අප ගත්-නොගත් මං: තර්කයේ මග වෙනුවට විශ්වාසයේ මිත් මග(සිංහල ලේඛන කලාව ගැන ප්‍රවාදයක්)

මේ සටහන ලියන්නට කාලයක් තිස්සේ සිතමින් සිටියද ඒ වෙනුවෙන් හිඳගන්නට කාලයෙන් ඉඩක් ගන්නට ඉතා අසීරු විය. ඉගෙනීම වෙනුවෙන් පූර්ණකාලීනව දෛනික ජීවිතය වැය කරමින් සිටින පසුබිමක ෆේස්බුක් ඔස්සේ සිංහල සාහිත්‍ය සමාජය දැක-දැන ගැනීමෙන් ඇති වන විපරීතකර, විටෙක ඕලාරික, ඇතැම් විට, ශූන්‍යතා ස්වභවයකට ඇද වැටීමෙන් ඇති වන පසුගාමී බව නිල අධ්‍යාපන කටයුතුවල කාර්යබහුලත්වයට වඩා මෙවැනි සටහනක් ලියන්නට කාලයක් පාදාගැනීමේ අසීරුතාවට හේතු වෙයි.

ඊයේ ඉරිදා වැසි උදෑසන, සති කිහිපයකට පෙර සිට කියවීමට සැලසුම් කරගෙන සිටි – 2025 රාජ්‍ය සාහිත්‍ය දේශනය වෙනුවෙන් මහාචාර්ය ලියනගේ අමරකීර්ති සම්පාදනය කළ දේශන පිටපත, “අප ගත් හා නොගත් මං: සිංහල භාෂා-සාහිත්‍ය අධ්‍යයනය ආශ්‍රිත බුද්ධිමය ඉතිහාසයෙහි ප්‍රධාන අවස්ථා හා විභවතා” කියවීමට පටන්ගත්තෙමි. සමකාලීන සිංහල සාහිත්‍ය ශාස්ත්‍රාලයකයින් ගත යුතු මං ගැන වැදගත් අන්තර්දෘෂ්ටීන් කැටි කොටගත් මේ දේශනය කෙතරම් අවධානයට ලක්වූවාද යන්න මම නොදනිමි.

මහාචාර්ය ලියනගේ අමරකීර්ති

සිංහල භාෂාව සහ සාහිත්‍යය ප්‍රාචීන අධ්‍යයනයෙහි කොටසක් ලෙස, සිංහල භාෂා අධ්‍යයන වෙත ප්‍රාචීනවාදී ප්‍රවේශ, සංස්කෘත සාහිත්‍ය න්‍යායෙහි ආධිපත්‍යය, නූතන ප්‍රබන්ධ සාහිත්‍ය අධ්‍යයනයේ ආරම්භය, ජාතිකවාදී ප්‍රබන්ධ කථාව: සීමා හා විභවතා, නූතන පර්යේෂණකාමය: ප්‍රබන්ධ කථාව, නූතනවාදී පර්යේෂණකාමය: කවිය, පශ්චාත් යථාර්ථවාදී ප්‍රබන්ධ කථාව යන උප මාතෘකාවන් ඔස්සේ විහිදෙන එම දේශනයෙහි ඇතැම් තැන් වෙත මා යළිත් යා යුතුය. එහෙත් මගේ සටහන මහාචාර්ය අමරකීර්තිගේ දේශනයෙහි ප්‍රතිරාවය කෙරෙන සිංහල සාහිත්‍ය ඉතිහාසයෙහි ගත් හා නොගත් මං ගැන එන කරුණු සමග සෘජු සම්බන්ධයක් නැත. එහෙත් මගේ සටහන කියවන, මහාචාර්ය අමරකීර්ගේ දේශන පිටපත කියවා ඇති අයට (දේශනය ඇසූ අය නොවේ) ඔහුගේ රචනයෙහි පැනෙන සමස්ථාර්ථය සහ මගේ ප්‍රවාදය අතර ඉතා සමීප බවක් විද්‍යමාන විය හැකිය. අනික් අතට, ෆේස්බුක් සටහන් ලිවීමේ මගේ ඇල්මැරුණු බවින් මුදා මෙය ලියන්නට මගක් තැනුණේ මේ “අප ගත් හා නොගත් මං” රචනයෙනි.

සියදහස්දසදහස් ඇතැම් විට මිලියන ගණනින් පැසසුම්ද ගැරහුම්ද ලබන ෆේස්බුක් විචාර සහ සතියට මුද්‍රණ වාර ගණින්නට එක අතක ඇඟිලි මදි වෙන සාහිත්‍ය සැණකෙළි පසුබිමක වුව මගේ නිරීක්ෂණය නම් අප, සාමූහික ප්‍රජාවක් ලෙස, ලිවීම නමැති මිනිස් ක්‍රියාකාරකම නූතන අර්ථයකින් බැරෑරුම් ලෙස වටහාගෙන නැති බවය. මේ සටහනෙහි මූලික ප්‍රවාදය සිංහල ලියන-කියවන සමාජය සාමූහිකව අභ්‍යාස කරමින් සිටින්නේ තාර්කිකව ලිවීම හෝ කියවීම වෙනුවට විශ්වාසයේ මාර්ගය යන්නයි.

ලෝකය දෙස බලන්නට, අප ගන්නේ තර්කයේ මග නොව විශ්වාසයේ මග කියන විට එය, නූතන යුගයට වඩා පූර්ව-නූතන මිනිස් දෘෂ්ටිය වෙත කිට්ටු වෙයි. එනම්, මිනිස් ශිෂ්ටාචාර ගමනෙහි මිථ්‍යාව යථ වූ පූර්ව නූතන යුග මනසකින් තවමත් ලිවීම නමැති ක්‍රියාකාරකම අපි විසින් අභ්‍යාස කරනු බලන බවය. මගේ මේ දැඩි ප්‍රවාදය ගොඩනැගෙන්නේ ඉතිහාසයෙහි සිට අපේ සමාජය, පොදුවේ, ලියන කලාව බරසාර දෙයක් ලෙස බාර නොගත්තේය සහ තවමත් එය “සිල්ලර කාසි” මෙන් නොවැදගත් දෙයක් ලෙස සලකන බව අවධාරණය කිරීමකි. ඒ සල්ලි බව සිල්ලර සල්ලි විෂයෙහි අමතක කෙරෙන සැටි අපි දනිමු.

