එක තැන පල්වෙනවා. සමාජ මාධ්‍ය ඩිජිටල් තාක්ෂණය දියුණු වෙච්ච නිසා වෙනදාට වඩා වේගයෙන් තොරතුරු ගලා යනවා. එස්එම්එස් පනිවුඩ වඩාත් වේගයෙන්ම ප්‍රචාරය වෙනවනේ. නමුත් මේ ප්‍රචාරය වෙන්නේ, වේගයෙන ගලා යන්නේ තොරතුරුද කියන ප්‍රශ්නය මතුවෙනෙවා. මොකද විකාශනය තවතවත් සල්ලි හොයන තරගයක් බවට පත්වෙලා තිබෙනවා. ඒකෙන් පෙනෙන්නේ එදා වගේම අදත් වෙළෙඳ දැන්වීම් තමයි මාධ්‍ය විකාශනයේ තීරකයා බවට පත්වෙලා තියෙන්නේ. පොඩි උදාහරණයක් විදියට අපි ජනමාධ්‍ය අමාත්‍යාංශය නිකුත් කරන ජනමාධ්‍ය හැදුනුම්පත ගමුකෝ. ඒ මාධ්‍ය හැදුනුම්පත නොමැති අයට කැබිනට් මාධ්‍ය හමුවට සහභාගීවීම තහනම් නේ. නමුත් මාධ්‍ය සංවිධාන ප්‍රධානීන් පවා ඒගැන වගේවගක් නැතිව කැබිනට් මාධ්‍ය සාකච්ඡාවට සහබාගී වෙනවනේ. ඒකෙන් මොකක්ද පෙනෙන්නේ? තමන් ප්‍රවෘත්තියක්වීමේ උණෙන් මේ අය පෙළෙනවා කියලනේ. නේද? හැබැයි දකුණේ එහෙම වුණත් උතුරු නැගෙනහිර මාධ්‍යවේදීන් අදත් ආණ්ඩුවේ හමුදා – පොලිස් මර්දනය නොතකා තමන්ගේ භූමියේ ලේ කඳුළු දහදිය වාර්තා කරනවා. අන්න ඒක තමයි ඇත්ත මාධ්‍ය විකාශනය කියලා කියන්න පුළුවන්. ඒ අය මාධ්‍ය නිවේදනවලින් පමණක් යැපෙන්නේ නෑ. සත්‍ය සිද්ධීන්, රාජ්‍ය අපරාධවලට යුක්තිය සෙවීමේදී සිද්ධවෙන මහපොළොවේ සිද්ධීන් එලෙසින්ම මේ මාධ්‍යවේදීන් වාර්තා කරනවා. හැබැයි එහෙම බැලුවාම දකුණේ හාන්සි පුටුවාදී සිංහල, ඉංග්‍රීසි මාධ්‍ය තමයි ඒ විකාශනයේ සැබෑ වාරණය.
ප්‍රශ්නය :අවසාන වශයෙන්, මාධ්‍යවේදියෙක් හා ලේඛකයෙක් ලෙස ඔබගේ ඉදිරි වැඩ කටයුතු සම්බන්ධයෙන් පැහැදිළි කිරීමක් කළ හැකිද?
පිළිතුර : මගේ ඉදිරි කටයුතු කියන්නේ මම මෙතෙක් කරගෙන ආ දේශපාලනය ජයග්‍රහනය තෙක් අරගෙන යන්නේ කොහොමද කියන එකයි. එහෙම නැතිව අළුත් බලාපොරොත්තු කියලා අමුතුවෙන් යමක් නෑ. සියලු ජාතීන්ට, සියලු පීඩිතයන්ටත් විමුක්තියක් ලැබෙන්නේ කම්කරු පන්තිය බලය ලබා ගැනීමෙන් පමනයි කියන එකයි මගේ පරම විශ්වාසය. පිළිගැනීම. එහෙම නැතිව ප්‍රභුන් බලය ගත්තත්, නිර්ප්‍රභූන් කියන අය බලය ගත්තත් ඔය පුටුවේ වාඩි වුණාම “නිව් ප්‍රභූන්” බවට පත්වෙනවා හැර වෙන පරිවර්ථනයක් කරන්න බෑ. ඒක ඒ අයගේ පුද්ගල ප්‍රශ්නයක් නෙමෙයි. ඒක තමයි මේ ධනපති ක්‍රමය විසින් හදලා තියෙන ක්‍රමවේදය, සිස්ටම් එක. ඒනිසා උදේ ඉදලා රෑ වෙනකං මොන තරම් කෑ ගැහුවත් නීතියට උඩින් කවුරුවත් නෑ, නීතිය කාටත් එකහා සමානයි කියලා ඒවා බොරු කයිවාරු විතරයි. මොකද ඒවා භාවිතාවේදී එහෙම වෙන්නේ නෑ. ඒනිසා මේ ක්‍රමය, මේ සිස්ටම් එක උඩුයටිකුරු නොකර කෑමබීම, ඉදුම්හිටුම්, ඇඳුම් පැළඳුම්, සෞඛ්‍ය, අධ්‍යාපණය කියන මෙන්න මේ අත්‍යාවශ්‍ය දේවලවත් එකහා සමානව මනුෂ්‍යවර්ගයාට ලබා ගන්න බෑ. ඒක කරන්න පුළුවන් සූරාකෑම අවසන් කැරෙන, සූරාකෑම වෙනුවෙන් යුද්ධ නොකරන, ආර්ථික දේශපාලන ක්‍රමයකට විතරමයි. ඒක තමයි සමාජවාදී ආර්ථික ක්‍රමය. ඒක තමයි කොමියුනිස්ට්වාදී සමාජය. මිනිස්සු කාලාබීලා, අඩියක් පුඩියක් ගහලා කලාව, විද්‍යාව, තාක්ෂණය එකසේ භුක්ති විඳින, දර්ශනයන් හදාරන, පරිපූර්ණ මිනිහෙක් බිහි කරන අන්න ඒ සමාජ ක්‍රමය උදාකර ගන්නේ කොහොමද කියන සිහිනය සැබෑ කරගන්න තමයි හෙට දවසේත් මගේ මේ ලියන කියන වැඩකටයුතු ටික සිද්ධ වෙන්නේ.
සංවාද සටහන: චන්දිම
ඥානසිරි කොත්තිගොඩ විසින් දැක්වූ අදහස් ඇතුළත් [YouTube] කෙටි වීඩියෝව පහත සබැඳියෙන් නැරඹිය හැකි