ඉන්දියාවටත් වඩා පැරණි ලිඛිත ඉතිහාසයක් අපට ඇති බව කියන මහාවංශයේ සිට පැවත එන සාක්ෂි කිසිවක් මගේ සටහනෙන් අවතක්සේරු වන්නේ නැත. මහාවංශයේ සිට අද දක්වා අඛණ්ඩව අපි සිංහල ලේඛන කලාව යම් යම් ඛණ්ඩණ සහිතව සක්‍රීයව පවත්වාගෙන එන්නෙමු. වර්තමානයේදී එක් වසරක පළ වන පොත් ප්‍රමාණය ගැන වාර්තාවක් මා ළඟ නැතත් එය සංඛ්‍යාත්මකව විශාල අගයක් ගන්නා බව මගේ නිරීක්ෂණයයි. අද වන විට සිංහලෙන් පොතපත පළ වීම ගණනින් ඉහළ ගොස් ඇති බව බොහෝ අය පෙන්වා දී ඇත. ලියන කලාව බරපතල ලෙස නොගැනීම සහ ලේඛක ප්‍රමාණය අතර ඉහළ යාම අතර සම්බන්ධය කතා කරන විවිධ ප්‍රවේශද තිබේ.

සමාජ මාධ්‍ය සාහිත්‍ය ආශ්‍රිතව පළ වී ඇති පොත්පත්වල මේවා බෙහෙවින් සාකච්ඡා වේ. සිංහලෙන් ලියන කලාවේ සිල්ලරකාර බව සේපාලිකා-මුද්දරස්පලංවල (ඒ කෘති සහ ඒ කෘති ගැන කෙරෙන ගර්හා ප්‍රශංසාද ඇතුළුව) සිට ඉෂාරා සෙව්වන්දි නම් සංසිද්ධි දක්වාම පොදුවේ පැතිර ඇතත් මේ සටහනෙහි සලකා බලන්නේ මූලික වශයෙන් සිංහල සාහිත්‍ය නිර්මාණකරණය සහ ඒවා විචාරය කරමින් ලේඛනයේ යෙදීමයි. ඒ අර්ථයෙන් මෙහි ලියන කලාව යනු අප මෙකල සාහිත්‍ය පිළිබඳ සිංහලෙන් කියවන සියල්ල පොදුවේ සැලකෙයි.

සාමූහික ප්‍රජාවක් ලෙස ලියන කලාව බරසාරෙට නොගැනීම පිළිබඳ මගේ අවධාරණයෙහි ප්‍රධාන ඇඟවුමක් වන්නේ ලිවීමෙහි තාර්කික පදනමක් නැතිකමයි. විද්‍යාත්මක චින්තනයක් වෙනුවට එය, මිථ්‍යාමතිකව, ඉබේ පහළ වන, අහම්බකාරක හෝ ඉසිවරකාර නැතිනම්, සර්වඥතා ඥානයකින් මෙන් ඇතැම්ව විට යක්ෂාවේශයක් සේද වටහාගැනීමේ අපේ අයගේ සංස්කෘතික පළපුරුද්දයි.

මා මෙහි විද්‍යාත්මක චින්තනය කියන්නේ කාටිසීයානු ප්‍රවේශය ඉක්මවූ නූතන – පරීක්ෂාකාමී බවේ උරුමයයි. නූතනවාදී උරුමය යනු විද්‍යාව පවා ප්‍රශ්න කෙරෙන උරුමයක් බව අපට මතකයි. නූතන ලේඛන තාක්ෂණයේ ගෝලීය ව්‍යාප්තිය සමග නවකතාව, කෙටිකතාව, කවිය සහ ඒවා ආශ්‍රිත විචාර හෝ අධ්‍යයන ඇතුළු සමස්ත පාඨන දාමය කෙරෙහි බටහිර නූතනවාදයේ ආභාසය නොවැළක්විය හැකි ලෙස අප මත පැටවුණු උරුමයක්ද වෙයි.

මහාවංශයෙහි සිට එන සම්භාව්‍ය සිංහල සාහිත්‍යය බටහිර නූතනවාදයේ ග්‍රහණයට දැඩිව හසුවූවක් බව අප අතර පැතිර ඇති අවිවාදයක්. යටත්විජිත රාජ්‍යයන්වල සාහිත්‍යය ඇතුළු සකල මානව සංස්කෘතික සංසිද්ධි වෙත යූරෝකේන්ද්‍රීයතාව පැමිණීමේදී ඒවා අපේ ස්වදේශීය උරුමයන් හා ප්‍රති-ක්‍රියාකිරීමෙන් ඇති වූ විපරීතතා වැනි දේ ලියන කලාව ඇසුරින් විමසාබැලීමත් වැදගත්. විශේෂයෙන්ම, මානව විමුක්තිය පිළිබඳ යූරෝකේන්ද්‍රීය චින්තනය, ඒක පුද්ගල උන්නතිය සහ සමාජ සංවර්ධනය පිළිබඳ බටහිර ගිජු-ධනවාදයේ දෘෂ්ටිවාදය කරපින්නාගත් සමූහ ප්‍රජාවකට එහි කේන්ද්‍රීය උරුමයක් වන “තාර්කික චින්තනය” අහිමි වී යාම උත්ප්‍රාසවත් අවාසනාවක්. කෙසේවෙතත් මගේ සටහන එවැනි කතිකා වෙත යාමක් නොවේ.

පුළුල් අර්ථයෙන් ගත් කළ සිංහල සංස්කෘතියෙහි පදනමෙහි ඇති බුදුන්වහන්සේගේ දර්ශනයෙහි එන හේතුඵල සහ ආචාරධාර්මික තර්කණවල උරුමය පවා අපේ ලියන කලාව අත්පත් කරගෙන නැති බවත් එය දාර්ශනික ප්‍රශ්නයක් හෝ සංකල්පවල ගැටලුවක් නොව ලියන කලාවෙහි ප්‍රායෝගික අභ්‍යාසයෙහි සාමූහික අවතැන්වීමක් බවත් මම තර්ක කරමි. මා කියන ආචාරධාර්මික සාරය සහිත හුදෙකලා සාහිත්‍ය ප්‍රකාශන සැලකිය යුතු තරම් සිංහලෙන් ලියවෙන බවද හුදෙකලාව ඒවායෙහි උරුමය වී ඒවා සමූහයෙන් ගිලිහී යාම ලියන කලාව බරසාරෙට නොගැනීමේ අනෙක් අන්තයේ වැටී ඇති බවද නිරීක්ෂණය වෙයි.

මා මෙහි ලේඛනයේ තාර්කික මග ලෙස හඳුනාගන්නේ විධිමත්භාවයකින් යුතුව, කාර්යක්ෂම(efficiency) මෙන්ම මධ්‍යස්ථභාවයෙන් යුතු, පැහැදිලි සහ නිරවද්‍ය ප්‍රකාශන සිදුකීරීමයි. (අමරකීර්ති, ලියන කලාව, 11-14) මේවා ශාස්ත්‍රීය ලේඛනයේ අංග මිස සාමාන්‍ය මිනිස්සුන්ට අදාළ දේවල් නොවේ කියනා අය මේ සටහනේ ප්‍රවාදය කියවීමෙන්ම නතර වී ඇතැයි සිතන නිසා මෙය තව ඉදිරියටත් ලියමි. මා ලේඛන කලාව ශාස්ත්‍රීය-නිර්ශාස්ත්‍රීය යන දෙබෙදුම පිළිනොගනිමි.

ඒ ඒ ශාස්ත්‍රීය නිල ආයතනවල නොයෙක් ලේඛන රාමු ගැන නම් වෙන සන්දර්භයක කතා කළ හැකිය. තමා කියවන සහ ලියන දේ තාර්කිකව වටහාගැනීම, එය කිසියම් අදෘෂ්‍යමාන විශ්වාසයකින් නොව සාක්ෂි සහිතව ඒ වටා ඇති පැරණි දැනුම වෙත විවෘත වෙමින් ඒවා විශ්ලේෂණය කරමින් නව අදහස් ජනනය කිරීම නොවේද ලේඛනයේ කාර්යය? අප සාමූහිකව අවධානය යොමු කරන්නේ කියවන-ලියන දේ මොකද්ද කවුද කින්ද මන්ද යන්න මිස ඇයි, කොහොමද මෙහෙම යන ප්‍රශ්න වෙත නොවේ. මේවා ගැන උනන්දු වීම ශාස්ත්‍රවන්තයන්ගේ කාර්යයක් මිස සාමූහික සිතීමට අදාළ දෙයක් නොවන සමාජයක දිගුකාලීන පරිහානිය අපි අත්විඳිමින් නොසිටින්නෙමුද?

සිංහලෙන් ලියන කලාව අතාර්කික, අවිද්‍යාත්මක, මිථ්‍යාමතික, හෝ ආචාරධාර්මික සාරය අහිමි කරගත් සංසිද්ධියක් බව මා කියන්නේ ඇයි?

මා විසින් 2019දී පළ කළ ප්‍රබන්ධානන්දය නම් කෘතියට “සමකාලීන සිංහල සාහිත්‍ය සංස්කෘතිය සහ පාඨන ක්‍රියාදාමය” නමින් ලියූ පූර්විකා සටහන් වෙත යන්න මදකට ඉඩ දෙන්න.

“ෆේස්බුක් වැනි සයිබර් අවකාශය කේන්ද්‍රකරගත් මිතුරු කල්ලි විසින් නඩත්තු කෙරෙන ආලවට්ටන්දර සුලබ විචාර ප්‍රතිචාර, පිටකසාගැනීම්, දේශපාලනික මිතුරුකම් හෝ හතුරුකම් එසේත් නැතිනම් දෘෂ්ටිවාදී ගෝස්තරකම් මත කෙරෙන බැණඅඬගෑම් හෝ බොරු වරුණා කියවිලි, ‘ඔය ලියල තියෙන්නෙ හොඳ පැලැන්තියකින් එන කෙනෙක්’ කියා නිර්මාණෙ හිස උඩ තියාගන්නා වර්ගයේ කාලයක් තිස්සේ සිංහල පාඨක සංස්කෘතියේ ජානගත වැඩවසම්වාදී නැඹුරුතා, ‘ලේඛකයෙක් ලෙස දිනෙන් දින ඉහළයෑමේ යතුර ඇත්තේ අනෙකා ළඟ යැයි සිතාගෙන සියල්ලෝ ෂේප් කරගැනීමේ න්‍යාය’ අනුයන ස්වයං සංරක්ෂණවාදී කියවීම්, ‘හොඳම ප්‍රබන්ධ ආදර්ශය දන්නෙ අපිය’ කියාගන්නා සියලු සාහිත්‍ය ශානර පිළිබඳ ‘අර්හත්භාවය’ ලැබූ අයගේ ස්වෝත්තමවාදී කියවීම්, ‘අපිත් කියවන අය, විශ්වවිද්‍යාල ළමයින්ට උගන්නලා විතරක් පඩි ගන්න අය නම් නෙමෙයි’ කියාපාන්නට මෙන් පුවත්පත් පිටු පුරවන ‘නම්’ ඇති ආචාර්ය-මහාචාර්ය ශාස්ත්‍රාලයිකයන්ගේ දුලබ කියවීම්, ‘අපිත් දන්නවා තියරි’ යැයි මොරගානා තියරි කෑලි හොට පටලවාගත් අරුමැසිකාර විචාර විකාර, ලංකාවේ මැතිවරණයකදී අතිශය තීරණාත්මක ලෙස බලපාන ශිෂ්ටාචාරයේ ආපස්සට වේගයෙන් දුවන කුලවාදය-ප්‍රදේශවාදය ආදී සාධක සාහිත්‍ය පාඨන ක්‍රියාදාමය තුළත් සිදුවන බව කියාපාන ‘අපේ කෙනෙක් වීම’ නිසා ‘වාව්’ ගාමින් දෙන ප්‍රතිචාර ආදී ලෙස මේ ලැයිස්තුව අවශ්‍ය නම් තවත් දික්ගැස්සවිය හැකිය.

නවලිබරල් සංස්කෘතික තර්කණය තුළ සාහිත්‍ය වෙළඳපොල අල්ලාගත් පොත් වෙළෙන්දන්ගේ සාහිත්‍ය මැදිහත්වීම ඔස්සේ ඉහත කී සියල්ලටත් වඩා යහමින් සාහිත්‍ය කෘති පිළිබඳ නව විචාර මාදිලියක් වර්ධනය වෙමින් තිබේ. එය නව සාහිත්‍ය ධනවාදයකි. (ප්‍රබන්ධානන්දය, පිටු. 7-8)

සංස්කරණ කටයුතුවල තාක්ෂණික දෝෂ නිසා විනාශ මුඛයට ගෙනගොස් ඇති අක්ෂර වින්‍යාසාදී පටලැවිලි පසෙකින් තබා බැලූ විටත් සුදර්ශන සමරවීරගේ ‘ප්‍රබන්ධානන්දය’ (2019) යනු මෑතකාලයේ පළ වූ ශාස්ත්‍රීය වශයෙන් දුර්වල කෘතියකි. එම කෘතියෙහි එන සංකල්ප නිසි පදනමක් ඇතිව ගොඩනැගීම, එම සංකල්ප සිංහල සාහිත්‍ය නිර්මාණ සමග අර්ථාන්විත ලෙස මෙහෙයවාගැනීම, අදාළ න්‍යායික සංකල්පවල ඓතිහාසික මූලයන් සහ ඒවායෙහි තුලනාත්මක සාහිත්‍ය භාවිත පිළිබඳ අවධානය, න්‍යායික සාකච්ඡා වෙත සපයාගෙන ඇති මූලාශ්‍ර ග්‍රන්ථ ආදිය සම්බන්ධයෙන් ප්‍රබන්ධානන්දය කෘතියෙහි බොහෝ ගැටලු තිබේ.

කෙසේවෙතත්, අද සිට එදා දෙස බලන විට මා කිසිසේත් පළ නොකරන ඒ කෘතියෙන් උපුටාගත් ඉහත ඡේදය නම් අදත් ආපසු ලියා බැලුවොත් යම් යම් වචන සහ විවිධ සන්දර්භ සමග තරමක් දීර්ඝ ඡේදයක් විය හැකි වුවත් සංකල්පමය වශයෙන් ඒ තරම් වෙනසු නොවනු ඇත. ප්‍රබන්ධානන්දය ලියන කාලයේ මා නිරීක්ෂණය කොට ඇති සිංහල සාහිත්‍ය පාඨනයේ ඒ සියලු ක්‍රියාදාම අද මේ ලියන සටහනෙහි මූලික ප්‍රවාදය වන සිංලෙන් ලියන කලාව අතාර්කික සහ අනාචාර්යධාර්මික, මිථ්‍යාමතික සාමූහික අභ්‍යාසයක් වීමේ ගැටලුව සමග අවශ්‍යයෙන්ම බැඳී පවතියි.

අපේ ඉහත උපුටනයේ එන ආකාරයේ ලියන කලාව ව්‍යාජ සහ අශිෂ්ටාචාර එකක් බව අමුතුවෙන් වටහාගන්නට දෙයක් නැත. අනෙක් අතට ලිවීම නමැති කාර්යය අවංකව – අව්‍යාජ ලෙස සිදු කිරීම යනු තමාට සිතෙන දේ – තමා හඟින දේ ඒ ආකාරයෙන්ම නොසඟවා ප්‍රකාශ කිරීම නොවේ. ලියන කලාවට අවංක වීම නම් තමා කියවන දේ – තමා සිතන දේ පරීක්ෂාකාරයෙන් ලේඛනය වෙත පැමිණීමයි. එය ස්වයං-සිද්ධ ක්‍රියාවක් නොවේ. සැලකිය යුතු තරම් පරිශ්‍රමයක ප්‍රතිඵලයකි. පොදුවේ අප අතින් ලිවීම නම් වන මිනිස් භාෂා ක්‍රියාවලියෙහි ආරම්භයේ සිට එන මේ පරීක්ෂාකාරී බවේ උරුමය අප අතින් ගිලිහී ගොස් ඇත.

විශේෂයෙන්ම පුනරුද යුගයෙන් පසු ගෝලීය වශයෙන් ලියන කලාව පුරා ව්‍යාප්ත වූ ඒ කියන පරීක්ෂාකාරී ගුණය එහි ආචාරධාර්මික පදනමද වෙයි. පුනරුත්පත්තිය පිළිබඳ අධි විශ්වාසයෙන් සිටින කෙනෙකු වුව අද පුනරුත්පත්තිය දෙස බලන්නේ පූර්ව නූතන සංස්කෘතික මිනිසෙකු එය විශ්වාස කළ ආකාරයෙන් නොවේ. නූතන ලෝක දැක්ම (modern world-view) මගින් මිථ්‍යාමය ලෝක දැක්ම විසුණු කොට දැම්මේය. නූතන ලෝකයේ ජීවත් වන මිනිසුන් සතුව උපදින නූතන ලෝක දැක්ම නිසා සිදු වූයේ මිථ්‍යාව ප්‍රතික්ෂේප කිරීමකට වඩා මිථ්‍යා ප්‍රති අර්ථකථනය කිරීමකි. මිථ්‍යා ආඛ්‍යාන යනු අවශ්‍යයෙන්ම හෙළාදැකිය යුතු ඒවාද නොවේ. නව නිදහස් මිථ්‍යා මහා ආඛ්‍යානයක් වන සමාජ මාධ්‍ය යුගයකදී අර නූතන තාර්කික උරුමය, ආචාර්ධාර්මික පුහුණුව අහිමිව යාම දරුණු සමාජ ඛේදවාචකයක් නොවේද?

ලියන කලාව පිළිබඳ අපේ සාමූහික ගණන් බැලීම, බරතැබීම, එය කෙතරම් බරසාරෙට ගන්නේද, එහි එල්ලුම කෙසේද යන්න වටහාගැනීමට මහාචාර්ය අමරකීර්ති විසින්ම 2023දී පළ කළ “ලියන කලාව සහ රචනා විධික්‍රම” නම් කෘතිය ප්‍රයෝජනවත් වෙයි. එම කෘතියේදී ඔහු “දසදහසක් වන අප ශිෂ්‍ය ශිෂ්‍යයාවන්ට ශාස්ත්‍රීය ගද්‍ය රචනය පිළිබඳ ප්‍රායෝගික අත් පොතක් සිංහල භාෂාවෙන් නොපැවතීම වූ කලී විස්මය ඇති කරන ශාස්ත්‍රීය හිස්තැනකි”යි ලියයි (පි. 4).

වසර කිහිපයක් ඇමෙරිකානු සාහිත්‍ය සංස්කෘතිය සහ වෙනත් විදෙස් සාහිත්‍ය සංස්කෘතීන්වල සිටින අය සමග සමීපව ආශ්‍රය කරමින් ඒ ඒ භාවිත සහ අපේ සංස්කෘතියේ සංසිද්ධි තුලනාත්මකව සලකා බලන විට අර කියන තාර්කික උරුමයෙහි ආචාරධාර්මික හිදැස මට තදින් දැනේ. මා මෙහිදී විශ්වවිද්‍යාලය නම් සීමාව තුළ වර්ධනය කෙරෙන ලියන කලාවට ඔබ්බෙන් පොදු තත්ත්වයයි අවධාරණය කරන්නේ. ලංකාවේ, ලිවීම වෙනුවෙන් ලියවුණු පොත්පත්වල හිඟකම හඟින විට මට පුදුමයක් ඇති වෙයි. විශේෂයෙන්ම, ජනගහනයට සාපේක්ෂව සැලකිය යුතු තරම් පිරිසක් ලේඛකයන් බවට පත්වන පසුබිමක එම පුදුමයේ ගුණාකාරය තවත් වැඩිවෙයි. අපි මදකට පොත් වෙළඳපොල දෙස හැරෙමු.

ඇමෙරිකානු පොත් සාප්පුවල ඇවිදින විට මේ පින්තූරවල පෙනෙන විවිධ ආකාරයෙන් ලියන කලාව සමග ප්‍රායෝගික සම්බන්ධයක් ඇති පොත් රාක්ක අනිවාර්යෙන්ම හමු වේ. මේ සටහන සමග අමුණා ඇති පොත් ඒ ඒ ශානරය පිළිබඳ හොඳම පොත් නොවේ. මේ සටහන ලියන අතර මගේ කාමරයේ තිබී එහෙන් මෙහෙන් එකතුකර ගත් පොත් කිහිපයකි. මේ පොත් සාප්පුවල ඇතැම් පොත් රාක්ක අපේ රටේ පොත් සාප්පුවල සුලබව විකිණෙන ටියුෂන් ටියුට් පත් වැනි කෙටිසටහන් පොත් සිහිකරයි. ලිවීම නමැති මිනිස් ක්‍රියාව ගැන තර්කයෙන් සිතන්නට පුහුණුකිරීම ටියුෂන් ව්‍යාපාරයක් මෙන් වී ඇති සැටියකි. වාර්ෂිකව සිංහලෙන් හරියට ලියන්නේ කොහොමදැයි විස්තර කරන ව්‍යාකරණ පොත් නම් බොහෝ බෝ වෙයි.

පළමු උපාධිය නිම කරන්නටත් පෙර (තමාගේම වූ තර්කයක් විශ්ලේෂණය කොට නිබන්ධනයක් ලියන්නටත් පෙර) හරියට සිංහලෙන් ලියන සැටි ගැන පොත් ලියන මිතුරන් මම දනිමි. මේ ඇමෙරිකානු පොත්සාප්පු රාක්කවල ව්‍යාකරණ පොත්වලද අඩුවක් නැත. එහෙත් ලියන කලාව යනු ව්‍යාකරණ ඉගෙනගැනීමෙන් පමණක් අත්පත් කරගත හැකි නිපුණතාවක් නොවන බව මේ සමාජය සාමූහිකව විශ්වාස කරන සැටියි අර පොත්වල වෙළඳපොල මගින් පෙනෙන්නේ. ඒවා ශාස්ත්‍රීය අධ්‍යාපනයේ නිරත සිසුන් ඉලක්ක කරගත් පොත් පමණක් නොවේ. ලිවීම උගත යුතු, පරිශ්‍රමයක් දැරිය යුතු, මිලක් දැරිය යුතු ව්‍යාපාරයක් බව කාලාන්තරයක් තිස්සේ මේ සමාජය සාමූහිකව සිතන බව පෙනේ. මේ පොත්වල එන්නේ හුදු ලිවීම ඉගෙනීම උදෙසා අභ්‍යාස පමණක් නොවේ ලිවීම නමැති ශිෂ්ටාචාර්මය කාර්යය පිළිබඳ බරපතල ලෙස සිතන්නට ආධුනිකයා රචක මනස නිදහසේ වැඩෙන්නට දිරි දෙන රචනාය.

මේ බොහෝ පොත් ලියා ඇත්තේ විවිධ ආකාරයේ ලේඛන පාඨමාලා දසක ගණනක් තිස්සේ ඉගැන්වූ මෙන්ම ලේඛනකරණයේ දීර්ඝ කාලයක් නිතර වූ ප්‍රසිද්ධ ලේඛකයන් විසිනි. ලියන කලාව පිළිබඳ මේ කෘතිවල එන සංකල්ප, ලේඛනයේ මූලධර්ම, අදහස්, අභ්‍යාස, සහ තත්කාලීන ලේඛනය පිළිබඳ සමාජ කතිකා විශ්ලේෂණය කරන ආකාරය මගින් පොදුවේ අර්ථවත් වන්නේ මා මේ සටහනේ මතු කරන ලියන කලාව බරපතල කාර්යයක් ලෙස වටහාගැනීම, ඒවා තාර්කික රාමුවක පිහිටුවීම, ආචාර්ධාර්මික හර ආදී දේවල්ය. අපට මේ වෙනුවෙන් දැනට සිංහලෙන් පළ වී ඇති පොදුවේ භාවිත කළ හැකි සේ සරල භාෂාවෙන් ලියැවී ඇති එකම පොත ලෙස මට පෙනෙන්නේ මහාචාර්ය අමරකීර්තිගේ ‘ලියන කලාව’ නම් කෘතියයි. ඔහු එම කෘතියෙහිදී ලිවීමට අදාළව පළ කෙරී ඇති වෙනත් සීමිත රචනා කිහිපයක් ගැන සඳහන් කරයි.

ඒවා ශාස්ත්‍රීය අධ්‍යාපනය සමග සම්බන්ධ ඒවාය. මේ පොතත් විශ්වවිද්‍යාලවල පළමු උපාධි හදාරන , ශාස්ත්‍රීය ලේඛනය වෙත ආධුනික විද්‍යාර්ථීන් වෙනුවෙනි ඔහු රචනා කොට ඇත්තේ. ශාස්ත්‍රීය ලේඛනයට උනන්දු පොදු පාඨකයාටත් මේ කෘතිය වැදගත් බවත් ඔහු කියන අතර මගේ යෝජනාව වන්නේ සාමාන්‍යයෙන් සාහිත්‍ය පිළිබඳ උනන්දුවෙන් ලියන හැමෝම අඩු තරමින් මෙවැනි පොතක් හෝ කියවා තිබිය යුතු බවයි. ලිවීමට ඒ ආශ්‍රිත විවිධ දේ ඉගෙනීම යනු ලංකාවේ පාසල්වලින් පොදු වශයෙන් සිසුන් මොට කරන්නාක් මෙන් ආධුනික ලේඛකයා මරා දමන්නක් නොවේ. මෙවැනි කෘති පරිශීලනය කිරීම ලේඛකයාගේ නිදහස සීමා කරන ඔහු ඒකාකාරී රාමුවකට ඇද දමන්නක්ද නොවේ. අනික, මෙවැනි කෘති වැඩි වශයෙන් පරිශීලනය කරමින් දසක ගණනක් පුරා ලියන කලාවෙහි නිතර වන සමාජයකට මෙවැනි පොත් කාලයත් සමග අවශ්‍ය නැති වන්නටද පුළුවන. සාමූහික පුරුද්දක් ලෙස ලිවීම බරසාරෙට ගැනීම සංස්කෘතික වන බැවිනි. වඩාත් අරුමය නම් ඊළඟට පරම්පරාවට ‘දැනුම සම්ප්‍රේෂණය’ කිරීම වෙනුවෙන් ගුටි-බැට දී මෙල්ලකිරීම ‘ශික්ෂණයේ උරුමය’ ලෙස සාමූහිකව ගොජදමන සමාජයකම ලියන-කියවන සැටි පුහුණු කෙරෙන පොතපත පළ නොවීමත් පම්පෝරි ‘වැල කතා’ පවා මුද්‍රණයෙන් පළවීමත්ය. ඒ තරම් පොත් පළවීම, ගුටිබැට දී ළමයින් සැදීම සහ ලියන කලාව පුහුණු කරන පොත් නැතිවීම අතර දිගුකාලීන සම්බන්ධයක් ඇතැයි මට සිතේ. ඉතිං අපේ ලියන කලාව පවතින්නේ ඈත අවිචාර සමයක බව කෙනෙකුට සිතෙනු අරුමද?

මේ අවිචාර බව පෙනෙන්නේ විපරීත වෙළඳ ආධිපත්‍යය නිසා පමණක් කරළියට පැමිණ ඇති මුද්දරස්පලං වැනි පොත් හෝ ඒවාට ගරහන-පසසන විචාර සටහන් වැනි දෙයින් පමණක් නොවේ. මෙකල ඉතා දක්ෂ ආධුනික සාහිත්‍යකරුවන්, විචාරකයන්ගේ සාමූහික භාවිතය මා කියන අවිචාර සමයට අයත් වේ. මෙකල සිංහල සාහිත්‍ය හෝ වෙනත් කලා නිර්මාණවලට ලියවෙන විචාරවලින් වැඩි ප්‍රමාණයක් වෙන් වන්නේ අදාළ කතුවරුන් හරියට ලියා නැති බවට මැසිවිලි නැගීම, ඒවායෙහි විවිධ අඩුපාඩු පෙන්වා දීම, ‘අයියෝ පොත විනාශ කරගෙන’ බව කියන්නට වැනි සාහිත්‍ය උපදේශන භූමිකාවක් ලෙසය. මා දැනට නම් නොලියන බොහෝ තරුණ විචාරකයන් කරමින් සිටින්නේ මෙයයි. අප දැනටමත් සාහිත්‍ය කෘති ලියවිය යුතු ආකාරය මෙයයි කියා කියන්නට තරම් පොහොසත් පිරිසක් නම් ඒ අයම කියන තරමු දුර්වල කෘතිම බිහි වන්නේ ඇයි? පැහැදිලිව, මෙය සාහිත්‍ය කෘතියක් වෙත බරසාර ප්‍රවේශයක් නොව හදිසිකාර සහ මා මුල සිට කියන ආචාර්ය ධාර්මික හිදැස නිසා උපදින එකකි.

කෘතියෙහි (කතුවරයාගේ නොවේ) සහෘදයෙකු වෙමින් ලියන කලාව බරපතල ලෙස බාරගැනීම ‘කතුවරයෙකු මෙහෙම ලිව්ව නම් මෙහෙම නොලිව්ව නම්’ කියා මොරදීමට වඩා ක්‍රියාශීලි පාඨක භූමිකාවකි. මේ සහෘදත්වය පිළිබඳ සංවාදයේදී අවශ්‍ය නම් නැවතත් අමරකීර්ති වෙත යා හැකිය. මීට වසර විස්සකට පමණ පෙර (2005)දී ඔහු පළ කළ ‘අමුතු කතාව’ සහ ඉන්පසු පළ කළ ‘සහෘද සාක්ෂිය’, ‘පහන සහ කැඩපත’ වැනි කෘති මගින් ඔහු අවධාරණය කළේ සාහිත්‍ය කෘතිය වෙත වඩාත් සමීප සහෘදයෙකු, කෘතියෙහි ඉලක්ක පාඨකයා වීමට කැපවෙන, විවෘත මනසක් ඇති සක්‍රීය පාඨකයෙකු ගොඩනැගීමටය. ඔහු මේ ආශ්‍රිත බොහෝ රචනා ලියා ඇති බව මට මතකය. ලංකාවේ අය ‘කතුවරයාගේ මරණය’ වැනි සංකල්ප ‘කතුවරයා ඝාතනය කිරීම’ අර්ථයෙන් භාවිත කළ බවට මම ප්‍රබන්ධානන්දයේදී තර්ක කළෙමි. අද වන විට ඒ තත්ත්වය තවත් විකාරරූපික වී තිබේ. අවාසනාවට, සිංහල සාහිත්‍ය පිළිබඳ දැඩි උනන්දුවෙන් පසුවන, තියුණු චින්තන ප්‍රතිභාවක්ද ඇති බොහෝදෙනෙක් ‘ටිකක් ඉගෙනගත්’ පමණින් තෝරා ගන්නේ අදාළ කෘතිය ඉල්ලා සිටින සහෘද පාඨකයා වීමේ මාර්ගය වෙනුවට අර කෘතියට උගන්වන අවිචාරයේ මාර්ගයයි. බැලූබැල්මට මහාචාර්ය අමරකීර්තිගේ සාහිත්‍ය සෙවණෙහි වැඩෙන බව පෙනෙන බොහෝ ආධුනික සාහිත්‍යකරුවන් සහ ඔහු මග අනුයන බව පෙනෙන ඇතැම් ප්‍රකට විචාරකයන් පවා අභ්‍යාස කරමින් සිටින්නේ අමරකීර්ති විසින්ම කාලයක් තිස්සේ පහුණු කරන්නට උත්සාහ කළ ලිවීමේ තාර්කික පදනම්, විචාරවත් පරීක්ෂාවන්, සක්‍රීය පාඨනයේ සහභාගීත්වයන් වෙනුවට අමරකීර්තිගේ දැනුම සහ භාවිතය මත ගොඩනැගුණු සංස්කෘතික ප්‍රාග්ධනය භාවිත කරමින් තමාටත් ‘ලේඛකත්වය’ ලැබිය හැකිය යන විශ්වාසයේ මාර්ගයක් වී තිබීම අතිශය උත්ප්‍රාසජනකය.

අනෙක් අතට අපේ බොහෝ ලේඛකයන් තමා කියවන ලියන දේ ඒත්තුගන්වන්නට සාක්ෂි යොදැගැනීමේ උපක්‍රමය නිරීක්ෂණය කරන විට පෙනෙන්නේද අර විශ්වාසයේ මග මිස තර්කයේ මග නොවේ. ඩෙරීඩා-බට්ලර්-හෙගල්-අඩොනෝ පමණක් නොව වික්‍රමසිංහ, සුරවීර, කුමාරසිංහ, ගම්ලත්, ඉලයප්ආරච්චි වැනි අය අපේ බොහෝ ලේඛනවල පැමිණෙන්නේ ඒ ඒ අයගේ සංස්කෘතික ප්‍රාග්ධනයේ මහිමයෙන් මේ ලියන දෙය පිළිගැනේවා යන පදනමිනි. මේ අතර මේ සටහනේ ප්‍රවාදයෙන් විකල්ප ලෙස සිතන විවිධ හුදෙකලා ලේඛකයෝ පාඨකයෝද සිටින බව සිහි කළ යුතුය. අපට ෆේස්බුක් අවකාශයේද ඉඳහිට හමුවෙයි. කෙසේවෙතත් සිංහල ලේඛන ඉතිහාසය පුරා ලියූ එවැනි ලේඛක නම් නම් එක් විනාඩියකදී වුව මතක් කරගත හැකිය. මා මේ කියන මග යන්නට මහාචාර්යවරු විය යුතු නැත.

එරික් ඉලයප්ආරචිචි – සුචරිත ගම්ලත්

ශාස්ත්‍රීය ලේඛනය පිළිබඳ ප්‍රවේශ නිර්භයව ප්‍රතික්ෂේප කරමින් ලේඛනයේ යෙදෙන කේ.කේ. සමන් කුමාර මා කියන විශ්වාසයේ මග නොව තර්කයේ මග යන්නෙකි. ඒ මග පුනරුද යුගයේ විද්‍යා මාර්ගය නොවේ. එහෙත් නූතන ලෝක දැක්මක් අනුයන මගකි. තවත් එවැනි ලේඛකයෝ කිහිපදෙනෙක් අපට සිටිති. මේ ප්‍රවාදය ප්‍රසිද්ධියේ ලියන විට ඔවුන්ගේ ලේඛනවලට ඇති වන රිදුම මට දැනේ. ලේඛන-අවිද්‍යාන්ධකාරයේ සුළි සුනාමි මැද වුව ඇගයුම් නොලැබ තර්කයේ ප්‍රයාමය ගැන විශ්වාසයෙන් ඒ මග යන සියලු ලේඛක ලේඛිකාවන් වෙත ගෞරවයත් ප්‍රණාමයත් මේ සටහනෙන් පිදේ.

කෘතියෙහි ඉලක්ක පාඨකයෙකු වීම හෝ ගැඹුරින් ලේඛනය හදාරමින් සාක්ෂි සහිතව ලිවීම ඩෙරීඩා-බට්ලර්ලා-අඩෝනෝ කියා සද්දෙන් කීමෙන් ලැබිය හැකි ජනප්‍රියත්වයක් ලැබිය නොහැකි සිංහල සංස්කෘතිය තුළ ජීවත් වන අය කල වයසට එළඹෙන විට සහජයෙන්ම මෙන් අවබෝධ කරගනිති. ඒ නම්වලට බොහෝ ආසා බොහෝ අය පවා ඒ ඒ අයගේ මුල් අදහස් අපේ සන්දර්භවල පිහිටුවමින් නව අදහස් ජනනය කරන දිගු රචනා කියවන අය නොවේ. අඩෝ නෝ මරු මචං පට්ට වැඩ්ඩෙක් සේ පෙනෙන්නේ අර වෛවර්ණ නම් කෙටියෙන් කොටන විටය. ඉතිං, පහසුවෙන් ලේඛකයෙකු විය හැකි විශ්වාසයේ මග වෙනුවට බොහෝ වෙහෙසවී අත්පත් කරගත යුතු විචාරාත්මක කුසලතා පස්සේ යන්නේ ඇයි? ඒ කුසලතාව ලැබීමෙන් ඇති වන ප්‍රායෝගික ප්‍රයෝජනයක් තිබේද? උගන්වනවා වෙනුවට ඉගෙනගන්නට සිදුවන, සමහරවිට තමාවම යළි පරීක්ෂා කරගන්නට සිදුවන ක්‍රියාවලියක් වන ලියන කලාවක් වෙනුවට කසුන් මහේන්ද්‍ර හීනටිගල වැනි අය ‘හොඳ පොතක්’ ලිවීම වෙනුවට ‘හොඳට විකිණෙන පොත් වෙළෙන්දෙකු’ වීමෙන් සාහිත්‍ය තිබෙන තැනින් ගොඩගත හැකියැයි සිතීම අහම්බයක් නොවන්නේ විශ්වාසයේ මග යන දරුවන්ගේ ඉරණම එය නිසා මිස කසුන්ගේ වරදක් නිසා නොවේ. ඒ නිසා ඔහු ‘ඇසිඩ් වැස්ස’ක දිගු නිද්‍රාවකින් පසු ‘සීනි මුරුක්කු’ සිහිනයෙන් දකිමින් සාහිත්‍යයට යළි ඇහැරෙයි. ඉතිං මුද්දරස්පලං මෙන් සාහිත්‍යය රස වෙයි.

මේ පින්තූරයක පෙනෙන Stephen King විසින් ලියූ A Memoir of the Craft: On Writing නමැති කෘතිය මගින් අපේ රටේ ජනප්‍රිය සාහිත්‍ය පිළබඳ ගොඩනගන මිථ්‍යාවන්ද මැනවින් වටහාගන්න පුළුවන. ඔහු ලියූ පොත් ඇමෙරිකාවේ මිලියන ගණනින් විකිණෙයි. විදෙස් භාෂාවලටත් පරිවර්තනය වෙයි. ලියන කලාව ගැන ලියැවී ඇති ඒ කෘතියෙහි මුල් අර්ධය චරිතාපදානයක් මෙනි. දෙවැනි අඩෙහි ඔහු ලිවීමේ තාක්ෂණය, මූලධර්ම සාකච්ඡා කරන්නේ සාහිත්‍ය මහාචාර්යවරයෙකු මෙන් නොවේ. එහෙත් තර්කයේ මග යමිනි. තවත් පින්තූරයක පෙනෙන මාකේස්ගේ Living to Tell the Tale සහ රුෂ්ඩිගේ Knife වැනි පොත් දකින විට නම් කෙනෙකුට අපිටත් ඔවැනි පොත් තිබෙන බව සිතෙන්නට පුළුවන.

මාර්ටින් වික්‍රමසිංහගේ ‘උපන් දා සිට’, කේ. ජයතිලකගේ ‘පුංචි පැලේ ගස වෙනා’, ජී.බී.සේනානායකගේ ‘විනි විඳිමි අඳුර’ වැනි පොත් මටත් වහා සිහිවේ.

ඒක පුද්ගල ප්‍රතිභාවේ මහිමයෙන් ඉහළට ගිය ඒ ලේඛකයන්ගේ ඒ පොත්වලින් අපේ රටේ ලේඛන කලාව පිළිබඳ නිසි පුහුණුවක නොයෙදීමේ සංස්කෘතික ඉතිහාසය නොකියවේද? ඒ පොත් අගය කරන අය නම් විශ්වාසයේ මිත් මග නොව නූතන ලෝක දැක්ම අභ්‍යාස කරන ලිය-කියවන්නන් යැයි මම අනුමාන කරමි. ලියන-කියවන කලාව දෙස බුද්ධිමය ලෙස ප්‍රවේශ වෙන සැටි පුහුණු කිරීම යනු බිහිවෙන්නට සිටින ‘මාර්ටින් වික්‍රමසිංහ’ලා මොට කරනවාය සිතමින්-කියවමින්-ලියමින් තමාගේම ලිවීම ගැන පම්පෝරි ගසන සමාජයක පොත් සැණකෙළිවල වෙළඳ-උදම් වැකි සමගින් සතුටු සිතින් මිලියණ ගණනින් රොද බඳිනු හැර අන් කුමක් කුරමුද?

More From Author

ඒක සිදු උනේ හරියටම මොන හේතුවකටද කියලා මට මතක නෑ.

මේක කුළුදුලේ තියාපු අඩියක් නෙවේ මේක පිම්මක් පුතා…

Leave a Reply

Categories

LDM Columns

https://www.facebook.com/profile.php?id=61575953530348